Wednesday, December 19, 2012

සීතා ගැයී, නිල්.

දඩයම් යුගය පසුකර ශිෂ්ඨාචාර ගතවීමේ මුල් අවදියේ මිනිස් ජනාවාස පුරා විද්‍යාඥයන් විසින් කැනීම් කළා. ග්‍රීසිය අසල දූපතක් වූ ක්‍රීටය, වයඹ දිග ඉන්දියාවේ මොහන්ජොදාරෝ-හරප්පා ශිෂ්ඨාචාර, යුරෝපයේ ගල්-ස්මාරක සංස්කෘතීන් (stone-henge cultures) යනාදී ශිෂ්ඨාචාරයන් හි හමුවූ ප්‍රජා සොහොන් බිම් කැණීමේදී ඔවුන්ට හමුවූ මිනී ඇට වල විශේෂ ලක්ෂණයක් ඔවුන් හඳුනා ගත්තා. ඒ තමා ඒ කිසිවක, පහරදීම් හෝ සටන් වලින් ලත් තුවාල නොමැති වීම. එනම් ඔවුන් සාමකාමී ලෙස මියගොස් තිබූ අතර යුධ පැවති බවට කිසිදු සාක්ෂ්‍ය නොතිබීම. ඒ ශිෂ්ඨාචාර පිරික්සීමේදී හමුවූ අනෙකුත් කෞතුක භාණ්ඩ පරීක්ෂාවේ දී පෙනී ගියේ ඔවුන් ඇදහූයේ දෙවියෙකු නොව දෙවඟනක බවයි. ඒ මාතෘ දෙවඟනයි. තවදුරටත් පුරාවිද්‍යාඥයන් සිදු කළ පර්යේෂණ වලදී පැහැදිලි වුයේ ඒවා මාතෘ මූලික ශිෂ්ඨාචාර බවයි.   

 A mother goddess statuette from Canhasan, Turkey

එහෙත් කාලයාගේ ඇවෑමෙන් මාතෘ බලය පරදා පුරුෂ ආධිපත්‍යය ඉස්මතු වුනා. ඒ සමග මුල් තැන ලත් මව් දෙවඟන පසු පෙලට ගොස් විවිධාකාරයේ පුරුෂ දෙවිවරු වන්දනාවට පාත්‍ර වෙන්න පටන් ගත්තා. මව් දෙවඟන වගේ නෙමෙයි මේ පුරුෂ දෙවිවරු කෘරයි, ඒ වගේම යුධ කාමී යි. ශිෂ්ඨාචාරයේ මේ වෙනස සිදුවීමත් සමග ගෝත්‍ර එකිනෙකා අතර ගැටුම් ඇතිකරගන්න පටන් ගත්තා. යුද්ධය බිහි වුනා. මව් රැකවරණය යටතේ සාමකාමී ව තිබූ ලෝකය, පුරුෂාධිපත්‍යයත් සමග යුධ බිමක් බවට පත් වුනා. ඉන්පසු ඉතිහාසය සමන්විත වන්නේ යුද්ධ වලින්. එක් රජෙක් යුධයෙන් පරදා තව රජෙක් බලයට පත්වීමේ කතාන්තර තමා ලෝක ඉතිහාසය කියන්නේ.



රාමායණය ලියවෙන යුගය වනවිට මේ මාතෘ මූලික සමාජ, පුරුෂාධිපති සමාජ බවට හැරුණු අලුත. ඒ නිසා අපට රාමායණ කතාවෙන් මේ සංසිද්ධිය පිළිඹඳ යම් සාධක සොයා ගත හැකියි. විෂ්ණු දෙවි, රාම ලෙස මිනිස් සමාජයේ බිහි වන විට ඔහුගේ භාර්යාව ලක්ෂ්මිය, සීතා ලෙස උපත ලබනවා. 




සීතා, මිථිලා නුවර රජ කළ ජනක රජුගේ දියණිය ලෙස හැඳින්වූවද, ඇය සීසාන විට පොළොව පලාගෙන මතුවූ බව කියවෙනවා. එනම්, ඇය පොළෝමහී කාන්තාව ගේ දියනියයි. ජනක ගේ දියණිය යන අර්ථයෙන් ඇය 'ජානකී' ලෙසද නම් වන අතර සමහර ඉන්දියානු ජනශෘති වල ඇයට 'වේදහී' යන නාමය ද භාවිත වෙනවා. රාම ට ඇය හමුවන්නේ විශ්වමිත්‍ර නම් තවුසා සමග මිථිලා නුවරට ගිය ගමනකදී. කිසිවකුටත් නැමිය නොහැකිව තිබූ දුන්නක් නමා බිඳ දැමීම නිසා ජනක රජු සීතා කුමරිය ඔහුට සරණපාවා දෙනවා. පසුව ඔවුන්ට අයෝධ්‍යා පුරය හැර වනගත වන්නට සිදුවීමත්, රාවණා පැමිණ සීතා පැහැරගෙන යාමත්, හනුමා ගේ උදව්වෙන් රාවණා මරා සීතා බේරා ගැනීමත් පිළිඹඳ කතාව අපි පසුගිය ලිපියේ (ඔබ හට වයිරව රවුලා කුඩ කොඩි ඈ ගුවන ලමින් -  මහිමෙට තද තෙද පවුලේ පෙන්නා ඉඳිතෙයි කී දැන්) කතා කළා. 




රාම, රාවණා ගෙන් සීතා ගලවාගත් නමුත් ඇය සිය බිරිය ලෙස පිළිගැනීමට මැලි වෙනවා. ඇයගේ පතිවෘතාව පිළිඹඳ සැක පහළ කරන රාම, සීතා බේරා ගැනීමට තමන් ක්‍රියා කළේ සිය ආත්ම ගෞරවය රැකගැනීමටත්, තමාගේ යුතුකමක් ඉටු කිරීමටත් පමණක් බව පවසනවා. මෙහෙම වෙනවා නම් උන්නාට වඩා මලා නම් හොඳයි කියා සිතන සීතා ගිනිගොඩක් ගසා එයට පනිනවා. ඒත් සීතාවගේ පතිවෘතා බල මහිමය නිසා ඇයට කිසි අනතුරක් වන්නේ නැහැ. මෙයින් පැහැදෙන රාම යලිත් සීතා සිය බිරිය ලෙස පිලිගන්නවා. (මෙහි ගෞරවය ඇත්තටම ලැබිය යුත්තේ රාවණාට යි.)



එහෙත් සීතාවගේ කරදර එතැනින් නිම වන්නේ නැහැ. රාම නිසා සීතා ගැබ්බර වීමත් සමග තත්වය නරක අතට හැරෙනවා. සමහර විට ඒ තමා නිසාම දැයි රාමට සැකයක් ඇතිවන නිසා විය හැකියි. ඒ අතර රජ මැදුරේ රජකයා (laundryman) (මේ වන විට රාම වනගතව සිටිය යුතු කාලය අවසන්ව යලිත් අයෝධ්‍යාවට ගොස්) වෙන පුරුෂයකු සමග ගොස් අසුවූ සිය බිරිය පළවා හරිනවා. "මම රාම වගේ පිට ගෙදරකට ගිය ගෑණි ආයේ පිළිගන්නේ නැහැ," ඔහු රාමට ඇහෙන්නම කියනවා. මේ කතාවෙන් අවුලකට වැටෙන රාම ලක්ෂමන කැඳවා සීතා ව වනයට ගෙන ගොස් දමන ලෙස අණ කරනවා. 


ටිකක් වෙනස් කතාවක් 'මධුර ජවනිකා' කෘතියේ දයානන්ද ගුණවර්ධනයන් සඳහන් කොට තිබෙනවා;

"ලාංකික කතාවක් අනුව රාම නැති විටෙක රාවණා ගේ විස්තර ඇසීමට පැමිණි පාර්වතියට සීතා අළුකෙහෙල් කොළයක රාවණා ගේ රුව ඇඳ දැක්වූවාය. එවිට රාම පැමිණුනෙන් වහා කෙසෙල් කොළය ඇඳ යටට දමන ලදී. එහි රාම සැතපුණු විට රාවණා ගේ බලයෙන් ඇඳ සෙලවිණි. කෙහෙල් කොළයේ වූ රූපය බලා සීතාවන් සැක කළ රාම ඈව වනයට ගොස් මරා දැමීමට ලක්ෂ්මනට භාර කළේය. ලක්ෂමන සතකු මරා කඩුවෙහි ලේ තවරා රාමට පෙන්වා සීතාව නොමරා පිටත් කළේ ය."   


වනාන්තරයේ අනාථව සිටින ඇයට පිහිටට එන්නේ තව්සෙක්. ඒ තමා වාල්මිකී. සීතා, වාල්මිකී ට කියන කතාන්තරය තමා ඔහු රාමායණය ලෙසින් ලේඛණගත කරන්නේ. පසුව සීතාව ට නිවුන් දරුවන් දෙදෙනෙකු ලැබෙනවා. ඔවුන් කුස සහ ලව ලෙස නම් කෙරෙනවා. වන අසපුවේ වැඩෙන ඔවුනට වාල්මිකී,  රාම අභිවාදන ස්තෝත්‍ර කියාදෙනවා.  දිනක් වනයට දඩයමේ එන රාමට තමා ගැන අභිවාදන ස්තෝත්‍ර ගයන මේ ළමුන් දෙදෙනා හමුවෙනවා. ඔවුන් හඳුනාගන්නා ඔහු තමා සමග ඔවුන් මාලිගයට රැගෙන යාමට සූදානම් වෙනවා. එහෙත් සීතාවන් භාර ගැනීමට මැලිවන ඔහු යලිත් වරක් පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා.


සීතා යලිත් මාලිගයට ගියා ද? වන අසපුවේම නතර වුනා ද? වෙනත් යමක් සිදුවුනා ද? ඒ ටික අපි බලාගනිමු නීනා පාලේ විසින් නිර්මාණය කළ මේ animation වර්ගයේ කාටූන් සිනමා පටයෙන්.


Nina Paley & Sita Sings the Blues

නීනා පාලේ ඇමෙරිකානු ජාතික කාටූන් ශිල්පිනියකි. ඇය ස්ත්‍රී වාදී ස්වරූපයකින් ලෝකය දකින අතර රාමායණය අළලා අපූරු කාටූන් සිනමා පටයක් Sita Sings the Blues නමින් නිර්මාණය කළාය. තම සිනමා පටය අන්තර්ජාලය ඔස්සේ ඕනෑම කෙනෙකුට නැරඹීමට ඇය ඉඩ හසර සලසා ඇත. නිර්මාණයක අයිතිය පිළිඹඳ ඈ වෙනම අදහසක් දරයි. පිටපතක් ලබාගැනීම, සොරකමක් නොවන බව ඇගේ මතයයි. ස්වාධීන නිර්මාණයක් කියා දෙයක් ඇත්තටම නොමැති බව පවසන ඇය සෑම නිර්මාණයක්ම පූර්ව නිර්මාණයන් ගේ ආභාසය ලබන බව කියයි. ඒ පූර්ව නිර්මාණ වසර දහස් ගණනක් පැරණි විය හැකි මෙන්ම අවුරුදු කිහිපයක් හෝ මාස කිහිපයක් වුව පැරණි විය හැකිය.  නීනා ගේ අදහස් වැඩිදුරටත් දැනගැනීමට මේ දිගුව ඔස්සේ යා හැකිය;

Nina Paley on: Sita Sings the Blues: The Ramayana and "Free Culture".

Nina Paley

කාටූන් සිනමා පටය රාමායණය අළලා නිමවුවද ඒ අතරතුර අප ඉදිරියේ නිනා ගේ ප්‍රේම කතාවද දිග හැරෙයි. මේ නිර්මාණයට නීනා කාටූන් ශෛලීන් කිහිපයක්භාවිත කර ඇති අතර අප බොහෝ විට දකින හොලිවුඩ් ගනයේ animation වලට වඩා ඉතා වෙනස් ආකාරයක අත්දැකීමක් ඔබට මෙහිදී ලැබෙනු ඇති. 



සම්පූර්ණ සිනමා පටය යූ ටියුබය ඔස්සේ නැරඹීමට; සීතා ගැයී, නිල්.


Tuesday, December 11, 2012

ඔබ හට වයිරව රවුලා කුඩ කොඩි ඈ ගුවන ලමින් - මහිමෙට තද තෙද පවුලේ පෙන්නා ඉඳිතෙයි කී දැන්


"රවුලා මැරී, රම් රජ." - සිදත  



කවුද මේ රවුලා? 


වෙන කව්රුවත් නෙවෙයි, මේ දවස්වල අතිශයින් කතා බහට ලක් වන 'රාවණා' තමා රවුලා කියා සිදත් සඟරා කතු හැඳින්වූවේ. යම් හීනමානයකින් පීඩා විඳින්නන් රාවණා ගැන නොයෙක් පූර්ණිකාවන් හිතෙන හිතෙන අයුරින් කියන බව පෙනේ. එබැවින් රාවණා පිළිඹඳ ජන සාහිත්‍යයේ සහ රාමායණයේ සඳහන් කරුණු ඇත්තටම මොනවාදැයි යන්න සොයා බැලීම වටනේ යයි අපට සිතුනි.

සියල්ලටම කලින් අප වටහා ගත යුතු වූ සත්‍යයන් කිහිපයක් වෙයි.

01. රාවණා නමින් රජෙක් හෝ ඔහු සතු රාජ්‍යයක් පිළිඹඳ කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ලංකාවෙන් මෙතෙක් හමුවී නොමැත.

02. රාවණා යනු වාල්මිකී නම් බමුණු ලේඛකයකු (බොහෝ අය බමුණු පඬිවරයකු ලෙස හඳුන්වන නමුත් ඔහුගේ ඇති විශේෂ පාණ්ඩිත්‍යයක් මට නොපෙනේ)  ලියූ කථාවක එන චරිතයකි.

03. රාමායණය හා සමාන කථාවක් ජාතක පොතෙහි වේ. එහෙත් ඒ ජාතකයෙහි රාවණා කෙනෙකු නොමැත. (බුදු සරණ පුවත් පතින් මම කියවා ඇත්තෙමි. ජාතකයෙහි නම අමතකය.)

04. තොටගමුවේ සිරි රහල් හිමියන් රාමායණය කියවීම හෝ කියා දීම මිත්‍යා දෘෂ්ටියක් සහ සම්පප්‍රලාපයක් ලෙස හඳුන්වා ඇත.


"නොයෙක්‌ මිස දිටු           ගත්

අයෙක්‌ කව් නළු රස          දත්

පෙර තමතමනු                 ගත්

රාම - සීතා කතා       තෙපලත්" - ගිරා සංදේශය, 108 පද්‍යය


"රාමායණ                      බරත

ඇතුළුව දෙඩුම්             මුවයුත

කීමුත් බස්‌                      නිරත

යුතුව දෙ අඟින් දනුව   නියවත" - කාව්‍යශේකරය


05. රාමායණයෙහි එන රාවණා චරිතය සහ ඔහුගේ නිර්මාණ පමණක් සත්‍ය ලෙස පිළිගෙන අනෙක් සියල්ල අසත්‍ය ලෙස බැහැර කිරීමේ (තමාට උවමනා පරිදි හරවා ගැනීමේ) පදනමක් නැත. [බොහෝ හෙළයන් ගේ මතය මෙය බව පෙනේ.]


රාවණා හෙවත් රවුලා 


වාල්මිකී ගේ රාමායණයේ එන පරිදි රවුලා කව්දැයි මුලින්ම බලමු;

පුලස්ති නම් ඉසිවරයාට දාව නිකශා නම් අසුර මවකගෙන් උපන්නේය. පුලස්ති මහා බ්‍රහ්මයාගේ කල්පිත පුත්‍රයකු බැවින් රාවණා, සුර අසුර දෙපසටම නෑ කම් දක්වයි.


"රාවණා සිය සොහොයුරන් දෙදෙනා සමග උග්‍ර තපසක් පවත්වමින් මහා බ්‍රහ්මයාගේ අවධානය යොමු කරගත්තේය. සියල්ලන් අබිබවා බලය ලබා ගැනීම ඔහුගේ චේතනාව විය. දස හිස් ඇති රාවණා අවුරුදු දහසින් දහසට සිය හිසක් බැගින් කපා හෙළා දස වැනි හිසට ඇත තබත්ම මහා බ්‍රහ්මයා ඔහු වෙත පැමිණියේය. කුමක් නිසා ඔහු පැමිණියේ දැයි විමසූ රාවණාට මහ බඹු මෙසේ කීවේය. 'තොප රෝගයක් බඳුය. රෝගයක් නො සලකා නො හැරිය යුතුය. එබැවින් අවශ්‍ය වරය කුමක් දැයි දන්වනු.' මහබඹු කී වදනට පිළිතුරු දුන් රාවණා, සුරයන් හා අසුරයන් විසින් තමාව පැරදවිය නො හැකි වන ලෙස බලයක් ඉල්ලුවේය. රාවණාගේ ඛේදවාචකය මෙතනින් ආරම්භ වුනු බව පළ වෙයි. එනම් එතරම් දුරට කල්පනා නොකිරීමේ හේතුවෙන් ඔහු මනුෂ්‍යයන් ද බලවත් පිරිසක් බව නොසිතුවේය. දුර දක්නා මහබඹු හනික වරය දුන්නේය. අනතුරුව විෂ්ණුට මනුෂ්‍ය වේශය ගන්වා ඔහු ලවා රාවණා පරාජය කරවන ලදී."

                   - උපුටනය 'මධුර ජවනිකා' - දයානන්ද ගුණවර්ධන


වර ලැබීමෙන් පසු රාවණා, කුවේර හෙවත් වෙසමුණි පලවා හැර ලංකාව අත්කරගත් බවද කියවේ. ඒ අනුව රාවණා සැබෑවටම ලක් වැසියෙක්ද යනු පවා සැකයෙකි.


ඉන් පසුව හේ යක්ෂයන් ගේ බලය මුදුන් පෙත්තටම නැංවූයේය. සුරයන්ට නොයෙක් කරදර පැමිණවීය. ඒ දරා ගත නොහී විෂ්ණු, රාම ලෙස දශරථ රජුගේ බිරියක වන කෞශල්‍යාවගේ  කුස පිළිසිඳ ගත්තේය.


අයෝධ්‍යාවෙහි ඔටුන්න හිමි කුමරු ලෙස වැඩුණු රාමට දශරථ රජුගේ තවත් බිසවක වූ කෛකේයි ගේ දුෂ්ට ක්‍රියාවක් නිසා ඔටුන්න හැරපියා වනගත වන්නට සිදුවිය. ඔහු ගේ බිරිය සීතා ද අඩ සොයුරු ලක්ෂ්මණ ද ඔහු සමග ගියහ.


මොවුහු දණ්ඩක ආරණ්‍යයේ විසූහ. එහිදී ලක්ෂ්මන කුමරු දුටු රාවණ ගේ සොයුරිය සුපර්ණකා ට ඔහු පාවා ගන්නට සිත් විය. විවාහ යෝජනා ක තැන කිපුණු ලක්ෂ්මන යෝජනාව පිලිගන්නවා වෙනුවට ඇයගේ කන්, නාසා කපා දැමීය. මේ අවනඩුව රාවණා ට කී කල්හි ඔහු පැමිණ රාමගේ බිරි සීතා පැහැර ගත්තේය.




මේ ලිපියට මාතෘකා වූ කවි දෙපදය ද මා සොයා ගත්තේ 'මධුර ජවනිකා' පිටපතෙනි. ඒ රාවණා කථාව නමින් හඳුන්වා ඇති වී. ඩී. ද ලැනරෝල් මහතාගේ පද්‍ය පන්තියකි. (පද්‍ය 15කින් සමන්විතය.) 


සඟවන්නේ නැතුව එවග මලනු ව මහ රාම                කුමරු 

මම යන්නේ මල් බෑයෙනි සිරිලක බලනට               විසිතුරු 

සමගින් ඒ විභීෂණ ද හනුමන්තා සමග                     සොඳුරු 

ඇවිදින් ලංකාව තුළට සිත විලසින් ඉතා                    රුසිරු

යනවර රාවණ රකුසා විස්මව එළියට                        බැසලා

වානර කොල්ලන් යන රඟ බලා නුවන් යුග               හැරලා

චාමර කොඩි කුඩ සේසත් විජිනිපත් ද ගෙන               අල්ලා

කේසර සිහ රජෙක් විලස උන්නයි පායට                  නැගිලා

                                   - රාවණා කථාව - වී. ඩී. ද ලැනරෝල්


ඉහත පද්‍ය යන් ගෙන් කියැවෙන්නේ රාවණ සමග සටනට රාම ලක්දිවට පැමිණි අයුරුත් රාවණ දැක්වූ ප්‍රතිචාරයත් වේ. ඉදින් රාම, රාවණ සමග යුධ කොට ඔහු මරා අශෝක වනයේ සඟවා සිටි සීතා කුමරිය බේරා ගත්තේය. 


රාවණා සිටියේ ද? නොසිටියේ ද?

මෙයට නිශ්චිත පිළිතුරක් දිය නොහැකි නමුත් මෙහිදී පක්ෂග්‍රාහී නොවී වඩා විවෘත මනසකින් බැලිය යුතු බව පෙනේ. පුරා විද්‍යාත්මක ශාක්ෂි නොතිබීමෙන්ම යමක් සිදු නොවූ බව අපට පැහැදිලිවම කිව නොහැක.

*රාම රාවණා යුද්ධය බුද්ධ වර්ෂයට පෙර 1844 දී සිදුවූ බව රාජාවලිය පවසයි. 

*රාවණා වෘතාන්තය සම්බන්ධවන ස්ථාන නාම මෙන්ම රාවණා නමින් නම් කල නොයෙකුත් ස්ථාන ද ලංකාව පුරා දැකිය හැක.

- නුවරඑළි දිස්ත්‍රික්කයේ රාවණාගොඩ, සීතා කෝවිල, සීතා එලිය / බදුලු දිස්ත්‍රික්කයේ රාවණා ඇල්ල, රාවණ ගුහාව / රත්නපුර දිස්ත්‍රික්කයේ රාවණා කන්ද, සීතා ඇල්ල, සීතාගල, සීතාවක / ගිනිකොනදිග වෙරළේ මහා රාවණා සහ කුඩා රාවණා කොටු / මහනුවර දිස්ත්‍රික්කයේ උඩුරාවණ, යටිරාවණ, රාවණාතොට යනාදී ස්ථාන  

*රාවණ රජු ගේ බස තෙලගු බවත්, කුමාරතන්ත්‍ර, අර්ක ප්‍රකාශ, නාඩි ප්‍රකාශ, උඩිස්තන්ත්‍ර, ශිවතාණ්ඩව ස්තෝත්‍ර යන ග්‍රන්ථ ඔහු විසින් රචිත බවත් සුළු රාජාවලිය දක්වයි.

*රාවණ ඇල් නමින් වී වර්ගයක් ද ලංකාවේ පැරණි වී වර්ග අතර වේ.

*රාවණ සොයුරු විභීෂණ කැලණියේ වන්දනාවට පාත්‍ර වීම.

*රාම රාවණ කථාව බොහෝ ආසියාතික රටවල ප්‍රචලිත වීම සහ ඒ රටවල (ලංකාවේ හැර) ජන රංගයක් ලෙස මේ කතාව බොහෝ විට ඉදිරිපත් වීම.

(ඉහත තොරතුරු නැවතත් මධුර ජවනිකා පිටපතෙනි.
රාවණ ගේ කේන්ද්‍රය ද එහි දැක්වෙයි. වැලිපටන්විල ශ්‍රී දීපංකර හිමි සංස්කරණය කල මයුර සංදේශයෙන් උපුටා ගෙන ඇත.)
රවණා ගේ කේන්ද්‍රය

කොහොමින් කොහොම හෝ රාවණා වෘතාන්තය රසවත් කතාන්තරයක් බව අප සැම අවිවාදයෙන් පිළිගත යුතුය. ජෝන් ද සිල්වා ශූරීන් කළ 'රාමායණය' නුර්තිය මනරම් ගී රැසකින් යුක්තය.

*සවන්දී පෙර රාම චරිතේ අසව් 

*බන්දා මා දේ දෝ පියානෝ 

*ශ්‍රියා මන මත් වී 

*පත්මේකි පේන මූණා 

*පායන මේ බැද්දෙ තාරපති 

*සීතා මා සිරියා 

රාවණා පිස්සුවක් හදාගෙන කල්පිත ලොවක ජීවත් වෙමින් වාද විවාද වල පැටලී ලේ රත් කර ගන්නවා ද, රාවණා වෘතාන්තය ඇසුරින් නිමවුණු කව් නළු රස ඇසුරේ තුටු වනවා ද යන්න ඒ ඒ අයට  අයත් කාර්යයෙකි. 


කාව්‍ය ශාශ්ත්‍ර විනෝදේන - කාලෝ ගච්ඡති ධීමතාං 

ව්‍යසනේනච මුර්ඛානං - නිද්‍රයා කලහේනවඃ  

රාම විසින් බේරාගත් සීතාට කුමක් වීදැයි මීළඟ ලිපියෙන් විමසමු.

Saturday, September 22, 2012

ලස්සන සවසක මේ වාගේ - පොත් ගැන වැගිරෙන රස ඕගේ


කොළඹ ළමා පොත් සංගමයේ තේමා ගීයේ මුල් පද දෙකයි, ඔය ඉහළින් තියෙන්නේ. මට මේ ගීය සිහිවුනේ ඊයෙ සවස (21/09/2012) මා පොත් සමග ගත කළ සුන්දර සැඳෑව නිසයි. ඒ වෙන කොහේ වත් නොවෙයි, මේ දිනවල කොළඹ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී.

මෙවර යම් විශේෂත්වයන් ප්‍රදර්ශනය තුළ මම අත් දුටුවා. එකක් තමා රාත්‍රී නවය වන තුරු ප්‍රදර්ශනය පැවැත්වීම. තව විශේෂත්වයක් තමයි වට්ටම් ලබා දීමේ  ආකාරය. වෙන වතාවල එක් එක් ප්‍රකාශකයන් තමන්ට රිසි පරිදි වට්ටම් ලබා දුන්නත් මෙවර සෑම ප්‍රකාශකයෙකුම ලබා දෙන්නේ 20%ක වට්ටමක් පමණයි. ඒ වගේම ඒ වට්ටම ස්වීය ප්‍රකාශන වලට පමණක් අදාළ වන්නේ නැහැ. ඕනෑම පොතකට ලැබෙනවා. එක් අතකින් එය හොඳයි. නැත්නම් වඩා හොඳ වට්ටමක් ලබා ගැනීමට අදාළ ප්‍රකාශකයාගේ වෙළඳ කුටියම සොයා යන්නට පාඨකයාට සිදුවෙනවා. මෙවර අතට අහුවෙන තැනකදී පොත ගන්න පුළුවන්. එක අතකට කාලය ඉතිරිකෙරෙන අතර යම් පමණකට තද බදයද අඩුවෙනවා.

වඩාත්ම වැදගත් විශේෂත්වය තමා, "ගුරු ගෙදර". 
සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාව අසල කටුමැටි බිත්තියෙන් යුතු පොල්, අතු වහල ඇති අපේ ගමේ පරණ ගුරු ගෙදර. 
මම යනකොට ලියන මහත්තුරු (ලේඛක) ගුරු ගෙදර ලනු ඇඳ උඩ වාඩිවෙලා බර කතාවක්. කතාව පරිවර්තන සාහිත්‍යය ගැන. ගාමිණී සුමනසේකර මහත්තැන් තමා සභාව මෙහෙයෙව්වේ. සභාවේ හිටි ලියන මහත්තැන් ගෙන්; ටෙනිසන් පෙරේරා මහත්තයවයි, ගාමිණී වියන්ගොඩ මහත්තයවයි, චන්දන මෙන්ඩිස් මහත්තයවයි මා හඳුන ගත්ත. අනෙක් අය නං හැඳින්නෙ නැහැ. ඒ වෙලාවේ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබුණේ, පරිවර්තකයකු පරිවර්තනයක් කිරීමේදී අපේ සංස්කෘතියට ගැලපෙන අයුරින් මුල් කෘතිය වෙනස් කළ යුතුද යන වග. 

ටෙනිසන් පෙරේරා මහත්මා පෙන්වා දුන්නා, මේ දිනවල හතු පිපෙන්නාක් මෙන් බිහි වන පරිවර්තන මුල් කෘතියට සාධාරණයක් ඉටු නොකරන වග. වෙනත් පරිවර්තකයකු විසින් පරිවර්තනය කරන ලද කෘතියක් බලාගෙන වචන කිහිපයක් වෙනස් කර තමන්ගේ නමින් පළ කරන පරිවර්තකයන්ද සිටින බව එතුමන් පැවසුවා. එසේම මුල් කෘතියේ අදහස් වෙනස් කර, එහි ඇති ප්‍රස්තා පිරුළු, රූඩි ආදිය අත් හරිමින්, විටෙක පරිවර්තනය කිරීමට අපහසු යයි සිතන පදාස පවා අතහරිමින් සමහරුන් පරිවර්තන කාර්යයේ යෙදෙන බවද, මෙය මුල් කෘතියට පමණක් නොව පාඨකයාට ද කරන අසාධාරණයක් බව ද එතුමන් ප්‍රකාශ කළා. 

ඉන් පසුව කතා කලේ ගාමිණී වියන්ගොඩ මහත්මායි. එතුමන්ගේ අදහස වුනේ පරිවර්තකයකුට මුල් කෘතිය වෙනස් කිරීමට කිසිඳු අයිතියක් නොමැති බවයි. අපේ සමාජයට නුහුරු යම් වචනයක් මුල් කෘතියේ ඇත් නම් එය මග හරිනවා වෙනුවට පරිවර්තකයා කළ යුත්තේ ඒ වචනය හඳුන්වා දීම බව වියන්ගොඩ මහතා පැවසුවා. එහිදී අලුත් වචනයේ අර්ථය කෘතිය ගලා යාම තුළම පාඨකයාට වැටහෙන්නේ නම් එය වෙසෙසින් පැහැදිලි කළ යුතු නැති බවද  එසේ නොවේ නම් පමණක් පාද සටහනක් මගින් එය පැහැදිලි කරීම සිය ක්‍රමය බවද කී වියන්ගොඩ මහතා පරිවර්තනයට කෘතියක් තෝරා ගැනීමේදී බොහෝ දෙනා නොවැදගත් කාරනා වලට මුල් තැන දෙන බවද ප්‍රකාශ කළා. එනම් අදාළ කෘතිය ජනප්‍රිය වේද යන වග, එය පරිවර්තනයෙන් වැඩි මුදලක් සෙවීමට ඇති හැකියාව, කෘතිය විශාල නම් එය පරිවර්තනය නොකර සිටීම වැනි කරුණු මත යම් කෘතියක් පරිවර්තනය කිරීමෙහි හෝ නොකිරීමෙහි යෙදීම ඔහු පිළිකෙව් කළා. යම් කෘතියක් කියවූ විට එය සිය හදට වැදෙයි නම් පරිවර්තනයට එයම හේතු විය යුතු බව ඔහුගේ අදහසයි. පරිවර්තකයාට මුල් කෘතියෙන් යම් වෙනසක් සහිතව පරිවර්තනය කිරීමට සිදුවන අවස්ථා ද ඇති බව සදහන් කල එතුමන් ඒ සඳහා හොඳ උදා හරණයක් දුන්නා. එක්තරා කෘතියක මෙවැනි වාක්‍යයක් තිබෙනවා. "දැන් ඔබ මේ පොතේ 33 වන පිටුව කියවා අවසානයි." පරිවර්තනයේදී එම වැකිය යෙදෙන්නේ 45 වන පිටුවේදී නම් කිසි පැකිලීමක් නැතිව පරිවර්තකයා එය වෙනස් කළ යුතු බව කී වියන්ගොඩ මහතා එයින් මුල් කෘතියට කිසිදු හානියක් නොවන බව ද, එසේ නොකළ හොත් එම වැකිය අර්ථ විරහිත වන බවද පැවසුවා.   


සාකච්ඡාව නම් දිගින් දිගටම පැවැත්වුනා. ඒත් කාල වේලාව පිළිඹඳ ප්‍රශ්නයක් නිසා මට එතනින් පිට වීමට සිදුවුනා. ප්‍රදර්ශන කුටි රැසක් තිබුනත් තෝරාගත් කුටි වලට පමණක් ගියේ කාලය මද කම නිසයි. ඔය අතර සුනෙර ප්‍රකාශකයන් ගේ ප්‍රදර්ශන කුටියේදී කවි මුතු මල් බ්ලොගයේ නිර්මාතෘ අසංක ආසිරි මල්ලිව හමුවුනා. ඒ සහෘද හමුව නිසා පොත් සැන්දෑව තවත් රසවත් වුනා. ඒ කුටියේ සිටි ළමා පරිවර්තන බෙහෙවින් කරන සමරසිංහ ගුණසේකර මහත්මා වත් ඔහු මට හඳුන්වා දුන්නා.  
ඉතින් රාත්‍රිය උදා වෙද්දී අකමැත්තෙන් වුවත් පොත් සැරිය නවතා, නැවත එන බලාපොරොත්තුවෙන් යුතුව නිවෙස බලා යාමට මට සිදුවුනා.

සටහන
ඉහත සඳහන් කළ කතුවරුන් යමෙක් නොහඳුනත් නම්;

ටෙනිසන් පෙරේරා මහතා ලියු කෘති කිහිපයක්
දැති රෝදෙන් උපන් බුදුන් - කෙටි කතා
අසිරිමත් වැඩබිම - කෙටි කතා
නිදහසේ දරුවාගේ උමතු කතාව - කෙටි කතා
දුට්ඨ ගාමිණී නොමල වගයි
සක්වල දඩයම 
මම චක්‍රවර්ති 
ගින්නෙන් නැගෙන දුම්
මජික්කාරයාගේ කතාව
සත්‍යවාදීන්ගේ මරණ මංචකය
කැළණි නදිය ගලා බසී  
භාවාන්තරය (2011 ස්වර්ණ පුස්තක නිර්දේශ)
අබිරහස් ජීවිත තරණය (2012 ස්වර්ණ පුස්තක නිර්දේශ)

ගාමිණී වියන්ගොඩ මහතා විසින් පරිවර්තිත කෘති
කරුමක්කාර කතාවක් - ගාර්සියා මාකේස්
ඊවා ලූනා - ඉසබෙල් අයින්දේ
හිරු බැස ගිය පසු - චිනුවා අචිබේ
කොලරා කාලේ ආලේ - ගාර්සියා මාකේස්
අනුන්ගේ ලේ - සීමොන් ද බෝවා
වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි - පාවුලෝ කොයියෝ
තැවුල් සිත - ඉසාක් බෂෙවිශ් සිංගර්
යකඩ යුගය - ජේ එම් කොඑට්සි 
කල්කි - ගෝර් විදාල්
රෑ මාතා - කර්ට් වොනෙගට්
ව්‍යවච්ඡේදකයා - ෆෙදෙරිකෝ අන්දහාසි   
විසේකාරී - මාරියෝ වර්ගාස් යෝසා 



සමරසිංහ ගුණසේකර මහතා විසින් පරිවර්තිත කෘති
හියු ලොෆ්ටින් විසින් රචිත 'හිත හොඳ දොස්තර' කතා මාලාවේ සියලුම කෘතීන් 
රෝල් ඩාල් ලියු 'මායාකාරියෝ'
අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන්ගේ දේශනා
ඔහු විසින්ම ලියු කෘති
සිවුර හැර යාම - පර්යේෂණ
මෙන්න අපේ අමුතුසේන 
එහෙම නොවෙයි, මෙහෙම හිතන්න
මේ පොතට නමක් දෙන්න

Saturday, September 8, 2012

පොත් ගුල්ලන්ට සහ ගුල්ලියන්ට TIPS;

නුගේගොඩ සරසවි පොත් හලෙන් පොත් ගත්තු හැටි ගැන TG බ්ලොග් පෝස්ටුවක් පල කරලා. අඩු මිලට පොත් ගත හැකි තැන් ගැන පොත් ගුල්ලාගේ අත්දැකීම් එහි කමෙන්ටුවක් ලෙස පල කළා. මේ එයම නැවතත් මෙහි පල කරන්නේ ඔබගේත් ප්‍රයෝජනය පිණිසයි. මෙහි දක්වා ඇති පොත් හල් බොහොමයක් සාහිත්‍ය මාසයේදී 30% ක් හෝ ඊට ආසන්න වට්ටම් දෙන බවද දැනුම් දෙනු කැමැත්තෙමි. 

*මෙය හුදෙක් අහිංසක පොත් ලෝලීන්ගේ යහපත පිණිස මිස කිසියම් සමාගමකට පහර ගැසීමට හෝ වෙනත් සමාගමකට ප්‍රචාරයක් ලබා දීමට හෝ ලියන ලද්දක් නොවන බව කරුණාවෙන් සලකනු මැනවි.* 

සරසවි පොත් හලට මම නම් යැවෙන්නේ කලාතුරකින්. සරසවි පොත් හල බොහොම ආකර්ශනීයයි තමයි, ඒත් ඒ ගොල්ලෝ සරසවි ප්‍රකාශනයකට වත් වට්ටමක් දෙන්නේ නැහැනේ. අනෙකුත් ප්‍රකාශන වලට කොහොමටත් නැහැ. මං වගේ දුප්පත් පොත් ගුල්ලෝ යන්න ඕනේ නුගේගොඩට නෙමෙයි, මරදාන පැත්තට.  
මෙන්න පොත් ගුල්ලගෙන් අනෙකුත් පොත් ගුල්ලන් සහ ගුල්ලියන්ට TIPS; 

යන්න මරදානට.

ආනන්ද විද්‍යාලය අසල තියෙනවා "ගොඩගේ පොත් මැදුර". ගොඩගේ මහත්තය ගොඩගේ ප්‍රකාශන වලට අවම වශයෙන් 20% වත් වට්ටමක් දෙනව. ගොඩගේ පාඨක  සමාජයට බැඳුනොත් (රු.200/ ක් ගෙවා) ඉන් ඉදිරියට ගොඩගේ ප්‍රකාශන වලට 25% ක වට්ටමක් ලබාගතහැකියි. අනෙකුත් ප්‍රකාශන වලට 10% වට්ටමක් ලැබෙනවා. ඒ කියන්නේ සරසවි ප්‍රකාශනයක් සරසවි පොත් හලකට වඩා අඩු මිලට ගන්න පුළුවන්.

ඊළඟට පාර මාරුවෙන්න.
එස්. මහින්ද මාවතට හැරෙන්න. (එස්. මහින්ද හිමියන්ගේ සහ සෝම හිමියන්ගේ පිළිරූ තියෙන නිසා සොයා ගන්න ලේසියි.) ඔන්න එක පැත්තක සූරිය ප්‍රකාශකයෝ. අනෙක් පැත්තේ දයාවංශ ජයකොඩි සහ සමාගම. ඒ දෙගොල්ලොම ගොඩගේ වගේම ස්වීය ප්‍රකාශන වලට අවම වශයෙන් 20% වට්ටමක් වත් දෙයි. අර වගේම අනෙකුත් ප්‍රකාශන වලට 10% හෝ 15% ක වට්ටමක්.

තවත් පොත් සාප්පුවකට යන්න කැමති නම් ආයෙත් පාර මාරු වෙන්න. (ගොඩගේ පැත්තටම). දැන් ආනන්ද බාලිකාවට යන පාරට හැරී (පාරේ නම අමතකය) තරමක් දුර ඉදිරියට යන්න. වම් පසින් ඔබට "සමයවර්ධන" ප්‍රකාශකයන් දිස් වනු ඇති. අර තරම්ම ආකර්ශනීය නැතත් ඒ අයත් වට්ටමක් දෙයි.

පොත් සාප්පු චාරිකාව තව ඉදිරියට ගෙන යාමට අවැසි නම් දැන් බස් එකක නැගී පුංචි බොරැල්ලට යන්න. පාස් පෝට් කාර්යාලය අසලින් බැස නැවත පාර මාරු වෙන්න. ඔන්න තියෙනවා, "විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රය". ගොඩගේ හා සමානවම මේ අයත් වට්ටම් දෙනවා. 

ඒ ඒ පොත් හලෙන් ඒ ඒ පොත්

ගොඩගේ සාප්පුවේ;
පරිවර්තන ලෝලීන්ට තෝතැන්නක්. 
සිරිල් සී. පෙරේරා මහතා පරිවර්තනය කළ සියලුම පොත්:- යුද්ධය හා සාමය, කරමසෝ සහෝදරයෝ, පෙරලූ නැවුම් පස, වෘකයන් අතර නග්නව, මහල්ලා සහ මුහුද, ඩි කැමරොන් හෙවත් දස දවස, දිබ්බ චක්කු, ගැඹුරු මුහුද, නීලෝදකය, ෂේන්,ආදී........

මහාචාර්ය ආරිය රාජකරුණා විසින් පරිවර්තිත සියලුම ජපන් සාහිත්‍ය කෘති:- රෂොමොන්, විවාහය, ශ්‍රේෂ්ට ජපන් චිත්‍රපට කතා, අපායේ දොරටුව, හොල්මන් කථා වස්තුවක්, කවබත යසුනරි ගේ කෙටි කථා, ෂිග විහාරයේ මහ තෙරුන් වහන්සේ ගේ ප්‍රේමය සහ තවත් කතා, ගැහැණියකගේ චරිතාපදානය, ආදී....
සුගතපාල ද සිල්වා ශූරීන් විසින් ලියු සහ පරිවර්තිත කෘති:- ඇට මැස්සා, හතරවෙනි තට්ටුව, හිට්ලර් එල්ලා මරයි, පවර නිරිඳෙක් වීය බඹදත්, බිත්ති හතර, බල්ලෝ බත් කති, එසේ වී නම් මිනිසුනේ අසව්, ආදී............ 
වෙනත් පරිවර්තකයන්ගේ පරිවර්තන රැසක්.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ - විලාසිනියකගේ ප්‍රේමය, මලවුන්ගේ අවුරුදු දා, මල ගිය ඇත්තෝ සහ මනමේ ඇතුළු නාට්‍ය පිටපත් ආදී....
සයිමන් නවගත්තේගම, කේ. ජයතිලක, ඒ වී සුරවීර, ටෙනිසන් පෙරේරා, ඩබ්. ඒ. සිල්වා, ජී.බී සේනානායක යනාදී ලේඛකයන්ගේ කෘති.
මහගම සේකරයන්ගේ සහ මොනිකා රුවන් පතිරණ කිවිඳිය ගේ සියලුම පද්‍ය කෘති.
සුචරිත ගම්ලත් ගේ සියලුම විචාර කෘති.
සුනිල් ආරියරත්නයන් ගේ සියලුම පර්යේෂණ කෘති.
මෙකී නොකී බොහෝ කෘති ගොඩගේ ප්‍රකාශන ලෙසින් 20%ක වත් වට්ටමක් සහිතව ලබා ගත හැකිය.

සූරිය ප්‍රකාශකයින් වෙතින්;
පැරණි ලක්දිව ගැන ඉංග්‍රීසි ජාතිකයන් අතින් ලියවුනු පොත්.
ආර්. එල්. ස්පිට්ල් ගේ සුදු ගෝණා, සුදු වැද්දා වැනි කෘති.  ඔහුගේ දියණිය ක්‍රිස්ටීන් විල්සන් ලියූ ඉංග්‍රීසි කෘති සහ ඒවායේ පරිවර්තන, 
ඒ පී ගුණරත්නයන් විසින් පරිවර්තිත "වානරයා" වැනි කෘති.
ආදී............................

දයාවංශ ජයකොඩි සහ සමාගම;
ජයසේන ජයකොඩි ලියූ පිච්ච මල ආදී කොට ඇති සියලුම කෘති.
සෝම හිමියන් ගේ දේශනා ඇතුලත් කෘති.
කේ. ජී. කරුණාතිලකයන් විසින් පරිවර්තිත සියලුම කෘති; ඔතෙලෝ, වානරයන් ගේ ටාසන්, බිම්ගෙයි සිරකරුවා, ඈ හෙවත් අයේෂා, කෝනාන්, බැස්කර්විල් දඩ බල්ලා, රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා ආදී..........
දයාවංශ ජයකොඩි මහතා විසින්ම රචිත 'සිංහලයේ ජාතික සටන්' වැනි කෘති.
ආදී.............................

සමයවර්ධන;
Charley and the Chocolate Factory ලියු රෝල් ඩාල් ගේ කෘති බොහොමයක ඉංග්‍රීසි පිටපත් මෙන්ම සිංහල පරිවර්තන.
නා නා විධ ඉංග්‍රීසි පොත පත; ඉංග්‍රීසි බස ඉගෙනීමට අදාළ වටිනා කෘති ඇතුළුව. 
(මෙහිදී එතරම් ආකර්ශනීය වට්ටමක් නොලැබෙන බව කරුණාවෙන් සලකන්න.)

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේදී;
සරත් විජේසූරිය මහතා ගේ සියලුම කෘති. - නිරානන්දය ආදී....
ගාමිණී වියන්ගොඩ මහතා විසින් පරිවර්තිත පැරණි සහ නව ලෝක සාහිත්‍යයේ අග්‍රගන්‍ය කෘති:-  කොලරා කාලේ ආලේ, අනුන්ගේ ලේ, හිරු බැස ගිය පසු, රෑ මාතා, ප්ලේටෝ පත්‍රිකා, වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි ආදී.......
චින්තා ලක්ෂ්මී සිංහආරච්චි විසින් පරිවර්තිත සියලුම වංග කෘති:- ගෝරා, මාවතේ ගීතය ඇතුළු ඕපු ත්‍රිත්වය, ශ්‍රී කාන්ත, ශ්‍රී කාන්ත හා රාජ ලක්ෂ්මී, බිංදුගේ දරුවා, අරණකට පෙම් බැඳ, වංග ජන කතා, ආදී.................
ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද විසින් පරිවර්තිත කෘති සියල්ලම පාහේ.
ලීලානන්ද ගමාච්චි ගේ මනෝ විද්‍යා හා සමාජ විද්‍යා පොත්.  
තවත් නොයෙක් කෘති.......................

තවත් පොත් ඕනේ නං මරදානේ සිට ඩී. ආර්. විජේවර්ධන මාවත පැත්තට යන්න. ඩී. ආර්. විජේවර්ධන මාවතට හැරෙනවාත් සමගම දකුණු පැත්තෙන් පැරණි පොත් විකුණන කඩ පෙළක් ඔබට දැකිය හැකියි. ඒවායේ, භාවිත කළ (Second hand) පොත් (සිංහල, ඉංග්‍රීසි, දෙමළ) අඩු මිලට ඔබට මිලදී ගන්න පුළුවන්. 

ඔය කොහොම උනත් ලෝකේ හොඳම පොත් සාප්පුව තමා මේ;

Friday, August 24, 2012

පුංචි පුතා කියූ ලොකු කතාව - 2


වර්තමාන උදාහරණය  (Modern Example)

පළමුවෙනි කතාව කියල බ්ලොග් ලෝකේ අත් හැරලා වගේ ඉඳලා සෑහෙන කාලෙකින් මේ දෙවෙනි කොටස ලියන්නේ. යම් කාර්ය බහුලත්වයක් නිසාවෙනුත් සිතේ පැවැති අලස ස්වභාවය නිසාවෙනුත් තමා මෙතරම් ප්‍රමාද උනේ. ඒත් Better Late Than Not කියල දෙවෙනි කොටස, එනම් වර්තමාන උදාහරණය ලියන්න තීරණය කළා. 

හැබැයි මේ කතාවේ නියම අරුත දීම සඳහා ඉංග්‍රීසියෙන්ම කියන්න සිදු වෙනවා. ඒ නිසා අකිඳු පුතාගේ පැවරුමෙන් ගත් උපුටනයකුයි, පහත පලවන්නේ.

NAMING THE COUNTRY

This story was told by Sri Lankan Foreign Minister late Lakshman Kadirgamar at his after dinner speech OFF THE CUFF, in UK, at which Sri Lankan cricketers were present in the year 2003.
Hon. Foreign Minister, Late Mr. Lakshman Kadirgamar
Ugandan president Idi Amin told his foreign minister that he wanted to change the name of 'Uganda' to 'Idi'. The minister was asked to canvas world opinion and return in two weeks. He did not do so. He was summoned and was asked to explain.

He said, "Mr.President, I have been informed that there is a country called Cyprus. Its citizens are called Cypriots; If we change the name of our country to 'Idi' our citizens will be called ......................... Idiots".

The wise minister avoided from changing the country name due to a foolish decision.    

Tuesday, July 3, 2012

පුංචි පුතා කියූ ලොකු කතාව නොහොත් ආරාම දූස ජාතකය


මා උගන්වන විද්‍යාලයේ මේ වාරයට අදාලව හය, හත සහ අට ශ්‍රේණි වල දරුවන් බුද්ධ ධර්මය විෂයට අදාලව ජාතක කතාවක් ඇසුරින් පැවරුමක් කළ යුතුයි. ඉතින් බොහෝ දරුවන් විවිධ ජාතක කතා තෝරාගෙන තම තමන්ට හැකි පමණින් ලස්සන පොත් පිංච බැගින් නිමවා ඉදිරිපත් කළා. මේ සියලු ඉදිරිපත් කිරීම් අතර අපූර්වතම පොත් පිංච නිමවූයේ හය වන ශ්‍රේණියේ පුංචි පුතෙක්. නමින් අකිඳු පෙරේරා, වයස අවුරුදු එකොළහයි. පැටියගෙ වයසෙ හැටියට කළ නිර්මාණය බොහොම උසස්. තමන් අතින්ම නිර්මාණය කළ බුදු සාදුගෙ සිතුවමක් එක්ක ලස්සන මුල් පිටුවක්. ඇතුල් පිටු අංකනය කරලා, පටුනක් සකසලා. නිධාන කතාව කියල ඉවරවෙලා තමයි ජාතක කතාවට යොමු වෙන්නෙ. ජාතක කතාව පිළිඹඳ ඔහුගේම අදහස් වලින් සැකසුනු තවත් පිටුවක්, ඊළඟට ඉන් ගත හැකි ආදර්ශය. අවසානයට පරිහරණය කළ පත පොතෙහි නාමාවලිය. මේ පිටු අතර තිබුණු වඩාත්ම රසවත් පිටුව තමා 'වර්තමාන උදාහරණය'. ඉතින් බලාපොරොත්තු වූවාට වඩා යමක් ඉදිරිපත් කළ මේ පුතාට මම රතු තරුවකුත් (a Red Star) දුන්නා. 

පුංචි පුතා කියූ ලොකු කතාව මෙයයි;
(ඉංග්‍රීසි බසින් ඉදිරිපත් කළ කතාවේ සිංහල අනුවාදය)
පුංචි පුතාගේ පොතේ මුල් පිටුව

ආරාම දුස ජාතකය

බුදුරජානන් වහන්සේ දක්ඛිණ-ගිරි යෙහි වැඩවසන සමයෙහි, එක්තරා උයන්පල්ලකු ගේ  පුත්‍රයෙකු අරභයා මේ ජාතකය දේශනා කළ සේක. 

නිධාන කතාව:

වස් නිමවූ බුදු රදහු මහ සඟන සමග දෙව්රමින් නික්ම දක්ඛිණ-ගිරි නම් නියම් ගමෙහි පිඬු පිණිස හැසිරෙන සේක. නිගම වැසි කුල පුත්‍රයෙක් බුදු පාමොක් මහ සඟන සිය උයනට වැඩම කරවාගෙන දන් පිළිගන්වා, වළඳා අවසන, මෙසේ පැවසූයේය.  "ඔබ වහන්සේලා කිසිවෙකුත් උයන් සිරි නැරඹීමට කැමැත්තහු නම් උයන් පල්ලා සමග ගොස් නරඹනු යෙහෙකියි," කියා තවද රස පලවැලින් මහ සඟනට සැලකුම් කරන මෙන්ද උයන් පල්ලා බැණවීය.

මෙසේ උයන් සිරි බලමින් උයන් පල්ලා සමග සඟ පිරිස එක් නිසරු බිම් කඩකට පැමිණියහ. භික්ෂුන්, මේ බිම් කඩ තුරු ලියෙන් තොරව නිසරුව පැවතීමේ හේතුව විචාල කළ, එක් උයන් පල්ලකුගේ පුත්‍රයකු සිදු කළ අමනෝඥ ක්‍රියාවක් හේතුවෙන් මෙය සිදු වූ බව ඒ උයන් පල්ලා පැවසීය.

යළි බුදුරදුන් වෙත පැමිණි භික්ෂූහු මේ සිදුවීම උන්වහන්සේට සැලකළහ. එකල්හි ගෞතමයන් වහන්සේ, "දැන් පමණක් නොවෙයි, පෙර දිනයකත් මේ උයන් පාලක පුත්‍රයාගේ අමනෝඥ ක්‍රියාවෙන් මෙවැනි වූ උයනක් දූෂණය වූ බැව්", හෙළි කරමින් 'ආරාම දූස ජාතකය' වදාළ සේක.

ජාතක කතාව:

පෙර බරණැස් නුවර විස්සසේන නම් රජෙක් රාජ්‍ය විචාරන්නේ, නව වසරක උදාව නිමෙත්තෙන් විවේකී කාලයක් ප්‍රකාශයට පත් කළේය. රජුගේ උයන් පල්ලාද සිය ගම් පෙදෙස් කරා ගොස් විවේකයක් ගැනීමට සිතා, උද්‍යානයේ විසූ වානර කැල කැඳවා මෙසේ පැවසීය. "වානරයිනි, තෙපි මෙතෙක් කල් මේ උයන වැද, එහි රස පල අනුභව කෙරෙමින්, කෙළි දෙලෙන් කල් යැවුහු වෙති.  දැන් උයන රැක ප්‍රති උපකාර දැක්වීමට කාලයයි. මා සත් දිනකට ගම් බලා යමි. තෙපි එතෙක් මේ උයන රැඳි තුරු ලතා දිනපතා දිය වත් කොට රැකගනුව," යි කීයේය. "එසේය," යි පිළිවදන් දුන් වානර කැල වෙත දිය ගෙනයාම පිණිස භාවිත සම් පැස් ආදිය ලබා දී හේ සිය ගම් බලා නික්ම ගියේය.

පළමු දින වඳුරන් දිය ඇදීමට සූදානම් වූහ. එවිට වානර නායක තෙම උහු අමතා, "වඳුරනි, මදක් නවතිව්! දිය ඇදීම නම් වෙහෙසකර කටයුත්තෙකි. එහෙයින් අප නිකරුනේ දිය ඇදීමෙන් වැළකී මනාව සොයා බලා කටයුතු කළ යුතුය. මත්තෙහි ඇති තුරු මෙන්ම, පස යට ඇති ඒවායේ මුල් ද විවිධාකාරය. සමහරෙක දික් මුල් ඇත්තේය, සමහරෙක කෙටි මුල් ඇත්තේය. දික් මුල් ඇති තුරු වෙත ඇති තරම් දිය ඇදිය යුතු බැව් සැබැවි, එහෙත් කෙටි මුල් ඇති තුරු වෙත මද දියක් ලැබීම සෑහේ," යි පැවසීය. "එසේය, එසේය", යි පිළිවදන් දුන් වානර කැල අතුරින් සමහරෙක් ශාක ගලවමින් මුල් වල දිග මැනීමට පටන් ගත්හ. අනෙක් උන් ඒවා නැවත සිටුවා මුල් දිග පමණට දිය වත් කළහ.

අකිඳු ගේ සිතුවමක්

මෙසේ කිහිප දිනකම උන් මුල් ඇද දිග බලා දිය වත් කෙරෙමින් සිටින කල, බමුණකුව ඉපිද සිටි බෝධිසත්වයෝ මේ උයන අසලින් යන්නට ආහ. වඳුරන්ගේ මේ අමනෝඥ ක්‍රියාව දුටු හෙතෙම, "මෙවැන්නක් කිරීමට තොපට අණ කළේ කවරෙක් දැ" යි තුරු ගලවමින් සිටි වඳුරන් ගෙන් ඇසීය. "අපගේ නායක වඳුරා", යි ඔවුහු පැවසූහ. "නායකයා ගේ බුද්ධිය මෙසේ නම්, සෙස්සන් ගැන කවර කතා දැ," යි පැවසූ බෝසතුන් මෙවන් අදහස් ඇති පළමු ගාථාව පැවසූයේය;

'රැලකට නායක හොඳම එකාගේ
නුවණ මෙසේ වෙයි මහම සතා ගේ 
තේරූ ගොන් රැල නායක වාහේ 
උන්ගෙ තරම කුමකට පවසායේ'

(Best of all the troop is this
what intelligence is his?
If he was chosen as the best,
what sort of creatures are the rest!)
 
එබස් ඇසූ වානරයෝ දෙවෙනි ගාථාවෙකින් මෙසේ පිළිවදන් දුන්හ;

'බමුනාණනි, නුඹ පවසන මෙබසා
නොවටී අප හට බැනුමට එලෙසා
නොදතොත් මුල් දිග තුරු වන රෝපා
දිය දෙන්නේ කෙලෙසක අප, සීපා'

(Brahmin, you know not what you say
blaming us in such a way!
If the root we do not know,
how can we tell the trees that grow?)

එයට බෝසත්හු මෙසේ තෙවැනි ගාථාවෙක් පැවසූහ.

'වානරයිනි, තොප හට දොස් නොකියම්, 
දවසරිනා තුරු අතරෙහි කිසියම්.
"මා නැති කල මගෙ ගස් එවපන්නේ"
කී රජිඳා මය ගොන් රජු වන්නේ'

(Monkeys, I have no blame for you,
nor those who range the woodland through.
The monarch is a fool to say
"Please send my trees while I'm away.")


"මෙකල උයන් පල්ලාගේ පුත් එකල විසූ වානර රජු," බැව් පවසා පූර්වාපර සන්ධි ගලපමින් භාග්‍යවතුන් වහන්සේ 'ආරාම දූස ජාතක' දේසනය නිමවා වදාළ සේක.

ජාතක කතාව ගැන අකිඳු ගේ විවරණය:

මේ කතාවෙන් අපට ලබා ගත හැකි මනා උපදෙස් කිහිපයෙකි.

01. නිසි කල කළයුතු දේ පසෙක ලා ඒ වේලෙහි නොකළ යුතු වූ වෙනත් දැයෙහි නිරත වීම නොහොබී.

02. නායකයෙකු තෝරා ගත යුත්තේ ඔහුගේ බුද්ධිය සහ එහි ප්‍රායෝගික භාවිතය සලකා මිස ඔහුට ඇති ජනප්‍රියත්වය සලකා නොවේ.

03. නායකයෙකු ප්‍රකාශ කළ පමණින් යමක් නොකොට ක්‍රියාවෙහි පල විපාක ගැන සලකා කටයුතු කිරීමට ඔබ වග බලා ගත යුතුය.

ආප්තය (Moral):
යහපත් ක්‍රියා, අයහපත් බවට හැරවිය හැක්කේ අමනයින්ට පමණි.
(Only fools can make good deeds into bad ones.)

ප.ලි. : අකිඳු ඉදිරිපත් කළ වර්තමාන උදාහරණය (Modern Example) මීළඟ ලිපියෙන්.

Friday, June 15, 2012

ෆර්නැන්ඩෝ

මා මිතුර ෆර්නැන්ඩෝ,
ඩ්‍රම් වාදන හඬ ඔබට තවමත් ඇසෙන්නේ ද? 
අද වැනිම වූ තරු පිරි අහසක් තිබුණු එදා රාත්‍රිය; 
බොහෝ කල් ගතවී ඇතත් මට හොඳින් මතක තිබෙන ඒ රාත්‍රිය;   
ඔබ ගින්නෙන් නැගුණු ආලෝකයේ හිඳ,
ඔබේ ගිටාරයේ තත් මුදු ලෙස වයමින්,
ඔබටම ගීයක් මුමුණමින් සිටියෙහි ය.
මට ඈතින් නැගෙන යුධ ඩ්‍රම් වාදනය පැහැදිලිව ඇසෙන්නට විය. 
යුධයට සෙබළුන් කැඳවන බියුගල් නාදය ද දැන් දැන් සවනත වැකෙයි.

ෆර්නැන්ඩෝ, දැන් ඔවුන් වඩාත් ළංවී ඇත.
ගත වන සෑම පැයක් ද සෑම විනාඩියක් ද අනන්ත කාලයක් සේ අපට දැනෙන්නට විය.
මා මිතුර ෆර්නැන්ඩෝ, මම බෙහෙවින් බිය වී සිටියෙමි.
එවක අප තරුණයින් වීමු. ජීවයෙන් පිරී සිටියෙමු.
අපි මරණයට මුහුණ දීමට නොකැමැති වීමු.
භටයන් දැරූ අත් තුවක්කු වලින් සහ කාල තුවක්කු වලින් නික්මුණු වෙඩි හඬ 
මා හඬවන්නට තරම් වූ බව කියන්නට දැන් කුමට ලජ්ජා වෙම්ද?

ඒ රාත්‍රිය යම් උමතු බවකින් වෙලී තිබිණ.
තරු දීප්තිමත්ව බබලන්නට විය.
ෆර්නැන්ඩෝ, ඒ තරු බැබලුනේ ඔබත්, මාත් වෙනුවෙනි.
අප අපේක්ෂා කළ 
නිදහස 
වෙනුවෙනි.
අප පරාජය වනු ඇතැයි සිහිනෙනුදු නොසිතීමු. 
එහෙත් පරාජය පිළිඹඳ පසුතැවීමක් දැන් නොමැත.
ප්‍රිය මිතුර ෆර්නැන්ඩෝ,
එදා කළ දේ ම නැවතත් කරන්නට සිදුවුව ද 
මම අදත් එයට  පසුබට නොවෙමි.
ඔබට නැවතත් කියන වග නම්,
එදා කළ දේ ම නැවතත් කරන්නට සිදුවුව ද 
මම අදත් එයට  පසුබට නොවෙමි. 

මා මිතුර ෆර්නැන්ඩෝ,
දැන් අපි සුදු කෙසැතිව, වියපත්ව සිටිමු.
ඔබ අතෙහි රයිෆලයක් තිබෙනු 
අවසනට දැක දැන් වසර ගණනක් ගතව ඇත.
ෆර්නැන්ඩෝ,
ඩ්‍රම් වාදන හඬ ඔබට තවමත් ඇසෙන්නේ ද? 
අප රියෝ ග්‍රාන්ද් නදිය තරණය කළ
ඒ දෛවෝපගත රාත්‍රිය ඔබේ මතකයෙහි තවමත් තිබෙන්නේ ද?
මව් බිමේ නිදහස වෙනුවෙන් සටන් වැදීමේ සාඩම්බරය
එදා මම ඔබේ දෑසෙහි දුටුවෙමි.

ෆර්නැන්ඩෝ, ඒ රාත්‍රිය යම් උමතු බවකින් වෙලී තිබිණ.
තරු දීප්තිමත්ව බැබැලිණ.
ඒවා ඔබත්, මාත්, අප පැතූ නිදහසත් වෙනුවෙන් බැබැලිණ.
අප පරාජය වනු ඇතැයි සිහිනෙනුදු නොසිතු නමුදු,
දැන් පරාජය පිළිඹඳ පසුතැවීමක් නොමැත.
ප්‍රිය මිතුර ෆර්නැන්ඩෝ,
එදා කළ දේ ම නැවතත් කරන්නට සිදුවුව ද 
මම අදත් එයට  පසුබට නොවෙමි.
Can you hear the drums fernando?
I remember long ago another starry night like this
In the firelight, Fernando
You were humming to yourself 
and softly strumming your guitar
I could hear the distant drums
And sounds of bugle calls were coming from afar

They were closer now, Fernando
Every hour every minute seemed to last eternity
I was so afraid, Fernando
We were young and full of life and none of us prepared to die
And I'm not ashamed to say
The roar of guns and cannons almost made me cry

There was something in the air that night
The stars were bright, Fernando
They were shining there for you and me
For liberty, Fernando 
Though I never thought that we could lose
There's no regret
If I had to do the same again
I would, my friend, fernando


 Now we're old and grey fernando
And since many years I haven't seen a rifle in your hand
Can you hear the drums Fernando?
Do you still recall the frightful night we crossed the rio grande?
I can see it in your eyes
How proud you were to fight for freedom in this land

There was something in the air that night
The stars were bright, Fernando
They were shining there for you and me
For liberty, Fernando
Though I never thought that we could lose
There's no regret
If I had to do the same again
I would, my friend, fernando

There was something in the air that night
The stars were bright, Fernando
They were shining there for you and me
For liberty, Fernando
Though I never thought that we could lose
There's no regret
If I had to do the same again
I would, my friend, Fernando
Yes, if I had to do the same again
I would, my friend, Fernando..