Tuesday, December 11, 2012

ඔබ හට වයිරව රවුලා කුඩ කොඩි ඈ ගුවන ලමින් - මහිමෙට තද තෙද පවුලේ පෙන්නා ඉඳිතෙයි කී දැන්


"රවුලා මැරී, රම් රජ." - සිදත  



කවුද මේ රවුලා? 


වෙන කව්රුවත් නෙවෙයි, මේ දවස්වල අතිශයින් කතා බහට ලක් වන 'රාවණා' තමා රවුලා කියා සිදත් සඟරා කතු හැඳින්වූවේ. යම් හීනමානයකින් පීඩා විඳින්නන් රාවණා ගැන නොයෙක් පූර්ණිකාවන් හිතෙන හිතෙන අයුරින් කියන බව පෙනේ. එබැවින් රාවණා පිළිඹඳ ජන සාහිත්‍යයේ සහ රාමායණයේ සඳහන් කරුණු ඇත්තටම මොනවාදැයි යන්න සොයා බැලීම වටනේ යයි අපට සිතුනි.

සියල්ලටම කලින් අප වටහා ගත යුතු වූ සත්‍යයන් කිහිපයක් වෙයි.

01. රාවණා නමින් රජෙක් හෝ ඔහු සතු රාජ්‍යයක් පිළිඹඳ කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ලංකාවෙන් මෙතෙක් හමුවී නොමැත.

02. රාවණා යනු වාල්මිකී නම් බමුණු ලේඛකයකු (බොහෝ අය බමුණු පඬිවරයකු ලෙස හඳුන්වන නමුත් ඔහුගේ ඇති විශේෂ පාණ්ඩිත්‍යයක් මට නොපෙනේ)  ලියූ කථාවක එන චරිතයකි.

03. රාමායණය හා සමාන කථාවක් ජාතක පොතෙහි වේ. එහෙත් ඒ ජාතකයෙහි රාවණා කෙනෙකු නොමැත. (බුදු සරණ පුවත් පතින් මම කියවා ඇත්තෙමි. ජාතකයෙහි නම අමතකය.)

04. තොටගමුවේ සිරි රහල් හිමියන් රාමායණය කියවීම හෝ කියා දීම මිත්‍යා දෘෂ්ටියක් සහ සම්පප්‍රලාපයක් ලෙස හඳුන්වා ඇත.


"නොයෙක්‌ මිස දිටු           ගත්

අයෙක්‌ කව් නළු රස          දත්

පෙර තමතමනු                 ගත්

රාම - සීතා කතා       තෙපලත්" - ගිරා සංදේශය, 108 පද්‍යය


"රාමායණ                      බරත

ඇතුළුව දෙඩුම්             මුවයුත

කීමුත් බස්‌                      නිරත

යුතුව දෙ අඟින් දනුව   නියවත" - කාව්‍යශේකරය


05. රාමායණයෙහි එන රාවණා චරිතය සහ ඔහුගේ නිර්මාණ පමණක් සත්‍ය ලෙස පිළිගෙන අනෙක් සියල්ල අසත්‍ය ලෙස බැහැර කිරීමේ (තමාට උවමනා පරිදි හරවා ගැනීමේ) පදනමක් නැත. [බොහෝ හෙළයන් ගේ මතය මෙය බව පෙනේ.]


රාවණා හෙවත් රවුලා 


වාල්මිකී ගේ රාමායණයේ එන පරිදි රවුලා කව්දැයි මුලින්ම බලමු;

පුලස්ති නම් ඉසිවරයාට දාව නිකශා නම් අසුර මවකගෙන් උපන්නේය. පුලස්ති මහා බ්‍රහ්මයාගේ කල්පිත පුත්‍රයකු බැවින් රාවණා, සුර අසුර දෙපසටම නෑ කම් දක්වයි.


"රාවණා සිය සොහොයුරන් දෙදෙනා සමග උග්‍ර තපසක් පවත්වමින් මහා බ්‍රහ්මයාගේ අවධානය යොමු කරගත්තේය. සියල්ලන් අබිබවා බලය ලබා ගැනීම ඔහුගේ චේතනාව විය. දස හිස් ඇති රාවණා අවුරුදු දහසින් දහසට සිය හිසක් බැගින් කපා හෙළා දස වැනි හිසට ඇත තබත්ම මහා බ්‍රහ්මයා ඔහු වෙත පැමිණියේය. කුමක් නිසා ඔහු පැමිණියේ දැයි විමසූ රාවණාට මහ බඹු මෙසේ කීවේය. 'තොප රෝගයක් බඳුය. රෝගයක් නො සලකා නො හැරිය යුතුය. එබැවින් අවශ්‍ය වරය කුමක් දැයි දන්වනු.' මහබඹු කී වදනට පිළිතුරු දුන් රාවණා, සුරයන් හා අසුරයන් විසින් තමාව පැරදවිය නො හැකි වන ලෙස බලයක් ඉල්ලුවේය. රාවණාගේ ඛේදවාචකය මෙතනින් ආරම්භ වුනු බව පළ වෙයි. එනම් එතරම් දුරට කල්පනා නොකිරීමේ හේතුවෙන් ඔහු මනුෂ්‍යයන් ද බලවත් පිරිසක් බව නොසිතුවේය. දුර දක්නා මහබඹු හනික වරය දුන්නේය. අනතුරුව විෂ්ණුට මනුෂ්‍ය වේශය ගන්වා ඔහු ලවා රාවණා පරාජය කරවන ලදී."

                   - උපුටනය 'මධුර ජවනිකා' - දයානන්ද ගුණවර්ධන


වර ලැබීමෙන් පසු රාවණා, කුවේර හෙවත් වෙසමුණි පලවා හැර ලංකාව අත්කරගත් බවද කියවේ. ඒ අනුව රාවණා සැබෑවටම ලක් වැසියෙක්ද යනු පවා සැකයෙකි.


ඉන් පසුව හේ යක්ෂයන් ගේ බලය මුදුන් පෙත්තටම නැංවූයේය. සුරයන්ට නොයෙක් කරදර පැමිණවීය. ඒ දරා ගත නොහී විෂ්ණු, රාම ලෙස දශරථ රජුගේ බිරියක වන කෞශල්‍යාවගේ  කුස පිළිසිඳ ගත්තේය.


අයෝධ්‍යාවෙහි ඔටුන්න හිමි කුමරු ලෙස වැඩුණු රාමට දශරථ රජුගේ තවත් බිසවක වූ කෛකේයි ගේ දුෂ්ට ක්‍රියාවක් නිසා ඔටුන්න හැරපියා වනගත වන්නට සිදුවිය. ඔහු ගේ බිරිය සීතා ද අඩ සොයුරු ලක්ෂ්මණ ද ඔහු සමග ගියහ.


මොවුහු දණ්ඩක ආරණ්‍යයේ විසූහ. එහිදී ලක්ෂ්මන කුමරු දුටු රාවණ ගේ සොයුරිය සුපර්ණකා ට ඔහු පාවා ගන්නට සිත් විය. විවාහ යෝජනා ක තැන කිපුණු ලක්ෂ්මන යෝජනාව පිලිගන්නවා වෙනුවට ඇයගේ කන්, නාසා කපා දැමීය. මේ අවනඩුව රාවණා ට කී කල්හි ඔහු පැමිණ රාමගේ බිරි සීතා පැහැර ගත්තේය.




මේ ලිපියට මාතෘකා වූ කවි දෙපදය ද මා සොයා ගත්තේ 'මධුර ජවනිකා' පිටපතෙනි. ඒ රාවණා කථාව නමින් හඳුන්වා ඇති වී. ඩී. ද ලැනරෝල් මහතාගේ පද්‍ය පන්තියකි. (පද්‍ය 15කින් සමන්විතය.) 


සඟවන්නේ නැතුව එවග මලනු ව මහ රාම                කුමරු 

මම යන්නේ මල් බෑයෙනි සිරිලක බලනට               විසිතුරු 

සමගින් ඒ විභීෂණ ද හනුමන්තා සමග                     සොඳුරු 

ඇවිදින් ලංකාව තුළට සිත විලසින් ඉතා                    රුසිරු

යනවර රාවණ රකුසා විස්මව එළියට                        බැසලා

වානර කොල්ලන් යන රඟ බලා නුවන් යුග               හැරලා

චාමර කොඩි කුඩ සේසත් විජිනිපත් ද ගෙන               අල්ලා

කේසර සිහ රජෙක් විලස උන්නයි පායට                  නැගිලා

                                   - රාවණා කථාව - වී. ඩී. ද ලැනරෝල්


ඉහත පද්‍ය යන් ගෙන් කියැවෙන්නේ රාවණ සමග සටනට රාම ලක්දිවට පැමිණි අයුරුත් රාවණ දැක්වූ ප්‍රතිචාරයත් වේ. ඉදින් රාම, රාවණ සමග යුධ කොට ඔහු මරා අශෝක වනයේ සඟවා සිටි සීතා කුමරිය බේරා ගත්තේය. 


රාවණා සිටියේ ද? නොසිටියේ ද?

මෙයට නිශ්චිත පිළිතුරක් දිය නොහැකි නමුත් මෙහිදී පක්ෂග්‍රාහී නොවී වඩා විවෘත මනසකින් බැලිය යුතු බව පෙනේ. පුරා විද්‍යාත්මක ශාක්ෂි නොතිබීමෙන්ම යමක් සිදු නොවූ බව අපට පැහැදිලිවම කිව නොහැක.

*රාම රාවණා යුද්ධය බුද්ධ වර්ෂයට පෙර 1844 දී සිදුවූ බව රාජාවලිය පවසයි. 

*රාවණා වෘතාන්තය සම්බන්ධවන ස්ථාන නාම මෙන්ම රාවණා නමින් නම් කල නොයෙකුත් ස්ථාන ද ලංකාව පුරා දැකිය හැක.

- නුවරඑළි දිස්ත්‍රික්කයේ රාවණාගොඩ, සීතා කෝවිල, සීතා එලිය / බදුලු දිස්ත්‍රික්කයේ රාවණා ඇල්ල, රාවණ ගුහාව / රත්නපුර දිස්ත්‍රික්කයේ රාවණා කන්ද, සීතා ඇල්ල, සීතාගල, සීතාවක / ගිනිකොනදිග වෙරළේ මහා රාවණා සහ කුඩා රාවණා කොටු / මහනුවර දිස්ත්‍රික්කයේ උඩුරාවණ, යටිරාවණ, රාවණාතොට යනාදී ස්ථාන  

*රාවණ රජු ගේ බස තෙලගු බවත්, කුමාරතන්ත්‍ර, අර්ක ප්‍රකාශ, නාඩි ප්‍රකාශ, උඩිස්තන්ත්‍ර, ශිවතාණ්ඩව ස්තෝත්‍ර යන ග්‍රන්ථ ඔහු විසින් රචිත බවත් සුළු රාජාවලිය දක්වයි.

*රාවණ ඇල් නමින් වී වර්ගයක් ද ලංකාවේ පැරණි වී වර්ග අතර වේ.

*රාවණ සොයුරු විභීෂණ කැලණියේ වන්දනාවට පාත්‍ර වීම.

*රාම රාවණ කථාව බොහෝ ආසියාතික රටවල ප්‍රචලිත වීම සහ ඒ රටවල (ලංකාවේ හැර) ජන රංගයක් ලෙස මේ කතාව බොහෝ විට ඉදිරිපත් වීම.

(ඉහත තොරතුරු නැවතත් මධුර ජවනිකා පිටපතෙනි.
රාවණ ගේ කේන්ද්‍රය ද එහි දැක්වෙයි. වැලිපටන්විල ශ්‍රී දීපංකර හිමි සංස්කරණය කල මයුර සංදේශයෙන් උපුටා ගෙන ඇත.)
රවණා ගේ කේන්ද්‍රය

කොහොමින් කොහොම හෝ රාවණා වෘතාන්තය රසවත් කතාන්තරයක් බව අප සැම අවිවාදයෙන් පිළිගත යුතුය. ජෝන් ද සිල්වා ශූරීන් කළ 'රාමායණය' නුර්තිය මනරම් ගී රැසකින් යුක්තය.

*සවන්දී පෙර රාම චරිතේ අසව් 

*බන්දා මා දේ දෝ පියානෝ 

*ශ්‍රියා මන මත් වී 

*පත්මේකි පේන මූණා 

*පායන මේ බැද්දෙ තාරපති 

*සීතා මා සිරියා 

රාවණා පිස්සුවක් හදාගෙන කල්පිත ලොවක ජීවත් වෙමින් වාද විවාද වල පැටලී ලේ රත් කර ගන්නවා ද, රාවණා වෘතාන්තය ඇසුරින් නිමවුණු කව් නළු රස ඇසුරේ තුටු වනවා ද යන්න ඒ ඒ අයට  අයත් කාර්යයෙකි. 


කාව්‍ය ශාශ්ත්‍ර විනෝදේන - කාලෝ ගච්ඡති ධීමතාං 

ව්‍යසනේනච මුර්ඛානං - නිද්‍රයා කලහේනවඃ  

රාම විසින් බේරාගත් සීතාට කුමක් වීදැයි මීළඟ ලිපියෙන් විමසමු.

21 comments:

  1. අර ජාතක කතාව 'දශරථ ජාතකය' නේද.??

    ReplyDelete
    Replies
    1. උදැහැනැක්කෙම ඇවිදින් කමෙන්ටුවක් දැමීම ගැන බුරා ට ස්තුතියි. මං බ්ලොග් එක පැත්තේ ආවෙත් සෑහෙන කාලෙකින්. ඒ ආ සැනින් මා බලන්ට ආ එක ගැන කෘතඥ වෙනවා.
      මං හිතන්නේ බුරා හරි. දැන් මටත් ලාවට මතකයි දශරථ ජාතකය වගේ නමක් කියල.

      Delete
    2. මාත් උදේ පාන්දරම මේ පැත්තේ ආවා. ඒත් මට සිංහල සාහිත්‍ය හෝ මේ විෂය ගැන අවබෝධයක් නෑ. කට වහගෙනම යන්න ගියා. (දැන් තමයි ආයේ ගෙදර ආවේ.)මේ කොමන්ට් එක දාන්නෙත් ආපහු ආව එක ගැන සතුටුයි තව තව ලියන්න කියන්නයි.

      Delete
    3. මේක ලියන්න හුග කාලෙක ඉදන් ප්ලෑන් කරගෙන හිටියෙ, ඇත්තටම වෙලාවක් තිබුනෙ නැහැ. මෙ ලිපිය රන්ගිට එච්චර රසවත් නතිවුනාට මීලග ලිපිය රසවත් වන බව විශ්වාසයි.
      මෙ පැත්තෙ ආපු එක ගැන ගොඩක් සතුටුයි.

      Delete
  2. ජාතක කතා හා වෙනත් සාහිත්‍යය අතර සමීපස්ත බව අපට නොයෙක් වර දකින්නට පිළිවන්, උදා: කඪහාරි ජාතකයේ එන කතාව අභිඥාන ශාකුන්තලයට සමීපයි.. අපට හරියටම කියන්නට බෑ මොකෙන් මොක උපුටා ගත්තාද කියලා..

    ReplyDelete
    Replies
    1. බොහොම හරි. ඒ නිසා තමා සමහර ජාතක කතා තවත් රටවල ජනකතා ස්වරූපයෙන් තියෙන්නේ. හොඳ උදාහරණයක් තමා උමන්දාවේ දරු ප්‍රශ්නය.

      Delete
  3. මොනව කියන්නද මන්දා ,. හොඳ ලිපියක් . ආපු එකට සන්තෝෂයි . මටත් ඔය රාවනා හිටියද නැද්ද කියන එක ගැන හරියාකාර අදහසක් නැහැ . හිටියා වුනත් ආයේ නැගිටිනවා වගේ කෝලම් නම් ඕනෑම නැහැ .
    ඔය රාවණ දිය ඇල්ල . රාවණ කපොල්ල හෙම නම් හැදුනේ කොහොමද දන්නේ නැහැ .

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඔය නම් හැදුනු හැටි ගැන කව්රුහරි ශාශ්ත්‍රීය පරීක්ෂණයක් කරනවා නම් හොඳයි.
      අපේ දහම් පාසලේ හිටපු විදුහල්පති හාමුදුරුවෝ සීතා එළියේ පන්සලක් හදාගෙන ඉන්නවා. පන්සලට දාල තියෙන නම, 'සීතවනාරාමය'. අනාගතේදී කව්රුහරි කිව්වොත් මේකත් සීත කුමාරිය හිටි තැනක් කියල අපට පුදුම වෙන්ට දෙයක් නෑ.

      Delete
  4. කලබල කොමෙන්ටුවක් දාල ගියේ ගෙදර පොඩි අර්බුදයක් විසඳන ගමන් ..

    සැළලිහිණි සන්දේශයේදී විභීෂණ දෙවියන් හමුවට නේද එවන්නේ . එතනදී තොටගමුවේ හිමි සාහිත්‍ය කරණයට මෙය යොදා ගන්නේ හුදු නිර්මාණයක් ලෙස වෙන්න ඇති. හැබැයි අනෙක් පැත්තටත් තර්කය පෙරලන්න පුළුවන්නේද උවමනා අයට

    කොහොම වුනත් කතා රසය විඳීම පමණක් ගැන කියූ දේට මා කැමතියි

    ReplyDelete
    Replies
    1. මේකයි, ඔය රාමායනය, මහා භාරතය වැනි කථා දිගට දිගට ඇදෙන කෙළවරක් නැති ජාතියේ කතා. ඒ නිසා තමයි මේවා කියවීම සම්ඵප්‍රලාප ලෙස හැඳින්වුයේ. අනෙක තමයි ඉන්දියානු බමුණන් මහා ඉහලින් සලකන කෘති සිංහල බෞද්ධයන් මායිම් නොකරන බව පෙන්වීම. දේව සංකල්පයට පහර ගැසීම.

      Delete
  5. මකරන්දයේ අලුත් පොස්ටුවක් දැකීම සතුටකි, විෂය ගැන බොහෝ තොරතුරු කියවා දැන ගත්තෙමි.

    ReplyDelete
    Replies
    1. ඩීන් අයියා මේ පැත්තේ ආපු එක ගැන සන්තෝසයි. ලිපියෙන් වැඩක් උනා නම් සතුටුයි. ඔබතුමාත් ලඟදි මුකුත් ලියල නැහැ වගේ. කාර්යබහුල වීමද, හේතුව?

      Delete
    2. ඉක්මනට අලුත් පොස්ටුවක් කරන්න බලාපොරොත්තු වෙමි.

      Delete
  6. "...රාම රාවණ කථාව බොහෝ ආසියාතික රටවල ප්රචලිත වීම සහ ඒ රටවල (ලංකාවේ හැර) ජන රංගයක් ලෙස මේ කතාව බොහෝ විට ඉදිරිපත් වීම..."

    මෙ කතා පුවත මුල් කරගත ආගමික උත්සවක් හින්දු භක්තිකයින් අතර ප්‍රධාන තැනක් ගනී.

    අපේ රටේ දමිල ජනතාවට ද ආගමික වැදගත්කමක් ඇති, දින දසුනේ ජාතික නිවාඩුවක් සටහන් කෙරෙන දීපාවලී එම (2012 නොවැ 13දා යෙදුන) උත්සවය වේ, තවද ඔවුන් තීපාවලි හැටියටත් උච්චාරණය කරයි. තමිල් නාඩුවේ ද දීපාවලි හැටියට කිව්වත් ඉන්දියාවේ අනෙක් පලාත්වල මෙන්ම අනෙක් හින්දු ජනතාව අතර මෙම උත්සවය ප්‍රසිද්ධ දීවාලී හැටියටයි.

    දීවාලී යනු භාරතය පුරා මෙන්ම ලොව පුරා හින්දු භතිකයින් ඉතා හරසරින් සමරන හින්දු ආගමික උත්සවයකි. ඉන්දියාවේ ප්‍රන්තයෙන් ප්‍රාන්තයට දීවාලි උත්සවයට මුල් වෙන හේතු විවිධය. හින්දු ජනප්‍රවාදයේ හැටියට වසර 14ක් තම රාජ්‍යයේ හා වැසියන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් රටින් පිටුවහල් වී කැලෑගත වී සිටි රාමා රජු හා සීතා බිසව පෙරලා පැමිණීමේ දී පිලිගැනීමට පහන් දල්වා පේළියට සැරසුවාලු. ජනයා රසකැවිලි අනුභව කර ප්‍රීතිඝෝෂා නැගුවාලු.

    ඔවුන් ගේ ජනප්‍රවාදය අනුව රාමා විසින් රාවණා රජු පරාජය කර, ලංකා රාජ්‍යය ගිනිබත් කර, විනාශකර, රාමා හා සීතා නැවත අයෝධ්‍යා නුවරට සැපත්වීම සැමරීමයි දීවාලී ලෙස හැඳින්වෙන්නේ. මෙතැන ලංකා රාජ්‍යය ලෙස ගැනෙනේ රාවණා කොටුව වෙන්න ඇති (රාවණා කොටුව, රාමා-සීතා හා රාවණා සම්බන්ධ වූ කතා කියමින් අපිට සමච්චල කරන්න ඔවුන් අමතක කරන්නේ නැහැ).

    දීවාලී යන වචනයේ තේරුම දිලිසෙන පහන් පේලිය යන්නයි. දකුණු ඉන්දියාවේ (දෙමලින්) දීපාවලී කියයි.

    ඉන්දියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට දීවාලී සමරන කාරණය වෙනස්; ඒත් පෙදුවේ අඳුර පලවා හැර ආලෝකමත් කරන, වාසනාව හා සහයෝගීතාවය පෙරදැරි කරගත් සංස්කෘතික අංගයකි.

    දීවාලී රසකැවිලි වලින් පිරි, ඉන්දීයන් රන් අභරණ මිලදී ගන්නා (දිලිසීම පෙලිඹිබුකරන සංකේතයක්) පාටින් පිරි දිලිසෙන ඇඳුමින් සැරසෙන උත්සවයකි.

    දකුණු ඉන්දීය හින්දු උදවිය දින පහක් පුරා උත්සවශ්‍රීයෙන් සමරන දීපාවලිය රසකැවිලි වලට අමතරව ඔවුන්ගේ සම්ප්‍රදායීක මුරුක්කු හා කෑම බීම ආදිය මුල් තැන ගනී. මගේ මතකයේ හැටියට තමිල් නාඩුවේ දීපාවලී දිනකට කලින් සමරයි, ඒ සම්ප්‍රදායම තමයි ලංකාවේ ද අනුගමනය කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඩීන් අයියා දීපවාලිය ගැන අපූරු විස්තරයක් කරලා තියෙන්නේ. හින්දූන් අතර රාමායණය රඟ දැක්වීම සාමාන්‍යයෙන් කොයි රටෙත් වෙනවා.
      නමුත් බොහෝ ආසියාතික රටවල හින්දූන් නොවන ජන කොටස් අතරත් රාමායණය ජන රංගයක් ලෙස ඉදිරිපත් වෙනවා. උදා. තායි බෞද්ධයින්, ඉන්දුනීසියන් මුස්ලිම් වරුන්.
      නමුත් ලංකාවේ බෞද්ධයන් රාමායණය මුළුමනින්ම වගේ ප්‍රතික්ෂේප කළා. කතාවේ දුෂ්ටයා ලක්දිව පාලකයා වීම ඊට බොහෝ දුරට හේතු වන්නට ඇති.

      Delete
  7. කාලෙකින් පස්සෙ, දකින්නත් සන්තෝසයි.
    හිටියා හෝ නැතුවා හෝ මමත් කැමතියි කතා රසය විඳින්නට. කතාවක් පමණකි කියලා හිතුවොත්, ඒ කාලෙ හැටියට අපූරු විද්‍යා ප්‍රබන්ධයක්!

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබෑව. විද්‍යා ප්‍රබන්ධයක ලක්ෂනත් රාමායණේ තියෙනවා තමා. ඒත් ඒ විෂයෙන් ගත්තොත් උමංදාව ඊට ඉදිරියෙන් ඉන්නවා.
      -------------------------------------
      බැලුවම අපි හොඳ සහෘදයෝ. මොකද හැමෝම කැමති හිටියද නැද්ද වාදේ අමතක කරලා කතා රසය විඳින්න.

      Delete
  8. පහුගිය කාලෙ තිස්සෙ රාවණාව හප කරනව දැක්ක විදිහට දැන්නම් මට ඔය ගැන කිසිම රහක් නැති ගාණයි. මේ දවස්වලත් ලෝක විනාසෙ අල්ලගෙන මීඩියාකාරයෝ රාවණාව පට්ට ගහනව. මොනව වුණත් අලුත් ලිපියක් දාපුඑක සතුටක්. ටිකක් වැඩිපුර ලියමු.....

    ReplyDelete
    Replies
    1. උදාරට ස්තුතියි!
      හැබෑට රාවණා අද හිටියනං කට්ටියට නඩු දානව.

      Delete
  9. මීවනපලානේ ගොයියත් දැන් සද්දයක් නැහැනේ

    ReplyDelete
  10. ඔය කියන කෙනා ලියන දේවල් නං හරිම හාස්‍ය ජනකයි.
    හසිතගේ කමෙන්ටුවට ස්තුතියි.

    ReplyDelete