Thursday, December 27, 2012

'බ්ලොග්' ආවර්ජනා


දුර ඈත මහ මේඝ                 ගර්ජනා

පැල් බැඳ වැසි වසින            තර්ජනා

සිත විපිලිසර වී                     වර්ජනා

එසඳ විය 'බ්ලොග්'           ආවර්ජනා


අථත්‍ය ලොවට ගොඩ                 වැද

ලීවෙමි බ්ලොග් මනෝ               නද

ථත්‍ය ලොව නිදි                          වැද

සිටින සඳ පල කළෙම් විලි          වැද



මම මුලින්ම කියවූ බ්ලොගය ඉංග්‍රීසි බසින් පළවුණු එකක්. ඒ තමා 'පාවුලෝ කොයියෝ' ගේ බ්ලොගය. කියෙව්වේ මූණු පොතෙන්. ඔය අතර මගේ ළමා කල යෙහෙළියක් වූ බින්දි මූණු පොතෙන් වසර ගණනාවකට පසු හමුවුනා. මොකද්දෝ නෙළුම් විලක දිගුවක් (link) ඇය මට මේල් කර තිබුණා. මේ මොකද්දැයි මට මුලදි වැටහුනේ නැහැ. මගේ යෙහෙළියගේ සැබෑ නම මිසක අන්වර්ථ නාමයක් මා දැන සිටියේ නැහැ නොවැ. ඒ නිසා බින්දි යනු කවරෙක්දැයි අවබෝධයක් තිබුනේ නැහැ. ඒ නිසා එය කියෙව්වෙත් නැහැ. පසුව යලිත් වරක් ඇය මට එම දිගුවම එව්වා සටහනකුත් සමග. එනම් ඒ ඇය විසින් ලියන බ්ලොගයක් බවත්, මට කියවා බලන ලෙසත්.  සාමාන්‍ය පෙළ හදාරන අවධියේ ඇය කුදු ගොත් රචනා පොතක් ලියූ බව මට මතකයි. ඒ දිනවල මා ඈ ලියූ දෑ අගය කළා. සමහර විට විවේචනය කළා. ඒ මතකයනුත් අලුත් කරගනිමින් මම නෙලුම් විලට බැස්සා. එහි පිපුණු මනරම් නෙලුම් මා ප්‍රහර්ෂයට පත් කළා. "එහෙමනං බින්දිත් කියවල තියෙන්නේ මං කියපු පොත් මයි. ඒ විතරක්ද ඒ පොත්ම කියවූ තව සහෘද රැලක්ම ඉන්නේ," මට හිතුන. එතෙක් මා සිතා සිටියේ මා කියවන ගනයේ පොත පතට ඇළුම් කරන අය බෙහෙතකටවත් සොයා ගත නොහැකියි කියා. ඇගේ බ්ලොගය පිළිඹඳ මගේ වර්ණනාව මා මූණු පොතේ මේලයකින්ම දැන්වුවා. ඒ සමගම සිංහල අකුරු කොටන්නට ඇති මගේ නොහැකියාව නිසා කමෙන්ටුවක් පල කල නොහැකි වීම ගැන කනගාටුව පල කළා.   මෙන්න ඒ සැරේ ඇ මට තවත් දිගුවක් එවනවා. "මේක පාවිච්චි කරලා බලන්න, මමත් පාවිච්චි කරන්නේ මෙයයි," කියා. ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් දිගුවයි ඒ. ඔන්න ඉතින් මමත් සිංහලෙන් අකුරු කොටා නෙළුම් විලේ කමෙන්ටු දමන්න පටන් ගත්තා. ඒ සඳහා පොත් ගුල්ලා යන අන්වර්ථ නාමය යොදා ගත්තා. 

නෙළුම් විලට බැස්ස           සඳේ

පිපී නෙළුම් හතර               අතේ

මල් වටකර බමර               රඟේ

සිත පුරවා ගතිමි                මගේ


වියට්නාමෙ                   විස්තරයි

තව රුසියන් පොත්           වැලයි

සඳ බනිසක් කන්නට නම්

මගේ හිතත් කෙල             හලයි



බනියා සම්ග ලොක්කී ගැන රස                  කවි ය

පැත්තකින් ඉඳන් සැමියා දෙයි                     සවිය

පෙම්වන්තයින් රැසකුත් සිටි බව                  සරි ය

එනමුත් සිය හිමිට බැඳි සිත එක                   සරිය 


නෙළුම් විලේ කමෙන්ටු දැමූ අනෙක් බ්ලොග් කරුවන් මොනවද ලියන්නේ යන්න ඉන් පසුව මා විපරම් කරන්න ගත්තා.

නෙලුම් විලේ මල් බලමින් යන                     කලට

නලිනි චන්දිමා හමුවිය මගෙ                       නෙතට

බුරතීනෝ, පොකූ, ටී.ජී. යන                          අයට

දුනයි මසිත කොකාවෙල සහ තව                අයට


ඒ අතරින් බලවත් සේ සිත් පැහැරගත් තවත් බ්ලොගයක් වුනේ නලිනි චන්දිමා වෛද්‍ය තුමිය ලියූ, 'සිත් ආර' යි. මට නම් මුලදි හිතුනෙම මේ කවුරු නමුත් ප්‍රවීණ ලේකඛයෙක් යම් හේතුවක් නිසා අන්වර්ථ නමකින් පෙනී සිට කෙටි කතා ලියන බවයි. 

සිත් ආර මන                        නද

කෙටි කතා ගෙන එන            සඳ

ප්‍රකම්පන වී                          හද

හැඬී, පවසනු කවර වරද           ද



හෙණ වැදුණු නගරයක මිනිසුන්ගෙ                    ආකල්ප

ලොවේ කෙලවරට ගොස් ඇලවු කඩදහි                  පල්ප

ගුලි පුතා, ඩොගී සහ රාළහමි                            බණ්ඩා ද

සිල් ගන්ඩ පන්සලට යන්නටම                           ඕනෑ ද?


අග මුලක් නැති                       කතා 

බාල කාලේ                             කතා

රෝහලේ දුක්                          කතා

තව නොයෙක් රස                   කතා


එක පතට හිඳවලා

මේස හැන්දෙන් එකක්

දවසකට තුන් වරක්

පෙවී, වෙද හාමිනේ


ඊළඟට මගේ හිත ගියේ පොඩි කුමාරිහාමි (පො.කු.) ගේ බ්ලොග් රාජයා ට.ඒක නං බ්ලොග් රාජයෙක් ම තමයි. දිග ලිපි, දිග කමෙන්ටු වැල්, කමෙන්ටු අස්සෙත් තව ලිපි. මුලදි නං අන්දුන් කුන්දුන්. පස්සේ තමා ටික ටික වැටහුනේ. 

අත්තම්මගෙ           මිනිපිරී

නීතාටයි                සැළකිලී

වටකරගෙන පිරිමි ගොඩක්

හිටියට නැහැ කිසි         වලී


පුරාණ ආදර                             කතා

අරගෙන එන                        බවලතා

ඔබ නැති නම් හෙළ බ්ලොග් ලොව

මහ ලොකු අඩුවක්                  වෙතා


පො.කු. ගේ හොඳ ගෝල බාලයෙක් වූ දොරකඩ ගහේ මූකලන් බස්සා (DGM බස්සා) ලියන බකුමූණු කතා ත් මගේ සිත් ගත්ත තව බ්ලොගයක්. වැඩි දෙනෙක් ගොඩ නොවැදුනාට බස්සගේ උපහාසාත්මක, ඒ වගේම තරමක් නරුම ස්වරූපයකින් යුතු භාෂා ශෛලියට මා නම් ප්‍රිය කරනවා.


චෙරිස් බෙරිස් කොටා බබා                             හිඳින්නේ

දොරකොඩ ගහේ අතු අස්සෙන්                    එබෙන්නේ

අමුතු අමුතු දේ අප වෙත                          ගෙනෙන්නේ

මේ බස්සා නොමැත හ්ම් හ්ම්                          කියන්නේ


හාමිනේ සමග වලි

වැටෙන කල අපට ජොලි


බොම්බයි මොටයි ගැන ලිපියක්      ලියලා

හින්දි සිංදුවක තියෙනව                 කියලා

බුරා ඇවිත් ඇති තතු හෙලි              කරලා

සිංදුවෙ නැහැ කෑමක් ගැන             කියලා


හැමෝගෙම බ්ලොග් වලට ගොඩවැදිලා දිරිමත් කරන කමෙන්ටුවක් දමා ගිය ඔබ්සර්වර් මහතා මුලදි තමන්ගේ කියල බ්ලොග් එකක් ලිව්වේ නැහැ. ඒත් පසු කලක බ්ලොගයක් ලියන්නට පටන්ගත් සැනින් එතුමා වටා සැවොම වට උනා. අනේ ඒත් කොයි කාලෙකටද? 


අනේ අපට සිටි යස ගජ                       මිතුරාන

කැන්ගරු දේශයෙන් පෑයූ                   සඳ පාන

හඳුනා බ්ලොග් ලියන හැමගේ            සිත් මාන

හැරදා ගියේ ඔබ්සර්වර්                        මහතාන



සී.ටී.බී. කතා රස කර                               කියාලා

සතුටු සිනහ අප හැමටම                         බෙදාලා

සත්තයි කුණුහරුප නොම බැව්                කියාලා

අප හැර ගියේ උපදෙසකුත්                      ලියාලා


'ගල් මල්' ලියන ඩීන් අයියා හොඳ අසූ පිරූ තැන් ඇති මහත්මා ගති ගුණ ඇති හිතවතෙක් බව හඳුනාගත්තා. නවක බ්ලොග් රචකයන් දිරිමත් කරන, නිසි උපදෙස් ලබාදෙන ගුරුවරයෙක්. ඒ වගේම යම් අඩු පාඩුවක් පෙන්නා දුන්නොත් ඉතා නිහතමානීව එය පිළිගන්න පුද්ගලයෙක්. බ්ලොග් ලොවේ දුලබ චරිතයක්.


හිතවත් කම් සපිරි 

ඩීන් සොයුරු සඳ 

මැදපෙරදිග කතර හිඳ 

ගෙන එන රසෝඝ 

රට ඉඳි ද සමගින් 

අනා රස කර කමි, 

හයිකු කවියක් 

දියකර බොන අතර තුර 



ඉතාලියේ ඉඳන් ඉතාලි නමකින් බ්ලොග් ලියන රංගිගේ (බූරු බබා) ලිපිවලටත් මා සංවේදී වුනා.   

සිංහල බැරි බැරිව මුලදී පටන්                         ගෙන 

දැන් නං ලියයන්නී, පරිනත කෙනෙකු             මෙන

දුරු රට ගියත් මව් රට හිත තබා                         යන 

රංගී මිතුරු විය, බ්ලොග් ලොවදි හමු                 වුන


අසාධාරණේ පෙන්නන්නට                            බැරිය 

දුක දකිනා කලට හිත වාවනු                           බැරිය  

ගමනක් යන කලට දුටු විට                            සීනරිය 

මග නැවතී බලා ඉන්නට වෙයි                         පිරිය 


හරී පිණි පලස ලියූ හර්ෂනී නංගී ඒ දවස්වල නම් මකරන්දයට නිතර ආව ගියා. දැන් බ්ලොග් ලියවිල්ල අත්හැරලම දාල වගේ.

ගුරුවරියක් ලෙසින් සේවය කල                         කාලේ 

කතා ලියූ හැටි මතකයි ඒ                                   කාලේ 

මොන හේතුවක් නිසා හෝ ඈ මේ                     කාලේ 

අතහැර ගොස් වගේ බ්ලොග් ලොව අද              කාලේ 


හිත මිතුරියක් ලෙස දුක සැප                            ඇසුවාය 

ලිපියක් දැමූ සඳ ඇවිදින්                                 බැලුවාය 

පුංචිත්තා ලියන්නට එක්                                      වූවාය 

නැගණිය හට අප අමතක                                   වූ දෑ ය  


තමන්ගේය කියල බ්ලොගයක් නොකලට කමෙන්ටු තුලින්ම කියවන්නාට රසයක් වගේම දැනුමත් දෙන හොඳම මිතුරෙක් තමයි, බුරතීනෝ.


ලී බෝනික්කෙකි බුරතීනෝ

තොල්ස්තෝයි ගේ පිනෝකියෝ

හමුවී නැති මුත් කිසි දවස 

අපේ ගමේමලු පදිංචිය


බ්ලොග් කියවමින්නේ - නිබඳ කමෙන්ටු ලන්නේ

මැච් ඇත බලන්නේ - මුලු ලොවම අමතකව යන්නේ


හින්දි බස; බස, බස - කියා හසුරනු දැක ඇත

ඉතිහාස පත පොත - ගැන හසල දැණුමක් ඇත


අති සීඝ්‍රතාවයකින් බ්ලොග් ලියන කෙනා තමයි, මාරයා. දවසට පෝස්ටු දෙක තුනක් සමහර වෙලාවට. ඔය පහත තියෙන්නේ මම මාරයාගේ හෝරාවේ පල කල කවි කිහිපයක්.

බ්ලොග් ලෝකේ තරුවක් ලෙස           බබළන්නේ

දවසට ලිපි දෙක තුනකුත්                       ලියන්නේ

ලියන පමාවට ඇවිදින්                           බලන්නේ 

කෙලෙසක? අපට කාලය නම්            නොවන්නේ


ඉඳ හිටලා මේ පැත්තට                      ඇදෙන්නෙමී

කමෙන්ට් නොදැම්මත් කියවා             බලන්නෙමී

නව නළු රස නා නා ලෙස                    විඳින්නෙමී

මාරයා සමග මිතුරුව                           හිඳින්නෙමී


එකම පාසලක අකුරුත්                          කෙරුවාට

එකම නගරයක අපි වැඩ                        කෙරුවාට

එකම කෝරලේ වාසය                          කෙරුවාට

හමු වන්නට නොහැකි විය අප                දෙන්නාට


මාර කතා වැඩි වැඩියෙන්                       ලියන්නයි

කියවන දනෝ දින දින තව                     ලබන්නයි

සිංහල බ්ලොග් කලාවේ නම                   තියන්නයි

මරු* පරදා යම් දිනයක                           දිනන්නයි

(*මෙහි මරු යනු බ්ලොග් ලියන මාරයා නොවන බව සලකන්න.)

සපතේරු උන්නැහෙත් හොඳ බ්ලොගයක් කළා. මගේ මතකේ හැටියට, 'මට මතක හැටියට'. උන්නැහැත්  දැන් නවත්තලම දාල වගේ.

නෙලුම් විලේ දී අප කළ කවි                 වාද 

සපතේරුවනි ඔබ හට අමතක                 වීද? 

ළඟදී මුකුත් ලිව්වේ වත් නැහැ            නේද?

සිත රිදෙනා වරදක් අපගෙන්                 වීද?


රිලවුන්ගෙන් පවා - අනගි පාඩම් බණවා 

පාදඩයන් ලවා - කියා දුනි හොඳ සිරිත් මැනවා 


මම යන, එන, විඳින තව බ්ලොග් රැසක් තියෙනවා. ඒ ඔක්කොටම කවි ලියන්න ගියොත් මේක මහා පතරංගේ වගේ දික් වෙලා අන්තිමට කව්රුත් බලන්නේ නැති වෙයි. ඒ නිසා හැම බ්ලොගයක් ගැනම නොකිව්වට කව්රුත් අමනාප වෙන්න එපා.

කටකැඩි කතා කියනා හොඳ                       දුමියා ද

හීනලන්තයේ සිට ආ                                  හරියා ද

කෙහෙල් කොටුවෙ පොඩි මහතැන්       ගොයියා ද

රජ දහනක ඉන්නා තඩි                              මකරා ද


හිස් අහසේ සරණ සඳරු ද,                       විසිතුරු ද

ගී ගෙන එන දොඩංගොඩ නම්                   මහතා ද

මධුරංග ද, රෝස කැලේ                              නංගී ද

චතුරංග ද, වැලි කතරෙන්                          දුකා ව ද


මේ හැම දෙනා ගේ බ්ලොග් වෙත        ඇදෙන්නෙමී

වෙලා ඇතොත් කමෙන්ටුවක්                 දමන්නෙමී

ඉහතින් නොකිව්වත් තව බ්ලොග්          බලන්නෙමී

නොකිව්වාට සමාව මම                          යදින්නෙමී


සිංහල බ්ලොග් කලාවට සුභ සෙත                  වේවා!

නව නලු රස සපිරි ලිපි තව ලිය                       වේවා!

කියවන දනද වැඩි වැඩියෙන් බිහි                    වේවා!

හෙළ බ්ලොග් නම් දනන් තුඩ තුඩ රැව්            දේවා!

37 comments:

  1. යකඩෝ මෙච්චර හරියක් මතක තියං හිටියැකිද..?

    කොහොම උනත් වටින වැඩක්... බ්ලොග් තියෙන්නේ ලියන අය වගේම කියවන කමෙන්ට් කරන අය හැමෝගෙම එකතුවකින්...

    ReplyDelete
    Replies
    1. ටිකක් මතක තිබුණ, ඉතුරු ටික මතක් කර ගත්තා.

      පාන්දරින්ම දාපු කමෙන්ටුවට හුඟක් ස්තුතියි!

      Delete
  2. පොත් ගුල්ලා නිවාඩු කාලෙදි එළි බැහැලා. :)
    ඔය කියන හැම බ්ලොගයක්ම වගෙ මමත් කියවලා තියෙනවා. අර කිව්වත් වගේ, රසය වැඩි වෙන්නෙ, දැණුම පූර්ණ වෙන්නෙ, කමෙන්ටුත් එක් වුණහම. ඔබ්සර්වර් වගේම ගිම්හානි, බුරතීනෝ, ලකී, ප්‍රසන්න වගෙ කමෙන්ට් කිරීමටම කැප වුණු පිරිසක් ඉන්න හින්දා, ලියන අයටත් දිරියක්. සුජීවත් ලියනවට වඩා කරන්නෙ කමෙන්ට් කරන එකනෙ. සිංහල බ්ලොග් හරියට සාකච්ඡා මණ්ඩප වගෙයි. ආයෙ ආයෙ ඇවිත් බලන්නම ඕන. :)
    කාල වේලාව හරස් වෙන හින්දා මගේ බ්ලොග් කියවීමත් කමෙන්ට් කිරීමත් ලිවීමත් සේරම අඩු වෙලා. දැන් ඔන්න මෙහෙම මතක් කරල දුන්නහම, ආයෙ ගිහින් හැම එකක්ම බලන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අහන්නමයි හිටියේ මොකද හැබෑට දැන් නොලියන්නේ? විරේක බෙහෙත් හෙම බීල ඉවර නැද්ද තාම?

      Delete
    2. ඔව්, නලිනි. දැන් දෙවෙනිද ඉස්කෝලෙ පටන් ගත්තම ආයෙ කවද ලියන්න වෙයිද දන්නෙ නැහැ.

      අනේ තව කවි ටිකක් ලියන්න තිබ්බනන් හොඳයි. ලකී, ටී.ජී., අසංක ආසිරි, සුජීව, රවී වගේ තව ගොඩ දෙනෙක් ඉන්නවා. නොලිව්වෙ, එකක්; මේ පෝස්ට් එක දිග වැඩි වෙන හින්ද, අනෙක; කවි ලියලම හෙම්බත් වෙච්ච හින්ද. තව ලිව්වනං නීරස කවි ඔහේ ලියන්නං වාලෙ ලියවෙයි. එහෙම වැඩක් නැහැ. ඒ අය ගැනත් තව අවස්ථාවක ලියන්නංකෝ.

      Delete
  3. අතීතය අගේට මතක් කරලා තියෙන්නේ......

    ReplyDelete
    Replies
    1. සංජය හඳුන ගත්තෙ මෑතකදි නෙ. ඒ නිසා ආවර්ජනය කරන්න විදිහක් නැහැ. ඉස්සරහට ලියන්නංකො.

      අතීතයෙ ලිව්වට වර්තමානයෙත් ඕනම බ්ලොග් ලිපියක් කියවීමේ හැකියාව තියෙනවනේ. ඒ නිසා හැම දේම අතීතයට ගිහින් නැහැ.

      Delete
  4. දැන් වැඩට යනවා.. කොමෙන්ටුව වැඩ ඇරිල ඇවිත් දානවා...
    - සපතේරු

    ReplyDelete
    Replies
    1. හපොයි අම්මේ! මේ පැත්තෙ ගෙන්න ගන්න තියෙන අමාරුව.
      බ්ලොග් ෆෝමැට් මාරු කළා විතරයි සපතේරු උන්නැහැ කිසි සද්දයක් නැතුව ගියා.

      කමෙන්ටුවක් බලාපොරොත්තුව හිඳිමි.

      Delete
    2. සපතේරුවනි, ඔබේ කමෙන්ටුව බලාපොරොත්තුව හිඳිමි.

      Delete
  5. //වටකරගෙන පිරිමි ගොඩක්
    හිටියට නැහැ කිසි වලී//

    හී හී...මේක දැකලා හරියට හිනා ගියානේ. රස්තියාදුවේ ගිහින් ඇවිත්, මහන්සි අරිමින් ඉන්නකොට එක්කෙනෙක් නැගිට්ටවලා කීවේ මේක බලන්ට කියලා.:D

    බ්ලොග් කියවන්ට නැතුව තිබුනු දුක මට දැනුනේ පහුගිය මාසේ එහේ මෙහේ ඇවිදිමින් ඉන්නකොට. ඒකේ අගය වැඩියම තේරෙන්නේ බ්ලොග් නොබලා ඉන්නකොටයි. හරියට පවුලේ ලඟ හිතවතුන් නොදැක ඉන්නවා වගේ.

    නිවාඩුවේ හරි ඇවිත් මෙහෙම ලීව එක හොඳයි පොත්ගුල්ලෝ. බ්ලොග් ලිවිල්ලෙන් ගොඩක් හොඳ මිනිස්සු කීපදෙනෙක් හරි අඳුනගන්ට ලැබීම ලොකු සතුටක්. පොත්ගුල්ලා ඉන් එක්කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. අනේ කුමාරිහාමි දැක්ක කල්!
      මමත් සෑහෙන කාලෙකින් ඒ පැත්තෙ ආවෙ නැහැනෙ.
      මේකයි උනේ; කුමාරිහාමිගෙ පෝස්ට් බලන්න මම යන්නෙ ගොඩක් පරක්කු වෙලා. ඒ වෙනකොට අම්බානක කමෙන්ට්ස්! කියවගන්නත් බැහැ, නොකියව අත් අරින්නත් ලෝබයි. කොහොම හරි මමත් කමෙන්ටුවක් දැම්ම. Your comment was published, කියලත් ආව. ඒත් පෙන්නන්නෙ නැහැ. මට කිහිප සැරයක් ඕක උනා. පස්සෙ මම බලල විතරක් නිකන් හිටිය.

      Delete
  6. රසම රස කතා ටිකක්.
    උදේ නැගිටිද්දිම ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නුවාටත් බොහෝම ස්තුතියි.

    සිංහල බ්ලොග් අස්සේ ගෙවෙන හයවන අවුරුද්ද මේ. ඒ කාලය තුලදි හඳුනාගත් බොහෝ අයගේ වචන අස්සේ තාමත් අතරමං වෙන්නත් මම ආසයි. ඉඳලා හිටලා මල් පොකුරු, ගල් මුල් එක්ක යන නොනවතින ගමනත් මේකමයි.
    බොහෝම ස්තුතියි මාවත් මතක් වුනාට පොත් ගුල්ලා.
    මේ වෙද්දි රීඩරේට විතරක් සීමා වෙච්ච කියවීමක් වගෙ මට තියෙන්නේ. කොමන්ට් කිරීමක් නොවෙන තරම්. කොහෙද මේ ටැබ්, ඇන්ඩ්‍රොයිඩ් වගේ ටෝයියෝ හැදුවට කියවන ගමන්ම ලේසියෙන් අපි හිතන දේ සිංහලෙන් ලියන්න පහසු සොෆ්ට්වෙයා තාම ඇවිත් නෑනේ.


    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ රංගි මේ දවස්වල ලංකාවෙ කියලයි. ඒකයි මේල් එකක් දැම්මෙ.

      රංගියි, නලිනියි, බින්දියි, ඩීන් අයියයි තව ටී.ජී., හරී නංගි ඔය කට්ටිය නොයින්න මමත් බ්ලොග් ලියවිල්ල අත් හැරල. කාලයක් නොලිය ඉන්නකොට ඔයාල ආයෙ ආයෙ මතක් කරනවනෙ ලියන්න ලියන්න කියල. මේ එකමුතුව කාටත් හොඳයි.
      එක අතකට මේ කවි ටික ඒ ගැන ස්තුතියක්!

      Delete
  7. අම්මෝ කොහොම ආවර්ජනයක් ලීවද මන්දා. මාවත් මතක් කරලා තියෙන එකට ස්තුතියි. ඔන්න අපි එහෙනම් දිගටම මල් මකරන්දෙට එනෝ !!! :)

    ReplyDelete
    Replies
    1. හැමදාම එන මදුරංග මල්ලිව අමතක කරන්න බැහැනේ. ඒත් තවත් මතක් කළ යුතු අය ඉන්නවා ලියා ගන්ඩ බැරි උනා.

      Delete
  8. මසුරං කවි ටික නොවැ.... මතකෙත් නරක ම නෑ.
    ඔන්න හෙට අනිද්ද දිහාවට ඉස්කෝලෙ පටන් ගත්ත කියල මේ පැත්ත පාලුවට අරිනව එහෙම නෙවෙයි......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, අගය කිරීමට.
      බ්ලොග් ලියවෙන්නෙත් ඉතිං වෙලාව තියෙන හැටියට තමයි.
      හැබෑට උදාරත් බ්ලොග් එකක් පටන්ගත්තොත් නරකද?

      Delete
    2. බලමුකො......
      මෙහෙම යනකොට බ්ලොග් එකකුත් පටන් ගනියි.

      Delete
    3. අන්න හොඳ ධනාත්මක සිතුවිල්ලක්.
      දැන් තියෙන්නෙ ඒක ක්‍රියාවට නගන්නයි.

      Delete
  9. අර කිව්වත් වගේ අපූරු කවි ටික. මමත් පොත් ගුල්ලාගෙන් සෑහෙන්නෙ දේ ඉගෙනගෙන තියනවා, පොත්පත් ගැන, චිත්‍රපටි ගැන එහෙම.

    පොත් ගුල්ලගෙත් අනිත් අයගෙ අදහස් වලට එකඟයි. මොන මොන මති-මතාන්තර තිබ්බත් ,ලියන හැමෝටම අපි ස්තූතිවන්ත වෙන්න ඕනෙ. එයාල මහන්සිවෙලා ලියන හින්දා නෙව අපි කියවන්නෙ?

    නිවාඩු තියෙන හැටි හැටියට මොනවා හරි ලියන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්, හ්ම්!
      බස්සත් හුඟකාලෙකින් අවිත් ඉන්නේ. මම ඔය පොත් ගැන චිත්‍රපටි ගැන ලියපු ලිපි ඉතිං කමෙන්ටු වලින් බස්සා, බුරා, ලකී අතුලු බොහෝ දෙනෙක් පෝෂණය කළානේ.

      හැබෑට බස්සත් මේ දවස්වල වැඩිය ලියන්නෙ නැහැ නෙව. මොනව හරි ලිව්වොත් අපි එනවමයි කියවන්න, මාස ගානක් ගිහින් හරි.

      Delete
  10. අවර්ජනාවේ කවි මල් පොකුර ලස්සනයි, මිහිරියි, සුවඳයි.

    මුල සිටම මකරන්දය විශේෂ තැනක් වුනා, ඒ ගැන සටහන් එකතු වෙලා තියෙන්නේ. පුංචිත්තා එළිදක්වන්න ඔබෙන් වූ කාරිය බොහෝමයි.

    විරල මෙන්ම හරවත් ලිපි වලින් මකරන්ද වගේම සිහල බ්ලොග් අවකාශය සරසන්න ඔබට දිරිය හා ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා. සුබ පැතුම් සහෘදයාණෙනී.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩීන් අයියා.
      මේ කවි මල් පොකුර මා හැර නොගොස් නිබඳවම මකරන්දය සමග සිටි ඔබ වැනියන්ට උපහාරයක්!

      Delete
  11. මේ ලිපිය ලියන්ඩ සෑහෙන මහන්සි වෙලානෙ.. කවි ටික නම් පංකාදු පහයි..

    හදිසියේම ආවර්ජනාවක් කළේ මොකද කියලා හිතාගන්න බෑනෙ..

    ReplyDelete
    Replies
    1. හරී ට ස්තුතියි, අගය කිරීමට.

      අර පළමු කවියෙම තියෙන්නෙ හේතුව.
      වැසි වසින කල, සිත විපිලිසර වී ...........

      Delete
  12. අපූරු කවි පෙල .... මාවත් මතක් කලාට ස්තූතියි.
    Sita sings the blues කාටූන් චිත්‍රපටය බැළුවා. රසවින්දා බොහොම.වෙනස් විදියක නිර්මාණයක්. ස්තූතියි සබැඳිය ලබාදුන්නට.

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට, රෝස කුමාරිට ස්තිතියි!

      'Sita Sings the Blues' සහෘදයින් සියලුදෙනාට හොඳින් රසවිඳින්න පුලුවන් බව දැනගෙන තමා මම එය හඳුන්වා දුන්නෙ. මගේ හිතත් කොයි තරං තදින් බැඳගත්තද කිව්වොත් මම මේ වෙනකොට ඕක දහ පාරක් විතර බලල ඉන්නෙ.

      Delete
  13. සිංහල රටේ උන්නත් ගෙවුණු සතිවල
    සිංහල අකුරු කෙටුමට නොහැකි වූ කල
    ආපසු ඇවිත් පෙරලන පරණ පිටුවල
    මකරන්දය දුටිමි බ්ලොග් ලොව සුවඳ කල

    අප්පොච්චියේ පොත් ගුල්ලට මෙච්චර හොඳට කවි ලියන්න පුළුවන් කම තියෙද්දිනෙ හැංගිලා ඉඳල තියෙන්නේ . ඔන්න ඉතින් අපට සැහෙන්න ආඩම්බරයි සතුටුයි හැංගිලා හිටි කවිකාරයෝ එලියට ගත්තු එකට . මෙය දම්වැලක් වගේ . කවුරු හරි ඉස්සෙල්ලම සිංහලෙන් බ්ලොග් එකක් කොටපු කෙනාට තමයි අපේ මුල්ම ස්තුතිය පිරිනමන්න ඕන .

    හොඳට ලිය ලිය හිටි දැනට හැංගිලා ඉන්න කීපදෙනෙක් ම පොත් ගුල්ලා මතක් කරලා තියෙනව . ඒ ඒ උදවිය ආයෙම එලියට ආවොත් තමා අගේ .

    පොත් ගුල්ල අමනාප වෙන්න එපා .හමු වෙන්න හිටි හුඟක් දෙනෙක් හමු වෙන්න බැරි වුනා ..අනෙක් අතට මුණට මුණ හමු වෙලා තේ එකක් බිලා විනාඩි දහයක් කතා කරනවට වඩා අපට සයිබර් අවකාශයේ මෙහෙම කතා බහ කරන්න ලැබුන එක හොඳයි කියල හිතෙනවා වෙලාවකට .

    ReplyDelete
    Replies
    1. අද හෙටම බින්දි මේ පැත්තෙ එන බව දැනගෙන හිටියා.

      ඇත්තටම මට මෙහෙම කවි ලියන්න පුලුවන් කියල මමවත් දැනගෙන හිටියෙ නැහැ. ඔව්, බ්ලොග් ලොවට මාව ඇදල ගත්තු එකේ පූර්ණ ගෞරවය හිමිවෙන්නෙ, බින්දි ට තමයි.

      අපොයි, හමු නොවුනට කිසි අමනාපයක් නැහැ. නිවාඩු දවස් කීපය කොතරම් අවිවේකී වෙන්න ඇත්ද කියල මට හිතා ගන්න පුලුවන්.

      Delete
  14. අපිවත් මතක් උනාට පොත් ගුල්ලට පිං, මම කැමතිම මකරන්දයෙ ලියවෙච්චි මුල්ම ලිපියට. පහුගියකාලෙ කමෙන්ටු නොදැම්මට ඉඩ ලද හැමවෙලාවෙම කියෙව්වා. හිමි හිමීට ආයෙත් පටන් ගන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. හා.. ඔය ඇවිත් ඉන්නේ.
      කමෙන්ට් එකකුත් දාපු එකේ දැං ඉතිං බ්ලොග් එකේ මකුලු දැල් කඩල වැඩ පටන් ගමු.

      Delete
  15. සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා! :)

    ReplyDelete
    Replies
    1. Sabith මකරන්දෙට සාදරයෙන් පිලිගන්නවා.
      ඇත්තටම ඒ හැටි මහන්සියක් උනේ නැහැ. කවි ලියන්ට පටන්ගත්තාම ඉතින් දිගටම ලියවෙනවා. නොලිය ඉන්නකොට මුකුත් හිතට එන්නේ නැහැ.

      Delete
  16. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete