Wednesday, July 20, 2011

කතරගමට රුහුණු රටේ - හිඟා කකා ලබන විටේ - 2

කාලයක් මම තිස්සමහාරාමේ රාජකාරි කලා. තිස්සට මාරුව ආපු වෙලාවේ දෙහිඅත්තකණ්ඩිය ශාකාවේ හිටපු මගේ මිත්‍රයෙකුට මම කිව්වා දැන් මම පොර ඉන්න ප්‍රදේශය කිට්ටුවට එන නිසා නිතර හමුවෙන්න පුලුවන්වෙයි කියල. (දෙහිඅත්තකණ්ඩිය තියෙන්නේ රුහුණට ආසන්නව කියලයි මං හිතාගෙන හිටියේ.) "උඹට පිස්සුද, යකෝ තිස්සමහාරාමේ තියෙන්නේ ලංකාවේ පුකේ, දෙහිඅත්තකණ්ඩිය තියෙන්නේ ලංකාවේ පිටේ. පුදුම දුරක් බං" මූ කිව්වේනැතෑ. ඊට පස්සෙ මං ලංකාවේ සිතියම අරන් බැලුව. ලංකාවේ ඔලුව යාපනේ හැටියට අරගෙන බටහිර පැත්තට මූණ දාල ඇනතියාගෙන ඉන්න පුද්ගලයෙක් වගේ පේන ස්වභාවයක් තියෙනවනේ. එහෙම බැලුවම වැඩේ ඇත්ත. මං ඉතින් මේක කිව්වේ කතරගම පිහිටීම පොඩ්ඩක් මතක් කරල දෙන්න. කතරගමත් ඔය පුක හරියේ තමා තියෙන්නේ. කොළඹ ඉඳල කතරගම යන කව්රුත් තිස්ස හරහානේ හුඟක් වෙලාවට යන්නේ. සමහරවිට රත්නපුරේ හරහා ඇවිත් උඩවලව පහුකරලා තණමල්විලින් හරවල ලුණුගම්වෙහෙර පැත්තෙන් (තිස්සට නොගිහින්) කතරගම යන්නත් පුළුවන්. මේ දවස්වල ඔය පාරත් හොඳට හදාගෙන යනවා. නොගිය කෙනෙකුට ඉස්සරහට ඒ පැත්තෙන් යන්න ලේසියෙන් පුලුවන්වෙයි.  තව බුත්තල පැත්තෙනුත් කතරගමට යන්ඩ පාරක් තියෙනවා. යාල හරහා තමා ඒ පාර වැටිලා තියෙන්නේ. 

කතරගම නගරය තුන් පැත්තකින් යාල කැලෙන් වටවෙලා. (යාල කැලේ කිව්වට හරි නම "රුහුණු ජාතික වනෝද්‍යානය"). දෙවාලේටයි, කිරි වෙහෙරටයි යන්ඩ මැණික් ගඟෙන් එගොඩ වෙන්ඩ ඕනෙ. ඒ සඳහා පුංචි පාලම් කිහිපයක්ම තියෙනවා. ටවුමට ළඟම පාලම් දෙකෙන් එකකින් එගොඩ උනහම දේවාලෙට ඉස්සෙල්ලම යන්ඩ පුළුවන්. ටවුමේ ටිකක් එහාට වෙන්ඩ ගංගාරාම විශ්‍රාම ශාලාව පැත්තෙන් තව පාලමක් තියෙනවා. ඒකෙන් එගොඩ උනොත් කෙලින්ම කිරි වෙහෙරට. බෞද්ධයන්ගේ විශ්වාසය මේ කිරි වෙහෙර තියෙන තැනට බුදු හාමුදුරුවෝ වැඩිය බවයි. හවස ඉර බැහැල ගියහම කිරි වෙහෙර මළුවට ගිහිල්ල බුදුන් වඳින කොට හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා. නිකන් ඔහේ වාඩිවෙලා හිටියත් සැපයි. ලංකාවේ බුදුහාමුදුරුවෝ වැඩියයි කියන බොහෝ තැන්වල මට ඔය සැහැල්ලු ගතිය දැනිල තියෙනවා. කිරි වෙහෙරට අදාල බෝධීන් වහන්සේ තියෙන්නේ කතරගම දේවාලය අසලයි. ඒ බෝධිය අෂ්ට ඵලරුහ බෝධි වලින් එකක් හැටියට සැලකෙනවා. ඔය අෂ්ට ඵලරුහ බෝධි කියන්නේ ලංකාවට සිරි මහා බෝධිය ගෙනාවට පස්සෙ ඒ බෝධියෙන් ලැබුණු මුල්ම ඵල අටෙන් හටගත් බෝධීන් වහන්සේලා. 


කතරගම දේවාලයත් බොහොම පැරණි සිද්ධස්ථානයක්. දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ කාලෙත් කතරගම දේවාලෙට වැඳුම් පිදුම් කරල තියෙන බව කියැවෙනවා. දුටු ගැමුණු කතාව ඇසුරින් ඩෙනිස් ක්ලාක් ලියපු "The Golden Island" පොතේ කතරගම දේවාලේ ගැන සඳහන්වෙනවා. (රසවත් කෘතියක්. සිංහලෙන් ඕනෙ නම් අනුලා ද සිල්වා මහත්මිය මෙය "කෝනා" නමින් සිංහලට නගල තියෙනවා.) ඒ පොතේ හැටියට ඒ කාලෙත් ද්‍රවිඩ ජාතිකයෝ කතරගම දේවාලේ වන්දනා කරන්ඩ ඇවිත් තියෙනවා. ඔය කාලෙ කතරගම අවට දැන් වගේ කැලයක් තිබිල නැහැ. විශාල ජනාවාස තිබූ බවට සාධක ඕන තරම්. යාල කියන්නේ ඒ දවස්වල තිබුණු කුඹුරු යාය. Block 2 එකට ගියහම ඒ බව හොඳට පේනවා. පුරන් වෙච්ච කුඹුරු යාය දැන් තෘණ කුලේ ශාක වලින් හෙවුණු වගුරු බිමක්. මේ ප්‍රදේශ දහතුන් වන සියවස වගේ කාලේදී අත්හැර දමල තියෙනවා. පරසතුරු උවදුරු නිසා දුර්වල රාජ්‍ය බිහිවෙනකොට මේ ප්‍රදේශ ගැන අවධානය අඩු වෙන්ඩ ඇති. ඊට පහු කාලෙ වැදි ජනතාව මේ පළාත් වල හිටපු බව විශ්වාස කරනවා. 15වන සියවසේදී කතරගම පුද බිම වන්දනාව නැවත පටන් අරන් තියෙනවා. පුද බිම රැකගෙන හිටි වැදි පිරිස් එළවලා සිංහලයොයි, හින්දූනුයි මෙතන අයෙත් අල්ලගත්තලු. 


කතරගමට අදත් ද්‍රවිඩ ජාතිකයෝ පා ගමනින් වන්දනාවේ එනවා. බොහෝ විට ඇසල උත්සව සමයෙදි. මඩකලපුව හරහා පොතුවිල් පැත්තෙන් ඇවිත් පානම හරියෙන් 'කුමන' අභය භූමියට ඇතුල්වෙලා  යාල කැලේ මැද්දෙන් කතරගමට බොහොම දුෂ්කර ගමනක යෙදෙනවා. ඔය කැලේ මැද්දෙන් එනකොට අලි, කොටි (දිවියෝ), වලස්සු වගේ සත්තු හමුවුනත් ඔවුන්ගෙන් වන්දනා කරුවන්ට හානියක් වූ බව වැඩිය අහන්ඩ නැහැ. දෙවියන්ට ඇති භක්තිය නිසා කරදරයක් වෙන්නේ නැති බවයි ඔවුන් හිතන්නේ. ඒ කොහොම උනත් කණ්ඩායම් වශයෙන් එන මිනිස්සු අතරට යන්ඩ වන සත්තු කැමති නැහැ. බලන්නේ පුළුවන් තරං මග අරින්න. 

මේ නඩ කතරගමට ඇවිත් දේවාලය අවට භූමියේ නවාතැන් ගන්නවා. මේ කාලෙ කතරගම පැත්තට වැස්ස නැහැ. ඒ නිසා එළිමහනේ නවතින්ඩ පුළුවන්. මැණික් ගඟෙන් නාල පිරිසිදු වෙලා තමා හරෝ හරා  කිය කියා දේවාලේ වඳින්ඩ යන්නෙ. සමහරු දිය රෙද්ද පිටින්ම දේවාලෙට යනවා. තව දෙවියන් වෙනුවෙන් හිස බෑමත් චාරිත්‍රයක්. සමහරු දිවේ තියුණු උල් තියෙන පොඩි ත්‍රිශූල ඇනගෙන දේව භක්තිය පලකරනවා. තවත් අය දේවාලය වටේ පෙරලි පෙරලි වඳිනවා. ද්‍රවිඩ පිරිමි නං බොහෝ විට දේවාලෙට යනවිට උඩුකය වසන්නේ නැහැ. යටි කයේ ජෝතිය. මේ දෙවියන් වෙනුවෙන් රත් පැහැ වස්ත්‍ර  පැලදීමත් විශේෂයි. දෙවියන් වෙනුවෙන් බාර හාර වුනු අය කාවාඩි නටමින් දේවාලය වෙත පැමිණීමත් බලන්න ආසා හිතෙන දර්ශනයක්. මෝලම් කණ්ඩායමක් කුලියට අරගෙන භක්ති ගීත වාදනය කරමින් නට නට දේවාලේ වටේට යනවා. මේ මෝලම් කණ්ඩායම් නිතර වයන ගීත දෙකක් තමා කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද (ක්ලැරන්ස්) සහ කදිර සුරිඳුනේ (අමරදේව) කියන ගීත. තව ගීත බොහොමයක් තියෙනව.

 කතරගමට ගිය හැම විටම මට සිහි වෙන කලා කෘති දෙකක් තියෙනවා. එකක් තමා තිස්ස අබේසේකරයන්ගේ "කරුමක්කාරයෝ" චිත්‍ර පටය. (අර නලිනි දොස්තර නෝනා ගෙදර ඉඳන් සිල් ගත්ත දවසේ බැලුව කිව්වේ ඒක තමා.) මේක ගුණදාස අමරසේකරයන්ගේ නව කතාවක්. සෝමක්කයි (ගීතා කුමාරසිංහ), එයාගෙ මනුස්සයයි (උපාලි අත්තනායක), මස්සිනයි (විජය කුමාරතුංග) කතරගම දේවාලෙට එනවා දරුවෙක් ලබාගන්ඩ බාරයක් වෙන්ඩ. මතකයේ රැඳුණු දර්ශන කිහිපයක් තමා චිත්‍රපටයේ ඊළඟට දිගහැරෙන්නේ. බලනවා මිසක් කියලනන් වැඩක් වෙන්නෙ නෑ. (දැන් ඩීවීඩී එක තියෙනව මයෙ හිතේ.) මට නං මැණික් ගඟ දකිනකොට ඔය දර්ශන ටික අනිවාර්යයෙන් මැවිල පේනවා.


අනෙක් කෘතිය තමා රැපියෙල් තෙන්නකෝන් ශූරීන්ගේ "කුකුළු හැවිල්ල" කවි පන්තිය. මේ කවි පන්තියේ කියැවෙන්නෙ තමන්ගෙ කුකුළා නැතිවුණු ගැමියෙක් කුකුළා හොරකන් කළ තැනැත්තාට ශාප කරමින් කඳ සුරිඳුන් වෙත කරන යාදින්නක්. කඳ සුරිඳුගේ වාහනය මොණරා උනාට ධජයේ ඉන්නේ කුකුළා. (එක් එක් දෙවිවරුන්ට වෙන වෙනම ධජ තිබෙන බව ධජග්ග සූත්‍රයෙත් කියැවෙනවා.) මේ කවි පන්තිය ලස්සන ගීතයක් බවට හරවල සුනිල් ශාන්තයන් ගායනා කලා. රූපවාහිනී වැඩ සටහනකදී අයිවෝ ඩෙනිසුත් මේ ගීය ගායනා කරනවා මම දැක්ක. අන්තර් ජාලෙ පීර පීර බැලුව, ඒත් සොයාගන්න ලැබුනෙ නැහැ. මගේ මතකයේ රැඳිල තියෙන කවි ටික පහත දැක්වෙනවා.

--කුකුළු හැවිල්ල--

දුදනොද බිඳ - බඳ තෙද කඳ
කඳ දෙව්රද - සාමිනේ 

මට කල මෙවිපත අනේ - බලා ගන්න දෙවියනේ
වැජඹෙන නා මෙවිමනේ - බලන්න නා සාමිනේ 

මගෙ කුකුළා නැසූ එකා - ධජය ඔබගෙ පාලු යකා
මින් එක බුද දිනක් තකා - ඉන්නට ඉඩ නොදී මකා

බලා එල්ල - ඇන්න හෙල්ල 
වැදුනි එල්ල - මරු තැනේ

කතරගමට රුහුණු රටේ - හිඟා කකා ලබන රිසේ 
පයින්මැ ගොස් ඇවිද වටේ - පොලොවැ උලා නළල් ඇටේ

"දුදනන්ගේ එඩිය බිඳ ඔද තෙද කඳ පැතිරවූ, නා විමනේ වැඩ සිටිමින් අනුන්ට සරණ වන කතරගම දෙවිඳුනි, මට කලාවූ විපත බලා ගනු මැනව. එකෙක් මගේ කුකුළා විනාශ කළෙහිය. ඌ ඔබේ ධජයද පාලු කරන යකෙකි. මින් ඉදිරියට තව එක බදාදා දිනයක් හෝ මූට විසීමට ඉඩ නොදී විනාශ කර දමනු මැනව. ඔබ එල්ලය බලා හෙල්ලෙන් ඇන්නොත් එය මාරක ස්ථානයටම වදිනු ඇත. ඔබ මගේ යැදුමට සවන්දුනහොත් මම රුහුණු රටේ කතරගමට හිඟා කකා පයින්ම පැමිණ ඔබේ දේවාලය වටා ගොස් නළල පොළොවේ උලා ඔබ නමදිමි." 

කවියේ මතක එපමණයි. තව තියෙනව. දන්නා කෙනෙක් ඉතුරුටික කිව්වොත් පිං. මං හිතන්නේ බොහෝ දෙනා අහලවත් නැතුව ඇති. බ්ලොග් අවකාසේ සේකරයන්වත් නොදන්න අය ඉන්දැද්දී ඉතිං රැපියෙල් තෙන්නකෝන්ව දන්නෙ එහෙමත් කෙනෙක් තමා. 

අදට ඇති මයෙ හිතේ. ස්කන්ධට උදව් කරන්න ගිහින් සහෝදර ගණපතිට වෙච්චි ඇබැද්දියකුත් තියෙනව. ඒක පස්සෙ කියන්නන්.  

ප.ලි.: මා විසින් ඉහත පලකළ කවි කිහිපයෙහි දොස් ඇති බව දැන් වැටහී ඇත. නිවැරදි සම්පූර්ණ කවි පන්තිය සඳහා හරී - පිණිපළස ගුරුතුමිය විසින් පලකළ කමෙන්ටුව බලන්න. එමෙන්ම නලිනි චන්දිමා වෛද්‍ය තුමිය සොයා දුන් සුනිල් ශාන්තයන් ගයන ගීතයට අදාල ජාල ලිපිනය මෙසේය.  
http://www.megaupload.com/?d=YML5JZI8

The above seems not working now. Here is a new link to listen to the song in U tube;
https://www.youtube.com/watch?v=j9vUClp442k

30 comments:

  1. Main subject eken pita yanawa wedee wage
    but hnda denumak thiyena bawa nam penawa!
    all d best

    ReplyDelete
  2. මෙහෙමයි මගෙ ළඟ තියෙන පොතේ තියෙන්නෙ
    " දුදනොද බිඳ
    බඳ තෙද කඳ
    කඳ දෙව් රද සාමිනේ

    මගෙ කුකුළා නැසූ එකා
    දදය ඔබගෙ පාළු යකා
    තව එක බුද දිනක් තකා
    ඉන්නට ඉඩ නොදී මකා

    බලා එල්ල
    හෙළුව හෙල්ල
    මුලැ මැ බෙල්ල
    මැරූතැනේ

    කතරගමට රුහුණු රටේ
    හිඟා කකා ලබන විටේ
    පයින් මැ ගොස් ඇවිද වටේ
    පොළොවැ උලා නළල් ඇටේ

    දිගට ඇදී
    නැඟැ පැහැදී
    මහ හඬ දී
    දෙවියනේ

    රනින් කුකුළු රුවක් පුදමි
    රිදියෙන් බිජුවටක් පුදමි
    රන් දුනු හී දෙකක් පුදමි
    රුවට රිදී රුවක් පුදමි

    කතරගමේ
    බල මහිමේ
    දුටුද එමේ
    හැමතැනේ

    කියමින් නමකුරු ඔබගේ
    බොළඳුන්ගෙද කිරි තුඩගේ
    රඟදෙන්නට වඩමි අගේ
    එකතින් හිමි සඳිනි මගේ

    දුදනොද බිඳ
    බඳ තෙද කඳ
    කඳ දෙව් රද
    සාමිනේ

    මට කළ මේ විපත අනේ
    බලා ගන්නැ දෙවියනේ
    වැජැඹෙන් නා මෙ විමනේ
    බලන්නැ නා සාමිනේ "

    ReplyDelete
  3. http://www.megaupload.com/?d=YML5JZI8

    කුකුල් හැවිල්ල. අප්ලෝඩ් කිරිල්ල හරි ගොස් ඇතැයි පතමි.

    ReplyDelete
  4. අර ගෝල්ඩන් අයිලන්ඩ් කියන පොතේ පරිවර්තනයක් තියෙනවා "රන් දිවයින" කියලා. මට මතක නැහැ පරිවර්තකයගෙ නමනම්. නමුත් ලස්සන පරිවර්තනය.

    මටත් හුඟක්ම හිත යන්නෙ මේ බැතිමතුන්ගෙ චාරිකා කොටස තමා. ඉස්සර අපේ අය සිරිපාදෙ යන්න ඇත්තෙත් ඔහොම්මම තමයි. කැලෑ තුළින්, කඳු ගංගා තරණය කරමින්...

    ReplyDelete
  5. සුනිල් ශාන්ත ගායකයා, එක කාලයක් අන්තිම පහත තත්වයකට ඇද වැටිල, මරදානෙ දුම්රිය ස්ථානය අසල තැනක පදික වෙළෙන්දෙක් වෙලා හිටියලු. ඒ කාලේ කතාව ගියේ "මගෙ කුකුලා නැසූ එකා" ගීතය වස් කවියක් නිසාත් ඒකෙ අක්ෂර දෝෂ නිසාත්, එයාට වස් වැදිලා කියලලු. මේක මං හුඟාක් ඉස්සර අහපු කතාවක්.

    ReplyDelete
  6. මම අහලා තියෙන්නෙ කුකුල්ලු ඇති කරන්න හැදුව කූඩුවක් වගේ ගෙදරක ඉන්න වුණා කියලා, හැබැයි වස් කතාව නැතුව.
    පව්. හොඳ ගායකයෙක්. සුනිල් ශාන්තගෙ දුවගෙ කටහඬත් හරිම ලස්සනයි.

    ReplyDelete
  7. @Ano..
    මේ පැත්තේ ඇවිල්ල කමෙන්ටුවක් දැම්මට ගොඩක් ස්තුතියි. මං හිතන්නෙ නං ප්‍රධාන මාතෘකාවෙන් පිට යන තරමට කතාව තව රසවත් වෙන බවයි. කොහොම උනත් පිට පැනල තියෙන්නෙත් මූලික කරුණට අදාලව කියල මං හිතනවා. කමක් නැහැ ඔබේ අදහස් ඉදිරියේදී සැලකිල්ලට ගන්නම්.

    @හරී - පිණිපළස
    අනේ කවි පන්තිය පලකිරීම ගැන ටීචර්ට හද පතුලෙන්ම ස්තුතියි. සමහර පද මට මතක හිටලා තියෙන්නේ පොඩ්ඩක් වැරදියට වගේ.
    ගුරුතුමියනි, වරද පිළිගනිමි. මාතෘකාව දැන්ම නිවැරදි කරමි.

    "හිඟා කකා ලබන රිසේ" යන්න "හිඟා කකා ලබන විටේ" ලෙස නිවැරදි කලෙමි.

    ReplyDelete
  8. @හරී - පිණිපළස & නලිනි චන්දිමා
    දොස්තර නෝනටත් බොහොම ස්තුතියි ගීතයේ ලින්ක් එක සොයා දුන්නට. මං දැනටත් හතර පස් වතාවක් ඇහුව. මොකද්දෝ ශෝකාකූල රිද්මයක් ගීතය පුරාම රැඳිල තියෙනවා වගේ. ඔබ දෙපලගේ උත්සාහයෙන් මියගොස් තිබූ ගීයකට යළි පන දුන් සෙයක් හැඟෙනවා. මෙමගින් අද පරපුරේ කිහිප දෙනෙක් හෝ මෙවන් කලා කෘති වල අගය වටහා ගනිතියි සිතනවා.

    @ඔබ්සර්වර් & නලිනි චන්දිමා
    අනේ එහෙනං සුනිල් ශාන්තයන්ට වෙලා තියෙන්නේ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩ වැටුනා වගේ දෙයක්නේ. මදෑ කතරගම දෙයියෝ ගැන භක්ති ගීතයක් කිව්වා. දෙවියෝ මේ වගේ වටිනා කලා කාරයෙකුට සලකපු ආකාරය හරි නැහැ.

    මගේ නං ඔය වස් වැදුණු කතා ගැන විශ්වාසයක් නැහැ. හැබැයි ඇත්තටම සුනිල් ශාන්තයන්ට එහෙම ආර්ථික පරිහානියක් ඇති උනා නං, ජාතියක් හැටියට අපි හැමෝම අපි ගැනම ලජ්ජා විය යුතුයි. මොකද රටක් වටින කලා කරුවකු රැකීම ජාතියේම යුතුකමක් වන නිසා.

    ReplyDelete
  9. //ඔය කැලේ මැද්දෙන් එනකොට අලි, කොටි (දිවියෝ), වලස්සු වගේ සත්තු හමුවුනත් ඔවුන්ගෙන් වන්දනා කරුවන්ට හානියක් වූ බව වැඩිය අහන්ඩ නැහැ. දෙවියන්ට ඇති භක්තිය නිසා කරදරයක් වෙන්නේ නැති බවයි ඔවුන් හිතන්නේ.//

    ම්ම්ම්ම් ... අනේ මංද...

    මේ ගමන ඉතාම අනතුරුදායක ගමනක් තාම... මෙන්න මේක ( click here ) වෙලා තියෙන්නෙ දින කීපයකට කලින්....

    ඔය වස් වැදුනු කතාව මමත් අහල තියෙනව...

    ඒ වගේ තවත් කතාවක් තමා අපේ ජාතික ගීයෙ කතාව.. ආනන්ද සමරකෝන් ශූරීන් ඕක ලියල තියෙන්නෙ "නමෝ නමෝ මාතා.." කියන තැනින් පටන් අරන්.. ඕකෙ යම් කිසි දෝෂයක් නිසා වස් වැදීමෙන් එතුමාගේ මරණය පවා සිදුවුනාය කියල මම අහල තියෙනව...ඊට පස්සෙලු ඔය ශ්‍රී ලංකා මාතා කියන කොටස ඕකට මුලට එකතු කලේ...

    තවත් ඔය වගේ දෙයක් මම දන්නව... මට ඒක පෙන්නල දුන්නෙ මගේ පියා... ඔහුට ඔය නම් වල ගණ පිහිටීම වගේ දේවල් ගැන අවබෝධයක් තියෙනව... මම ඕව විස්වාස නොකලත්... ඒ ගීතය තවම ගැයෙන නිසාත් , ජනප්‍රිය ගායකයෙක් නිසාත්... ඒ ගීය නිසා වුණා කියල මගේ පියා කියපු හානිය රටට ඉතා තදින් දැනුනු එකක් නිසාත් මෙතන ඒක කියන්න බැහැ...

    ReplyDelete
  10. දැනට මේ දිහා ආවග විතරක් සළකුණු කොට යන්නම්. කියවා රසවිඳිය යුතු දෑ මෙහි බොහෝය, එය නිස්කලංකව කරන්න ඕන කාරියක් නොවැ.

    සහෘදය ඔබ ඉදිරිපත් කරන පොතපත ගැන විස්තර බොහෝ අගේය. ඒ දැණුම් නිධි පරිශීලනයෙන් ලද ධනස්කන්දය අපේ බාලපරපුරට බෙදන්නට ඔබේ උත්සාහය තෝතැන්නක් වේවා! ඒ සඳහා දහිරිය හා ශක්තිය ඔබට වැඩි වැඩියෙන් පතන්නෙමි.

    පොතපතට ඇලුම් කරන උදවිය රොක්වෙන තැනක තෑග්ගක හෝඩුවාවක් තියන්න අවසර.

    සුබස කොළඹ විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියකි. එතැනින් අපේ බස සම්බන්ද අගනා මෙහෙවරක් ඉටුවේ. ඉන් වටිනා පැරැණි සාහිත්‍ය කෘතීන් ගනනාවක් Download කරගත හැකි අන්දමට ලබා දී තියෙනවා, විස්තර පහත සබැඳිය ඔස්සේ:

    http://www.subasa.lk/pothgula/download.php

    දැනට සැළලිහිණි සන්දේශය, සිරිත් මල්දම, අමාවතුර, යසෝදරාවත, කව්සිළුමිණ හා වදන් කවි පොත ලබාගත හැකිය.

    ReplyDelete
  11. Golden Island (Ran Divayina) by Dennis Clarke-
    Translated into Sinhala by Senarathna Weerasinghe

    ReplyDelete
  12. යෙෂ්! අන්න ඒ පරිවර්තනය තමයි මමත් කියවලා තියෙන්නෙ. හරිම ලස්සන පොත.

    ReplyDelete
  13. @සපතේරු උන්නැහැ
    ලිපිය කියවල අදහස් දැක්වීම පිලිබඳ මුලින්ම ස්තුතියි.
    ඔබ කියන ආකාරයේ අනතුරු වෙනවනම් තමයි. ලිපියේ නොකිව්වට මම තිස්ස ඉන්න කාලෙත් ඔය වැනිම එක් කාන්තාවකගෙයි, තරුණයෙකුගෙයි මරණ ගැන අහන්න ලැබුන. ඒකයි මම ලිව්වේ වැඩිය අහන්ඩ නැහැ කියල. ඒ කියන්නේ ටිකක් අහන්ඩ ලැබෙනවා කියන එකනේ.
    ඔහොම අනතුරු වෙන්ඩ හේතුව තමා ඒ අය තමන්ගේ කණ්ඩායම් වලින් වෙන්වීම. සමහරු ශරීර කෘත්‍ය සඳහා ගමන් ගන්න පාරෙන් පිට පැනල ටිකක් කැලේ ඇතුලට යනවා. ඒ වගේ වෙලාවට ඔහොම හානි වෙන්න බොහොම ඉඩ තියෙනවා. දිවියකු වගේම තනි අලියෙක්, වලසෙක් වුනත් තනි පුද්ගලයකුට පහර දෙන්න තියෙන හැකියාව වැඩී.

    ආනන්ද සමරකෝන් ශූරීන් පිළිබඳව ඔබ කියන කතාව නම් වැරදී. සුනිල් ආරියරත්නයන් ලියූ "ආනන්ද සමරකෝන් අධ්‍යයනය" කෘතියේ දෙ වැනි උල්ලාසය යටතේ "ජාතික ගීයෙහි වගතුග" නමින් ඊට අදාල සියලු සිදුවීම් පැහැදිලි කරල තියෙනව. සමරකෝන් ශූරීන් "නමෝ නමෝ මාතා" ගීය ලිව්වේ 1940 දී. එතුමන් කළුරිය කලේ 1962 දී. එහෙම නං වස් වැදිලා තියෙන්නේ අවරුදු 22 කට පස්සෙනේ. ඒක හරි පුදුම වස් වැදිල්ලක්. (තැපෑලෙන් ආපු එකක්ද කොහෙද.) ඇත්තටම උනේ සමරකෝන් නමෝ නමෝ මාතා යනුවෙන් ලියූ ගීතය ඔහුගේ කිසිදු අනු දැනුමකින් තොරව වෙනස් කිරීමයි. ඒ වගේම නමෝ නමෝ මාතා ගීයට එරෙහිව මේ රටේ සම්ප්‍රදායික චින්තකයන් ගෙන ගිය දැඩි විරෝධය, සමරකෝන්ට දැඩිසේ පරිභවකරමින් ලියූ පුවත්පත් ලිපි ආදී කරුණු නිසා ඔහු බලවත් මානසික පීඩාවකට පත්වුණා. ජාතික ගීය නිර්මාණය කිරීම වෙනුවෙන් රජයෙන් පිළිගැන්වූ රු.2,500/- ක මුදල ලබා දුන්නේ සමරකොන්ට නෙවෙයි ඒ ගීය මුලින්ම පලවූ පොතේ ප්‍රකාශකයට. ඔය ආදී කරුණු මුල් වීමෙන් දැඩි අසහනයකට පත්වූ ආනන්ද සමරකෝන් ශූරීන් 1962 අප්‍රියල් මස 05 වැනිදා නිදි පෙති විශාල ප්‍රමාණයක් පානය කරල සිය දිවි නසාගත්ත. ඇත්තටම උනේ ජාතික ගීය නිර්මාණය කල ජාතික සම්පතක්වූ මේ කලාකරුවාණන්ව හනමිටිකාර පණ්ඩිත ගද්‍රභයන් විසින් මරා ගත්ත එකයි. ( සුනිල් ශාන්තයන්ට වස් වැදුන කියන කතාවත් පිටුපස ඔය වගේ වෙන සත්‍ය කතාවක් ඇති.)

    ReplyDelete
  14. @ගල් මල්
    ගල් මල්ට බොහොම ස්තුතියි. ඔබේ දිරි ගැන්වීම ඉදිරියටත් ලිපි ලියන්න රුකුලක්. අපි තව හොඳ සාකච්චා ඉස්සරහට කරමු. අනෙක් අයත් තමා තමන් දන්නා දේවලින් දායකත්වය දක්වයිනෙ. ලින්ක් එකටත් ස්තුතියි.

    @විසිතුරු
    කමෙන්ටුවට තුති.
    සේනාරත්න වීරසිංහ ඔය පරිවර්තනය කලේ කොයි කාලෙද? ඔහුගේ වෙනත් පොතක, පොත් ලැයිස්තුව බැලුව ඔය නම තිබුනෙ නැහැ. අනුල ද සිල්වා මහත්මිය කල පරිවර්තනය නම් මා ළඟ තියෙනව. ඒක 2001 දී. මටත් මතකයි පාසල් යන අවදියේ (1980 ගණන් වල) තව පොතක් කියෙව්වා. ඒකෙ නම යොදල තිබුනෙ "රන් දිව" කියල. පරිවර්තක කව්ද කියල නම් මතක නැහැ.

    ReplyDelete
  15. රන් දිවයින පොත දැනට මගෙ ලඟ නෑ. විස්තර හොයාගත්තොත් කියන්නම්කො

    ReplyDelete
  16. හෙට නුවර ගිහාම බලලා කියන්නම්. මගෙ පොත්වලින් බාගයක් එහෙනෙ.

    ReplyDelete
  17. කතරගම වඳින්න ඒම ගැන විස්තර ටිකක් බැද්දෙගම නවකතාවෙත් තියනව නේ...

    ReplyDelete
  18. @විසිතුරු
    ඔව් අපි හොයල බලමුකෝ.

    @නලිනි චන්දිමා
    දොස්තර නෝනා තම නුවර ගිහින් නෑ වගේ.

    @චේජනා
    මේ පැත්තේ ආවට බොහොම ස්තුතියි. ඔයා ලියන බ්ලොග් එකටත් ගියහම දැනගත්ත හොඳ සහෘදයෙක් වග.
    ඔව් බද්දේගම නවකතාවේත් සිලිඳුයි, එයාගේ පව්ලේ උදවියයි කතරගම ගිය හැටි තියෙනවා. ඒ මං හිතන්නෙ 19 වන සියවසේ. බොහොම ස්තුතියි මතක් කලාට.

    ReplyDelete
  19. ගොඩක් රසවත් වගේම වැදගත් ලිපියක් අයියෙ.. හරිම ආසාවෙන් කියෙව්වෙ...

    @ නලිනි චන්දිමා,

    වෛද්‍යතුමියට ගොඩක් ස්තූතියි සබැඳියට..

    @ ගල්මල්,

    ඔත්තුව හරි වටින එකක් අයියෙ... බොහොමත්ම ස්තූතියි..

    ReplyDelete
  20. කියන්න අමතක වුණා... සුනිල් ශාන්තයන් ගැන Observer අයියා කියල තියෙන වස් වැදිච්ච කතාව මාත් අහල තියේ...

    ReplyDelete
  21. @සන්සරසිදු
    අනේ මේ පැත්තෙ ආ එක කොච්චර දෙයක්ද? කමෙන්ටුවටත් බොහොම ස්තුතියි. ඔයාගේ බ්ලොග් එකත් කියෙව්වම හොඳ සහෘදයෙක් කියල හැඟුනා. දිගටම මිත්‍රත්වය තියා ගමු.

    සුනිල් ශාන්ත කතාවේ ඇත්ත නැත්ත මං හොයා ගන්නන්කො. හැබැයි ටිකක් කල් යයි.
    හරි විස්තරේ හොයාගත්තු දාට ඒ ගැන පොස්ට් එකක් දාන්නන්.

    ReplyDelete
  22. ආනන්ද සමරකෝන් මහත්මයාගේ කතාව කියන්න හැදුවා විතරයි..ඒක කියලා තියෙනවානෙ පොත්ගුල්ලා මම දන්න විදිහට ඇත්ත කතාවත් ඒක තමයි...

    සුනිල් ශාන්ත මහත්මයාගෙ කතාව මං දන්න විදිහට (ගමේ මිනිස්සු කියන විදිහට ) මෙන්න මේකයි...

    ඒ කාලේ ගුවන් විදුලි සංස්ථාවෙ සුනිල් ශාන්ත මහත්මයාගෙ ගීත ප්‍රචාරණය වෙන එක වාරනය කරලා තියෙනවා ඒවායෙ ව්‍යාකරණ දෝශ තියෙනවා කියලා... ඊට පස්සේ තමයි ඔය වගේ දුක් සහිත තත්වයකට වැටිලා තියෙන්නේ...

    එයා ඊට පස්සේ තමයි රෙදි වෙලඳාමට බැස්සා කියන්නෙ...ආර්ථික අමාරුකම් නිසා පදිංචිවෙලා හිටපු ගේ කුලියට දීලා කුකුල් කොටුවේ පදිංචි වෙලා තියෙනවා...

    සමහර කට්ටිය කියන්නෙ නම් එතුමා ටිකක ආඩම්බරයිලු...ඉතින් ගමේ අය උදව් කරන්න හැදුවත් එයා ගනන් අරන් නෑ... ප්‍රේමදාස මහත්තයා ගෙයක් දුන්න වෙලාවෙත් කිව්වයි කියනවනෙ.. මට නිකන් ගෙවල් එපා. මම කවදාහරි මේකට සල්ලි ගෙවනවා කියලා......

    කොහොමහරි ගුවන් විදුලිය එතුමාගෙ ගීත ආයේ ප්‍රචාරය කරන්න අනුමැතිය දුන්නත් සුනිල් ශාන්ත මහත්තයා ගුවන් විදුලියට ආයෙ අඩිය තියලා නෑ... ඒ වෙනුවට අයිවෝ ඩෙනිස් මහත්මයා තමයි සිංදු කියලා තියෙන්නේ....

    ReplyDelete
  23. @හරී
    එහෙනං හරී පරණ ලිපිත් කියවල වගේ. බොහොම ස්තුතියි කමෙටුවටයි විස්තර වලටයි. සුනිල් ශාන්තයන්ගේ ගීත තහනම් උනේ ඇත්තටම වෙන හේතුවක් නිසා. ඔය කාලේ ගුවන් විදුලියේ පාලනාධිකාරිය තීරණය කරල තියෙනවා ගායක ගායිකාවන් සියල්ලන්ම ශ්‍රේණි ගත කල යුතුයි කියල. ඒ අනුව පරීක්ෂණයක් පවත්වා අදාළ ශ්‍රේණිය තීරණය කිරීමට සුදානම් වෙලා පරීක්ෂණය මෙහෙයවීමට ඉන්දියාවෙන් රාගධාරී සංගීතය උගත් පරීක්ෂකයන් ගෙන්නලා තියෙනවා. මේකට සුනිල් ශාන්තයන් බලවත් සේ විරුද්ධ වෙලා. ලංකාවේ සංගීතඥයන් ශ්‍රේණි ගත කිරීමට ඉන්දියාවේ අය යොදා ගැනීම වැරදි බවත් ලංකාවේ සංගීතය රාගධාරී සංගීතය නොව අපටම අනන්‍ය සංගීතයක් බවත් තමා ඔහු පවසා තිබෙන්නේ. ඒ වගේම එතුමා පරීක්ෂණයට මුහුණ දීම ප්‍රතික්ෂේප කරල තියෙනව. බලධාරීන් ඒ අනුව තීරණය කරල තියෙන්නේ පරීක්ෂණයට නොපැමිණීම හේතුවෙන් ඔහු අසමත් වූ බවයි. අසමත් අයගේ ගීත ප්‍රචාරය කිරීම ගුවන් විදුලිය නවත්වා දැමීම නිසා තමා ඔහුගේ ගීත වාරණය වෙන්නෙ. පසු කාලීනව මේ මෝඩ තීරණය ගුවන් විදුලි සංස්ථාව ඉවත්කරගෙන තිබෙනව.

    අර උදව් ප්‍රතික්ෂේප කිරීම ආඩම්බර කමකටත් වඩා ආත්ම ගෞරවය පිළිඹඳ හේතුවක් කියලයි මං හිතන්නෙ.
    ඔය පෞද්ගලික ජීවන තොරතුරු නං මම ඇත්තටම දැනන් හිටියෙ නැහැ. කිව්වට ගොඩක් පින්.

    ReplyDelete
  24. අපේ ලොකු තාත්තා (සීයා) ඒ කාලෙ කියපු හැටියට තමයි මම කිව්වෙ... එයාට ඒක තේරෙන්න ඇත්තෙ ඒ විදිහට වෙන්න ඇති....
    බොහොම ස්තුතියි නිවැරදි කලාට... ගෙදර ගියාම තව විස්තර ටිකක් හොයලා දාන්නම්කෝ...

    ReplyDelete
  25. අද දාපු අමරදේවයන්ගෙ ගීතය අහලා අන්තිමට පොත්ගුල්ලගෙ පරණ පොස්ට් ටිකකුත් කියෙව්වා. මේ පොස්ට් එකනම් හරිම වටින එකක්. දවසක් සුනිල් ශාන්ත මහත්මයා ගැනත් ලියන්නකෝ.

    ReplyDelete
  26. @ලකී
    ලකී එහෙනං පරණ පෝස්ට් පැත්තෙත් කරක්ගහල වගේ. බොහොම ස්තුතියි. කව්රුහරි මේවා කියවනවා කියල දැනුනම හිතට සතුටක් දැනෙනවා.
    සුනිල් ශාන්තයන් ගැනත් ලියන්න ඕනේ. ඊට කලින් තව කරුණු ටිකක් හොයාගන්න තියෙනවා. ඔය හරී මල්ලිත් විස්තර ටිකක් දීල තියෙන්නේ. ළඟදිම බලමුකෝ.

    ReplyDelete
  27. "මගෙ කුකුළා නැසූ එකා
    දදය ඔබගෙ පාළු යකා"

    මේක ගායනයේදී මෙහෙම කීවය රචනය නම්
    "මගෙ කුකුළා නැසූ එකා
    දදය ඔබගෙ පාළුය කා"

    කතරගම දෙවි කොඩි සලකුණේ ඉන්නේ කුකුලා - ඒ සොරකම් කල බැවින් කොඩිය පාළුවට ගොස් ඇති බවයි කියවෙන්නේ

    මේක රැයිපියල් තෙන්නකෝන් සූරීන්ගේ රචනයක් කියලයි අහලා තියෙන්නේ මහත්තයෝ

    ReplyDelete
    Replies
    1. රයිපියල් කියල කවියාගේ නම කියවෙන්නේ මයේ හිතේ ඉංග්‍රීසියෙන් ලිවීමේදී Raypiyal කියා ලිවීම නිසා විය යුතුයි. ඔහුගේ නම රැපියෙල් කියා තමා මා නම් අසා ඇත්තේ.
      පැහැදිලි කිරීම ගැන දොඩන්ගොඩ මහතාට මගේ ස්තුතිය.

      Delete
  28. මට මේ මගේ කුකුලා සින්දුව සුනිල් ශාන්තයන් ගායනා කළ ආකාරය අහන්න ආසයි. ඒත ඒක අන්තර්ජාලයෙන් සොයාගන්න බැරි උනා. දන්න කෙනෙක් ඉන්නවනං ඒ සින්දුව ගන්න තැනක් කියන්න.

    ReplyDelete
    Replies
    1. මෙන්න අහන්න;
      https://www.youtube.com/watch?v=j9vUClp442k

      Delete