Wednesday, December 19, 2012

සීතා ගැයී, නිල්.

දඩයම් යුගය පසුකර ශිෂ්ඨාචාර ගතවීමේ මුල් අවදියේ මිනිස් ජනාවාස පුරා විද්‍යාඥයන් විසින් කැනීම් කළා. ග්‍රීසිය අසල දූපතක් වූ ක්‍රීටය, වයඹ දිග ඉන්දියාවේ මොහන්ජොදාරෝ-හරප්පා ශිෂ්ඨාචාර, යුරෝපයේ ගල්-ස්මාරක සංස්කෘතීන් (stone-henge cultures) යනාදී ශිෂ්ඨාචාරයන් හි හමුවූ ප්‍රජා සොහොන් බිම් කැණීමේදී ඔවුන්ට හමුවූ මිනී ඇට වල විශේෂ ලක්ෂණයක් ඔවුන් හඳුනා ගත්තා. ඒ තමා ඒ කිසිවක, පහරදීම් හෝ සටන් වලින් ලත් තුවාල නොමැති වීම. එනම් ඔවුන් සාමකාමී ලෙස මියගොස් තිබූ අතර යුධ පැවති බවට කිසිදු සාක්ෂ්‍ය නොතිබීම. ඒ ශිෂ්ඨාචාර පිරික්සීමේදී හමුවූ අනෙකුත් කෞතුක භාණ්ඩ පරීක්ෂාවේ දී පෙනී ගියේ ඔවුන් ඇදහූයේ දෙවියෙකු නොව දෙවඟනක බවයි. ඒ මාතෘ දෙවඟනයි. තවදුරටත් පුරාවිද්‍යාඥයන් සිදු කළ පර්යේෂණ වලදී පැහැදිලි වුයේ ඒවා මාතෘ මූලික ශිෂ්ඨාචාර බවයි.   

 A mother goddess statuette from Canhasan, Turkey

එහෙත් කාලයාගේ ඇවෑමෙන් මාතෘ බලය පරදා පුරුෂ ආධිපත්‍යය ඉස්මතු වුනා. ඒ සමග මුල් තැන ලත් මව් දෙවඟන පසු පෙලට ගොස් විවිධාකාරයේ පුරුෂ දෙවිවරු වන්දනාවට පාත්‍ර වෙන්න පටන් ගත්තා. මව් දෙවඟන වගේ නෙමෙයි මේ පුරුෂ දෙවිවරු කෘරයි, ඒ වගේම යුධ කාමී යි. ශිෂ්ඨාචාරයේ මේ වෙනස සිදුවීමත් සමග ගෝත්‍ර එකිනෙකා අතර ගැටුම් ඇතිකරගන්න පටන් ගත්තා. යුද්ධය බිහි වුනා. මව් රැකවරණය යටතේ සාමකාමී ව තිබූ ලෝකය, පුරුෂාධිපත්‍යයත් සමග යුධ බිමක් බවට පත් වුනා. ඉන්පසු ඉතිහාසය සමන්විත වන්නේ යුද්ධ වලින්. එක් රජෙක් යුධයෙන් පරදා තව රජෙක් බලයට පත්වීමේ කතාන්තර තමා ලෝක ඉතිහාසය කියන්නේ.



රාමායණය ලියවෙන යුගය වනවිට මේ මාතෘ මූලික සමාජ, පුරුෂාධිපති සමාජ බවට හැරුණු අලුත. ඒ නිසා අපට රාමායණ කතාවෙන් මේ සංසිද්ධිය පිළිඹඳ යම් සාධක සොයා ගත හැකියි. විෂ්ණු දෙවි, රාම ලෙස මිනිස් සමාජයේ බිහි වන විට ඔහුගේ භාර්යාව ලක්ෂ්මිය, සීතා ලෙස උපත ලබනවා. 




සීතා, මිථිලා නුවර රජ කළ ජනක රජුගේ දියණිය ලෙස හැඳින්වූවද, ඇය සීසාන විට පොළොව පලාගෙන මතුවූ බව කියවෙනවා. එනම්, ඇය පොළෝමහී කාන්තාව ගේ දියනියයි. ජනක ගේ දියණිය යන අර්ථයෙන් ඇය 'ජානකී' ලෙසද නම් වන අතර සමහර ඉන්දියානු ජනශෘති වල ඇයට 'වේදහී' යන නාමය ද භාවිත වෙනවා. රාම ට ඇය හමුවන්නේ විශ්වමිත්‍ර නම් තවුසා සමග මිථිලා නුවරට ගිය ගමනකදී. කිසිවකුටත් නැමිය නොහැකිව තිබූ දුන්නක් නමා බිඳ දැමීම නිසා ජනක රජු සීතා කුමරිය ඔහුට සරණපාවා දෙනවා. පසුව ඔවුන්ට අයෝධ්‍යා පුරය හැර වනගත වන්නට සිදුවීමත්, රාවණා පැමිණ සීතා පැහැරගෙන යාමත්, හනුමා ගේ උදව්වෙන් රාවණා මරා සීතා බේරා ගැනීමත් පිළිඹඳ කතාව අපි පසුගිය ලිපියේ (ඔබ හට වයිරව රවුලා කුඩ කොඩි ඈ ගුවන ලමින් -  මහිමෙට තද තෙද පවුලේ පෙන්නා ඉඳිතෙයි කී දැන්) කතා කළා. 




රාම, රාවණා ගෙන් සීතා ගලවාගත් නමුත් ඇය සිය බිරිය ලෙස පිළිගැනීමට මැලි වෙනවා. ඇයගේ පතිවෘතාව පිළිඹඳ සැක පහළ කරන රාම, සීතා බේරා ගැනීමට තමන් ක්‍රියා කළේ සිය ආත්ම ගෞරවය රැකගැනීමටත්, තමාගේ යුතුකමක් ඉටු කිරීමටත් පමණක් බව පවසනවා. මෙහෙම වෙනවා නම් උන්නාට වඩා මලා නම් හොඳයි කියා සිතන සීතා ගිනිගොඩක් ගසා එයට පනිනවා. ඒත් සීතාවගේ පතිවෘතා බල මහිමය නිසා ඇයට කිසි අනතුරක් වන්නේ නැහැ. මෙයින් පැහැදෙන රාම යලිත් සීතා සිය බිරිය ලෙස පිලිගන්නවා. (මෙහි ගෞරවය ඇත්තටම ලැබිය යුත්තේ රාවණාට යි.)



එහෙත් සීතාවගේ කරදර එතැනින් නිම වන්නේ නැහැ. රාම නිසා සීතා ගැබ්බර වීමත් සමග තත්වය නරක අතට හැරෙනවා. සමහර විට ඒ තමා නිසාම දැයි රාමට සැකයක් ඇතිවන නිසා විය හැකියි. ඒ අතර රජ මැදුරේ රජකයා (laundryman) (මේ වන විට රාම වනගතව සිටිය යුතු කාලය අවසන්ව යලිත් අයෝධ්‍යාවට ගොස්) වෙන පුරුෂයකු සමග ගොස් අසුවූ සිය බිරිය පළවා හරිනවා. "මම රාම වගේ පිට ගෙදරකට ගිය ගෑණි ආයේ පිළිගන්නේ නැහැ," ඔහු රාමට ඇහෙන්නම කියනවා. මේ කතාවෙන් අවුලකට වැටෙන රාම ලක්ෂමන කැඳවා සීතා ව වනයට ගෙන ගොස් දමන ලෙස අණ කරනවා. 


ටිකක් වෙනස් කතාවක් 'මධුර ජවනිකා' කෘතියේ දයානන්ද ගුණවර්ධනයන් සඳහන් කොට තිබෙනවා;

"ලාංකික කතාවක් අනුව රාම නැති විටෙක රාවණා ගේ විස්තර ඇසීමට පැමිණි පාර්වතියට සීතා අළුකෙහෙල් කොළයක රාවණා ගේ රුව ඇඳ දැක්වූවාය. එවිට රාම පැමිණුනෙන් වහා කෙසෙල් කොළය ඇඳ යටට දමන ලදී. එහි රාම සැතපුණු විට රාවණා ගේ බලයෙන් ඇඳ සෙලවිණි. කෙහෙල් කොළයේ වූ රූපය බලා සීතාවන් සැක කළ රාම ඈව වනයට ගොස් මරා දැමීමට ලක්ෂ්මනට භාර කළේය. ලක්ෂමන සතකු මරා කඩුවෙහි ලේ තවරා රාමට පෙන්වා සීතාව නොමරා පිටත් කළේ ය."   


වනාන්තරයේ අනාථව සිටින ඇයට පිහිටට එන්නේ තව්සෙක්. ඒ තමා වාල්මිකී. සීතා, වාල්මිකී ට කියන කතාන්තරය තමා ඔහු රාමායණය ලෙසින් ලේඛණගත කරන්නේ. පසුව සීතාව ට නිවුන් දරුවන් දෙදෙනෙකු ලැබෙනවා. ඔවුන් කුස සහ ලව ලෙස නම් කෙරෙනවා. වන අසපුවේ වැඩෙන ඔවුනට වාල්මිකී,  රාම අභිවාදන ස්තෝත්‍ර කියාදෙනවා.  දිනක් වනයට දඩයමේ එන රාමට තමා ගැන අභිවාදන ස්තෝත්‍ර ගයන මේ ළමුන් දෙදෙනා හමුවෙනවා. ඔවුන් හඳුනාගන්නා ඔහු තමා සමග ඔවුන් මාලිගයට රැගෙන යාමට සූදානම් වෙනවා. එහෙත් සීතාවන් භාර ගැනීමට මැලිවන ඔහු යලිත් වරක් පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා.


සීතා යලිත් මාලිගයට ගියා ද? වන අසපුවේම නතර වුනා ද? වෙනත් යමක් සිදුවුනා ද? ඒ ටික අපි බලාගනිමු නීනා පාලේ විසින් නිර්මාණය කළ මේ animation වර්ගයේ කාටූන් සිනමා පටයෙන්.


Nina Paley & Sita Sings the Blues

නීනා පාලේ ඇමෙරිකානු ජාතික කාටූන් ශිල්පිනියකි. ඇය ස්ත්‍රී වාදී ස්වරූපයකින් ලෝකය දකින අතර රාමායණය අළලා අපූරු කාටූන් සිනමා පටයක් Sita Sings the Blues නමින් නිර්මාණය කළාය. තම සිනමා පටය අන්තර්ජාලය ඔස්සේ ඕනෑම කෙනෙකුට නැරඹීමට ඇය ඉඩ හසර සලසා ඇත. නිර්මාණයක අයිතිය පිළිඹඳ ඈ වෙනම අදහසක් දරයි. පිටපතක් ලබාගැනීම, සොරකමක් නොවන බව ඇගේ මතයයි. ස්වාධීන නිර්මාණයක් කියා දෙයක් ඇත්තටම නොමැති බව පවසන ඇය සෑම නිර්මාණයක්ම පූර්ව නිර්මාණයන් ගේ ආභාසය ලබන බව කියයි. ඒ පූර්ව නිර්මාණ වසර දහස් ගණනක් පැරණි විය හැකි මෙන්ම අවුරුදු කිහිපයක් හෝ මාස කිහිපයක් වුව පැරණි විය හැකිය.  නීනා ගේ අදහස් වැඩිදුරටත් දැනගැනීමට මේ දිගුව ඔස්සේ යා හැකිය;

Nina Paley on: Sita Sings the Blues: The Ramayana and "Free Culture".

Nina Paley

කාටූන් සිනමා පටය රාමායණය අළලා නිමවුවද ඒ අතරතුර අප ඉදිරියේ නිනා ගේ ප්‍රේම කතාවද දිග හැරෙයි. මේ නිර්මාණයට නීනා කාටූන් ශෛලීන් කිහිපයක්භාවිත කර ඇති අතර අප බොහෝ විට දකින හොලිවුඩ් ගනයේ animation වලට වඩා ඉතා වෙනස් ආකාරයක අත්දැකීමක් ඔබට මෙහිදී ලැබෙනු ඇති. 



සම්පූර්ණ සිනමා පටය යූ ටියුබය ඔස්සේ නැරඹීමට; සීතා ගැයී, නිල්.


22 comments:

  1. මේ විෂය ගැන ගැඹුරින් තොරතුරු රැසක් කියවන මුල්වතාව. නොදන්න බොහෝ දේ දැනගත්තෙමි. බොහෝම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඩීන් අයියා වගේ බොහෝ අසූ පිරූ තැන් ඇති තැනැත්තෙකුටත් දැනගන්න දෙයක් තිබුණනං මගේ උත්සාහයේ යම් සාර්ථකත්වයක් තියෙනව කියල හිතෙනව.

      Delete
  2. මේ ගැන නම් මම දැනන් උන්නෙම නෑ. නොදන්න දේවල් ඉගෙන ගත්තා මේ පෝස්ට් එකෙන්.පොත්ගුල්ලා සහෝදරයාව දැක්ක කල් !

    ReplyDelete
    Replies
    1. මාස දෙකක් වගේ කාලයක් බ්ලොග් ලෝකෙ පැත්ත පලාතෙ එන්න ලැබුනේ නැහැ, බොහොම කාර්ය බහුල උනා. ආයෙත් ජනවාරියේ ඉස්කෝලෙ පටන්ගත්තම කොහොම වෙයි ද දන්නෙ නැහැ.

      මධුරංග මල්ලි මේ පැත්තෙ ආ එක ගැන සතුටුයි.

      Delete
    2. මට පොඩි උදව්වක් ඕන. ලස්සන නවකතා පොත් දෙක තුනක නම් ටිකක් පහලින් කමෙන්ට් කරන්ඩ පුලුවන් ද ? (පොත් ගුල්ල සහෝදරයා බුකියෙන්වත් හොයාගන්න නැති නිසයි මෙහෙම කමෙන්ට් කරන්නේ. ඒකට සමාව)

      Delete
    3. මොනවගේ නව කතා ද?
      ප්‍රවීන සින්හල ලේඛකයො ද? නූතන නව කතා ද? පරිවර්තන ද?

      Delete
    4. පරිවර්තන එපා අයියේ. ලේඛකයා ප්‍රශ්නයක් නැත. නූතන නවකතා තමා ඕන. ආදර කතා උනත් කමන් නෑ. සුදූ පැටියෝ බබා කිය කිය තොදොල් වෙන පරිච්ඡේද තුන හතරක හිටන් අඬා වැටෙන කතා එපා !

      Delete
    5. නූතන සිංහල නවකතා ගැන නං මං එච්චර දන්නෙ නැහැ.
      මේ දවස්වල නවකතා ලියන සිංහල ලේකඛයන් ගෙන් මං කියවන්නෙ සුනේත්‍රා රාජකරුනානායක ගේ කෘති සහ ටෙනිසන් පෙරේරා ගේ කෘති තමයි.
      ඔයාට හොඳ හෝඩුවාවල් ටිකක් ගන්න පුලුවන් මූණු පොතේ තියෙන, 'පොත් කියවන අය' නැමැති පිටුව ෆලෝ කලොත්. ඒක කරන්නෙත් මගේ මරණය ලියන බ්ලොග් කතුවරයයි.

      Delete
  3. වෙලාවක ෆිල්ම් එක බාගෙනම බලන්ට ඕන.. තැන්කූ ලින්ක් එකට.. :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් බලන්න. බුරා කැමති වෙනව ෂුවර්.

      Delete
  4. මම දැන ගන හිටියෙ නෑ මේ ගැන. දැන්නම් අනිවාර්යෙන් බලන්න ඕනෙ. ස්තූතියි විස්තරේට.

    ReplyDelete
    Replies
    1. දැනුමට යමක් එකතු කරන්න ලැබීම ගැන සතුටුයි.
      ඔව්, කාටුන් එක කොහොම හරි බලන්න. අපූරු අත්දැකීමක් වෙනව නිසැකයි.

      Delete
  5. ඕඕඕඕඕඕඕඕ, සීතා ගින්නෙන් බේරෙන තැනට එනකං විතරයි මං කතාව දැනං හිටියෙ. රාමටනම් මොකක් හරි අසනීපයක් තිබිල තියෙන හැඩයි, දිගින් දිගට ගෑනිව සැක කරන්න සහ ඒ සැකය හින්දා ගෑනිව මරන්න.

    ReplyDelete
    Replies
    1. මරන්ඩ අණ කරල තියෙන්නෙ ලංකාවෙ කතන්දරේ විතරයි. ඉන්දියාවෙ කතාවෙ තියෙන්නෙ මාලිගයෙන් පිටමන් කිරීම.
      නලිනි කාටූන් එක බැලුවද?

      Delete
    2. අවුරුදු ගාණක් ගිහින් කාටුන් එක බැලුවෙ අද තමා. වෙනස්ම ආරක කාටුන් එකක්. රාමා- සීතා කතාවෙ, රාමව අදහන අයට නොපෙනෙන හාස්‍යය ඉස්මතු කරන ගමන්, වර්තමානයටත් ගලපන හැටි අපූරුයි. හැබැයි, වෙනත් චිත්‍රපටවලින් වගේම කාටුන් චිත්‍රපටවලිනුත් සෑහෙන වෙනස් මගක් ගත් චිත්‍රපටයක් නිසා, සෑහෙන විවේකයක් මැද බැලිය යුතු එකක් කියලා හිතෙනවා. ස්තුතියි පොත් ගුල්ලා.

      Delete
  6. //...සීතා, මිථිලා නුවර රජ කළ ජනක රජුගේ දියණිය ලෙස හැඳින්වූවද, ඇය සීසාන විට පොළොව පලාගෙන මතුවූ බව කියවෙනවා....//

    සීතා කියන්නේ රාවණා නොදැනුවත්ව රාවණාගේ අග බිසව වුණු මන්දෝදරීට බිහිවුණු දැරියක් කියලාත් කතාවක් තියෙනවා. මේ දැරිවිය හොර රහසේ මුහුදේ පා කළාට පස්සේ මුහුදට අධිපති වරුණ දෙවියෝ ඒ දරුවාව මහී කාන්තාව බිහි කරපු දැරියක් විදිහට ජනකට ලබා දුන්නා කියලා තමා කියවෙන්නේ

    //..ලාංකික කතාවක් අනුව රාම නැති විටෙක රාවණා ගේ විස්තර ඇසීමට පැමිණි පාර්වතියට සීතා අළුකෙහෙල් කොළයක රාවණා ගේ රුව ඇඳ දැක්වූවාය. එවිට රාම පැමිණුනෙන් වහා කෙසෙල් කොළය ඇඳ යටට දමන ලදී. එහි රාම සැතපුණු විට රාවණා ගේ බලයෙන් ඇඳ සෙලවිණි...//

    මේ කතාව තව විදිහකට තියෙන්නේ රාම රාවණ සංග්‍රාමයෙන් දිවි ගලවාගත්තු රාවණාගේ සොයුරිය සුර්පණකා දාසියක් විදිහට රාමගේ මාළිගාවේ ඉන්නවා. එයා උපායශීලීව සීතා ලවා රාවණාගේ රූපයක් සීතාගේ කාමරයේ බිත්තියේ අන්දවා ගන්නවා. මේක රාම දැකීමෙන් තමා ගැටළුව ඇතිවෙන්නේ...

    ReplyDelete
    Replies
    1. එතකොට රාවණා පැහැරගෙනවිත් තියෙන්නේ තමාගේ සුළු-දියණිය?

      ඉපැරණි ජනප්‍රවාද විවිධ ජන කොටස් අතර විවිධාකාරයෙන් පැවතීම ස්වභාවිකයි.
      කොහොම උනත් හසිත මල්ලිට මේ විෂය ගැන හසල දැණුමක් ඇති බව පැහැදිළියි.

      Delete
  7. වටින ලිපියක්......
    ඒක නෙවෙයි ඔය ඉන්න එකේ ඉස්කෝල ජීවිතේ ගැනත් වෙලාවක ලියමුකො. අපිට දැනගන්නත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදාර, ලිපිය අගය කිරීම ගැන.

      ගුරු ජීවිතය පටන්ගත්ත අලුත නිසා තව කල් ගිහින් ඒ විස්තරත් ලියන්නම්කො.

      Delete
  8. බොහොම ස්තුතියි ....නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා ...

    ReplyDelete
    Replies
    1. සතුටුයි, එහෙම උනා නම්.
      සංජය ව මකරන්දයට සාදරයෙන් පිලිගන්නවා.

      Delete