Sunday, July 31, 2011

Ladri di biciclette - බයිසිකල් හොරු


මගේ තාත්ත උපන්නේ 1930 අවුරුද්දේ. 1950 වෙනකොට ගජ ඉලන්දාරිය. තාත්ත මට කියල තියෙනවිදියට ඒ දවස්වල එයා හොඳ පිච්චර් පිස්සෙක්ලු. පදිංචිවෙලා ඉඳල තියෙන්නේ කොළඹ කොම්පන්ඥ්ඥ වීදියේ. කොළඹ සිනමා ශාලා වලට එන ඕනෑම චිත්‍රපටියක් වරද්දන්නෙ නැතිලු. ඉංග්‍රීසි, හින්දි හෝ වෙනත් ඕනෑම භාෂාවක් කමක් නැහැ එන ඕන එකක් බල බල තමා ඉඳල තියෙන්නෙ. හැබැයි 1950න් ආරම්භ වුනු දශකයේ මුල් භාගයේ බලන්ට ලැබුණු චිත්‍රපටියක් නිසා හැම දෙයක්ම වෙනස්වෙලා. ඉන් පස්සේ තමා තාත්තට වැටහිලා තියෙන්නෙ කලාව මිනිසා වඩා යහපත් කිරීමට යොදා ගත හැකි මාධ්‍යයක් බව. නිකන්ම නිකන් විනෝද මාධ්‍යයක් නොවී මනුස්සකම ගැන කතා කරන, මිනිහෙක් තමන් ජීවත් වෙන ආකාරය ගැන යළි හිතන්නට පෙළඹවිය හැකි උසස් නිර්මාණ ශීලී ගුණයක් හොඳ යැයි සලකන කළා කෘතියක තිබිය යුතු බව.  කොටින්ම කියනවා නං චිත්‍රපටයකින් විනෝදය ලබා දෙනවට වඩා කරන්ඩ දෙයක් තියෙන බව. ඒ වෙනස ඇති කරපු චිත්‍රපටය තමා "බයිසිකල් හොරු". 

"බයිසිකල් හොරු" බැලුවට පස්සේ එයා තීරණය කරලා තියෙනව ඉන් ඉදිරියට එන හැම සිනමා පටයක්ම ඔහේ බලන්නේ නැතුව චිත්‍රපට තෝරා බේරා ගෙන බලන්ඩ. ලංකාවේ වාමාංශික ව්‍යාපාරෙට සම්බන්ධ වෙන්න ගත්තු තීරනේටත් මේ සිනමා පටය යම් බලපෑමක් අපේ තාත්තට කරල තියෙනව. අපේ තාත්තගේ ජීවිතේ අලලා මං වෙනම පොස්ට් එකක් ඉස්සරහට ලියන්නන්කො. මොකද අපේ තාත්තත් ඔය "වානේ පන්නරය" ලබාපු චරිතයක්නෙ. අපේ සහෘදයෝ ඒ කතාවත් දැනගන්ඩ කැමති වෙයි කියල මට හිතෙනව. ඒත් අපි අද "බයිසිකල් හොරු" ගැන කතා කරමු.

මේක ඉතාලි චිත්‍රපටයක්. පසුබිම් වෙන්නෙ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ඉතාලියේ රෝම නගරය. චිත්‍රපටයේ අධ්‍යක්ෂක "විටෝරි ඩි සිකා". 1948 නොවැම්බර් මාසයේදී තමා මුල් වරට තිරගත කරලා තියෙන්නෙ. 1950දි ඇකඩමි ගෞරව සම්මානයක් (Academy Honorary Award) මේ චිත්‍රපටයට හිමිවුනා. බ්‍රිතාන්‍යයේ "Sight & Sound"  සඟරාව 1952 දි මුල් වරට ලෝක සිනමා විචාරකයන් සහ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂක වරුන් එක්රැස් කරලා ලොව මෙතෙක් නිපදවූ හොඳම චිත්‍රපට දහය තේරුවා. එහිදී පළමුවෙනි තැන ලැබෙන්නෙ "බයිසිකල් හොරු" සිනමා පටයට. Sight & Sound සඟරාව මේ තේරීම වසර දහයෙන් දහයට අද දක්වාම කරගෙන එනව. 2002 වසරේ සිනමා අධ්‍යක්ෂක වරුන් විසින් කල නවතම තේරීමට අනුව බයිසිකල් හොරු තවමත් මුල් චිත්‍රපට දහය අතර හය වෙනි තැන රැඳිල ඉන්නව. 2005 වසරේදී බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (British Film Institute) , "ඔබ 14 වැනි වියට පා තබන විට නරඹා තිබිය යුතු චිත්‍රපට පණහ" (The 50 films you should see by the age of 14)  නම් කලා. එහි පළමු චිත්‍රපට දහයට බයිසිකල් හොරු ඇතුලත්.

කතාව ;
අන්තෝනියෝ රිස්සි, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉතාලියේ බංකොලොත් ආර්ථිකයෙන් බැට කන විරැකියාවෙන් පෙලෙන දුප්පත් කම්කරුවෙක්. නඩත්තු කරන්න දරුවො දෙන්නෙකුගෙන් යුතු පවුලක්. අත දරුවෙකුයි, වයස අවරුදු හයක, හතක විතර කොලු පැටියෙකුයි. ඔක්කොම කටවල් හතරකට කෑම හොයන්න ඕනෙ. රැකියා දෙපාර්තමේන්තුවෙන් අන්තෝනියෝට එක් රැකියාවක් ලැබෙනව. රෝම නගරයේ වීදි වල පෝස්ටර් ඇලවීම. හැබැයි රැකියාව ලබා ගන්ට සුදුසුකමක් ඕනෙ. ඒ තමා තමන්ට කියල බයිසිකලයක් තිබීම. අන්තෝනියෝට බයිසිකලයක් තියෙනව. හැබැයි ඒක උගස් කඩේ. "No bicycle, no job" දෙපාර්තමේන්තුවෙ නිලධාරිය කියන්නෙ එහෙමයි.

අන්තෝනියෝ රැකියාව ලැබුණු බව ලියූ කොළෙත් අරගෙන බිරිඳ සොයාගෙන යනව. බිරිඳ කල්පනාකරලා තීරණය කරනව නිදා ගන්න ඇඳට ඇඳ රෙදි අත්‍යවශ්‍ය නැහැ කියල. ඒ අනුව ගෙදර තිබුණු තරමක් ඇඳ රෙදි හොඳට හෝදල, මැදල උගස් කඩේට ගෙනියනව. ලැබෙන මුදලින් බයිසිකලේ බේර ගන්නව. 

මටත් රැකියාවක් තියෙනව කියන ආඩම්බරෙන් අන්තෝනියෝ පහුවදා වැඩට යනව, ඉනිමගකුත් කරේ තියාගෙන බයිසිකලෙත් පැදගෙන..... වීදියක් අයිනේ තාප්පයකට බයිසිකලය හේත්තුකරල ඉණිමගේ නැගල පළමුවෙනි පෝස්ටරය අලවද්දිම අන්තෝනියෝගෙ  බයිසිකලය හොරකන් කරනව. 
අන්තෝනියෝ පස්සෙන් එළවනව. ඒත් වැඩක් වෙන්නෙ නෑ. බයිසිකලේක යන එකෙක්ව පයින් දුවල කොහොම අල්ලන්ඩද? නගරෙ බයිසිකල් වලින් යන එන මිනිස්සු සිය ගණනක් අතරෙ අන්තෝනියෝගෙ බයිසිකලේ හොරත් එක්කම අතුරුදහන් වෙනව. පොලිසියට ගියත් සහයක් නෑ. එන්ට්‍රිය ලියාගන්නව. හොයල බලන්නන් කියනව. එච්චරයි. එකම විකල්පය තමයි තමන්ම බයිසිකලේ හොයාගන්න එක. යාළුවො කිහිපදෙනෙකුත් එක්ක තමන්ගෙ පුතාවත්  අඬගහගෙන අන්තෝනියෝ රෝම නගරය පුරාම බයිසිකලේ හොයනව. දහසකුත් එකක් බයිසිකල් අතර තමන්ගේ බයිසිකලේ කෝකද? යාළුවො ටික වැඩේ අතෑරල දානව. ඒත් අන්තෝනියෝට බයිසිකලේ නැතුව බෑ. පුතයි, අන්තොනියෝයි දිගටම හොයනව.  


මගදි පුතා කියපු කතාවකට කේන්ති ගිය අන්තෝනියෝ පුතාට කම්මුල් පාරක් දෙනව. කොල්ල තාත්තත් එක්ක තරහ වෙනව. "මං ගෙදර ගිහින් අම්මට කියනව" කිය කිය අඬනව. අන්තෝනියෝට දුක හිතිල හොඳ අවන් හලකට ගොඩවැදිලා පුතාට හොඳට කන්ඩ අරන්දෙනව. මේ වෙලාවේ අන්තෝනියෝ තමන්ගේ බිඳ වැටුණු සිහින පුතාට විස්තර කරනව.ඒත් පොඩි එකාට ඒ ගැන හරි තේරුමක් නැහැ.

බලාපොරොත්තු සුන් වෙලා ආපහු ගෙදර එන අතර අන්තෝනියෝට මගදි හොරා හමුවෙනවා. එළවල ගිහින් අන්තෝනියෝ මිනිහව අල්ල ගන්නව. ඒත් ඒ වෙලාවෙ බයිසිකලේ හොරා ළඟ නැහැ. මිනිහ බයිසිකලයක් හොරකන් කරපු වග පිළිගන්නෙත් නැහැ. මේ කලබැගෑනියෙ සද්දෙට හොරාගෙ ගෙදර අවට අසල්වාසියො මේ දෙන්නව වට කර ගන්නව. එන පොට හොඳ නැති බව තේරුණ පොඩි එකා ඒ අතරෙ හොරෙන්ම ගිහින් පොලිස් නිලධාරියෙක් එක්කගෙන එනව. පොලිස් නිලධාරිය සධාරණේ ඉෂ්ට කරන්ඩ බලනව. හොරාගෙ ගෙදරත් සෝදිසි කරනව. ඒත් බයිසිකලේ නැහැ. "බඩුත් එක්ක හොරා අල්ලගන්ඩත් ඔහෙට බැරි වුනා. ඇහින් දැකපු සාක්කි කාරයෙක්ගෙ නමක්වත් අඩු ගානේ ඔහේ ළඟ නැහැ. මේ කේස් එක ඉස්සරහට ගෙනියන්ඩ බෑ" පොලිස්කාරය අන්තෝනියෝට කියනව. වෙන කරන්ඩ දෙයක් නැති තැන වටවුණු මිනිස්සුන්ගේ ආඩපාලි අහ අහ අන්තෝනියෝ පුතත් එක්ක එතනින් එනව.

මේ දෙන්න පාපන්දු තරඟයක් තියෙන පිට්ටනියක් අසලට එනව. පාපන්දු ලෝලියො නවත්තපු බයිසිකල් සිය ගානක් එක ගොඩේ. මහන්සි වැඩි කමට දෙන්න පේව්මන්ට් එකේ වාඩි වෙනව.

"සාක්කි කාරයොත් නැත්තන්, හොරා අල්ලගන්ඩත් බැරි උනොත් ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ." අන්තෝනියෝට හිතෙන්ඩ ඇති. රස්සාවට කොහොම හරි බයිසිකලයක් ඕනෙ. කාගෙ හරි එකක් උනත්..... තරඟේ ඉවර වෙලා නරඹන්නෝ තම තමන්ගෙ බයිසිකල් පැදගෙන යන්ඩ යනව. පාලු අතුරු පාරක බයිසිකලයක් නවත්තල. ළඟ පාත කව්රුවත් නැහැ. තීරණයක් ගන්ඩ බැරුව අන්තෝනියෝ පාරෙ එහාටයි මෙහාටයි.... එක පාරටම දුවල ගිහිල්ල බයිසිකලේට නැගල පැදගෙන පලා යනව. අයිතිකාරය කොහේදෝ ඉඳල කෑ ගහගෙන පස්සෙන් එළවනව. මිනිස්සු වට කර ගන්නව. ගහනව, බණිනවා... තව අපහාස.... පුතා ඉස්සරහම.... අනේ මගෙ තාත්ත කියාගෙන පුතා අන්තෝනියෝගෙ අතේ එල්ලෙනව. බයිසිකලේ අයිතිකාරයට අනුකම්පා හිතිල අත්ඇරල දාන්ඩ කියල අනෙක් මිනිස්සුන්ට කියනව. පුතා තාත්තගේ අතින් අල්ලගෙන එක්කන් යනව. තාත්ත අඬනව.   


Wednesday, July 20, 2011

කතරගමට රුහුණු රටේ - හිඟා කකා ලබන විටේ - 2

කාලයක් මම තිස්සමහාරාමේ රාජකාරි කලා. තිස්සට මාරුව ආපු වෙලාවේ දෙහිඅත්තකණ්ඩිය ශාකාවේ හිටපු මගේ මිත්‍රයෙකුට මම කිව්වා දැන් මම පොර ඉන්න ප්‍රදේශය කිට්ටුවට එන නිසා නිතර හමුවෙන්න පුලුවන්වෙයි කියල. (දෙහිඅත්තකණ්ඩිය තියෙන්නේ රුහුණට ආසන්නව කියලයි මං හිතාගෙන හිටියේ.) "උඹට පිස්සුද, යකෝ තිස්සමහාරාමේ තියෙන්නේ ලංකාවේ පුකේ, දෙහිඅත්තකණ්ඩිය තියෙන්නේ ලංකාවේ පිටේ. පුදුම දුරක් බං" මූ කිව්වේනැතෑ. ඊට පස්සෙ මං ලංකාවේ සිතියම අරන් බැලුව. ලංකාවේ ඔලුව යාපනේ හැටියට අරගෙන බටහිර පැත්තට මූණ දාල ඇනතියාගෙන ඉන්න පුද්ගලයෙක් වගේ පේන ස්වභාවයක් තියෙනවනේ. එහෙම බැලුවම වැඩේ ඇත්ත. මං ඉතින් මේක කිව්වේ කතරගම පිහිටීම පොඩ්ඩක් මතක් කරල දෙන්න. කතරගමත් ඔය පුක හරියේ තමා තියෙන්නේ. කොළඹ ඉඳල කතරගම යන කව්රුත් තිස්ස හරහානේ හුඟක් වෙලාවට යන්නේ. සමහරවිට රත්නපුරේ හරහා ඇවිත් උඩවලව පහුකරලා තණමල්විලින් හරවල ලුණුගම්වෙහෙර පැත්තෙන් (තිස්සට නොගිහින්) කතරගම යන්නත් පුළුවන්. මේ දවස්වල ඔය පාරත් හොඳට හදාගෙන යනවා. නොගිය කෙනෙකුට ඉස්සරහට ඒ පැත්තෙන් යන්න ලේසියෙන් පුලුවන්වෙයි.  තව බුත්තල පැත්තෙනුත් කතරගමට යන්ඩ පාරක් තියෙනවා. යාල හරහා තමා ඒ පාර වැටිලා තියෙන්නේ. 

කතරගම නගරය තුන් පැත්තකින් යාල කැලෙන් වටවෙලා. (යාල කැලේ කිව්වට හරි නම "රුහුණු ජාතික වනෝද්‍යානය"). දෙවාලේටයි, කිරි වෙහෙරටයි යන්ඩ මැණික් ගඟෙන් එගොඩ වෙන්ඩ ඕනෙ. ඒ සඳහා පුංචි පාලම් කිහිපයක්ම තියෙනවා. ටවුමට ළඟම පාලම් දෙකෙන් එකකින් එගොඩ උනහම දේවාලෙට ඉස්සෙල්ලම යන්ඩ පුළුවන්. ටවුමේ ටිකක් එහාට වෙන්ඩ ගංගාරාම විශ්‍රාම ශාලාව පැත්තෙන් තව පාලමක් තියෙනවා. ඒකෙන් එගොඩ උනොත් කෙලින්ම කිරි වෙහෙරට. බෞද්ධයන්ගේ විශ්වාසය මේ කිරි වෙහෙර තියෙන තැනට බුදු හාමුදුරුවෝ වැඩිය බවයි. හවස ඉර බැහැල ගියහම කිරි වෙහෙර මළුවට ගිහිල්ල බුදුන් වඳින කොට හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා. නිකන් ඔහේ වාඩිවෙලා හිටියත් සැපයි. ලංකාවේ බුදුහාමුදුරුවෝ වැඩියයි කියන බොහෝ තැන්වල මට ඔය සැහැල්ලු ගතිය දැනිල තියෙනවා. කිරි වෙහෙරට අදාල බෝධීන් වහන්සේ තියෙන්නේ කතරගම දේවාලය අසලයි. ඒ බෝධිය අෂ්ට ඵලරුහ බෝධි වලින් එකක් හැටියට සැලකෙනවා. ඔය අෂ්ට ඵලරුහ බෝධි කියන්නේ ලංකාවට සිරි මහා බෝධිය ගෙනාවට පස්සෙ ඒ බෝධියෙන් ලැබුණු මුල්ම ඵල අටෙන් හටගත් බෝධීන් වහන්සේලා. 


කතරගම දේවාලයත් බොහොම පැරණි සිද්ධස්ථානයක්. දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ කාලෙත් කතරගම දේවාලෙට වැඳුම් පිදුම් කරල තියෙන බව කියැවෙනවා. දුටු ගැමුණු කතාව ඇසුරින් ඩෙනිස් ක්ලාක් ලියපු "The Golden Island" පොතේ කතරගම දේවාලේ ගැන සඳහන්වෙනවා. (රසවත් කෘතියක්. සිංහලෙන් ඕනෙ නම් අනුලා ද සිල්වා මහත්මිය මෙය "කෝනා" නමින් සිංහලට නගල තියෙනවා.) ඒ පොතේ හැටියට ඒ කාලෙත් ද්‍රවිඩ ජාතිකයෝ කතරගම දේවාලේ වන්දනා කරන්ඩ ඇවිත් තියෙනවා. ඔය කාලෙ කතරගම අවට දැන් වගේ කැලයක් තිබිල නැහැ. විශාල ජනාවාස තිබූ බවට සාධක ඕන තරම්. යාල කියන්නේ ඒ දවස්වල තිබුණු කුඹුරු යාය. Block 2 එකට ගියහම ඒ බව හොඳට පේනවා. පුරන් වෙච්ච කුඹුරු යාය දැන් තෘණ කුලේ ශාක වලින් හෙවුණු වගුරු බිමක්. මේ ප්‍රදේශ දහතුන් වන සියවස වගේ කාලේදී අත්හැර දමල තියෙනවා. පරසතුරු උවදුරු නිසා දුර්වල රාජ්‍ය බිහිවෙනකොට මේ ප්‍රදේශ ගැන අවධානය අඩු වෙන්ඩ ඇති. ඊට පහු කාලෙ වැදි ජනතාව මේ පළාත් වල හිටපු බව විශ්වාස කරනවා. 15වන සියවසේදී කතරගම පුද බිම වන්දනාව නැවත පටන් අරන් තියෙනවා. පුද බිම රැකගෙන හිටි වැදි පිරිස් එළවලා සිංහලයොයි, හින්දූනුයි මෙතන අයෙත් අල්ලගත්තලු. 


කතරගමට අදත් ද්‍රවිඩ ජාතිකයෝ පා ගමනින් වන්දනාවේ එනවා. බොහෝ විට ඇසල උත්සව සමයෙදි. මඩකලපුව හරහා පොතුවිල් පැත්තෙන් ඇවිත් පානම හරියෙන් 'කුමන' අභය භූමියට ඇතුල්වෙලා  යාල කැලේ මැද්දෙන් කතරගමට බොහොම දුෂ්කර ගමනක යෙදෙනවා. ඔය කැලේ මැද්දෙන් එනකොට අලි, කොටි (දිවියෝ), වලස්සු වගේ සත්තු හමුවුනත් ඔවුන්ගෙන් වන්දනා කරුවන්ට හානියක් වූ බව වැඩිය අහන්ඩ නැහැ. දෙවියන්ට ඇති භක්තිය නිසා කරදරයක් වෙන්නේ නැති බවයි ඔවුන් හිතන්නේ. ඒ කොහොම උනත් කණ්ඩායම් වශයෙන් එන මිනිස්සු අතරට යන්ඩ වන සත්තු කැමති නැහැ. බලන්නේ පුළුවන් තරං මග අරින්න. 

මේ නඩ කතරගමට ඇවිත් දේවාලය අවට භූමියේ නවාතැන් ගන්නවා. මේ කාලෙ කතරගම පැත්තට වැස්ස නැහැ. ඒ නිසා එළිමහනේ නවතින්ඩ පුළුවන්. මැණික් ගඟෙන් නාල පිරිසිදු වෙලා තමා හරෝ හරා  කිය කියා දේවාලේ වඳින්ඩ යන්නෙ. සමහරු දිය රෙද්ද පිටින්ම දේවාලෙට යනවා. තව දෙවියන් වෙනුවෙන් හිස බෑමත් චාරිත්‍රයක්. සමහරු දිවේ තියුණු උල් තියෙන පොඩි ත්‍රිශූල ඇනගෙන දේව භක්තිය පලකරනවා. තවත් අය දේවාලය වටේ පෙරලි පෙරලි වඳිනවා. ද්‍රවිඩ පිරිමි නං බොහෝ විට දේවාලෙට යනවිට උඩුකය වසන්නේ නැහැ. යටි කයේ ජෝතිය. මේ දෙවියන් වෙනුවෙන් රත් පැහැ වස්ත්‍ර  පැලදීමත් විශේෂයි. දෙවියන් වෙනුවෙන් බාර හාර වුනු අය කාවාඩි නටමින් දේවාලය වෙත පැමිණීමත් බලන්න ආසා හිතෙන දර්ශනයක්. මෝලම් කණ්ඩායමක් කුලියට අරගෙන භක්ති ගීත වාදනය කරමින් නට නට දේවාලේ වටේට යනවා. මේ මෝලම් කණ්ඩායම් නිතර වයන ගීත දෙකක් තමා කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද (ක්ලැරන්ස්) සහ කදිර සුරිඳුනේ (අමරදේව) කියන ගීත. තව ගීත බොහොමයක් තියෙනව.

 කතරගමට ගිය හැම විටම මට සිහි වෙන කලා කෘති දෙකක් තියෙනවා. එකක් තමා තිස්ස අබේසේකරයන්ගේ "කරුමක්කාරයෝ" චිත්‍ර පටය. (අර නලිනි දොස්තර නෝනා ගෙදර ඉඳන් සිල් ගත්ත දවසේ බැලුව කිව්වේ ඒක තමා.) මේක ගුණදාස අමරසේකරයන්ගේ නව කතාවක්. සෝමක්කයි (ගීතා කුමාරසිංහ), එයාගෙ මනුස්සයයි (උපාලි අත්තනායක), මස්සිනයි (විජය කුමාරතුංග) කතරගම දේවාලෙට එනවා දරුවෙක් ලබාගන්ඩ බාරයක් වෙන්ඩ. මතකයේ රැඳුණු දර්ශන කිහිපයක් තමා චිත්‍රපටයේ ඊළඟට දිගහැරෙන්නේ. බලනවා මිසක් කියලනන් වැඩක් වෙන්නෙ නෑ. (දැන් ඩීවීඩී එක තියෙනව මයෙ හිතේ.) මට නං මැණික් ගඟ දකිනකොට ඔය දර්ශන ටික අනිවාර්යයෙන් මැවිල පේනවා.


අනෙක් කෘතිය තමා රැපියෙල් තෙන්නකෝන් ශූරීන්ගේ "කුකුළු හැවිල්ල" කවි පන්තිය. මේ කවි පන්තියේ කියැවෙන්නෙ තමන්ගෙ කුකුළා නැතිවුණු ගැමියෙක් කුකුළා හොරකන් කළ තැනැත්තාට ශාප කරමින් කඳ සුරිඳුන් වෙත කරන යාදින්නක්. කඳ සුරිඳුගේ වාහනය මොණරා උනාට ධජයේ ඉන්නේ කුකුළා. (එක් එක් දෙවිවරුන්ට වෙන වෙනම ධජ තිබෙන බව ධජග්ග සූත්‍රයෙත් කියැවෙනවා.) මේ කවි පන්තිය ලස්සන ගීතයක් බවට හරවල සුනිල් ශාන්තයන් ගායනා කලා. රූපවාහිනී වැඩ සටහනකදී අයිවෝ ඩෙනිසුත් මේ ගීය ගායනා කරනවා මම දැක්ක. අන්තර් ජාලෙ පීර පීර බැලුව, ඒත් සොයාගන්න ලැබුනෙ නැහැ. මගේ මතකයේ රැඳිල තියෙන කවි ටික පහත දැක්වෙනවා.

--කුකුළු හැවිල්ල--

දුදනොද බිඳ - බඳ තෙද කඳ
කඳ දෙව්රද - සාමිනේ 

මට කල මෙවිපත අනේ - බලා ගන්න දෙවියනේ
වැජඹෙන නා මෙවිමනේ - බලන්න නා සාමිනේ 

මගෙ කුකුළා නැසූ එකා - ධජය ඔබගෙ පාලු යකා
මින් එක බුද දිනක් තකා - ඉන්නට ඉඩ නොදී මකා

බලා එල්ල - ඇන්න හෙල්ල 
වැදුනි එල්ල - මරු තැනේ

කතරගමට රුහුණු රටේ - හිඟා කකා ලබන රිසේ 
පයින්මැ ගොස් ඇවිද වටේ - පොලොවැ උලා නළල් ඇටේ

"දුදනන්ගේ එඩිය බිඳ ඔද තෙද කඳ පැතිරවූ, නා විමනේ වැඩ සිටිමින් අනුන්ට සරණ වන කතරගම දෙවිඳුනි, මට කලාවූ විපත බලා ගනු මැනව. එකෙක් මගේ කුකුළා විනාශ කළෙහිය. ඌ ඔබේ ධජයද පාලු කරන යකෙකි. මින් ඉදිරියට තව එක බදාදා දිනයක් හෝ මූට විසීමට ඉඩ නොදී විනාශ කර දමනු මැනව. ඔබ එල්ලය බලා හෙල්ලෙන් ඇන්නොත් එය මාරක ස්ථානයටම වදිනු ඇත. ඔබ මගේ යැදුමට සවන්දුනහොත් මම රුහුණු රටේ කතරගමට හිඟා කකා පයින්ම පැමිණ ඔබේ දේවාලය වටා ගොස් නළල පොළොවේ උලා ඔබ නමදිමි." 

කවියේ මතක එපමණයි. තව තියෙනව. දන්නා කෙනෙක් ඉතුරුටික කිව්වොත් පිං. මං හිතන්නේ බොහෝ දෙනා අහලවත් නැතුව ඇති. බ්ලොග් අවකාසේ සේකරයන්වත් නොදන්න අය ඉන්දැද්දී ඉතිං රැපියෙල් තෙන්නකෝන්ව දන්නෙ එහෙමත් කෙනෙක් තමා. 

අදට ඇති මයෙ හිතේ. ස්කන්ධට උදව් කරන්න ගිහින් සහෝදර ගණපතිට වෙච්චි ඇබැද්දියකුත් තියෙනව. ඒක පස්සෙ කියන්නන්.  

ප.ලි.: මා විසින් ඉහත පලකළ කවි කිහිපයෙහි දොස් ඇති බව දැන් වැටහී ඇත. නිවැරදි සම්පූර්ණ කවි පන්තිය සඳහා හරී - පිණිපළස ගුරුතුමිය විසින් පලකළ කමෙන්ටුව බලන්න. එමෙන්ම නලිනි චන්දිමා වෛද්‍ය තුමිය සොයා දුන් සුනිල් ශාන්තයන් ගයන ගීතයට අදාල ජාල ලිපිනය මෙසේය.  
http://www.megaupload.com/?d=YML5JZI8

The above seems not working now. Here is a new link to listen to the song in U tube;
https://www.youtube.com/watch?v=j9vUClp442k

Sunday, July 17, 2011

කතරගමට රුහුණු රටේ - හිඟා කකා ලබන විටේ

දවස් තුන හතරක් මාව කතරගමට කොටු උනා.  දවස් වල එහෙ ඇසල උත්සවය. කදිර දෙවිඳු වෙනුවෙන් තමා රුහුණේ ඇසල උත්සවය පවත්වන්නෙ. ද්‍රවිඩ ජාතිකයින් මේ දෙවියන්ව හඳුන්වන්නේ මුරුගන් හැටියට. ස්කන්ධ කියලත් කියනව. සිංහල වන්දනාකරුවන් මොහු කදිර සුරිඳු, කතරගම දෙයියෝ, මහසෙන් දෙයියෝ ආදී නම් වලින් හඳුන්වනවා. මේ පුද බිමේ මා නෙත සිත බැඳගත් කරුණ තමා මේ ජාතීන් දෙවගම එකට හැපි, හැපි එකම දෙවියකු වෙතින් යැදීම. 

යැදුම මා පිළි නොගත්තත්, මෙවන් දෙවියකු සැබවින්ම සිටීද, නොසිටීද යන්න මා නොතැකුවත් මේ පුද බිම වටා ගොඩනැගි රසවින්දනාත්මක දෑ පිළිඹඳ යම් සාකච්චාවක් කිරීම මගේ මේ දෙවන බ්ලොග් සටහනේ අරමුණයි. මෙ කියවන ඔබත් තම තම නැණ පමණින් මීට සම්මාදන් වනු ඇතැයි බලාපොරොත්තු වෙනව.

හින්දු දේව කතා අතර මේ මුරුගන් හෙවත් ස්කන්ධ දෙවියගේ උපත පිළිඹඳ අපූරු කතාවක් තියෙනවා. අපි ඉස්සෙල්ලම ඒක අහමු.

Lord Shiva on bull..........Kalighat style - Bengali Art...1880 AD...........

මේ කතාවට මුල්වෙන්නෙ ඊශ්වර දෙවියෝ. මෙයාට ශිව කියලත් කියනව. ත්‍රි මූර්තියෙන් එක්කෙනෙක්. ඊශ්වර දෙවියොත් හරියට මේ කාලෙ ලංකාවේ ඉන්න දේශපාලන නායකයෝ වගේ. තමන් ගැන කෙනෙක් වර්ණනා කරනවා නං, තමන්ට අවතේව, බැල මෙහෙ කන් කරනව නම් බොහොම කැමතියි. තමන්ව පුම්බන තරමට හිතන්නේ හරිම හොඳ කෙනෙක් කියල. ඉතින් ඔය දුර්වලකම හොඳට තේරුම් ගත්තු එක අසුරයෙක් ඊශ්වර දෙයියන්ව සතුටු කරන්න හැම ප්‍රෝඩාවක්ම කලා. මේ දෙය්යොත් කොච්චර රැවටුනාද කිව්වොත් ගෝලයාගේ අසුර කමත් අමතක වෙලා කැමති වරයක් ඉල්ලන්න අවස්ථාව දුන්න. 

අසුරයත් මේ වගේ චාන්ස් එකක් තමා හොයා හොයා හිටියෙ. ඊශ්වරගේ දෙපතුල ළඟ දනින් වැටුණු අසුරයා, "අනේ ස්වාමීනි, ඔබ වහන්සේ මා කෙරෙහි පැහැදීම තරම් උතුම් වරයක් මට නොමැත්තේය. එහෙත් ඔබේ අණට කීකරු වීමක් ලෙස එක් වරයක් පතමි. මට පොඩි මන්ත්‍රයක් දුන මැනවි. ඒ මන්ත්‍රයෙන් අතට මතුරා යම් කෙනෙකුගේ හිස මත අත තබම්ද ඔහු එකෙනෙහිම දවා අළු වී යන කුඩා බලයක් පමණක් ලබා දුන මැනවි. ඔබේ කරුණාවෙන් මීට වඩා කිසිවක් නම් බලාපොරොත්තු නොවෙමි."යි කියපි. අසුරයාගේ බටර් ගෑවිල්ලෙන් අහසේ හිටපු තැනිනුත් තව අඟල් තුන හතරක් උඩ ගිය මෝ-- ඊශ්වරයා, "එය එසේම වේවා!" කියල දුන්නේ නැද්ද වරය.

අසුරයත් එවලේම අතට මතුරලා, "අනේ ගුරුතුමනි මට මේක ටෙස්ට් කරලා බලන්ඩ පොඩි චෑන්ස් එකක් දෙන්ඩ. ඔබ තුමාගේ ඔලුවට පොඩ්ඩක් අත තියල බලමු" කියාගෙන ඉස්සරහට ආපි. අපිට නං දෙය්යෝ සිහි උනා කිව්වැකි. ඒත් දෙය්යෙක් වෙච්ච ඊශ්වරයට  තව මොනව සිහි වෙන්ඩද? අර උඩ ගිය අඟල් හතර විතරක් නෙමේ පොළොවට උඩින් හිටි අවකාශයත් කඩාගෙන ඊශ්වරයා බිමට වැටිච්චි. දැන් ඉතින් පණ බේරගන්ඩ දුවන එක තමා මොන දෙය්ය උනත් කරන්නෙ.

දෙය්යන්ට උනත් හොඳ යාලුවෝ ඉන්නවනං ඒක හරි වටිනවා. ඊශ්වර දෙය්යගේ හොඳම යාළුවා තමා විෂ්ණු. වෙලාවට විෂ්ණු දෙවියෝ මේ ඊශ්වරට වුනු ඇබැද්දිය දැක්ක. "මේ වගේ වෙලාවක නැති උදව් ඉතින් කවද කරන්ඩද?", කියල හිතපු විෂ්ණු හොඳ ප්ලැනක් ගැහුව.

ඔන්න ඉතින් ඊශ්වරයා පණ බේරගන්ඩ දුවනව. අසුරයා අතත් උස්සගෙන පිටිපස්සෙන් එලවනවා. ඊශ්වර දෙය්යෝ දුවන පාරේ මෙන්න බොලේ පරම රමණීය රුප සෞන්දර්යයෙන් යුතු කාන්තාවක් (එල කෑල්ලක්) ඕවිල්ලක් (ඔන්චිල්ලාවක්) පදිනවා. "මගේ උමයංගනාව මෙයාව දැක්කොත් එහෙම එයාට ලජ්ජා හිතෙයි. ඇයි, විෂ්ණුගේ ලක්ෂ්මී? මෙයා ලඟට අවොත් ලක්ෂ්මිගේ මූණ කලුවෙයි. කව්ද මේ කෑල්ල?" ඊශ්වරයට ඔහොමත් හිතුන. ඒත් ඉතින් පස්සෙන් එන අත යන්තන් හරි ගැවුනොත් අළුම තමා. ඒ නිසා ඉතින් දැක්කේ නෑ වගේ දිගටම දිව්වා.

ඊශ්වරයගෙ පස්සෙන් පන්නගෙන ආපු අසුරයත් මේ ඔන්චිලි පදින අති සුන්දර යුවතිය දැක්ක. අසුරයට ඉතින් කිසි මර බියක් නෑනෙ, ඒක නිසා උන්නැහැ දිවිල්ල බාල කලා. ඕවිල්ල ළඟ නැවතුනා. මේ දකින නාරි ලාලිත්‍යය ගැන සිතක් පහල කරගත්තු අසුරය කෙලින්ම ටොපික් එකට බැස්ස. "අනේ මේ, මං ඔයාට හරි කැමතියි. ඔයා කෙරෙහි මගේ හදවතේ ඇති ආදරේ ගැන කරුණාව පාලා එනවද මාත් එක්ක?", කියල ඇහුව. "අනේ ඉතිං මගෙත් අකමැත්තක් නං නෑ. පොඩි ප්‍රශ්නෙකට තියෙන්න පිරිමි විශ්වාස කරන්ඩ බැරි එකයි. දකින දකින ගැණු පස්සෙ යනවනෙ." අර නෝන කියපි. අසුරයත් ඇරියෙ නෑ "හැබැයි මං නං එහෙම නෑ. මේ ඔයා එක්ක විතරමයි මෙහෙම කතා වත් කලේ" කිව්ව. "හා එහෙනං ඔලුවේ අතගහල දිව්රන්ඩ, මාව අතාරින්නෙ නෑ කියල." ගෑනි  කියන පරක්කුව විතරයි මේකා ඔලුවෙ අත ගහගත්තේ නැතැ. අසුරය හිටපු තැන දැන් ඉතිං තියෙන්නෙ අළු ගොඩක් විතරයි.

ඊශ්වරයා නං තාම දුවනව. දැන් හැබැයි හොඳටම හති. තවත් දුවගන්ඩ බැරි තරං. ටිකක් නතර උනා මහන්සි වැඩි කමටම. ම්හ, අසුරය පේන්ඩ නෑ. දැන් හෙමිහිට හෙමිහිට ඉස්සරහට ගියා ඒත් අසුරය එන පාටක් නෑ. "මේකා වැඩේ අතෑරල වගේ." කියල හිතපු ඊශ්වරයට ටක් ගාල ඔන්චිල්ලාව මතක් උනා. ඕන් දැන් අපහු හැරිල එනව. හැබැයි ටිකක් බයෙන් බයෙන් තමා. ඔන්චිල්ලාවත් පේනව ඒත් අසුරය පේන්ඩ නෑ. මර බියත් පහ උනා. 'එල කෑල්ල'ට කිට්ටු කලා. අසුරය වගේ නෙමේ ඊශ්වරයා ලොකු ටෝක් දැම්ම. "මං තමා මහේෂ්වර. මට වඩා ලොක්කෙක් නං ඔයාට කීයටවත් හොයා ගන්ඩ බෑ. යං මාත් එක්ක." අනේ අර නෝනට හිනා. "අපොයි ඔව්. ඔච්චර ලොක්කෙක් හින්ද වෙන්ඩ ඇති අර පොඩ්ඩකට කලින් මේ පැත්තවත් නොබලා දිව්වේ. ඔහේව එළවන් ගිය ලොක්කටත් මාව ඕන උනා. ඒත් දිව්රන්ඩ ගිහින් කෙලව ගත්ත. අර තියෙන්නෙ අළු ගොඩ. ඒ මොක උනත් මං ඔයාට අකමැත්තක් නෑ. හැබැයි මාව එක්ක යන්ඩ කලින් ඔහේගෙ නෝන උමයංගනාවගෙ කැමැත්ත අරන් එන්ඩ." ඒ නෝන කිව්ව.


ඊශ්වරයත් ගෙදර දුවල ගිහින් උමා ගෙන් ඇහුව තව නෝන කෙනෙක් ගෙනාවට කමක් නැද්ද කියල. උමාට ස්වාමියාගෙ බහු භාර්යා සේවනය අව්ලක් නැතුවා වෙන්ඩැති ඔහේ කමක් නෑ කිව්වා. කැමැත්තත් අරන් ඇවිල්ල  බලනකොට මෙන්න බොලේ කෙල්ල ඔන්චිලි පැද පැද දරුවෙක් නලවනවා. "එහෙනං යං", කියල ඊශ්වරයා කිව්වම මේ නෝනා කියනවා "එහෙම බෑ. දරුවෙක් ඉන්න ගෑණියෙක් ගෙනාවට කමක් නැද්ද?", කියල අහං එන්ඩලු. ඊශ්වරයා ආපහු ගිහින් උමා ගේ අවසරය අරන් එනකොට කෙල්ලට දරුවෝ දෙන්නයි. ඔන්න ඉතින් අයෙත් වතාවක් අවසර ගන්ඩ ගියා. ඒ සැරේ එනකොට දෙක, තුන වෙලා. ඔයවිදියට දරුවෝ පහක් එක්ක බාර ගන්ඩ කැමතිද කියල උමාගේ අවසරය ගන්ඩ ගිය වෙලේ උමාට වැඩේ ඇල්ලුවේ නෑ. "යං බලන්ඩ, මාත් එන්නං", කියල ඊශ්වරයත් එක්ක උමයංගනාවත් ආව.  ඒ එනකොට දරුවෝ හයක්. ඔක්කොම හැබැයි සරොම්. කම්බායවල් එකක් නෑ. උමා නං ඇත තියාම අඳුනගත්ත මේ ඉන්න කෑල්ල එයාගෙ මල්ලි කාරයා බව. උමාගේ මල්ලි වෙන කව්රුවත් නෙවේ, විෂ්ණු. පැටව් ටික ලඟට ගිය උමා, "මල්ලිට ළමයි ගොඩායි", කියල දෑත විහිදලා දරුවෝ ටික කිටි කිටියේ බදාගත්තා. ඕන් එතකොට මේ පැටව් ටික එකෙක් උනා. හැබැයි මූණු හයකුයි, අත් දොළහකුයි එක්ක. (කකුල් නං එක ජෝඩුවක් විතරයිලු. බැරි වෙලාවත් කකුලුත් දොළහක් එහෙම හිටිය නං ඇවිදින්ඩ ගිහින් මළ කෙලියක් වෙනව.)  විෂ්ණුත් හිනා වෙලා තමන්ගේ නියම සුවරූපෙට ඇවිල්ල ඊශ්වරයට පොඩි ජෝක් පාරකුත් දාල යන්ඩ ගියා. ඊශ්වරයයි, උමයංගනාවයි මේ ඔලු හයේ පැටියව දරු කමට ගත්ත. ඕන් ඔහොමයි ස්කන්ධ පහල උනේ.
Shiva, Parvathi (Umayangana), Ganesh and Skandha - The Shiva Family

ප. ලි. : මට ඔය කතාව කුඩා කාලෙ කියල දුන්නේ අපේ ලොකු මාම. පසු අවස්ථාවක මුනිදාස කුමාරණතුංගයන්ගේ "ප්‍රබන්ධ සංග්‍රහය" නමැති කෘතියේ මේ කතාවම හමු උනා, පොඩි වෙනස්කමක් එක්ක. ඒ කතා දෙකම ඇසුරු කරගෙන තමා මං ලිව්වේ.


ප.ප.ලි.:   සාකච්චාව දිගු වන බැවින් දෙවන කොටසකට යන්ට අවසර පතමි.   

Thursday, July 7, 2011

සැඟවුණු රස මදිරා තුඩ ගාවා - පෙම් මකරන්දය මුලු අත නාවා

මකරන්දය කියන්නේ මල් රේණු පිසගෙන, මලේ සුවඳත් රැගෙන හමන මදනලට. මේක සාහිත්‍ය රස ජනනය කරන වචනයක්. සමහර අවස්ථා වල මල් රේණු පමණක් වුනත් මකරන්දය ලෙසට හඳුන්වනවා. මල් මකරන්දයට බඹරු ඇදෙනව. බඹරුන් නැතිව මල් වලට පවතින්න බැහැනේ. මොකද පරාගනය සිදුවෙන්නෙ නැතිව අලුත් ශාකයක් හටගන්නෙ නැති නිසා. සමහරවිට මී මැස්සෝ, දෙබරු වගේම නිකම්ම නිකන් මස්සොත් පරාගනයට උදව් කරනව. ඒත් සාහිත්‍ය රස ජනනය කරන මල් සමග යෙදෙන වචනෙ තමා බඹරු. 
මේ ලෝකෙ කාලයක් මල් තිබිලම නැහැ. මුලින්ම සපුෂ්ප ශාක, ඒ කියන්නෙ මල් හටගන්නා ශාක බිහිවෙලා තියෙන්නේ මීට අවුරුදු මිලියන එකසිය පනහකට විතර ඉස්සර. ඒ ඩයිනසෝර්ල එහෙම හිටපු කාලෙ. දැනුත් අපුෂ්ප ශාක, ඒ කියන්නෙ මල් හට නොගන්න ශාක තියෙනවා. මීවන, පාසි, ලයිකන - තව මූදු පැළෑටි වගේ. ඉතින් මල් හට ගන්න ශාක බිහිවුනාට පස්සෙ ඒවත් සමග සහ සම්බන්ද වුනු සත්ව ජීවිත ඇති උනා. දෙගොල්ලන්ටම අනෙකා නැතුව පවතින්න බැරි තරමටම පරිණාමය උනා.


මුලින්ම මිනිස්සු ඒ කියන්නෙ හෝමෝ සේපියන් වරු බිහිවෙන්නෙ අප්‍රිකාවෙ. මීට අවුරුදු එක් ලක්ෂ තිස්දහසකට විතර කලින්. එතකොට ඉතින් ඔය මල් සහ බඹරුන්ගේ ලව් එක (අන්‍යෝන්‍ය සහ ජීවනය) පටන් අරගෙන හුඟක් කල්. කාලයක් යනකොට මිනිස්සු ස්වභාව සෞන්දර්යය අගය කරන්න පටන් ගත්ත. එතකොට කලාව බිහිවුනා. කලා කාමී හිත් මේ මල් වලත් බඹරුන්ගෙත් සම්බන්ධතාවය දැක්කේ එකිනෙකාට දක්වන ආදරයක් විදිහට.
මේක සිංහල කෙල්ලෙකුයි, දෙමළ කොල්ලෙකුයි ගැන කතාවක්. කෙල්ලට ඉන්නෙ වීනා ජයකොඩි. කොල්ල ගාමිණී ෆොන්සේකා. මේ දෙන්නට එක්කහුවෙන්න නම් ලැබුනෙ නැහැ. ජාති වෙනස හරහට හිටිය. ජාතිවාදී කෝලාහලයක් වෙලාවේ පස්සෙ දෙන්න හමුවෙනවා. ඒ වේලාවේ වීන තමා ගාමිණීව බේරගන්නෙ. (චිත්‍රපටියේ ඒ දෙන්නට කියපු නම් මතක නැහැ.) ඒත් පස්සෙ ගාමිණී ජාතිවාදීන්ට අහුවෙනවා. හරිම සංවේදී ලස්සන කතාවක්. අවාසනාවකට මාත් බලල තියෙන්නේ රූපවාහිනියෙන් විතරයි. 

මල් රොන් සොයාගෙන එන බඹරෙකු ගෙන් මලක් අහනවා කුමකටද ආවෙ කියල. එයා එක් මල් කැකුලියක් සොයනවා. නිකන්ම මලක් නෙමේ වන මල් කැකුලියක්. මොනවටද මේ වන මල් කැකුලිය සොයන්නේ කියල ඇහුවම බඹරා කියන්නෙ තමන්ගේ පෙම් පවස නිවා ගන්ට නම් මල් කැකුලිය සොයා ගතයුතු බවයි. ඉතින් මේ මල ඔය බඹර ගේ පෙම් පහස නිවා දෙන්ට ඉදිරිපත්වෙනව. මල ඇතුලේ හංගල තිබුණු රස මදිරාව තුඩින් උරා ගන්ට ඉඩ දෙනව. හැබැයි එහෙම රස මදිරාව දෙන අතරේ බඹර ගේ අත පුරාම මකරන්දය ගානව. මේ සන්සිද්දියත් එක්ක දෙන්නගෙ හදවත් එකිනෙකා වෙත බැඳෙනව. බඹර කුසුම් හදවත් යුග යා වෙනවා කියලයි කවියා කියන්නෙ. ඉතින් ඒ නිසා මල තමන්ගෙ රස මදිරාව මුළුමනින්ම බඹරට දෙනව. 

බඹරත් තමන්ට දුන්නු මේ මිහිරි රසය වෙනුවෙන් මලට කෘත ගුණ දක්වන්න පොරොන්දුවක් වෙනව. ඒ තමයි අර මකරන්දය තවත් මලකට ගිහිල්ල ගාන බවට වන පොරොන්දුව. ඒ වගේම මේ මකරන්දය රැගෙන ආවෙ කොතැනින්දැයි නොකියන්නත් එකඟ වෙනව. මලෙත් බඹරගෙත් ආදරය මල් පල ගන්නෙ එහෙම උනොත් විතරයි කියල බඹර දන්නවා. ඉතින් බඹරු නැති ලෝකෙ මල් නොපිපෙන බවත් මල් පල නැති ලොව නිරුදක කතරක් වන බවත් අපට වටහා දෙනව.
(නන්දා මාලිනි මහත්මියගේ රන් කෙන්දෙන් බැඳ සීඩී තැටියේ මේ ගීතය ගායනය කරන පිළිවෙල ටිකක් වෙනස් කරල. අපරාදේ. ඒ නිසා හරියට අරුත වටහාගන්න බැරි වෙනව. ඉහත සඳහන්කළ වෙබ් ලිපිනයේ තියෙන්නෙ මුල් ගීතය. )