දවස් තුන හතරක් මාව කතරගමට කොටු උනා. ඒ දවස් වල එහෙ ඇසල උත්සවය. කදිර දෙවිඳු වෙනුවෙන් තමා රුහුණේ ඇසල උත්සවය පවත්වන්නෙ. ද්‍රවිඩ ජාතිකයින් මේ දෙවියන්ව හඳුන්වන්නේ මුරුගන් හැටියට. ස්කන්ධ කියලත් කියනව. සිංහල වන්දනාකරුවන් මොහු කදිර සුරිඳු, කතරගම දෙයියෝ, මහසෙන් දෙයියෝ ආදී නම් වලින් හඳුන්වනවා. මේ පුද බිමේ මා නෙත සිත බැඳගත් කරුණ තමා මේ ජාතීන් දෙවගම එකට හැපි, හැපි එකම දෙවියකු වෙතින් යැදීම.
යැදුම මා පිළි නොගත්තත්, මෙවන් දෙවියකු සැබවින්ම සිටීද, නොසිටීද යන්න මා නොතැකුවත් මේ පුද බිම වටා ගොඩනැගි රසවින්දනාත්මක දෑ පිළිඹඳ යම් සාකච්චාවක් කිරීම මගේ මේ දෙවන බ්ලොග් සටහනේ අරමුණයි. මෙ කියවන ඔබත් තම තම නැණ පමණින් මීට සම්මාදන් වනු ඇතැයි බලාපොරොත්තු වෙනව.
හින්දු දේව කතා අතර මේ මුරුගන් හෙවත් ස්කන්ධ දෙවියගේ උපත පිළිඹඳ අපූරු කතාවක් තියෙනවා. අපි ඉස්සෙල්ලම ඒක අහමු.
මේ කතාවට මුල්වෙන්නෙ ඊශ්වර දෙවියෝ. මෙයාට ශිව කියලත් කියනව. ත්‍රි මූර්තියෙන් එක්කෙනෙක්. ඊශ්වර දෙවියොත් හරියට මේ කාලෙ ලංකාවේ ඉන්න දේශපාලන නායකයෝ වගේ. තමන් ගැන කෙනෙක් වර්ණනා කරනවා නං, තමන්ට අවතේව, බැල මෙහෙ කන් කරනව නම් බොහොම කැමතියි. තමන්ව පුම්බන තරමට හිතන්නේ හරිම හොඳ කෙනෙක් කියල. ඉතින් ඔය දුර්වලකම හොඳට තේරුම් ගත්තු එක අසුරයෙක් ඊශ්වර දෙයියන්ව සතුටු කරන්න හැම ප්‍රෝඩාවක්ම කලා. මේ දෙය්යොත් කොච්චර රැවටුනාද කිව්වොත් ගෝලයාගේ අසුර කමත් අමතක වෙලා කැමති වරයක් ඉල්ලන්න අවස්ථාව දුන්න.
අසුරයත් මේ වගේ චාන්ස් එකක් තමා හොයා හොයා හිටියෙ. ඊශ්වරගේ දෙපතුල ළඟ දනින් වැටුණු අසුරයා, "අනේ ස්වාමීනි, ඔබ වහන්සේ මා කෙරෙහි පැහැදීම තරම් උතුම් වරයක් මට නොමැත්තේය. එහෙත් ඔබේ අණට කීකරු වීමක් ලෙස එක් වරයක් පතමි. මට පොඩි මන්ත්‍රයක් දුන මැනවි. ඒ මන්ත්‍රයෙන් අතට මතුරා යම් කෙනෙකුගේ හිස මත අත තබම්ද ඔහු එකෙනෙහිම දවා අළු වී යන කුඩා බලයක් පමණක් ලබා දුන මැනවි. ඔබේ කරුණාවෙන් මීට වඩා කිසිවක් නම් බලාපොරොත්තු නොවෙමි."යි කියපි. අසුරයාගේ බටර් ගෑවිල්ලෙන් අහසේ හිටපු තැනිනුත් තව අඟල් තුන හතරක් උඩ ගිය මෝ-- ඊශ්වරයා, "එය එසේම වේවා!" කියල දුන්නේ නැද්ද වරය.
අසුරයත් එවලේම අතට මතුරලා, "අනේ ගුරුතුමනි මට මේක ටෙස්ට් කරලා බලන්ඩ පොඩි චෑන්ස් එකක් දෙන්ඩ. ඔබ තුමාගේ ඔලුවට පොඩ්ඩක් අත තියල බලමු" කියාගෙන ඉස්සරහට ආපි. අපිට නං දෙය්යෝ සිහි උනා කිව්වැකි. ඒත් දෙය්යෙක් වෙච්ච ඊශ්වරයට තව මොනව සිහි වෙන්ඩද? අර උඩ ගිය අඟල් හතර විතරක් නෙමේ පොළොවට උඩින් හිටි අවකාශයත් කඩාගෙන ඊශ්වරයා බිමට වැටිච්චි. දැන් ඉතින් පණ බේරගන්ඩ දුවන එක තමා මොන දෙය්ය උනත් කරන්නෙ.
දෙය්යන්ට උනත් හොඳ යාලුවෝ ඉන්නවනං ඒක හරි වටිනවා. ඊශ්වර දෙය්යගේ හොඳම යාළුවා තමා විෂ්ණු. වෙලාවට විෂ්ණු දෙවියෝ මේ ඊශ්වරට වුනු ඇබැද්දිය දැක්ක. "මේ වගේ වෙලාවක නැති උදව් ඉතින් කවද කරන්ඩද?", කියල හිතපු විෂ්ණු හොඳ ප්ලැනක් ගැහුව.
ඔන්න ඉතින් ඊශ්වරයා පණ බේරගන්ඩ දුවනව. අසුරයා අතත් උස්සගෙන පිටිපස්සෙන් එලවනවා. ඊශ්වර දෙය්යෝ දුවන පාරේ මෙන්න බොලේ පරම රමණීය රුප සෞන්දර්යයෙන් යුතු කාන්තාවක් (එල කෑල්ලක්) ඕවිල්ලක් (ඔන්චිල්ලාවක්) පදිනවා. "මගේ උමයංගනාව මෙයාව දැක්කොත් එහෙම එයාට ලජ්ජා හිතෙයි. ඇයි, විෂ්ණුගේ ලක්ෂ්මී? මෙයා ලඟට අවොත් ලක්ෂ්මිගේ මූණ කලුවෙයි. කව්ද මේ කෑල්ල?" ඊශ්වරයට ඔහොමත් හිතුන. ඒත් ඉතින් පස්සෙන් එන අත යන්තන් හරි ගැවුනොත් අළුම තමා. ඒ නිසා ඉතින් දැක්කේ නෑ වගේ දිගටම දිව්වා.
ඊශ්වරයගෙ පස්සෙන් පන්නගෙන ආපු අසුරයත් මේ ඔන්චිලි පදින අති සුන්දර යුවතිය දැක්ක. අසුරයට ඉතින් කිසි මර බියක් නෑනෙ, ඒක නිසා උන්නැහැ දිවිල්ල බාල කලා. ඕවිල්ල ළඟ නැවතුනා. මේ දකින නාරි ලාලිත්‍යය ගැන සිතක් පහල කරගත්තු අසුරය කෙලින්ම ටොපික් එකට බැස්ස. "අනේ මේ, මං ඔයාට හරි කැමතියි. ඔයා කෙරෙහි මගේ හදවතේ ඇති ආදරේ ගැන කරුණාව පාලා එනවද මාත් එක්ක?", කියල ඇහුව. "අනේ ඉතිං මගෙත් අකමැත්තක් නං නෑ. පොඩි ප්‍රශ්නෙකට තියෙන්න පිරිමි විශ්වාස කරන්ඩ බැරි එකයි. දකින දකින ගැණු පස්සෙ යනවනෙ." අර නෝන කියපි. අසුරයත් ඇරියෙ නෑ "හැබැයි මං නං එහෙම නෑ. මේ ඔයා එක්ක විතරමයි මෙහෙම කතා වත් කලේ" කිව්ව. "හා එහෙනං ඔලුවේ අතගහල දිව්රන්ඩ, මාව අතාරින්නෙ නෑ කියල." ගෑනි කියන පරක්කුව විතරයි මේකා ඔලුවෙ අත ගහගත්තේ නැතැ. අසුරය හිටපු තැන දැන් ඉතිං තියෙන්නෙ අළු ගොඩක් විතරයි.
ඊශ්වරයා නං තාම දුවනව. දැන් හැබැයි හොඳටම හති. තවත් දුවගන්ඩ බැරි තරං. ටිකක් නතර උනා මහන්සි වැඩි කමටම. ම්හ, අසුරය පේන්ඩ නෑ. දැන් හෙමිහිට හෙමිහිට ඉස්සරහට ගියා ඒත් අසුරය එන පාටක් නෑ. "මේකා වැඩේ අතෑරල වගේ." කියල හිතපු ඊශ්වරයට ටක් ගාල ඔන්චිල්ලාව මතක් උනා. ඕන් දැන් අපහු හැරිල එනව. හැබැයි ටිකක් බයෙන් බයෙන් තමා. ඔන්චිල්ලාවත් පේනව ඒත් අසුරය පේන්ඩ නෑ. මර බියත් පහ උනා. 'එල කෑල්ල'ට කිට්ටු කලා. අසුරය වගේ නෙමේ ඊශ්වරයා ලොකු ටෝක් දැම්ම. "මං තමා මහේෂ්වර. මට වඩා ලොක්කෙක් නං ඔයාට කීයටවත් හොයා ගන්ඩ බෑ. යං මාත් එක්ක." අනේ අර නෝනට හිනා. "අපොයි ඔව්. ඔච්චර ලොක්කෙක් හින්ද වෙන්ඩ ඇති අර පොඩ්ඩකට කලින් මේ පැත්තවත් නොබලා දිව්වේ. ඔහේව එළවන් ගිය ලොක්කටත් මාව ඕන උනා. ඒත් දිව්රන්ඩ ගිහින් කෙලව ගත්ත. අර තියෙන්නෙ අළු ගොඩ. ඒ මොක උනත් මං ඔයාට අකමැත්තක් නෑ. හැබැයි මාව එක්ක යන්ඩ කලින් ඔහේගෙ නෝන උමයංගනාවගෙ කැමැත්ත අරන් එන්ඩ." ඒ නෝන කිව්ව.
ඊශ්වරයත් ගෙදර දුවල ගිහින් උමා ගෙන් ඇහුව තව නෝන කෙනෙක් ගෙනාවට කමක් නැද්ද කියල. උමාට ස්වාමියාගෙ බහු භාර්යා සේවනය අව්ලක් නැතුවා වෙන්ඩැති ඔහේ කමක් නෑ කිව්වා. කැමැත්තත් අරන් ඇවිල්ල බලනකොට මෙන්න බොලේ කෙල්ල ඔන්චිලි පැද පැද දරුවෙක් නලවනවා. "එහෙනං යං", කියල ඊශ්වරයා කිව්වම මේ නෝනා කියනවා "එහෙම බෑ. දරුවෙක් ඉන්න ගෑණියෙක් ගෙනාවට කමක් නැද්ද?", කියල අහං එන්ඩලු. ඊශ්වරයා ආපහු ගිහින් උමා ගේ අවසරය අරන් එනකොට කෙල්ලට දරුවෝ දෙන්නයි. ඔන්න ඉතින් අයෙත් වතාවක් අවසර ගන්ඩ ගියා. ඒ සැරේ එනකොට දෙක, තුන වෙලා. ඔයවිදියට දරුවෝ පහක් එක්ක බාර ගන්ඩ කැමතිද කියල උමාගේ අවසරය ගන්ඩ ගිය වෙලේ උමාට වැඩේ ඇල්ලුවේ නෑ. "යං බලන්ඩ, මාත් එන්නං", කියල ඊශ්වරයත් එක්ක උමයංගනාවත් ආව. ඒ එනකොට දරුවෝ හයක්. ඔක්කොම හැබැයි සරොම්. කම්බායවල් එකක් නෑ. උමා නං ඇත තියාම අඳුනගත්ත මේ ඉන්න කෑල්ල එයාගෙ මල්ලි කාරයා බව. උමාගේ මල්ලි වෙන කව්රුවත් නෙවේ, විෂ්ණු. පැටව් ටික ලඟට ගිය උමා, "මල්ලිට ළමයි ගොඩායි", කියල දෑත විහිදලා දරුවෝ ටික කිටි කිටියේ බදාගත්තා. ඕන් එතකොට මේ පැටව් ටික එකෙක් උනා. හැබැයි මූණු හයකුයි, අත් දොළහකුයි එක්ක. (කකුල් නං එක ජෝඩුවක් විතරයිලු. බැරි වෙලාවත් කකුලුත් දොළහක් එහෙම හිටිය නං ඇවිදින්ඩ ගිහින් මළ කෙලියක් වෙනව.) විෂ්ණුත් හිනා වෙලා තමන්ගේ නියම සුවරූපෙට ඇවිල්ල ඊශ්වරයට පොඩි ජෝක් පාරකුත් දාල යන්ඩ ගියා. ඊශ්වරයයි, උමයංගනාවයි මේ ඔලු හයේ පැටියව දරු කමට ගත්ත. ඕන් ඔහොමයි ස්කන්ධ පහල උනේ.
Shiva, Parvathi (Umayangana), Ganesh and Skandha - The Shiva Family |
ප. ලි. : මට ඔය කතාව කුඩා කාලෙ කියල දුන්නේ අපේ ලොකු මාම. පසු අවස්ථාවක මුනිදාස කුමාරණතුංගයන්ගේ "ප්‍රබන්ධ සංග්‍රහය" නමැති කෘතියේ මේ කතාවම හමු උනා, පොඩි වෙනස්කමක් එක්ක. ඒ කතා දෙකම ඇසුරු කරගෙන තමා මං ලිව්වේ.
ප.ප.ලි.: සාකච්චාව දිගු වන බැවින් දෙවන කොටසකට යන්ට අවසර පතමි.
ප.ප.ලි.: සාකච්චාව දිගු වන බැවින් දෙවන කොටසකට යන්ට අවසර පතමි.
Never heard this. Very interesing. More comments later.
ReplyDeleteකතරගම පෙරහැර සම්භන්දයෙනුත් රසවත් කතාවක් තියෙනවා නේද? ඒ වත් ලියන්න
ReplyDeleteමමත් මේ කතාව අහලා තියෙනවා.
ReplyDeleteහරියටම මතකයක් නැති වුණත්, ස්කන්ධ කුමාරයා ඉන්දියාවෙ සිට ලංකාවට ඇවිත් ගඟකින් එතෙර වීමට යනකොට, එතන හිටි දෙමළ තොටියන්ගෙන් ඇහුවලු එගොඩ කරවන්න පුළුවන්ද කියලා. මොකක් හරි හේතුවකට ඔවුන් අකමැති වුණාලු. නමුත් එතන හිටි සිංහල තොටියො එතුමාව එගොඩ කරාලු. ඒ හින්දා දෙවියො දෙමළ වුණාට දේවාලෙ කපුකම් කරන්ඩ දෙන්නෙ සිංහල කපුවන්ට විතරලු.
තවත් සමහරු කියනවා කතරගම දෙය්යො කියන්නෙ අතීතයේ බුදුදහම වැළඳගත්, හෙළයෙක් කියලා.
@ නලිනි චන්දිමා
Deleteකතරගම දෙවියෝ ලංකාවට ගොඩ බැස්සා කියන්නේ ඔකඳ මුහුදු වෙරළෙන්. එහි ඔරුවක් ආකාරයේ පර්වතයක් තියෙනවා රන් ඔරුගල කියලා. කතරගම දෙවියෝ වෙරලට ආවට පස්සේ ආපු රන් ඔරුව කළු ගලක් වුණා කියලා තමා මිනිස්සු විශ්වාස කරන්නේ
@බින්දි
ReplyDeleteකෙටි සටහනට ස්තුතියි. ඉදිරියට මේ ගැන ලියන්න යන දේ පිළිබඳව බලාපොරොත්තුවෙන් ඉන්නවා.
@හරී - පිණිපළස
කමෙන්ටුවට ස්තුතියි. පෙරහැර ගැන මං විශේෂ මුකුත් දන්නෙ නෑ. ඒ ගැන ඔයාම අපිට කියන්නකො.
@නලිනි චන්දිමා
ඔයා කියන කතාව මාත් අහල තියෙනව. ස්තුතියි දැනුම බෙදා ගත්තට.
හෙහ්...හෙහ්...හෙහ්...එතකොට මට තේරුං ගිය හැටියට, අපේ කෂ්ටිය කතරගම ගිහින් වන්දනා මාන කොරල, එක එක දේවල් ඉල්ලල යාතිකා කොරන්නේ නියම විශ්නුගෙන්වත් නෙමේ අර හදා ගත්ත පැටියගෙන්.
ReplyDeleteමං තේරුං ගත්ත විධිය වැරදිද මන්ද?
නලිනි චන්දිමා කියන කතාව අපේ කාලේ 8 පංතියෙ විතර සිසුන්ට ආණ්ඩුවෙන් නිකුත් කරපු සාහිත්‍ය පොතක තිබුන.
තව එකක් කියන්න බැරි වුනා, කතාව ලියල තියෙන හැටි නං බොක්කටම වැදුන ලකුණු දෙනව නං 100%
ReplyDeleteඔබ්සර්වර් මහත්තයාගේ කමෙන්ටුව හිතට ලොකු දිරියක්. ඒත් මං මේ හිත හිතා හිටියේ මේ ලිපිය අපේ සහෘදයන්ට වැඩිය අල්ලලා නැත්දෝ කියල. දැන් නං මේකෙ දෙවෙනි කොටසක් ලියන්ඩ හිතට පොඩි දිරියක් ආව.
ReplyDeleteඔබ්සර්වර් මහත්තයාගේ ඔබ්සවේෂන් එකේ වරදක් නැහැ. තමන්ගෙ ඇසින් බලන්න කාටත් අයිතිය තියෙනවා. අනේ ඒත් හැමෝටම කියන්න ඕනෙ මේ ලිපිය මගින් කාගෙවත් විශ්වාසයන්ට පහර ගහන්න හෝ දෙවියන්ට අපහාස කරන්න හෝ මගේ අදහසක් නැති බව. මම කලේ පුරාණ හින්දු දේව කතාවක් වර්තමානයේ භාවිතාවන භාෂා ව්‍යවහාරයන්ට අනුව ප්‍රති රචනය කරපු එක විතරයි.
කවදාවත් විශ්වාසයක් තිබ්බ නැති නිසා ඕව ගැන, මට නං පහරක් වැදුනෙ නැහැ.
ReplyDeleteමේවා මං කවදාවත් අහලා නෑ.... නියමයි
ReplyDeleteමේවා මං කවදාවත් අහලා නෑ.... නියමයි
ReplyDeleteඅපේ අලුත් අය කොච්චර සාහිත්‍යයෙන් ඈත් වෙළද කියල අද මම දැක්ක.මෙහෙම නෙට් එකේ හරි ඉන්න ගමන් කියවන එක ලොකු දෙයක්.මෙව්වා මතක තියන් දාන එක ලොකු පිනක් ..ඇත්තමය්.අපේ රටේ පරණ සාහිත්‍ය වෙනුවෙන් උන මහන්සියට ගොඩක් ඉස්තුති වෙන්ඩ ඕන.
ReplyDelete@prasanna86k
ReplyDeleteකමෙන්ටුවට ස්තුතියි. කතාව රස වින්දනම් හුඟක් සතුටුයි.
@Tharinduhw122
මේ පැත්තේ ඇවිත් ලිපිය කියවල කරපු අගය කිරීම ගැන ගොඩක් ස්තුතියි, නැවත එන්න. තව පරණ කතා ගොඩක් ඉස්සරහටත් කියන්ඩ තියෙනව. මන් ලියන්නේ ටිකක් හෙමින්.
කතරගම දෙවියන් ගැන ලිපි පෙළක් මේ දවස්වල රිවිර පත්තරේ එක්ක එන ජ්‍යෙතිෂය පත්තරේක යනවා. ඒකේ කතරගම දේව උපත ගැන තියෙන මත අතරේ තිබුණු මහා ඇලෙක්සැන්ඩර් රජතුමාගෙන් කතරගම දේව සංකල්පය බිහිවුණා කියලා. ස්කන්ධ කියන වදන හැදිලා තියෙන්නේ ස්කන්ධර් කියන වදනින්
ReplyDeleteවෙන්නත් පුළුවන්. ඒත් ජ්‍යෝතිෂ්‍යය ගැන නම් මගේ විශ්වාසයක් නැහැ.
Deleteජ්‍යෙතිෂය ගැණ මගෙත් වැඩි විස්වාසයක් නැහැ. මෙහෙම ලිපි පෙළක් යන නිසාමයි මම ඒක ගන්න කෙනෙක්ගෙන් ඉල්ලගෙන කියවන්න ගත්තේ
Delete