Friday, October 14, 2011

The Greatest Speech Ever by a Teenager

When I was browsing the internet to find out the best speeches ever made, I found this wonderful, touching and stunning speech by a Teenager at a UN Conference on Environment. 


Please listen! 


She is Severn Cullis-Suzuki and the speech was made in 1992 at the United Nations Summit on Environment and Development. 

This is her now;

Here is a link giving details about her,

Tuesday, October 4, 2011

ඔබේ දෑස - දිලී .... නිවී.... දිලී .... නිසොල්මනේ බලා හිඳී



අපාර වූ ආකාසේ
වලා සිඳුණු බොල් එළියේ

ඔබේ දෑස 
දිලී
නිවී
දිලී
නිසොල්මනේ බලා හිඳී

ඇසට කඳුළු දිය ලැබුනේ 
හදට තෙතක් ලබා දෙන්න
ඇසෙහි කඳුළු ඉවර දිනේ 
හදට නොමැත ඒ තෙතමන

අගාධ වූ සාගරයේ
පිරී පැතිරි නිල් දියඹේ
ඔබේ දෑස 
දිලී
නිවී 
දිලී
නිසොල්මනේ බලා හිඳී 

ඇසේ කඳුළු සිඳී ගොසින්
ගල් වූ හද තෙත් කරන්න
ඔබේ ඇසේ දයා දියෙන් 
කඳුළු පොදක් මට හෙලන්න

ඉර හඳ නැති රෑ යාමේ
හද කැටි වුනු කාන්සියේ
ඔබේ දෑස
දිලී 
නිවී
දිලී
නිසොල්මනේ බලා හිඳී

ලිව්වේ ; මහගම සේකරයන්
තනු යොදා ගැයුවේ ; අමරදේවයන් 
මෙතනින් බා ගන්න

Tuesday, September 27, 2011

පොත් මේලාව ජයවේ!


මාතලන් ගොයියාගේ බ්ලොග් එකේ පොත් මේලාවේ අසිරිය දෙස වෙනත් කෝණයකින් බලා අපූරු කවි පන්තියක් පළකර තිබුණු. නොදුටු ඇත්තන්ට එය මෙතනින් කොටා බලා ගත හැකිය. 
පොත් මේලා - Book Carnival

මා ඊට ලියූ පිළිතුර මෙහි පල කිරීම ගැන මාතලන් ගොයියා අමනාප නොවනු ඇති සිතමි.

පොත් මේලාව දෙස
ඔයතරම් නෙගටිව් ලෙස
බලනට නොහැක මට නම් 
දකිමි පොසිටිව් ලෙස මම්

සමාජයේ උඩ ඉඳලා පහලට
ඕන තරාතිරමක අය එනවා
තෝර තෝර පොත් එහෙ මෙහෙ යනවා
හිතට වැදුණු පොත අරගෙන යනවා

විස්ස විජ්ජාලෙ කොල්ලන්
ගාමන්ට් එකේ කෙල්ලන්
ගුරුනුත් සමග සිසුවන්
පිට රැටියන් ද සඟ සව්වන්

පවුල් පිටින්ම එන්නන්
මා වැනිවූ තනිකඩයන්
මාසික වැටුප් කරුවන්
පොත් සොයා එන මෙහැම "මිනිසුන්"

මිනිසුන් ගෙ ඇද කුද
නොදකින් මලේ මේ ලෙස
නිතර එක් වන එක
මිනිස් ගතියකි පැවති පෙර සිට

එක පොතක් හෝ ගෙන
කියවා බලන රිසියෙන
පැමිණෙති බොහෝ දන
කියවීම සපුරයි මිනිස් කම

බොහෝ හොඳ පොත් විකිණේ
කියවන දන ද බිහිවේ
රටට හොඳ එය වේ

පතමි පොත් මේලාව ජයවේ! 

Thursday, September 22, 2011

හෙනහුරාත් මහ බලවත් - පැරදුනානෙ නරි නයිදෙට


එකමත් එක ගම් පොඩියක - හේනක් කුඹුරක් වවාන
බත බුලතින් සරුසාරෙට - උන්නා ගම රාල කෙනෙක්

කේන්දරේ බලල තමා - ගම රාලගෙ වැඩ සේරොම
පැල හිටුවන්නෙත් නැකතට - අස්වනු ගන්නෙත් නැකතට 


දවසක් දා කේන්දරේ - අතට අරන් බැලූ කලට
හෙනහුරු අපලය එන බව - ගමරාලට පෙනී ගියා

බලපුලුවන්කාර කමින් - හෙනහුරු මහ ඉහළ කෙනෙක්
අපල කරන්නට ගත්තම - නෑ කිසි වගතුවක් ඉතින්

"අනේ ඉතින් හේන් කුඹුරු - කරල මොටද මේ කාලෙට"
ගමරාලත් හිතේ දුකින් - ඔහෙ ඉන්නව පසු තැවෙමින්

අනේ අනිච්චං කියාන - අතක් කම්මුලේ තියාන
පිල් කණ්ඩියෙ වාඩි වෙලා - ගමරාලගෙ දවස ගෙවේ

දිනක් මෙහෙම ඉන්න කලට - කැලේ හිටිය නරි නයිදේ
ගමරාලගෙ පැල පැත්තේ - කුකුල් දඩයමේ ආවේ


"වෙනද වගේ නෙමෙයි ගමය - හරිම හිතේ දුකින් වගේ
මොකදෑ මේ ඉන්න විදිහ - ගම හාමිනෙ මැරිල වත්ද?" 

මෙහෙම හිතපු නරි නයිදේ - හෙමින් ඇවිත් රාල ලඟට
අකම්පාල වෙලා ඉන්ඩ - හේතු කාරනා ඇහුවා



"නරි රාලේ මේ කාලේ - මට මහ අපලයි වාගේ
කේන්දරේ බලපුවාම - හෙනහුරු නොවැ උඩ ඉන්නේ

හෙනහුරු අපලය ආවම - කිසිම වැඩක් හරි යන්නෑ
ගොවිතැන් බත් හේන් කුඹුරු - කලාට කිසි වගකුත් නෑ"

මේක අහපු නරි නයිදෙට - කට කොනකින් හිනා ගියා
"අනේ මෙහෙම මෝඩ ගමයො - ඉන්නව නොවැ මේ කාලෙත්"

"රාලේ දුක් වෙන්න එපා - ඉන්නා විට  නරි නයිදේ
ඔය අපලෙන් බේරෙන්නට - දන්නව මං කලයුතු දේ"

"ඒ මොනවැයි නරි රාලේ - මන්තරයක් වත්ද බොලේ 
අනේ මටත් කියා දියන් - අපලෙන් ගැලවෙන කරමේ" 

"රාලේ උඹ මේ අහපන් - මං කියනා ලෙස කරපන්
බකන්නිලන් ඉන්නෙ නැතුව - කුඹුරු කොටන්නට පලයන්"

ගමරාලත්, කිව්ව ලෙසට - උදැල්ලකුත් අරන් කරට
කුඹුරට බැහැලා ආයෙත් - කුඹුරු කොටන්නට ගත්තේ 

ආකාසේ ඈත ඉඳන් - බලන් උන්නු හෙනහුරාට 
ගමරාලත් උදලු අරන් - කුඹුරු කොටන හැටි පෙනුනේ

"මෙන්න බොලේ මේ ගමයා - හෙනහුරු අපලය නොතකා
කුඹුරු කොටන්නට අරගෙන - හිටුකො උඹට කරවන්නට"

හෙනහුරාට පෙනුණු විගස - වහාම නියඟය එව්වා
නරි නයිදෙත් දුවගෙන විත් - ගමයට මේ ලෙස කිව්වා

"රාලේ දැන් ඉතින් ගිහින් - හේනක් කොටලා හිටහන්" 
ගමයත් කැත්තක් අරගෙන - හේන් කොටන්නට ගත්තේ

කැලෑ කොටා එළි කරලා - ගිනි ගහන්න හදනකොටම
හෙනහුරාට මෙය පෙනිලා - මහ වැස්සක් ඇති කෙරුවේ

වැස්සෙම නරියත් ඇවිදින් - රාළට මේ ලෙස කීවේ
"ආයෙත් කුඹුරට බැහැපන් - හේන දැනට අතහැරපන්"

නරි නයිදෙගෙ අණ අහලා - රාලත් කුඹුරට බැස්සා 
මී ගොන් නගුලේ බැඳගෙන - කුඹුර හාන්නට ගත්තා 

හාගෙන හාගෙන යනකොට - හෙනහුරාත් මෙය දැක්කා 
හෙනහුරු අපලය විලසට - ආයෙත් නියඟය එව්වා  

නරියත් දුවගෙන ආවා - රාළට උපදෙස් දුන්නා 
සුද්දකරපු හේන ගිහින් - කොටන්න ගන්නට කිව්වා

හේන කොටා වැට බැඳලා - කුරහන් ටික අතට අරන්
පැල කරන්න හදනකොටම - හෙනහුරු අපලය එව්වා 

ආපහු වැහි වහින කලට - රාලත් කුඹුරට බැස්සා 
පෝරු ගාල වී ඉහලා - කුඹුරේ වැඩ කර ගත්තා

ඔය විදිහට විඩින් විඩේ - හෙනහුරු අපලය එවනව
ගමරාලත් සුදුසු ලෙසට - ඒ අයුරින් වැඩ කරනව

කුඹුරත් සරු සාර උනා - හේනේ බෝගත් පැහුනා
හෙනහුරු අපලයෙ පිහිටෙන් - රාලගෙ කරලත් පැහුනා

එදා පටන් ගමේ රටේ - රට්ටු කියන්නට ගත්තලු 
හෙනහුරාත් මහ බලවත් - නරි නයිදෙට පැරදුනාලු

කේන්දරේ විසි කරලා - සිය බුද්ධිය යොදවාලා 
එයින් පස්සෙ ගමරාලත් - ජීවිත සරු කරගත්තා 

ප.ලි. : සුනිල් ජයවීර ලේකඛයාණන් විසින් විජය පුවත් පතට මේ කතාව අපූරු චිත්‍රත් සමග කවියෙන් ලියූ බව මතකයි. නමුත් ඒ කවි මගේ මතකයේ නැහැ. මුල් කතාව ඇසුරු කරමින් කවියෙන් ලිවීමි. 

Monday, September 19, 2011

පරාජිත ප්‍රේමයේ හුදකලාව - I Never will Marry

They say that love's a gentle thing
To me, brought only pain
Since the only man I ever loved
Is gone on the morning train

I never will marry
I'll be no man's wife
I will remain single
For the rest of my life

Now, the train pulled out, the whistle blew
With a long and lonesome moan
He's gone, he's gone like the morning dew
And left me all alone

I never will marry
I'll be no man's wife
I will remain single
For the rest of my life

Now, there's many a change in the winter wind
And a change in the clouds' design
There's many a change in the young girl's heart
But never a change in mine



I never will marry
I'll be no man's wife
I will remain single
For the rest of my life



- Nana Mouskouri



Wednesday, August 31, 2011

"පුරවැසි කේන්" සහ තවත් කතා

1895 දෙසැම්බර් මස 28 දින ප්‍රංශයේ පැරිස් නුවර ග්‍රාන්ද් කැෆේ නම් ආපන ශාලාවේ බිම්මහලේ කුටියකදී ලුමියෙර් සහෝදර වරුන් නිපදවූ කෙටි චිත්‍රපට තීරු දොළහක් මහජනයා ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමත් සමග චිත්‍රපට කලාවේ ආරම්භය සනිටුහන් වෙනවා. එදා මෙදා තුර කාලයේ නිපදවුණු සිනමා පට අතරින් ශ්‍රේෂ්ටතම චිත්‍රපට දහය තෝරා ගැනීම ඉමහත් අසීරු කාර්යයක්. මේ කාර්යයට අතගැසූ එක් ආයතනයක් තමා the British Film Institute (BFI ). ඔවුන් මාසිකව පල කරන Sight  & Sound සඟරාව තමා ඊට මුල් වන්නෙ. 1952 වසරේ ආරම්භ කල මෙම කර්තව්‍යය ඔවුන් වසර දහයෙන් දහයට නොකඩවා කරගෙන එනවා. 1952, 1962, 1972, 1982 සහ 1992 යන වසර වලදී ලොව උසස්ම චිත්‍රපට වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් Sight & Sound සඟරාව තේරූ එතෙක් නිෂ්පාදිත හොඳම චිත්‍රපට දහයේ නාමාවලි අප මින් පෙර පළ කල ලිපියෙන් සාකච්ඡා කලා. (තිඹිරි ගෙදර සිට සොහොන් බිම වෙතයි - අපේ ගමන් මග විහිදෙන්නේ ..... ඒ කෙටි මාවත සැරි සරනා අප - මොන සිනමා පට නරඹන්නේ). 


මේ ලිපියෙන් 2002 වසරේ Sight & Sound නිකුත්කළ අදට වලංගු Top Ten ලැයිස්තුව ගැන අපි සොයා බලමු.


2002 වසරේ Sight & Sound සඟරාව එලිදැක්වූ ලොව මෙතෙක් බිහිවූ හොඳම සිනමා පට දහයේ නාමාවලිය


01. Citizen Kane (46 mentions)
02. Vertigo (41 mentions)
03. La Règle du jeu (The Rules of the Game) (30 mentions)
04. The Godfather and The Godfather Part II (23 mentions)
05. Tokyo Story (22 mentions)
06. 2001: A Space Odyssey (21 mentions)
07. The Battleship Potemkin (19 mentions)
07. Sunrise: A Song of Two Humans (19 mentions)
09.  (18 mentions)
10. Singin' in the Rain (17 mentions)
Closest runners-up The Seven Samurai and The Searchers (15 mentions apiece)

Citizen Cane (1941)


Orson Welles (1815-1985) නමැති ඇමරිකානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ වරයා විසින් 1941 දී නිර්මාණය කල මෙම සිනමා පටය ජගත් සිනමා ඉතිහාසහ තුල මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිනමා පටය ලෙස ලොව අග්‍රගන්‍ය විචාරකයන් විසින් සලකනු ලබනව. බොහෝ සිනමා පට අධ්‍යක්ෂ වරුන් සිනමා අධ්‍යයනයට යොදා ගන්නා මෙම චිත්‍රපටය A Film for Filmmakers ලෙස සැලකෙනව.

චාර්ල්ස් ෆොස්ටර් කේන් නමැති ඇමරිකානු ධන කුවෙරයකුගේ ජීවිත කතාව මෙම චිත්‍රපටය තුල දිගහැරෙනවා. කේන් සිය ජීවිත කාලය තුල වරින් වර එක් එක් දේ සොයා යනව. තරුණ ජීවිතයේදී මුලින්ම ජනප්‍රියත්වයත් දෙවනුව ආදරයත් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් දැඩි වෙහෙසක් ගන්නව. ඊළඟට බලය සොයා යනව. එයත් අසාර්ථක වූ තැන ධනයෙන් ජීවිතයට සතුට ලබාගැනීමට වෑයම් කරනව. නමුත් තම ජීවිතයේ යම් තැනකදී යම් කිසිවක් වැරදුනු බවත් එය නිවැරදි කර ගැනීමට දැන් ප්‍රමාද වැඩි බවත් කේන් වටහා ගන්නෙ සිය මරණ මංචකයේදී. බෞද්ධයන් වන අපට නම් මේ කතාව බුදු හාමුදුරුවෝ කියපු ත්‍රිලක්ෂණය සිහි ගන්වනවා. 
"අනිත්‍ය -දුක්ඛ - අනාත්ම" 

මෙහි ප්‍රධාන චරිතය වූ චාර්ල්ස් ෆොස්ටර් කේන් ගේ චරිතය නිරූපණය කරන්නේ Orson Welles විසින්මයි. ඒ වගේම එය ඔහුගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටයයි. ඇකඩමි සම්මාන නවයකට නිර්දේශ උනත් ජයග්‍රහණය කරන්නේ හොඳම පිටපත සඳහා වන සම්මානය පමණයි. ඒ වගේම මෙම සිනමා පටයට තාඩන පීඩන රැසකට මුහුණ දෙන්න සිදුවුනා. එයට හේතුව වුනේ එවකට ඇමරිකාවේ ජීවත් වූ William Randolf Hearst නමැති ධන කුවේරයාගේ ජීවිත කතාවට මෙම සිනමා පටය සමානත්වයක් දැක්වීමයි. ඔහුගේ බලපෑම මත වරක් MGM චිත්‍රපට සමාගමේ ප්‍රධානියා Citizen Cane ප්‍රදර්ශනය භාර RKO Pictures ආයතනයට මෙම සිනමා පටයේ සියලු පිටපත් විනාශ කර දැමීමට ඇ.ඩො.805,000/- ප්‍රධානය කිරීමට සූදානම් වෙනවා. ලෝක සිනමා ලෝලීන්ගේ වාසනාවට RKO Pictures එය පිළිගන්නේ නැහැ.
ඔය හේතු නිසා මේ චිත්‍රපටය මුල් කාලීනව මූල්‍යමය වශයෙන් මෙන්ම ඇගයීම් පක්ෂයෙනුත් අසාර්ථක වෙනව. හැටේ දශකයේදී තමයි කාගෙ කාගෙත් ඇස් යළිත් මේ කෘතිය දෙසට යොමුවෙන්නෙ.


සිංහල විශ්වකෝෂයේ "චිත්‍රපටය" යන මාතෘකාව යටතේ මේ සිනමා පටය ගැන මෙසේ සඳහන් වෙනව.
"ඇමරිකානුවන්ගේ නිස්සාර ජීවන රටාවත් පුහු වටිනාකමුත් නිර්දය විචාරයට ලක් කරන සිටිසන් කේන් ඇමරිකානු මතවාදයට ප්‍රබල අභියෝගයක්ද එල්ල කරයි. මේ චිත්‍රපටයෙන් විවරණය වන්නේ භෞතික ජයග්‍රහණත් අධ්‍යාත්මික සුවයත් අතර පවතින නිරන්තර ගැටුමයි."

කැමරාකරණය, සංස්කරණය ආදී තාක්ෂණික පාර්ශවයෙනුත් මේ චිත්‍රපටය සුවිශේෂී. ඒත් ඒ හැම දෙයක්ම මෙහි සාකච්ඡා කරන්න ගියොත් මා වැනි පිච්චර් පිස්සන් නොවන මගේ මිතුරන්ට මේ ලිපිය එපා වේවි. ඒ නිසා දැන් අපි ඊළඟ සිනමා කෘතිය වෙතට හැරෙමු.

VERTIGO - බමනය (1958) 

ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය සිනමාවේ පතාක යෝධයකු වූ ඇල්ෆ්‍රඩ් හිච්කොක් විසින් නිර්මාණය කල මෙම සිනමා පටයට පාදක වන්නේ The Living and The Dead නමැති ප්‍රංශ නවකතාවක්. මෙය බොහෝ විට සඳහන්වන්නේ Hitchcock 's Masterpiece ලෙසයි. මනෝවිද්‍යාත්මක පදනමක් ඇති මේ කතාවේ ප්‍රධාන චරිතය වන්නේ acrophobia නමැති මානසික රෝගයෙන් පෙලෙන විශ්‍රාමික පොලිස් රහස් පරීක්ෂක වරයෙක්. 

ලොව පුරා සැකසුනු හොඳම චිත්‍රපට නාමාවලි බොහොමයක මුල් සිනමාපට අතර Vertigo රැඳෙනවා. මේ කෘතියටත් මුලදී නිසි ඇගයීමක් නොකෙරුණු අතර එහි වටිනාකම වටහා ගන්නේ ප්‍රන්ශුවා ට්රූෆෝ ඇතුළු ප්‍රංශ නව රැල්ලේ සිනමා කරුවන් විසිනුයි. තමන් විසින් නිපදවූ හොඳම සිනමා පටය ලෙස හිච්කොක් මෙය සලකනවා.

THE RULES OF THE GAME - ක්‍රීඩාවේ නීති (1939)
ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ්‍ය ජීන් රෙනුවා (Jean Renoir ) විසින් අධ්‍යක්ෂණය කල මෙම සිනමා පටය ට්රූෆෝ විසින් හැඳින්වූයේ චිත්‍රපට වල චිත්‍රපටය (The Film Of Films ) ලෙසයි. The Rules Of The Game,1952 සිට මේ දක්වා Sight & Sound , Top Ten නාමාවලි සියල්ලෙහිම රැදී සිටිනවා.

දෙවැනි ලෝක යුධ සමය ආරම්භය ආසන්නයේ නිපදවුණු මෙම සිනමා පටය ප්‍රංශ ඉහළ පැලැන්තිය සදය උපහාසයට ලක් කිරීම හේතුවෙන් එකල පරිභවයට පාත්‍ර වුනා. ප්‍රංශ රජය විසින් මෙම කෘතිය තහනම් කිරීමට තරම් මේ ප්‍රතිචාර දරුණු වූ බවයි පැවසෙන්නේ. යුධ සමයෙන් පසුව තමා යළිත් සිනමා විචාරකයන්ගේ ඇස් මේ දෙසට යොමු වන්නේ. එයින් පසු ලොව මෙතෙක් බිහිවූ හොඳම සිනමා කෘති අතරට මෙයද එක් වෙනවා.


THE GOD FATHER I (1972)
THE GOD FATHER II (1974)
මාරියෝ පුසෝ විසින් 1969 දී රචිත the God Father නම් නව කතාව ඇසුරින් ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටද්වය ඇමරිකා-ඉතාලි පාතාල පවුලක් පිලිබඳ කතාන්තරයක්. පළමු චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව Marlon Brando විසින් රඟපානවා.

මීට පෙර බිහිවූ පාතාල සිනමා පට එම පාතාල චරිත දෙස පිටස්තරව බලන ඇසකින් කල නිර්මාණ වූ අතර ඊට ප්‍රති පක්ෂව the God Father පාතාල සාමාජික පවුලක ඇසින් ලෝකය දෙස බලන ආකාරයට නිර්මාණය වූවක්. සුප්‍රකට සිනමා අධ්‍යක්ෂ්‍ය Stanley Kubrick පවසන ආකාරයට ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිනමා කෘතිය මෙයයි. ඇමරිකන් චිත්‍රපට ආයතනය විසින් මෙතෙක් බිහිවූ හොඳම ඇමෙරිකානු චිත්‍රපට අතර මෙය Citizen Caneට පමණක් දෙවැනි වන නිර්මාණයක් ලෙසයි සලකන්නේ. 2002 Top Ten නාමාවලියට අයත් සිනමා පට අතර අප මිතුරන් බොහෝ දෙනෙක් මේ සිනමා පට ද්වය නම් නරඹා ඇති.

තෝකියෝ වෘතාන්තය (1953)
ඔසු යශුජිරෝ විසින් නිර්මාණය කරන ලද "තෝකියෝ මොනොගතරි" නම් වූ මෙම සිනමා පටය තම දූ දරුවන් බැලීමට තෝකියෝ නගරයට පැමිණෙන වියපත් යුවලකගේ අනුවේදනීය කතාවක්. කාර්ය බහුල බව නිසා සිය දූ දරුවන්ගෙන් බලාපොරොත්තු වූ සෙනෙහස සහ රැකවරණය නොලැබ මහලු යුවල නොදන්නා නගරයක තනිවන අයුරු එහි මනාව නිරූපණය කර තිබෙනවා. මේ කෘතිය ඔසු යශුජිරෝගේ හොඳම චිත්‍රපටය ලෙස සැලකෙන අතර Sight & Sound, Top Ten නාමාවලිය දෙවතාවක් නියෝජනය කරනවා.
ජපන් ජන ජීවිතය සහ ජපන් සිනමාව පිලිබඳ විශේෂඥයකු වූ ඩොනල්ඩ් රිචී තෝකියෝ වෘතාන්තය පිලිබඳ මෙසේ පවසනවා.
"The dissolution of the family, the transience of this world, the disappointment of life - this is the theme of Tokyo Story"  


2001: A SPACE ODYSSEY (1968)
ඔබ අප කව්රුත් හොඳින් හඳුනන 2001: අභ්‍යවකාශ වීරකාව්‍යය මෙයයි. Stanley Kubrick විසින් මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කල අතර කතා රචනය Arthur C. Clarke සමග Stanley Kubrick. මෙය ආතර් සී. ක්ලාර්ක් විසින් ලියූ 2001 විද්‍යා ප්‍රබන්ධ නවකතාව ඇසුරින් කල සිනමා කෘතියක් ලෙස බොහෝ දෙනා සිතා සිටියත් ඇත්තටම සිදුවූයේ චිත්‍රපට කතාවත් නවකතාවත් එකවර ලියා චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹන විට නව කතාවද එළි දැක්වීමයි. මානව පරිනාමය, තාක්ෂණික දියුණුව, නිර්මාපිත බුද්ධිය (Artificial Intelligence) සහ පාරභෞම ජීවය (Extraterrestrial Life) යන තේමාවන් මේ සිනමා පටයේ සාකච්ඡාවට භාජනය කෙරෙනවා.


මෙම සිනමා පටය එහි විද්‍යාත්මක නිරවද්‍ය භාවය පිළිබඳව කීර්තියක් දරා සිටින අතර නූතන යුගයේ විශේෂිත රංග උපක්‍රම (Special Effects) භාවිතයේ ආරම්භක සිනමා කෘතිය ලෙසත් සැලකෙනවා. එමෙන්ම එහි භාවිත සංගීතයද විශේෂයෙන් ඇගයෙනවා. The Moving Arts Film Journal නමැති on-line සඟරාව 2001: A Space Odyssey චිත්‍රපටය මෙතෙක් ලොව බිහිවූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස නම් කර තිබෙනවා. එසේම මෙම සිනමා පටය ඔබ විසින් නැරඹිය යුතුම සිනමා පටයක් (a must watch movie ) ලෙස නම් කරන්නට මා කැමතියි.


THE BATTLESHIP POTEMKIN (1925)
1905 වසරේදී පොටෙම්කින් නමැති යුධ නෞකාව එවකට පැවති සාර් පාලනයට එරෙහිව කැරලි ගැසීමේ සිද්ධිය මුල් කරගෙන ශ්‍රේෂ්ට රුසියානු සිනමා කරු සර්ජි අයිසන්ස්ටයින් විසින් නිර්මාණය කල ලොව වඩාත්ම කතා බහට ලක්වූ නිහඬ සිනමා පටයයි මේ. Sight & Sound සඟරාව විසින් වසර දහයෙන් දහයට පලකල හොඳම සිනමා පට දහය අතර සැමදා රැඳී සිටි මේ චිත්‍රපටය සෝවියට් සමූහාණ්ඩුවේ ප්‍රචාරාත්මක (propaganda) සිනමා පටයක් ලෙසත් හැඳින්වෙනවා.

සිංහල විශ්වකෝෂය මේ සිනමා කෘතිය පිළිබඳව දක්වන අදහස්;
"නිලධාරිවාදයට එරෙහිව පොටෙම්කින් නෞකාවේ නාවුකයන්ගේ කැරලි ගැසීමත් කැරලි නායකයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඒකරාශී වූ ඔඩෙස්සා නගර වැසියන් කෘර ලෙස ඝාතනයත්, සෙසු යුද්ධ නෞකාද පොටෙම්කින් නෞකාව සමග එක්වීමත් පිලිබඳ පුවත විෂය කරගත් මේ චිත්‍රපටය ග්‍රීක දු:ඛාන්තයක මෙන් අංක පහකින් යුක්ත විය. (1. මිනිසුන් සහ පනුවන් 2. නැව් තට්ටුවේ සිද්ධිය 3. මළවුන්ගෙන් ආයාචනයක් 4. ඔඩෙස්සා පඩිපෙළ 5. බලඇණිය හමුවීම )"

බෝල්ෂෙවික් විප්ලවයේ දස වන සංවත්සරය සැමරීම සඳහා මෙම සිනමා පටය නිර්මාණය කරන ලදී.

SUNRISE: A SONG OF TWO HUMANS (1927)
මෙය ජර්මානු ජාතික සිනමා අධ්‍යක්ෂ්‍ය වරයකු වූ F. W. Murnau විසින් නිර්මාපිත ඇමරිකානු නිහඬ සිනමා පටයක්. 1929 දී පැවති ප්‍රථම ඇකඩමි සම්මාන උළෙලේදී මේ චිත්‍රපටය අනන්‍ය, කලාත්මක නිෂ්පාදනය (Unique and Artistic Production ) වෙනුවෙන් සම්මානයක් දිනාගන්නවා. 

අනියම් පෙමක් හේතුවෙන් පෙම්වතියගේ උපදෙස් මත සිය බිරිඳ මරා දමන්නට සැරසෙන තරුණයකු එය කල නොහැකිව යලිත් ඇය හා පෙමින් වේලෙන කතාන්තරයක් මෙහි දිග හැරෙනවා. සිනමා පටය මුළු රාත්‍රිය පුරා දිවයන අතර හිරු උදාවත් සමග අවසාන වෙනවා. 

1989 දී මෙම සිනමාපටයේ සංස්කෘතිකමය, ඉතිහාසාත්මක සහ සෞන්දර්යාත්මක සුවිශේෂී බව සලකා එක්සත් ජනපදයේ Library of Congress විසින්  ජාතික චිත්‍රපට ලේඛනාගාරයේ අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කල යුතු සිනමා පටයක් ලෙස නිර්දේශ කරනවා.

2002 Top Ten ලැයිස්තුව තුල මෙම සිනමා පටය පොටෙම්කින් යුධ නෞකාව සමගින් සම ඡන්ද සංක්‍යාවක් ලබා හත් වෙනි තැන රැඳෙනවා.


8½ (1963)

 

ඉතාලි ජාතික විශිෂ්ට සිනමා අධ්‍යක්ෂ Federico Fellini විසින් නිර්මාපිත මේ fantasy ගනයේ චිත්‍රපටය ඔහුගේ අටහමාර වන චිත්‍රපටය බැවින් එය "8½" ලෙස නම් කර තිබෙනවා. මීට ප්‍රථම ඔහු කල නිර්මාණ අතර වෘතාන්ත චිත්‍රපට හයක් වන අතර කෙටි සිනමා කොටස් දෙකකුත් වෙනත් අධ්‍යක්ෂවරයෙකුත් සමග කල සිනමා නිර්මානයකුත් වනවා. අවසනට සඳහන් කල තුනම භාග ලෙස ඔහු සලකන බැවින් ඊළඟ සිනමාපටය අටහමාර වන සිනමා පටයයි. 

මෙය චිත්‍රපටයක් හැදීම පිලිබඳ චිත්‍රපටයක්. එක් සුප්‍රසිද්ධ ඉතාලි සිනමා අධ්‍යක්ෂ වරයකු සිනමා පටයක් නිර්මාණය කරන අතර සිය නිර්මාණය පිලිබඳ විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් (director 's block ) තව දුරටත් ඉදිරියට යා නොහැකි තත්වයකට පත්වනවා. ඒ අතරතුර කල්පිතය හා යතාර්ථය අතර දෝලනය වන ඔහු මේ දෙක අතර වල්මත් වී තමා වටා සිටින අනෙකුත් චරිතද ඒ තුල අතරමං කරනව.

කළු සුදු සිනමා පටයක් වන මෙය ඒ වසරේ හොඳම විදේශීය චිත්‍රපටය සහ හොඳම ඇඳුම් නිර්මාණය වෙනුවෙන් පිදෙන ඇකඩමි සම්මාන දිනාගන්නවා. එමෙන්ම 1963 වසරේ මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී Grand Prize සම්මානයද හිමිවෙනවා. ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේදීද විශ්ව සම්භාවනාවට පාත්‍ර වනවා. 1972 , 1982 , 2002 යන වසරවල Sight & Sound , Top Ten ලැයිස්තු තුනටම මෙම සිනමා පටය ඇතුලත් වනවා.

SINGIN' IN THE RAIN (1952)
හොලිවුඩ් පුරය නිහඬ සිනමා පට වෙතින් කතා නාද සිනමා පට වෙත යොමුවූ සංක්‍රාන්ති සමය අලලා නිර්මාපිත මෙම සිනමා පටය සංගීතමය ප්‍රහසනයක්. Gene Kelly සහ Stanley Donen විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමා පටය ලොව මෙතෙක් බිහිවූ හොඳම සංගීතාත්මක සිනමා පටය ලෙස සැලකෙනවා. 

මෙයට පෙර 1982 දීත් මෙම සිනමා පටය Sight & Sound , Top Ten ලැයිස්තුවට ඇතුලත් වුනා. සිනමා ප්‍රතිචාර සහ තොරතුරු පිලිබඳ අන්තර්ජාල පිටුවක් වූ Rotten Tomatoes හි මෙම සිනමා පටයට 100% ක් ම හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා.

21 වන සියවස තුළත් සිනමාව පෙරටුගාමී කලාවක් ලෙස වැජඹෙනවා.  එහෙත් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිනමාපට තේරීමේදී බොහොමයක් නාමාවලි වල දක්නට ලැබෙන්නේ අවම වශයෙන් මීට වසර තිහකටවත් පෙර නිර්මාණය වූ සිනමා කෘති. මීළඟ Sight & Sound , Top Ten නාමාවලිය 2012 වසරේදී ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ ප්‍රවණතාවයේ යම් වෙනසක් වේවිද කියා එවිට අපි බලමු.

Friday, August 19, 2011

තිඹිරි ගෙදර සිට සොහොන් බිම වෙතයි - අපේ ගමන් මග විහිදෙන්නේ ..... ඒ කෙටි මාවත සැරි සරනා අප - මොන සිනමා පට නරඹන්නේ


රූපය සහ ශබ්ධය, පසිඳුරන්ගෙන්  ග්‍රහණය කරන වැදගත්ම විඳීම් දෙකක්. සිනමා පටයක් රසවින්දින්ට නම් අත්‍යවශ්‍යම අංග දෙක. ඒ වැදගත් කම සලකල තමා සිනමාවටම වෙන්වුණු Sight & Sound සඟරාව බිහිවෙන්නෙ, 1932 වර්ෂයේ. 1934 දී මේ සඟරාව පල කිරීම බ්‍රිතාන්‍ය සිනමා ආයතනයට (British Film Institute) පැවරෙනව. එතැන් සිට අද දක්වාම ඔවුන් මේ සඟරාව පවත්වාගෙන යනව. 

ලෝක සිනමාව වෙනුවෙන් Sight & Sound සඟරාව දක්වන දායකත්වය අමිලයි. ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිනමා කෘති රසිකයන්ට හඳුන්වාදීම ඒ අතරින් සුවිශේෂයි. ඒ සඳහා විවිධ නාමාවලි සැකසීම ඔවුන් සිදු කරනවා. මින් පෙර ලිපියේ (සිනමා ලෝලීන්ටයි.... බයිසිකල් හොරු - අතුරු කතාවක්) අපි කතා කලේ ළමයින් සඳහා සැකසූ එවැනි එක් නාමාවලියක් (BFI list of the 50 films you should see by the age of 14) ගැන. ඒ ලිපියට අපේ සහෘදයන් දක්වපු යහපත් ප්‍රතිචාරය මේ ලිපිය ඉක්මනින්ම ඉදිරිපත් කරන්න මා පෙළඹෙව්වා. (විශේෂයෙන් නලිනි වෛද්‍ය තුමිය මැරෙන්න කලින් බලන්න ඕනේ චිත්‍රපට ලැයිස්තුවක් ගැන ඇහුව වෙලේ අනෙක් සහෘදයනුත් ඒ පිළිබඳව දැක්වූ උනන්දුව.)


සෑම දශකයකට වරක්ම Sight & Sound සඟරාව ජාත්‍යන්තර චිත්‍රපට විශාරදයන් සමූහයක් ලවා ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට දහය තේරීම සිදුකරනව. මේ තේරීම මුලින්ම සිදු කලේ 1952 වසරේ. ඒ පළමු නාමාවලිය මෙසේයි.


Critics' Top 10 Poll 

1952

01. Bicycle Thieves (25 mentions)
02. City Lights (19 mentions)
02. The Gold Rush (19 mentions)
04. The Battleship Potemkin (16 mentions)
05. Intolerance (12 mentions)
05. Louisiana Story (12 mentions)
07. Greed (11 mentions)
07. Le Jour se leve (11 mentions)
07. The Passion of Joan of Arc (11 mentions)
10. Brief Encounter (10 mentions)
10. La Règle du jeu (The Rules of the Game) (10 mentions)
10. Le Million (10 mentions)
Closest runners-up: Citizen KaneLa Grande Illusion, and The Grapes of Wrath (9 mentions apiece)
ඒ අවස්ථාවේ පළමු තැන ලැබෙන්නේ ඉතාලි ජාතික විටෝරියෝ ඩි සිකා ගේ "බයිසිකල් හොරු" සිනමා පටයට. (අපි මේ ගැන කතා කලා සහෘදයන්ට මතක ඇති. වැඩි විස්තර සඳහා මෙතනින් බලන්න).

දෙවෙනි තැන චාලි චැප්ලින් විසින් නිර්මාණය කල චිත්‍රපට දෙකකට. 
එකක් 1931 වසරේ නිර්මාණය කල City Lights.

අනෙක 1925 දී නිර්මාණය වූ The Gold Rush
දෙකම නිහඬ සිනමා පට.
මේ ලැයිස්තුවට ඇතුලත් The Battleship Potemkin, Intolerance, Greed සහ The Passion of Joan of Arc යන කෘතිද නිහඬ සිනමා පට. 

1962 දී ඉදිරිපත්කල Top Ten ලැයිස්තුව;


01. Citizen Kane (22 mentions)
02. L'avventura (20 mentions)
03. La Règle du jeu (The Rules of the Game) (19 mentions)
04. Greed (17 mentions)
04. Ugetsu Monogatari (17 mentions)
06. The Battleship Potemkin (16 mentions)
07. Bicycle Thieves (16 mentions)
07. Ivan the Terrible (16 mentions)
09. La terra trema (14 mentions)
10. L'Atalante (13 mentions)
Closest runners-up: Hiroshima Mon AmourPather Panchali and Zero de Conduite (11 mentions apiece)
 
මේ  අවස්ථාවේදී බයිසිකල් හොරු හත් වෙනි තැනට ගිහින් කලින් ලයිස්තුවේ ඇතුලත් නොවූ ඇමරිකානු ජාතික Orson Welles විසින් අධ්‍යක්ෂණය කල Citizen Kane සිනමා පටය ඉදිරියටම එනවා.

ඒ වගේම ප්‍රථම වතාවට ලොව හොඳම සිනමා කෘති දහය අතරට ආසියාතික චිත්‍රපටයක් එක් වෙනවා. ඒ තමා "කෙන්ජි මිසොගුචි" විසින් අධ්‍යක්ෂණය කල "උගෙත්සු මොනොගොතරි" නම් ජපන් සිනමා පටය.


Ugetsu Monogatari - 1953
මෙහි තිර පිටපත "හොල්මන් කතා වස්තුව" නමින් මහාචාර්ය ආරිය රාජකරුණා සිංහලට නගල තියෙනව. 


 ඊළඟ Top Ten නාමාවලිය 1972 දී ඉදිරිපත් වෙනව.



01. Citizen Kane (32 mentions)
02. La Règle du jeu (The Rules of the Game) (28 mentions)
03. The Battleship Potemkin (16 mentions)
04.  (15 mentions)
05. L'avventura (12 mentions)
05. Persona (12 mentions)
07. The Passion of Joan of Arc (11 mentions)
08. The General (10 mentions)
08. The Magnificent Ambersons (10 mentions)
10. Ugetsu Monogatari (9 mentions)
10. Wild Strawberries (9 mentions)
Closest runners-up: The Gold RushHiroshima mon AmourIkiruIvan the TerriblePierrot le Fou, and Vertigo (8 mentions apiece)


සිටිසන් කේන් චිත්‍රපටය නැවත පළමුවැනි තැන ලබන අතර මේ ලැයිස්තුවට ආසියාතික සිනමාපට කිසිවක් ඇතුලත් වෙන්නේ නෑ. බයිසිකල් හොරු හොඳම දහයෙන් ඉවත් වෙලා ලෝක ප්‍රකට ස්වීඩන් ජාතික සිනමා අධ්‍යක්ෂක Ingmar Bergmanගේ සිනමා පට දෙකක් එක්වෙව.
PERSONA - 1966



බර්ග්මාන් චිත්‍රපට Sight & Sound, Top Ten  නාමාවලියට ඇතුලත් වන ප්‍රථම සහ එකම අවස්ථාව මෙයයි.

1982

01. Citizen Kane (45 mentions)
02. La Règle du jeu (The Rules of the Game) (31 mentions)
03. Seven Samurai (15 mentions)
04. Singin' in the Rain (15 mentions)
05.  (14 mentions)
06. The Battleship Potemkin (13 mentions)
07. L'avventura (12 mentions)
07. The Magnificent Ambersons (12 mentions)
07. Vertigo (12 mentions)
10. The General (11 mentions)
10. The Searchers (11 mentions)
Closest runners-up: 2001: A Space Odyssey and Andrei Rublev (10 mentions apiece)


Citizen Kane තව දුරටත් පළමුවෙනි තැන රැඳී සිටින අතර මෙවර යලිත් වරක් ආසියාතික චිත්‍රපටයක් මුල් දහය අතරට එනවා. ඒ තමා අකිර කුරොසාවා ගේ Seven Samurai චිත්‍රපටය.




1992
01. Citizen Kane (43 mentions)
02. La Règle du jeu (The Rules of the Game) (32 mentions)
03. Tokyo Story (22 mentions)
04. Vertigo (18 mentions)
05. The Searchers (17 mentions)
06. L'Atalante (15 mentions)
06. The Passion of Joan of Arc (15 mentions)
06. Pather Panchali (15 mentions)
06. The Battleship Potemkin (15 mentions)
10. 2001: A Space Odyssey (14 mentions)
Closest runners-up: Bicycle Thieves and Singin' in the Rain (10 mentions apiece)


මෙවර ප්‍රථම වතාවට ඉන්දියානු සිනමා පටයක් ලොව හොඳම චිත්‍රපට දහය අතරට නම් කෙරෙනවා. සත්‍යජිත් රායි ගේ පාතර් පංචාලි.
Pather Panchaali - 1955
Sight & Sound නවතම Top Ten නාමාවලිය ඉදිරිපත් වෙන්නේ 2002 දී. මෙතන ඉඩ මදි නිසා ඒ නාමාවලිය ගැන අපි වෙනම පොස්ට් එකකින් කතාකරමු. Citizen Kane තව දුරටත් පළමුවෙනි තැන රැඳී සිටීවිදැයි අපි එහිදී සොයා බලමු.