Saturday, September 22, 2012

ලස්සන සවසක මේ වාගේ - පොත් ගැන වැගිරෙන රස ඕගේ


කොළඹ ළමා පොත් සංගමයේ තේමා ගීයේ මුල් පද දෙකයි, ඔය ඉහළින් තියෙන්නේ. මට මේ ගීය සිහිවුනේ ඊයෙ සවස (21/09/2012) මා පොත් සමග ගත කළ සුන්දර සැඳෑව නිසයි. ඒ වෙන කොහේ වත් නොවෙයි, මේ දිනවල කොළඹ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී.

මෙවර යම් විශේෂත්වයන් ප්‍රදර්ශනය තුළ මම අත් දුටුවා. එකක් තමා රාත්‍රී නවය වන තුරු ප්‍රදර්ශනය පැවැත්වීම. තව විශේෂත්වයක් තමයි වට්ටම් ලබා දීමේ  ආකාරය. වෙන වතාවල එක් එක් ප්‍රකාශකයන් තමන්ට රිසි පරිදි වට්ටම් ලබා දුන්නත් මෙවර සෑම ප්‍රකාශකයෙකුම ලබා දෙන්නේ 20%ක වට්ටමක් පමණයි. ඒ වගේම ඒ වට්ටම ස්වීය ප්‍රකාශන වලට පමණක් අදාළ වන්නේ නැහැ. ඕනෑම පොතකට ලැබෙනවා. එක් අතකින් එය හොඳයි. නැත්නම් වඩා හොඳ වට්ටමක් ලබා ගැනීමට අදාළ ප්‍රකාශකයාගේ වෙළඳ කුටියම සොයා යන්නට පාඨකයාට සිදුවෙනවා. මෙවර අතට අහුවෙන තැනකදී පොත ගන්න පුළුවන්. එක අතකට කාලය ඉතිරිකෙරෙන අතර යම් පමණකට තද බදයද අඩුවෙනවා.

වඩාත්ම වැදගත් විශේෂත්වය තමා, "ගුරු ගෙදර". 
සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාව අසල කටුමැටි බිත්තියෙන් යුතු පොල්, අතු වහල ඇති අපේ ගමේ පරණ ගුරු ගෙදර. 
මම යනකොට ලියන මහත්තුරු (ලේඛක) ගුරු ගෙදර ලනු ඇඳ උඩ වාඩිවෙලා බර කතාවක්. කතාව පරිවර්තන සාහිත්‍යය ගැන. ගාමිණී සුමනසේකර මහත්තැන් තමා සභාව මෙහෙයෙව්වේ. සභාවේ හිටි ලියන මහත්තැන් ගෙන්; ටෙනිසන් පෙරේරා මහත්තයවයි, ගාමිණී වියන්ගොඩ මහත්තයවයි, චන්දන මෙන්ඩිස් මහත්තයවයි මා හඳුන ගත්ත. අනෙක් අය නං හැඳින්නෙ නැහැ. ඒ වෙලාවේ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබුණේ, පරිවර්තකයකු පරිවර්තනයක් කිරීමේදී අපේ සංස්කෘතියට ගැලපෙන අයුරින් මුල් කෘතිය වෙනස් කළ යුතුද යන වග. 

ටෙනිසන් පෙරේරා මහත්මා පෙන්වා දුන්නා, මේ දිනවල හතු පිපෙන්නාක් මෙන් බිහි වන පරිවර්තන මුල් කෘතියට සාධාරණයක් ඉටු නොකරන වග. වෙනත් පරිවර්තකයකු විසින් පරිවර්තනය කරන ලද කෘතියක් බලාගෙන වචන කිහිපයක් වෙනස් කර තමන්ගේ නමින් පළ කරන පරිවර්තකයන්ද සිටින බව එතුමන් පැවසුවා. එසේම මුල් කෘතියේ අදහස් වෙනස් කර, එහි ඇති ප්‍රස්තා පිරුළු, රූඩි ආදිය අත් හරිමින්, විටෙක පරිවර්තනය කිරීමට අපහසු යයි සිතන පදාස පවා අතහරිමින් සමහරුන් පරිවර්තන කාර්යයේ යෙදෙන බවද, මෙය මුල් කෘතියට පමණක් නොව පාඨකයාට ද කරන අසාධාරණයක් බව ද එතුමන් ප්‍රකාශ කළා. 

ඉන් පසුව කතා කලේ ගාමිණී වියන්ගොඩ මහත්මායි. එතුමන්ගේ අදහස වුනේ පරිවර්තකයකුට මුල් කෘතිය වෙනස් කිරීමට කිසිඳු අයිතියක් නොමැති බවයි. අපේ සමාජයට නුහුරු යම් වචනයක් මුල් කෘතියේ ඇත් නම් එය මග හරිනවා වෙනුවට පරිවර්තකයා කළ යුත්තේ ඒ වචනය හඳුන්වා දීම බව වියන්ගොඩ මහතා පැවසුවා. එහිදී අලුත් වචනයේ අර්ථය කෘතිය ගලා යාම තුළම පාඨකයාට වැටහෙන්නේ නම් එය වෙසෙසින් පැහැදිලි කළ යුතු නැති බවද  එසේ නොවේ නම් පමණක් පාද සටහනක් මගින් එය පැහැදිලි කරීම සිය ක්‍රමය බවද කී වියන්ගොඩ මහතා පරිවර්තනයට කෘතියක් තෝරා ගැනීමේදී බොහෝ දෙනා නොවැදගත් කාරනා වලට මුල් තැන දෙන බවද ප්‍රකාශ කළා. එනම් අදාළ කෘතිය ජනප්‍රිය වේද යන වග, එය පරිවර්තනයෙන් වැඩි මුදලක් සෙවීමට ඇති හැකියාව, කෘතිය විශාල නම් එය පරිවර්තනය නොකර සිටීම වැනි කරුණු මත යම් කෘතියක් පරිවර්තනය කිරීමෙහි හෝ නොකිරීමෙහි යෙදීම ඔහු පිළිකෙව් කළා. යම් කෘතියක් කියවූ විට එය සිය හදට වැදෙයි නම් පරිවර්තනයට එයම හේතු විය යුතු බව ඔහුගේ අදහසයි. පරිවර්තකයාට මුල් කෘතියෙන් යම් වෙනසක් සහිතව පරිවර්තනය කිරීමට සිදුවන අවස්ථා ද ඇති බව සදහන් කල එතුමන් ඒ සඳහා හොඳ උදා හරණයක් දුන්නා. එක්තරා කෘතියක මෙවැනි වාක්‍යයක් තිබෙනවා. "දැන් ඔබ මේ පොතේ 33 වන පිටුව කියවා අවසානයි." පරිවර්තනයේදී එම වැකිය යෙදෙන්නේ 45 වන පිටුවේදී නම් කිසි පැකිලීමක් නැතිව පරිවර්තකයා එය වෙනස් කළ යුතු බව කී වියන්ගොඩ මහතා එයින් මුල් කෘතියට කිසිදු හානියක් නොවන බව ද, එසේ නොකළ හොත් එම වැකිය අර්ථ විරහිත වන බවද පැවසුවා.   


සාකච්ඡාව නම් දිගින් දිගටම පැවැත්වුනා. ඒත් කාල වේලාව පිළිඹඳ ප්‍රශ්නයක් නිසා මට එතනින් පිට වීමට සිදුවුනා. ප්‍රදර්ශන කුටි රැසක් තිබුනත් තෝරාගත් කුටි වලට පමණක් ගියේ කාලය මද කම නිසයි. ඔය අතර සුනෙර ප්‍රකාශකයන් ගේ ප්‍රදර්ශන කුටියේදී කවි මුතු මල් බ්ලොගයේ නිර්මාතෘ අසංක ආසිරි මල්ලිව හමුවුනා. ඒ සහෘද හමුව නිසා පොත් සැන්දෑව තවත් රසවත් වුනා. ඒ කුටියේ සිටි ළමා පරිවර්තන බෙහෙවින් කරන සමරසිංහ ගුණසේකර මහත්මා වත් ඔහු මට හඳුන්වා දුන්නා.  
ඉතින් රාත්‍රිය උදා වෙද්දී අකමැත්තෙන් වුවත් පොත් සැරිය නවතා, නැවත එන බලාපොරොත්තුවෙන් යුතුව නිවෙස බලා යාමට මට සිදුවුනා.

සටහන
ඉහත සඳහන් කළ කතුවරුන් යමෙක් නොහඳුනත් නම්;

ටෙනිසන් පෙරේරා මහතා ලියු කෘති කිහිපයක්
දැති රෝදෙන් උපන් බුදුන් - කෙටි කතා
අසිරිමත් වැඩබිම - කෙටි කතා
නිදහසේ දරුවාගේ උමතු කතාව - කෙටි කතා
දුට්ඨ ගාමිණී නොමල වගයි
සක්වල දඩයම 
මම චක්‍රවර්ති 
ගින්නෙන් නැගෙන දුම්
මජික්කාරයාගේ කතාව
සත්‍යවාදීන්ගේ මරණ මංචකය
කැළණි නදිය ගලා බසී  
භාවාන්තරය (2011 ස්වර්ණ පුස්තක නිර්දේශ)
අබිරහස් ජීවිත තරණය (2012 ස්වර්ණ පුස්තක නිර්දේශ)

ගාමිණී වියන්ගොඩ මහතා විසින් පරිවර්තිත කෘති
කරුමක්කාර කතාවක් - ගාර්සියා මාකේස්
ඊවා ලූනා - ඉසබෙල් අයින්දේ
හිරු බැස ගිය පසු - චිනුවා අචිබේ
කොලරා කාලේ ආලේ - ගාර්සියා මාකේස්
අනුන්ගේ ලේ - සීමොන් ද බෝවා
වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි - පාවුලෝ කොයියෝ
තැවුල් සිත - ඉසාක් බෂෙවිශ් සිංගර්
යකඩ යුගය - ජේ එම් කොඑට්සි 
කල්කි - ගෝර් විදාල්
රෑ මාතා - කර්ට් වොනෙගට්
ව්‍යවච්ඡේදකයා - ෆෙදෙරිකෝ අන්දහාසි   
විසේකාරී - මාරියෝ වර්ගාස් යෝසා 



සමරසිංහ ගුණසේකර මහතා විසින් පරිවර්තිත කෘති
හියු ලොෆ්ටින් විසින් රචිත 'හිත හොඳ දොස්තර' කතා මාලාවේ සියලුම කෘතීන් 
රෝල් ඩාල් ලියු 'මායාකාරියෝ'
අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන්ගේ දේශනා
ඔහු විසින්ම ලියු කෘති
සිවුර හැර යාම - පර්යේෂණ
මෙන්න අපේ අමුතුසේන 
එහෙම නොවෙයි, මෙහෙම හිතන්න
මේ පොතට නමක් දෙන්න

Saturday, September 8, 2012

පොත් ගුල්ලන්ට සහ ගුල්ලියන්ට TIPS;

නුගේගොඩ සරසවි පොත් හලෙන් පොත් ගත්තු හැටි ගැන TG බ්ලොග් පෝස්ටුවක් පල කරලා. අඩු මිලට පොත් ගත හැකි තැන් ගැන පොත් ගුල්ලාගේ අත්දැකීම් එහි කමෙන්ටුවක් ලෙස පල කළා. මේ එයම නැවතත් මෙහි පල කරන්නේ ඔබගේත් ප්‍රයෝජනය පිණිසයි. මෙහි දක්වා ඇති පොත් හල් බොහොමයක් සාහිත්‍ය මාසයේදී 30% ක් හෝ ඊට ආසන්න වට්ටම් දෙන බවද දැනුම් දෙනු කැමැත්තෙමි. 

*මෙය හුදෙක් අහිංසක පොත් ලෝලීන්ගේ යහපත පිණිස මිස කිසියම් සමාගමකට පහර ගැසීමට හෝ වෙනත් සමාගමකට ප්‍රචාරයක් ලබා දීමට හෝ ලියන ලද්දක් නොවන බව කරුණාවෙන් සලකනු මැනවි.* 

සරසවි පොත් හලට මම නම් යැවෙන්නේ කලාතුරකින්. සරසවි පොත් හල බොහොම ආකර්ශනීයයි තමයි, ඒත් ඒ ගොල්ලෝ සරසවි ප්‍රකාශනයකට වත් වට්ටමක් දෙන්නේ නැහැනේ. අනෙකුත් ප්‍රකාශන වලට කොහොමටත් නැහැ. මං වගේ දුප්පත් පොත් ගුල්ලෝ යන්න ඕනේ නුගේගොඩට නෙමෙයි, මරදාන පැත්තට.  
මෙන්න පොත් ගුල්ලගෙන් අනෙකුත් පොත් ගුල්ලන් සහ ගුල්ලියන්ට TIPS; 

යන්න මරදානට.

ආනන්ද විද්‍යාලය අසල තියෙනවා "ගොඩගේ පොත් මැදුර". ගොඩගේ මහත්තය ගොඩගේ ප්‍රකාශන වලට අවම වශයෙන් 20% වත් වට්ටමක් දෙනව. ගොඩගේ පාඨක  සමාජයට බැඳුනොත් (රු.200/ ක් ගෙවා) ඉන් ඉදිරියට ගොඩගේ ප්‍රකාශන වලට 25% ක වට්ටමක් ලබාගතහැකියි. අනෙකුත් ප්‍රකාශන වලට 10% වට්ටමක් ලැබෙනවා. ඒ කියන්නේ සරසවි ප්‍රකාශනයක් සරසවි පොත් හලකට වඩා අඩු මිලට ගන්න පුළුවන්.

ඊළඟට පාර මාරුවෙන්න.
එස්. මහින්ද මාවතට හැරෙන්න. (එස්. මහින්ද හිමියන්ගේ සහ සෝම හිමියන්ගේ පිළිරූ තියෙන නිසා සොයා ගන්න ලේසියි.) ඔන්න එක පැත්තක සූරිය ප්‍රකාශකයෝ. අනෙක් පැත්තේ දයාවංශ ජයකොඩි සහ සමාගම. ඒ දෙගොල්ලොම ගොඩගේ වගේම ස්වීය ප්‍රකාශන වලට අවම වශයෙන් 20% වට්ටමක් වත් දෙයි. අර වගේම අනෙකුත් ප්‍රකාශන වලට 10% හෝ 15% ක වට්ටමක්.

තවත් පොත් සාප්පුවකට යන්න කැමති නම් ආයෙත් පාර මාරු වෙන්න. (ගොඩගේ පැත්තටම). දැන් ආනන්ද බාලිකාවට යන පාරට හැරී (පාරේ නම අමතකය) තරමක් දුර ඉදිරියට යන්න. වම් පසින් ඔබට "සමයවර්ධන" ප්‍රකාශකයන් දිස් වනු ඇති. අර තරම්ම ආකර්ශනීය නැතත් ඒ අයත් වට්ටමක් දෙයි.

පොත් සාප්පු චාරිකාව තව ඉදිරියට ගෙන යාමට අවැසි නම් දැන් බස් එකක නැගී පුංචි බොරැල්ලට යන්න. පාස් පෝට් කාර්යාලය අසලින් බැස නැවත පාර මාරු වෙන්න. ඔන්න තියෙනවා, "විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රය". ගොඩගේ හා සමානවම මේ අයත් වට්ටම් දෙනවා. 

ඒ ඒ පොත් හලෙන් ඒ ඒ පොත්

ගොඩගේ සාප්පුවේ;
පරිවර්තන ලෝලීන්ට තෝතැන්නක්. 
සිරිල් සී. පෙරේරා මහතා පරිවර්තනය කළ සියලුම පොත්:- යුද්ධය හා සාමය, කරමසෝ සහෝදරයෝ, පෙරලූ නැවුම් පස, වෘකයන් අතර නග්නව, මහල්ලා සහ මුහුද, ඩි කැමරොන් හෙවත් දස දවස, දිබ්බ චක්කු, ගැඹුරු මුහුද, නීලෝදකය, ෂේන්,ආදී........

මහාචාර්ය ආරිය රාජකරුණා විසින් පරිවර්තිත සියලුම ජපන් සාහිත්‍ය කෘති:- රෂොමොන්, විවාහය, ශ්‍රේෂ්ට ජපන් චිත්‍රපට කතා, අපායේ දොරටුව, හොල්මන් කථා වස්තුවක්, කවබත යසුනරි ගේ කෙටි කථා, ෂිග විහාරයේ මහ තෙරුන් වහන්සේ ගේ ප්‍රේමය සහ තවත් කතා, ගැහැණියකගේ චරිතාපදානය, ආදී....
සුගතපාල ද සිල්වා ශූරීන් විසින් ලියු සහ පරිවර්තිත කෘති:- ඇට මැස්සා, හතරවෙනි තට්ටුව, හිට්ලර් එල්ලා මරයි, පවර නිරිඳෙක් වීය බඹදත්, බිත්ති හතර, බල්ලෝ බත් කති, එසේ වී නම් මිනිසුනේ අසව්, ආදී............ 
වෙනත් පරිවර්තකයන්ගේ පරිවර්තන රැසක්.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ - විලාසිනියකගේ ප්‍රේමය, මලවුන්ගේ අවුරුදු දා, මල ගිය ඇත්තෝ සහ මනමේ ඇතුළු නාට්‍ය පිටපත් ආදී....
සයිමන් නවගත්තේගම, කේ. ජයතිලක, ඒ වී සුරවීර, ටෙනිසන් පෙරේරා, ඩබ්. ඒ. සිල්වා, ජී.බී සේනානායක යනාදී ලේඛකයන්ගේ කෘති.
මහගම සේකරයන්ගේ සහ මොනිකා රුවන් පතිරණ කිවිඳිය ගේ සියලුම පද්‍ය කෘති.
සුචරිත ගම්ලත් ගේ සියලුම විචාර කෘති.
සුනිල් ආරියරත්නයන් ගේ සියලුම පර්යේෂණ කෘති.
මෙකී නොකී බොහෝ කෘති ගොඩගේ ප්‍රකාශන ලෙසින් 20%ක වත් වට්ටමක් සහිතව ලබා ගත හැකිය.

සූරිය ප්‍රකාශකයින් වෙතින්;
පැරණි ලක්දිව ගැන ඉංග්‍රීසි ජාතිකයන් අතින් ලියවුනු පොත්.
ආර්. එල්. ස්පිට්ල් ගේ සුදු ගෝණා, සුදු වැද්දා වැනි කෘති.  ඔහුගේ දියණිය ක්‍රිස්ටීන් විල්සන් ලියූ ඉංග්‍රීසි කෘති සහ ඒවායේ පරිවර්තන, 
ඒ පී ගුණරත්නයන් විසින් පරිවර්තිත "වානරයා" වැනි කෘති.
ආදී............................

දයාවංශ ජයකොඩි සහ සමාගම;
ජයසේන ජයකොඩි ලියූ පිච්ච මල ආදී කොට ඇති සියලුම කෘති.
සෝම හිමියන් ගේ දේශනා ඇතුලත් කෘති.
කේ. ජී. කරුණාතිලකයන් විසින් පරිවර්තිත සියලුම කෘති; ඔතෙලෝ, වානරයන් ගේ ටාසන්, බිම්ගෙයි සිරකරුවා, ඈ හෙවත් අයේෂා, කෝනාන්, බැස්කර්විල් දඩ බල්ලා, රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා ආදී..........
දයාවංශ ජයකොඩි මහතා විසින්ම රචිත 'සිංහලයේ ජාතික සටන්' වැනි කෘති.
ආදී.............................

සමයවර්ධන;
Charley and the Chocolate Factory ලියු රෝල් ඩාල් ගේ කෘති බොහොමයක ඉංග්‍රීසි පිටපත් මෙන්ම සිංහල පරිවර්තන.
නා නා විධ ඉංග්‍රීසි පොත පත; ඉංග්‍රීසි බස ඉගෙනීමට අදාළ වටිනා කෘති ඇතුළුව. 
(මෙහිදී එතරම් ආකර්ශනීය වට්ටමක් නොලැබෙන බව කරුණාවෙන් සලකන්න.)

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේදී;
සරත් විජේසූරිය මහතා ගේ සියලුම කෘති. - නිරානන්දය ආදී....
ගාමිණී වියන්ගොඩ මහතා විසින් පරිවර්තිත පැරණි සහ නව ලෝක සාහිත්‍යයේ අග්‍රගන්‍ය කෘති:-  කොලරා කාලේ ආලේ, අනුන්ගේ ලේ, හිරු බැස ගිය පසු, රෑ මාතා, ප්ලේටෝ පත්‍රිකා, වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි ආදී.......
චින්තා ලක්ෂ්මී සිංහආරච්චි විසින් පරිවර්තිත සියලුම වංග කෘති:- ගෝරා, මාවතේ ගීතය ඇතුළු ඕපු ත්‍රිත්වය, ශ්‍රී කාන්ත, ශ්‍රී කාන්ත හා රාජ ලක්ෂ්මී, බිංදුගේ දරුවා, අරණකට පෙම් බැඳ, වංග ජන කතා, ආදී.................
ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද විසින් පරිවර්තිත කෘති සියල්ලම පාහේ.
ලීලානන්ද ගමාච්චි ගේ මනෝ විද්‍යා හා සමාජ විද්‍යා පොත්.  
තවත් නොයෙක් කෘති.......................

තවත් පොත් ඕනේ නං මරදානේ සිට ඩී. ආර්. විජේවර්ධන මාවත පැත්තට යන්න. ඩී. ආර්. විජේවර්ධන මාවතට හැරෙනවාත් සමගම දකුණු පැත්තෙන් පැරණි පොත් විකුණන කඩ පෙළක් ඔබට දැකිය හැකියි. ඒවායේ, භාවිත කළ (Second hand) පොත් (සිංහල, ඉංග්‍රීසි, දෙමළ) අඩු මිලට ඔබට මිලදී ගන්න පුළුවන්. 

ඔය කොහොම උනත් ලෝකේ හොඳම පොත් සාප්පුව තමා මේ;