Tuesday, July 3, 2012

පුංචි පුතා කියූ ලොකු කතාව නොහොත් ආරාම දූස ජාතකය


මා උගන්වන විද්‍යාලයේ මේ වාරයට අදාලව හය, හත සහ අට ශ්‍රේණි වල දරුවන් බුද්ධ ධර්මය විෂයට අදාලව ජාතක කතාවක් ඇසුරින් පැවරුමක් කළ යුතුයි. ඉතින් බොහෝ දරුවන් විවිධ ජාතක කතා තෝරාගෙන තම තමන්ට හැකි පමණින් ලස්සන පොත් පිංච බැගින් නිමවා ඉදිරිපත් කළා. මේ සියලු ඉදිරිපත් කිරීම් අතර අපූර්වතම පොත් පිංච නිමවූයේ හය වන ශ්‍රේණියේ පුංචි පුතෙක්. නමින් අකිඳු පෙරේරා, වයස අවුරුදු එකොළහයි. පැටියගෙ වයසෙ හැටියට කළ නිර්මාණය බොහොම උසස්. තමන් අතින්ම නිර්මාණය කළ බුදු සාදුගෙ සිතුවමක් එක්ක ලස්සන මුල් පිටුවක්. ඇතුල් පිටු අංකනය කරලා, පටුනක් සකසලා. නිධාන කතාව කියල ඉවරවෙලා තමයි ජාතක කතාවට යොමු වෙන්නෙ. ජාතක කතාව පිළිඹඳ ඔහුගේම අදහස් වලින් සැකසුනු තවත් පිටුවක්, ඊළඟට ඉන් ගත හැකි ආදර්ශය. අවසානයට පරිහරණය කළ පත පොතෙහි නාමාවලිය. මේ පිටු අතර තිබුණු වඩාත්ම රසවත් පිටුව තමා 'වර්තමාන උදාහරණය'. ඉතින් බලාපොරොත්තු වූවාට වඩා යමක් ඉදිරිපත් කළ මේ පුතාට මම රතු තරුවකුත් (a Red Star) දුන්නා. 

පුංචි පුතා කියූ ලොකු කතාව මෙයයි;
(ඉංග්‍රීසි බසින් ඉදිරිපත් කළ කතාවේ සිංහල අනුවාදය)
පුංචි පුතාගේ පොතේ මුල් පිටුව

ආරාම දුස ජාතකය

බුදුරජානන් වහන්සේ දක්ඛිණ-ගිරි යෙහි වැඩවසන සමයෙහි, එක්තරා උයන්පල්ලකු ගේ  පුත්‍රයෙකු අරභයා මේ ජාතකය දේශනා කළ සේක. 

නිධාන කතාව:

වස් නිමවූ බුදු රදහු මහ සඟන සමග දෙව්රමින් නික්ම දක්ඛිණ-ගිරි නම් නියම් ගමෙහි පිඬු පිණිස හැසිරෙන සේක. නිගම වැසි කුල පුත්‍රයෙක් බුදු පාමොක් මහ සඟන සිය උයනට වැඩම කරවාගෙන දන් පිළිගන්වා, වළඳා අවසන, මෙසේ පැවසූයේය.  "ඔබ වහන්සේලා කිසිවෙකුත් උයන් සිරි නැරඹීමට කැමැත්තහු නම් උයන් පල්ලා සමග ගොස් නරඹනු යෙහෙකියි," කියා තවද රස පලවැලින් මහ සඟනට සැලකුම් කරන මෙන්ද උයන් පල්ලා බැණවීය.

මෙසේ උයන් සිරි බලමින් උයන් පල්ලා සමග සඟ පිරිස එක් නිසරු බිම් කඩකට පැමිණියහ. භික්ෂුන්, මේ බිම් කඩ තුරු ලියෙන් තොරව නිසරුව පැවතීමේ හේතුව විචාල කළ, එක් උයන් පල්ලකුගේ පුත්‍රයකු සිදු කළ අමනෝඥ ක්‍රියාවක් හේතුවෙන් මෙය සිදු වූ බව ඒ උයන් පල්ලා පැවසීය.

යළි බුදුරදුන් වෙත පැමිණි භික්ෂූහු මේ සිදුවීම උන්වහන්සේට සැලකළහ. එකල්හි ගෞතමයන් වහන්සේ, "දැන් පමණක් නොවෙයි, පෙර දිනයකත් මේ උයන් පාලක පුත්‍රයාගේ අමනෝඥ ක්‍රියාවෙන් මෙවැනි වූ උයනක් දූෂණය වූ බැව්", හෙළි කරමින් 'ආරාම දූස ජාතකය' වදාළ සේක.

ජාතක කතාව:

පෙර බරණැස් නුවර විස්සසේන නම් රජෙක් රාජ්‍ය විචාරන්නේ, නව වසරක උදාව නිමෙත්තෙන් විවේකී කාලයක් ප්‍රකාශයට පත් කළේය. රජුගේ උයන් පල්ලාද සිය ගම් පෙදෙස් කරා ගොස් විවේකයක් ගැනීමට සිතා, උද්‍යානයේ විසූ වානර කැල කැඳවා මෙසේ පැවසීය. "වානරයිනි, තෙපි මෙතෙක් කල් මේ උයන වැද, එහි රස පල අනුභව කෙරෙමින්, කෙළි දෙලෙන් කල් යැවුහු වෙති.  දැන් උයන රැක ප්‍රති උපකාර දැක්වීමට කාලයයි. මා සත් දිනකට ගම් බලා යමි. තෙපි එතෙක් මේ උයන රැඳි තුරු ලතා දිනපතා දිය වත් කොට රැකගනුව," යි කීයේය. "එසේය," යි පිළිවදන් දුන් වානර කැල වෙත දිය ගෙනයාම පිණිස භාවිත සම් පැස් ආදිය ලබා දී හේ සිය ගම් බලා නික්ම ගියේය.

පළමු දින වඳුරන් දිය ඇදීමට සූදානම් වූහ. එවිට වානර නායක තෙම උහු අමතා, "වඳුරනි, මදක් නවතිව්! දිය ඇදීම නම් වෙහෙසකර කටයුත්තෙකි. එහෙයින් අප නිකරුනේ දිය ඇදීමෙන් වැළකී මනාව සොයා බලා කටයුතු කළ යුතුය. මත්තෙහි ඇති තුරු මෙන්ම, පස යට ඇති ඒවායේ මුල් ද විවිධාකාරය. සමහරෙක දික් මුල් ඇත්තේය, සමහරෙක කෙටි මුල් ඇත්තේය. දික් මුල් ඇති තුරු වෙත ඇති තරම් දිය ඇදිය යුතු බැව් සැබැවි, එහෙත් කෙටි මුල් ඇති තුරු වෙත මද දියක් ලැබීම සෑහේ," යි පැවසීය. "එසේය, එසේය", යි පිළිවදන් දුන් වානර කැල අතුරින් සමහරෙක් ශාක ගලවමින් මුල් වල දිග මැනීමට පටන් ගත්හ. අනෙක් උන් ඒවා නැවත සිටුවා මුල් දිග පමණට දිය වත් කළහ.

අකිඳු ගේ සිතුවමක්

මෙසේ කිහිප දිනකම උන් මුල් ඇද දිග බලා දිය වත් කෙරෙමින් සිටින කල, බමුණකුව ඉපිද සිටි බෝධිසත්වයෝ මේ උයන අසලින් යන්නට ආහ. වඳුරන්ගේ මේ අමනෝඥ ක්‍රියාව දුටු හෙතෙම, "මෙවැන්නක් කිරීමට තොපට අණ කළේ කවරෙක් දැ" යි තුරු ගලවමින් සිටි වඳුරන් ගෙන් ඇසීය. "අපගේ නායක වඳුරා", යි ඔවුහු පැවසූහ. "නායකයා ගේ බුද්ධිය මෙසේ නම්, සෙස්සන් ගැන කවර කතා දැ," යි පැවසූ බෝසතුන් මෙවන් අදහස් ඇති පළමු ගාථාව පැවසූයේය;

'රැලකට නායක හොඳම එකාගේ
නුවණ මෙසේ වෙයි මහම සතා ගේ 
තේරූ ගොන් රැල නායක වාහේ 
උන්ගෙ තරම කුමකට පවසායේ'

(Best of all the troop is this
what intelligence is his?
If he was chosen as the best,
what sort of creatures are the rest!)
 
එබස් ඇසූ වානරයෝ දෙවෙනි ගාථාවෙකින් මෙසේ පිළිවදන් දුන්හ;

'බමුනාණනි, නුඹ පවසන මෙබසා
නොවටී අප හට බැනුමට එලෙසා
නොදතොත් මුල් දිග තුරු වන රෝපා
දිය දෙන්නේ කෙලෙසක අප, සීපා'

(Brahmin, you know not what you say
blaming us in such a way!
If the root we do not know,
how can we tell the trees that grow?)

එයට බෝසත්හු මෙසේ තෙවැනි ගාථාවෙක් පැවසූහ.

'වානරයිනි, තොප හට දොස් නොකියම්, 
දවසරිනා තුරු අතරෙහි කිසියම්.
"මා නැති කල මගෙ ගස් එවපන්නේ"
කී රජිඳා මය ගොන් රජු වන්නේ'

(Monkeys, I have no blame for you,
nor those who range the woodland through.
The monarch is a fool to say
"Please send my trees while I'm away.")


"මෙකල උයන් පල්ලාගේ පුත් එකල විසූ වානර රජු," බැව් පවසා පූර්වාපර සන්ධි ගලපමින් භාග්‍යවතුන් වහන්සේ 'ආරාම දූස ජාතක' දේසනය නිමවා වදාළ සේක.

ජාතක කතාව ගැන අකිඳු ගේ විවරණය:

මේ කතාවෙන් අපට ලබා ගත හැකි මනා උපදෙස් කිහිපයෙකි.

01. නිසි කල කළයුතු දේ පසෙක ලා ඒ වේලෙහි නොකළ යුතු වූ වෙනත් දැයෙහි නිරත වීම නොහොබී.

02. නායකයෙකු තෝරා ගත යුත්තේ ඔහුගේ බුද්ධිය සහ එහි ප්‍රායෝගික භාවිතය සලකා මිස ඔහුට ඇති ජනප්‍රියත්වය සලකා නොවේ.

03. නායකයෙකු ප්‍රකාශ කළ පමණින් යමක් නොකොට ක්‍රියාවෙහි පල විපාක ගැන සලකා කටයුතු කිරීමට ඔබ වග බලා ගත යුතුය.

ආප්තය (Moral):
යහපත් ක්‍රියා, අයහපත් බවට හැරවිය හැක්කේ අමනයින්ට පමණි.
(Only fools can make good deeds into bad ones.)

ප.ලි. : අකිඳු ඉදිරිපත් කළ වර්තමාන උදාහරණය (Modern Example) මීළඟ ලිපියෙන්.

19 comments:

  1. නියමයි. ජාතක කතා කටපාඩමින් කියවන අයට වඩා අවශ්‍ය වෙන්නේ ඒවායේ තේරුම මේ වගේ වටහා ගන්න දරුවන්.

    …ඒ වගේමයි මේ ජාතක කතාව මම මීට කලින් අහලා තිබුණු එකක් නෙමෙයි. පොහොය දවසේ ඔබ බොහොම හොඳ ධර්ම දානයක් කළේ. ඔබට පිං

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, කමෙන්ටුවට. මකරන්දයේ හසිත දාපු පළමු කමෙන්ටුව. සාදරයෙන් පිලිගන්නවා!

      Delete
  2. අකිඳුට මෙන්න පහක්... හරිම සතුටුයි මේ පොඩි වයසින් මොහුගේ ලිවීම් එක්ක.
    ඔබට ජයම පතමි අකිඳු...

    ReplyDelete
    Replies
    1. රංගිට ස්තුතියි.
      ඔයාගෙ බ්ලොග් එකේ කාලෙකින් මම කමෙන්ට් කලේ නැතත්, මම ලිපියක් පල කළොත් රංගි අනිවාර්යයෙන් ඇවිත් කමෙන්ටුවක් දානව. උගැන්වීමේ කටයුතුත් එක්ක තියෙන කාර්ය බහුලත්වය නිසයි බොහෝ විට මට එසේ වෙන්නේ. ඒ ගැන අමනාප නොවී දිගටම මකරන්දයට එන එක ගැන රංගිට ගොඩක් ස්තුතියි.

      Delete
  3. අකිදු පුතාට ජය..

    පොත් ගුල්ලටත් ස්තුතියි...ඉදල හිටල ආවත් එනකොට ගේන්නෙ වටින කියන දෙයක්නෙ.

    ReplyDelete
    Replies
    1. ලකී ගේ අගය කිරීමට ස්තුතියි. ඔබ වැනි අයගේ කමෙන්ටු තුලින් ලිපියක වටිනාකම තව වැඩි වෙනවා.
      මේ කතාව තුල තියෙන දේශපාලනික කියැවීම ලකී දකින්න ඇති මයේ හිතේ.

      Delete
  4. පුංචි පුතා දක්ෂයෙක්.. මාත් ලකීගෙ කමෙන්ට් එකට එකඟයි. ඉදල ඉදල ලියනව උනාට ඒ හැම එකක්ම වටින ලිපි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෝස කුමාරි. රෝස කලේ පැත්තේ හැමදාම එන්නන් කියල පොරොන්දු උනාට කියපු විදිහටම එන්න බැරි උනා. ඒ ගැන අමනාප නොවීම ගැන ඔයාටත් හුඟක් ස්තුතියි.

      Delete
  5. හරිම වටිනා කතාවක් .මමත් අයි ඇහුවේ. විචාර බුද්ධිය ඇති දරුවෙක් ඔහු. ස්තුතියි පොත්ගුල්ලටත් .

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම පුංචි පුතා හොඳ දක්ෂයෙක්.
      අපිත් ඔයවගේ පැවරුම් කළා බින්දිට මතකයි නේ. මේ විද්‍යාලෙත් අඛණ්ඩ ඇගයීම් වලට ටිකක් සමාන ක්‍රමයක් අනුගමනය කරනවා. වර්ෂාවසානයේ බුද්ධ ධර්මය විෂයට ලකුණු ලැබෙන්නේ මේ විදිහට;
      පැවරුමට (ජාතක කතාව) - ලකුණු 10
      පාසලේ සීල සමාදානයට සහභාගී වීමට - ලකුණු 10
      සීල සමාදානය සිදුවූ අයුරු ගැන ලිවීමට - ලකුණු 05
      ගාථා/ කවි පාඩම් දීමට - ලකුණු 10
      දහම් පාසලක ඉගනීමට - ලකුණු 05
      ප්‍රශ්න පත්‍රයට - ලකුණු 60

      මේ ක්‍රමය වඩා හොඳ සංකල්පයක් බව මගේ හැඟීමයි.

      කමෙන්ටුවට ස්තුතියි!

      Delete
  6. නියමයි නෙ... ඒ වගේ නියමම උදාහරණෙකුත් තියෙන්න ඇති...:)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්. අපූරු උදාහරණයක් තියෙනවා. මේ ලිපිය දිග වැඩි වෙන නිසයි වෙනම පල කරන්න හිතුවේ. ඒකත් ඇවිත් බලන්නකෝ.

      කමෙනුවක් දැමීම ගැන ස්තුතියි!

      Delete
  7. පොඩි උනාට වැඩ නම් පොඩි නෑ වගේ........

    බලෙන් මොලේට ඔබ්බවලා තියන දේවල් වලට වඩා හිතලා ලියන ඒවා කොච්චර වටිනවද...... නේද පොත් ගුලු මාමේ......

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මෙහිදී වඩා වැදගත් වෙන්නේ පුංචි දරුවා කල අධ්‍යයනය.
      කමෙන්ටුවට ස්තුතියි!

      Delete
  8. නියම පුතෙක් නේ.
    ලස්සනට පොත හදලා.
    මට නම් ඒ දවස්වල ඉදලා පොත් හදන වැඩ නම් අරහං ! හික්ස් :)

    ReplyDelete
    Replies
    1. තමන් කරන කටයුත්තක් මැනවින්, උපරිමයෙන් කල යුතු බව පුංචි පුතා අපි කාටත් හොඳ ආදර්ශයක් මගින් පවසනවා.

      මදුරංග මල්ලිගේ පැමිණීම සතුටක්.

      Delete
  9. ඊයෙ ලින්ක් එක දැක්කට බලන්න එන්න වුණේ අද. අපූරු කතාවක්. මම අහල තිබුණෙ නෑ මේ ජාතක කතාව. දරුවා එයින් අරන් තියෙන පාඩමත් අපූරුයි. අම්මලා හොඳ විවෘත මනසකින් යුතුව දරුවා හදනවා වගෙයි. ස්තුතියි බෙදා ගත්තට.

    ReplyDelete
  10. මං මේ ජාතක කතාව පලවෙනි පාරටයි කියෙව්වේ..
    බොහොම පිං පොත් ගුල්ලෝ..

    ReplyDelete
  11. හොඳ වෙලාවට ලින්ක් එක දුන්නෙ. පොත්ගුල්ලාගේ බ්ලොග් එක මගේ බ්ලොග් රෝලෙත් නැද්ද කොහෙද?. බලමු ඊලගට වර්තමාන උදාහරණෙ

    ReplyDelete