Tuesday, September 27, 2011

පොත් මේලාව ජයවේ!


මාතලන් ගොයියාගේ බ්ලොග් එකේ පොත් මේලාවේ අසිරිය දෙස වෙනත් කෝණයකින් බලා අපූරු කවි පන්තියක් පළකර තිබුණු. නොදුටු ඇත්තන්ට එය මෙතනින් කොටා බලා ගත හැකිය. 
පොත් මේලා - Book Carnival

මා ඊට ලියූ පිළිතුර මෙහි පල කිරීම ගැන මාතලන් ගොයියා අමනාප නොවනු ඇති සිතමි.

පොත් මේලාව දෙස
ඔයතරම් නෙගටිව් ලෙස
බලනට නොහැක මට නම් 
දකිමි පොසිටිව් ලෙස මම්

සමාජයේ උඩ ඉඳලා පහලට
ඕන තරාතිරමක අය එනවා
තෝර තෝර පොත් එහෙ මෙහෙ යනවා
හිතට වැදුණු පොත අරගෙන යනවා

විස්ස විජ්ජාලෙ කොල්ලන්
ගාමන්ට් එකේ කෙල්ලන්
ගුරුනුත් සමග සිසුවන්
පිට රැටියන් ද සඟ සව්වන්

පවුල් පිටින්ම එන්නන්
මා වැනිවූ තනිකඩයන්
මාසික වැටුප් කරුවන්
පොත් සොයා එන මෙහැම "මිනිසුන්"

මිනිසුන් ගෙ ඇද කුද
නොදකින් මලේ මේ ලෙස
නිතර එක් වන එක
මිනිස් ගතියකි පැවති පෙර සිට

එක පොතක් හෝ ගෙන
කියවා බලන රිසියෙන
පැමිණෙති බොහෝ දන
කියවීම සපුරයි මිනිස් කම

බොහෝ හොඳ පොත් විකිණේ
කියවන දන ද බිහිවේ
රටට හොඳ එය වේ

පතමි පොත් මේලාව ජයවේ! 

23 comments:

  1. ඔන්න මම කියෙව්වා!
    පොත් ප්‍රදර්ශනෙන් ගත්ත පොත් ගැන තවත් එක් ලිපියක් වෙන්නැති කියල හිතල, මම මාතලන්ගෙ ලිපිය කියෙව්වෙ නෑ. ගිහින් බලන්නට ඕන.

    පොත් ප්‍රදර්ශනය කියන්නෙ එක්තරා සංස්කෘතික අංගයක්. අර මහා සෙනගෙ කොටසක් වෙලා ඉන්න ගමන්ම, තමන්ගෙ ලෝකයෙ තනි වෙන්නටත් හැකියාව ඇති, අපූරු තැනක්.

    ReplyDelete
  2. හැමදේකමත් දෙපත්තක් තියෙනවනේ. පොත් ගුල්ලා අයියා දකලම තියෙන්නේ හොද පැත්ත. මට හිතෙන්නේ මාතලන් අයියා දකලා තියෙන්නේ නරක පැත්ත වෙන්නෝන. ඒකනේ මේ වාදේ.

    අපෝ මාත් ගියා පොත් බලන්න. ගිහින් එකම එක පොතක් අරන් ආවා. හැබැයි වැඩිමනක්ම හිටියේ පොත් නොගන්න ආපු පිරිස.

    කවි ටික නියමයි. මම් දෙපාරක්ම කියෙව්වා. ලස්සනයි

    ReplyDelete
  3. මටනම් පොත් ප්‍රදර්ශ්නේ ගැන කවුරු නෙගටිව් උනත් කමක් නෑ, මොකද මං හැමදාමත් පොත් ප්‍රදර්ශනේට ආසා නිසා.කියවන්න හිතෙන්නෙත් නෑ. මේක මගේ ඉරිසියාව වැඩි කරන තවත් එක පෝස්ට් එකක්, ඇයි දෙයියනේ ගිය හැම එකාම ඒ ගැනම ලියන්නේ , ලියනව විතරක් නම් මදැයි ගත්තු පොත්වල පින්තූරත් දානවනෙ මේ ගොල්ලො,ඔන්න මාත් ඒ උනාට නිකම් හිටියෙ නෑ, පොත් ලිස්ට් එකක් දීල යැව්ව නියෝජිතයෙක්ව,
    පොත් ටිකත් ලැබෙයි ලබන මාසෙ දිහාට, ඒ උනාට යන්න නොලැබිච්චි එක ගැන සෑහෙන දුකක් හිතේ තියෙනවා. තව ඉතින් පොත් ප්‍රදර්ශනේ ගැන ලියන්න ඉතුරුවෙලා ඉන්නෙ පිටරටවල ඉඳන් බ්ලොග් ලියන අය විතරමද කොහෙද ( පොත් ගුල්ලෝ,, මේක ලිව්වෙ සෑහෙන කේන්තියෙන් ඔන්න )

    ReplyDelete
  4. අනෙ මක්ක වෙනවයි. සමහර වෙලාවට මගේ කොමෙන්ට්ස්සුත් පෝස්ට් බවට පත්වෙනවා. මෙන්න මම දාපු රිප්ලයි එක...
    එහෙම්මම...

    @ පොත් ගුල්ලා

    පොත් ගුල්ලාගේ දුක මා හට වැටහෙනවා
    නෙගටිව් නොවී කොහෙමෙයි ඇඟ වෙව්ලනවා
    සත පහ නොවටිනා එවුනුත් මෙහි එනවා
    කියවන එකා කඩල ගොටුත් කියවනවා

    ඔබේ කවි පන්තිය
    හරි ළස්සනයි එය
    මා ඊට මනාපය
    අගේ කළ යුතුමැය

    ReplyDelete
  5. ඔවුන් ...

    යති කති බොති

    පොත් අරන් එති

    ඒ මදිවාට ..

    අපිටත් පෙන්වති .

    ....අපි ..

    කියවමු ..ඔරවමු ..

    අනේ ඔය ඇඹුල් මිදි

    අපි නොකමු ..

    ....

    ReplyDelete
  6. මං පොත් ප්‍රදර්ශනේ ගැන පෝස්ට් එකක් දැම්මෙ නැති හින්ද, අනුන්ගෙ ගේක, ඒ පිළිබඳව මගෙ අදහස් පළ කළාට කමක් නෑ කියල හිතනවා.

    අපි පොඩි කාලෙ නුවර පොත් ප්‍රදර්ශන තිබුණු බවක් හෝ, ඒවට ගිය බවක් මට මතක නැහැ. රස්සාවට කොළඹ ආවට පස්සෙ තමයි ගියෙ. හුඟක්ම මම ගියෙ තනියම. යෑමේ පරමාර්ථය පොත් ගැනීම පමණක්නම්, තනිවම යාම තමයි හොඳ. නැත්නම් වෙන්නෙ පොත් හෙවිල්ලට වඩා මග ඇරුණු උන් හෙවිල්ල. අනික, මට බලන්න ඕන පොත් නෙවෙයිනම් අනිකට ඕන, ඒක දෙන්නතුන්දෙනාටම වදයක්.

    පොත් නොගත්තා වුණත්, පොප් කෝන් කකා, වැනි වැනි, එහෙ මෙහෙ ඇවිද ඇවිද, පොත් දිහා බල බල ඉන්න එකේ පුදුමාකාර ජොලියක් තියෙනවා. වටේ කොච්චර සෙනග හිටියත්, හරියට මමයි පොතුයි විතරයි වගෙ මේ මුළු ලෝකෙම තියෙන්නෙ. :D

    පොත් ප්‍රදර්ශනේක තියෙන ලොකුම වාසිය තමයි, කඩේකට ගොඩ වුණහම, වෙළඳ සේවකයින් ඇවිත් "මොනවද මිස් බැලුවෙ?" කියල නාහන එක. (උන්ට මොකද අපි මොනව බැලුවහම) අනික වට්ටම්.

    ලිස්ට් එකකට පොත් තේරීමෙන් (නැත්නම්, කවුරුන් ලවා හෝ ගෙන්නා ගැනීමෙන්) තමන්ගෙ අවශ්‍යතා සම්පූර්ණ කරගන්නට පුළුවන් වුණත්, එතන තියෙන පොත් කියවා බලා තෝරා ගන්නාවිට අලුත් ලේඛකයින් එහෙමත් හඳුනගන්නට හැකියාව ලැබෙනවා.

    කට්ටියක් එක්ක ගිහාම ලැබෙන වින්දනය ඊට වෙනස්. එහෙම රැළක් එක්ක ගිහින් ඔය අයිනක් අල්ලගෙන සිංදු කිය කිය ඉඳල එන්ඩ තියෙනවනම් මම කැමතියි. නැතත්, ඔහෙ වටපිට බලබල ඇවිද්දත් මොකෝ?
    ලස්සනට ඇඳල එන එකේ වරදක් මම දකින්නෙ නෑ. විවිධාකාර මිනිසුන් හඳුනාගන්නට ලැබෙනවා මෙහෙම තැනකදි. පොත් ගුල්ලා කියනවා වගේ....
    හොරෙක් කියලා අල්ල ගත්තු කෙනෙක්වත් දැක්කා වරකදි. අන්න ඒ වගේ, අපි සාමාන්‍යයෙන් මුහුණ නොදෙන පැතිකඩවලුත් දැකිය හැකියි මෙහෙම තැනකදි.

    ඇයි, අපි එකිනෙකාට දාගෙන තියෙන විකට නම් සහිත පොත්පත් දැක්කහම, ඒවට එක් වෙලා හිනා වෙන්ඩත් පුළුවන් කට්ටියක් ගිහාම.

    කාලෙකින් හම්බුණේ නැති පරණ හිතවතුනුත් මුණ ගැහෙන වෙලාවල් තියෙනවා.

    පිරිසක් එකතු වෙලා කොහෙට හරි වෙලා බේබදු පාටි දානවට වඩා, මෙහෙම දේකට එකතු වෙන එක හොඳ ප්‍රවණතාවයක් කියලයි මම හිතන්නෙ.

    ReplyDelete
  7. එකඟයි බින්දිත් එක්ක... පොත් සැනකෙලිය ගැන ලියවුන සේරම වගේ කියව්වත් කාටවත් කොමෙන්ටුවක් දැම්මෙ නෑ... එකක් කවදාවත්ම ගිහිල්ල නැති කම... අනෙක ඉතින් ඉරිසියාව තමා...

    ඒත් පොත්ගුල්ලෙකුට ඉතින් පොත් සැනකෙලියකට වඩා දෙයක් තියෙනවයැ...

    දැන් ඉතින් මම අහල තියෙන හැටියට ඕක ලංකාවෙ සංස්කෘතිකාංගයක් තරමට ආව නොWඅ...

    හැමෝම එක පැත්තක් බලද්දි වෙනස්ව බලපු මාතලන් ගෙ කවි ටිකත් නියමයි..

    ReplyDelete
  8. පොත් ප්‍රදර්ශනේට මමත් ගියේ නෑ. පොත් ගන්නෙ නැත්තම් මොකටද නිකම් යන්නෙ කියල හිතලා මම දුක නිවා ගත්තා. පොත් කියවන්න කොතරම් ආස වුනත් තවම ඉගෙන ගන්න එකා නිසා පොත් මිලදී ගන්න හැකියාවක් නෑ.

    මොනවා වුනත් පොත් ගුල්ලා සහෝදරයා සර්ව සුබවාදී පොරක්! ඔහොම තමයි ඉන්න ඕනා. ජය!

    ReplyDelete
  9. නලිනිගේ කතාවට මාත් එකඟයි . මාත් පොත් සාප්පු ,ප්‍රදර්ශන ගානේ සවාරි ගහන්නේ තනියම .එතකොට පොත් ලෝකේ කිමිදෙන්න පුලුවන් තනියම . පොත් රසවිඳිමේ දී වැදගත් කාරණයක් තමයි පොත් දිහා බලලා ,පිටු එකක දෙකක් පෙරලලා ටිකක් කියවලා පොතේ සුවඳ බලන එක ,පොත එක්ක හිනාවෙන එක .ඒ ගැන වැටහෙන්නේ පොත්ගුල්ලෙකුට . මෙහෙම පොත් මේලාවක් තිබුණම පොත් අතරේ තනිවෙන්න ලේසියි .මට වැඩිදොහකට ඔය පොත් මේලාව මිස් වෙනවා .මේ ගමනත් එහෙමයි ඒත් හිලව්වට පහුගිය ඉරිදා පැය දෙකක් කෝපි බිබී ගමන් මල්ලේ හැඬල් එකට හේත්තුවෙලා චත්‍රපති සිවාජී ගුවන්තොටේ පොත් කඩේක තනිවෙලා හිටියා .පාවුලෝ කොය්යෝගේ පොත් එහෙමත් බෙස්ට් සෙල්ලින්ග් රාක්කේ තිබ්බා. ගෙනියන්න පුලුවන් බර ,ගමන් බෑග් එකේ ඉඩ , පසුම්බියේ තියෙන සල්ලි එහම් හිතලා රුපියල් නවසීය පනහකට පොත් තුනක් ගත්තා නේම් සේක් , කයිට් රනර් , මැසේජ් ඉන් ද බොට්ල් .ඒ රුපියල් නවසිය පනහ ලංකාවේ සල්ලි වලින් කීයක්ද , ඩොලර් වලින් කීයක්ද ,පොත් නොගත්තනම් ගන්න තිබුනේ මොනවද ඔහොම දේවල් හිතුවේ නෑ . පොත් රස දන්න අයට හැම තිස්සේම පොත් ඉව තියෙනවා .ඒ වෙනුවෙන් පසුම්බියේ සල්ලිත් තියෙනවා .ඒ වගේම මම දැකලා තියේ බීර හරි කෝපි හරි රසවිඳිමින් පොත් කියවන මගියො.ඒවගේම දිග පෝලිම් වල ,දුර ගමන් කෝච්චි වල පොත් කියවන උදවිය .ඒකයි මම කිව්වේ පොත් අතර හුදකලාව සැරි සැරීම හරි සන්තෝස හිතෙන දෙයක් කියලා

    ගිය අවුරුද්දෙත් හරියටම පොත් මේලාව මිස් වුනා .එතකොට චෙන්නයි ගුවන්තොටේ පැය නවයක් උඩ බලන්න ඉන්නවුන වෙලාවක් .දවස ගෙව්වේ පොත් කවුන්ටරෙන් ගත්තු ඒ එල් බෂාම් ගේ වොන්ඩර් ඉන්ඩියා පොත කියවලා . අහසින් යද්දී කියවන්න තිබුණ සඟරාවක අමර්ත්‍යා සෙන් ගැන පලවෙච්චි ලිපියක් හරි ආසාවෙන් කියෙව්වා.දිල්ලියෙදී මෙන්න මගේ මිතුරියක් අමර්ත්‍යගේ පොතකුයි ආසම බෙන්ගාලි නවල් එකක ඉන්ග්‍රිසි පරිවර්තනේකුයි තෑගි දුන්නා .ඔන්න බලන්න පොත් වලට හිතගියහම නොදැනිමා ඒව තෑගිත් ලැබෙනවා

    මම කවදාවත් නවකතා සල්ලිවලට අරන් කියවල නෑ .ඒත් සුනේත්‍රගේ පොත් දැක්කොත් නම් සල්ලි ව්ලට ගන්නම තයි හිත .ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහගේ පොතුත් සල්ලි වලට ගන්නවා .මම තියෙන නව කතා එකතුවෙ වැඩියක් තෑගි ලැබිච්චා.එයිනුත් සෑහෙන්න තොගයක් ඉස්කෝලේ ප්‍රයිස් ගිවින් එකෙන් හම්බවෙලා තියෙන්නෙ .පොඩි කාලෙ කියෙව්ව පොත් ගොඩාක් අම්මගෙයි ,තාත්තගෙයි යාලුවන්ගේ දරුවො කියවලා ඉවර වෙලා මට තියාගන තෑගි දීපුවා.ඒ පොත් මිටියම ලොකු වුනහම මම පවුලේ දන්න කියන කියවන්න ආස පොඩි එවුන්ට තෑගි කලා .මනිපූර් වල ඉන්න යාලුවෙකුටයි ,කත්මදු වල ඉන්න යාලුවෙකුටයි ලංකාවේ ලේඛකයන්ගේ පොත් ඉල්ලුවහම ෆනී බෝයි හා ඉන්ග්ලිශ් පේශන්ට් යැව්වා . මනිපූර් වල යාලුවට පොත් ලැබුනේ ලංකාවෙන් කත්මන්ඩු වලට ගිහින් , ආයෙත් ඉන්දියන් යාලුවෙක්ගේ ගමන් බෑග් එකකඉන් ගුහාටි වලට යන අතරමග ඒ පොත් ගන්න මගේ මනිපූර් යාලුවා ගුහාටි වලට යන යාලුවගේ බස් එක එන තුරු මග රැකන් ඉඳලා තිබ්බා . ඊට පස්සේඅ පොත ලැබීමේ හා කියවීමේ පස්වනක් ප්‍රීතියෙන් මට එයා ඒ මේල් එකකුත් දාලා තිබ්බා.

    පොත් තෑගි හැටියට ලබන්න වගේම පොත් වලට ආස කෙනෙක්ට පොතක් තෑගි දෙන්නත් මම පසුබට වෙන්නේ නෑ . අපි ඉතින් පොත් ප්‍රදර්ශන බලන්න නොගිය නිසා සැප්තැම්බර් මාසේ අත්දුටු පොත් ගැන විස්තර පොත් ගුල්ලගෙ මකරන්දෙට ලිව්ව .

    ReplyDelete
  10. පොත් කතා ඇති වෙලා තිබ්බේ මටත්. මොකද මාත් අර මාතලන් කියපු කතාවෙම ඉන්න නිසා. ඔය පොත් හැබෑවටම කියවන්නේ නම් මෙයිට වඩා අපේ සමාජේ වෙනස් වෙන්නේ නැද්ද?.
    සමහර විට මම වැරදි ඇති. ඒත් මට හිතෙන්නේ කරන්න වැඩක් නැතිකමට හරි පොත් බලන්න විතරක් යාමෙන් වෙන්නේ පොත් කියවන්න ගන්න බලාන එන මිනිසුන්ට කරදරයක් වෙන එක. අහන දකින පොත් හැබෑවටම කියවන්න බලාන ගිය අය කීවේ එතනට ඔරොත්තු නොදෙන සෙනගක් හිටපු බවක් තමයි.

    ReplyDelete
  11. දැන් පොත් ගුල්ලා අස්සේ හැමෝම තමන්ගේ කතා කියවන නිසා ඔන්න මාත් මගේ කතාව කියනවා.

    මොන හේතුවක් හින්දද මන්දා පොඩි කාලේ ඉඳන්ම මම සෙනඟ අස්සේ තෙරපෙන්න කැමති නෑ. ඉතින් මම දන්නවා කොච්චර පොත් නෙමෙයි මොනවා දෙනවා කීවත් මම ඔය වගේ හැරෙන්න පෙරලෙන්න බැරි තැනකට යන්නෙ නෑ.
    මෙහේ පොත් කඩ නම් විශාල පරිමානයේ ඒවා. අපි දවසම ගිහින් පොත් කඩයෙ හිටියත් අපි කැමති ඕනේම පොතක් කියවලා ඉවර කලත් කවදාවත් මොකුත් කියන්නේ නෑ. කවුරුත් ඇවිත් මේ පොත ගන්නවද කෝකද ගන්නේ කියලා අහන්නෙත් නෑ. බොහෝ පොත් කඩවල් අස්සේ සෙල්ෆ් සර්වින් ඩ්‍රින්ක් මැශින් තියෙනවා. ( ඒ කියන්නේ ඉතින් කැමති කාලයක් රැදෙන්න අවසර දෙන හින්දානේ. පොත් කඩ අස්සේ අමුතු හික්මීමක් තියෙනවා. අනවශ්‍ය විදියට කිසිම කෙනෙක් කතා කරන්නේ නෑ. වෙළඳ සේවකයා වුනත් කතා කරන්නේ අවශ්‍ය නම් විතරමයි. ගොඩාක් වෙලාවට පොත් කඩෙන් එලියට එන තැන පොත ලස්සනට රැප් කරලා දෙන්න වෙනම සේවිකාවෝ හෙම. ඉතින් ඒ පරිසරය අස්සේ වියදම ගැණ හිතනවාට වඩා අපි පොත් ගන්නවා කියලයි මට හිතෙන්නේ.
    මොනවා වුනත් මේ වෙද්දි මෙහේ පොතක් 20€ ක් වගේ. ඒ මොනවා වුනත් පොත පිටවෙන සති අන්තයට නිවාඩු පාඩුවේ පෝලිමේ ඉඳලා හරි පොත ගන්න බොහෝ අය පෙළඹෙනවා.

    ReplyDelete
  12. මාතලන් ගොයියගෙ කියන කතාවෙත් ඉතින් ඇත්තක් නැත්තෙම නැහැ. ඒත් ඉතින් පොත්ගුල්ල බලන විදියට මම වැඩියෙන් කැමතියි.

    පොත් ප්‍රදර්ශනේ කියන්නෙ හැම තරාතිරමක අය යන එන තැනක් . ඒක ඉතින් එහෙම වුන තරමටනෙ සාර්තක. එක පැලැන්තියකට විතරක් පොත් විකුණන තැනක් වුනා නම් ඕක ඉතින් තවත් එක පොත් කඩයක් විතරක් නෙ. ඒ විවිධත්වය නිසා විවිධාකාර මිනිස්සු එනවා. ඒ නිසාම ඉතින් එක එක විදියෙ පසුබිම් මැවෙන එක පුදුමයක් නෙවෙයි.
    පොත් ප්‍රදර්ශනයෙ සාර්තකත්වයට පොත් ගන්න එන පිරිස වගේම ඔය තනි රකින්න එන පිරිසත් වැදගත් කියලයි මට හිතෙන්නෙ. මොකද ඒ අය පොත් නොගත්තත් ඒ අය හරහා සමාජයට යන පණිවිඩය වැදගත්.

    අනේ ඉතින් අපිත් හිටියනම් සිය පවුලම එක්ක රට කජු ගොට්ටක් කකා ඕක පුරා ඇවිදිනවනෙ..

    ReplyDelete
  13. පුන්චිත්තාට පොඩි කතාවක් දැම්ම . බ්ලොග් රෝල් වල නම් අප්ඩේට් වෙන්නේ නැහැ .

    ReplyDelete
  14. පොත් ප්‍රදර්ශණය ගැන තිබුන බොහෝමයක් අදහස් ධනාත්මක ඒව නෙමේ. මමත් පොත්ගුල්ලාගේ මතයට එකඟයි. කවියෙන් කතාව කිව්ව විදියට මම ගොඩක් කැමතියි ....

    ReplyDelete
  15. @නලිනි චන්දිමා
    ඩොක්ට කියනදේ මමත් පිලි ගන්නවා. ඔය වාර්ෂික පොත් සල්පිල දැන් ලංකාවේ සංස්කෘතික අංගයක්. සැප්තැම්බර් මාසේ ලං වෙන කොට සමහර යාළුවො මගෙන් අහනවා මේ සැරේ පොත් පොලට යනවද?, කවද්ද යන්නේ?, කොච්චර පොත් ගන්නවද? වගේ ප්‍රශ්න. ඉතින් බැරි වෙලා හරි මේක එක වසරක නොතිබ්බොත් එහෙම හරි ප්‍රශ්නයක් වෙයි. මගේ සමහර යාළුවො අතර අව්රුද්ද පුරාම සප්තම්බරේට වියදන් කරන්න සල්ලි එකතු කරන එක්කෙනෙකුත් ඉන්නවා.

    @මධුරංග
    පොත් නොගන්න අයත් එනවා තමා මල්ලි. ඉතින් ඒ අයත් ඔහේ ආපු දෙන්. සමහරවිට අතේ සල්ලි නැතිවීම නිසා වෙන්න පුළුවන්. ඉතින් ඒ ගොල්ලෝ පොත් දිහා බලල, ඒ වගේම පොත් ගන්න අය දිහා බලල සතුටුවෙයි.

    @හරී පිණි - පළස
    අනේ නංගී ඉතින් ඕකට මාත් එක්ක කේන්ති ගන්න එපා. ඇත්තටම ගොඩක් දෙනා පොත් සල්පිල ගැන ලියන නිසාත් ඔයගොල්ලෝ වගේ ලංකාවේ නැති අයට දුක හිතෙන නිසාත් මම ඒ ගැන නොලිය ඉන්නයි හිතන් හිටියේ. නමුත් මාතලන් සහෝදරයා පොත් සල්පිල දිහා අර තරං නෙගටිව් විදිහට බලද්දී එකට උත්තරයක් නොදී බැරි උනා.

    ReplyDelete
  16. @මාතලන්
    මාතලන් සහෝදරයගෙ කවි ටික නිසා තමයි මගේ අතින් මේ වගේ කවි ටිකක් ලියවුනේ. ලියල ඉවරවෙලා බැලුවම තමා මටත් තේරුනේ කවි ටික ලස්සනට ලියවිලා තියෙන බව. ඔබේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් විදිහට දැම්මට පස්සෙ ඔබත් කරපු අගය කිරීම නිසාත් ඒ කමෙන්ටුව ලියන්න පරක්කු වීම නිසාත් (හුඟක් අය ඒ වෙනකොට මාතලන්ගේ කවි කියවල තිබුන. මගේ කමෙන්ට් එක විතරක් කියවන්න කව්රුත් එන්නේ නැහැනේ) මකරන්දයේ වෙනම පොස්ට් එකක් හැටියට පල කරන්න හිතුව.

    ඔබේ කවි වලත් ඇත්තක් තියෙනවා. ඒත් මම පොත් මේලාව දැකපු විදිහ තමා ඔය. පිලිතුරටත් ස්තුතියි

    ReplyDelete
  17. @බින්දි
    නාඩන් බින්දි නාඩන් මෙහි නැතුවාට
    පොත් දෙක තුනක් අරගත්තා බින්දීට
    දෙසැම්බරේ ආ කල යලි දිවයිනට
    දෙන්නම් කියවන්ට ඒ ටික ඔබ අතට

    (ඇත්තටම පොත් ගත්තෙ බින්දිට නෙමේ බනියටයි, ලොක්කිටයි.)

    ReplyDelete
  18. @නලිනි චන්දිමා / TG
    පොත් මේලාව ගැන වෙනම නොලියා ඔබේ අදහස් මෙහි පල කිරීම ගැන අනෙක වාරයක් ඔබ දෙපලටම ස්තුතියි.
    දෙදෙනාගේම අදහස් වලට පූර්ණ එකඟතාවය පලකරමි.

    @සපතේරු උන්නැහැ
    ඒක තමා. ඉතින් සපතේරු මල්ලිත් (ගිය වතාවේ කමෙන්ටු අනුව) නියෝජිතයෙක් එව්වනන් හරිනේ.
    මාතලන් ගොයියා වෙනස් විදිහට දැකපු නිසානේ මගේ අතිනුත් මේ වගේ කවි ටිකක් බිහි උනේ.

    @විසිතුරු
    ඉතින් මල්ලිටත් (මෙහෙම අමතන එක හරි ඇති නේද? නංගි කෙනෙක් නෙමේ මයේ හිතේ.) තිබුනනේ අර අනිත් අය වගේ පොත් ප්‍රදර්ශනේ බලන්න යන්න. ඕකනේ මම එහෙ යන කිසි කෙනෙක්ට පොත් නොගත්ත කියල දොස් කියන්නෙ නැත්තේ. හැබැයි අවර ගනයේ නව කතා එහෙම මිලදී ගන්න අය දැක්කම නං පොඩ්ඩක් තද වෙනව. ඒත් පොත් ගන්න අය එක්ක නෙමේ. බාල ගනයේ කතා ලියල මිනිස්සුන්ව රවට්ටන, නොමග යවන ලේඛකයොත් එක්ක.

    ReplyDelete
  19. @ පොත් ගුල්ලා,
    අනේ ඔය කියන තරහක් මගේ නෑ, ලියනකොට ඔහේ ලිව්වට . කිවා වගේ මම ලංකාවෙ හිටපු කාලෙ ඕක වරද්දන්නෙ නෑ, පොත් ලිස්ට් හදාගෙන මම කවදාවත් එහෙ ගියෙත් නෑ. මේ ගමන එහෙම කරන්න උනේ වෙන කෙනෙක්ව යවපු නිසා, මම පොත් සල්පිලට හැමදාම යන්නෙ පොත් වලට කැමති මල්ලි කෙනෙක් එක්ක, ගියාට පස්සෙ තනියම ඇවිදලා, මට ඕනා පොත් තෝරා ගන්න මම හරි කැමති. හිතේ දුකට මගේ අතින් කියවෙච්චි දේට සමාවෙන්න

    ReplyDelete
  20. @හ‍රී පිණි - පළස
    අයියෝ ඕක සමාව ඉල්ලන්ඩ දෙයක්යැ. ලිව්වට එහෙම හිතේ නැහැ කියල දන්නවනෙ.

    ReplyDelete
  21. පොත් කියවන්න ආසය්, ඉස්සර සෑහෙන්න පොත් කියෙව්ව. ලඟදි ඉඳන් බ්ලොග් කියවන්නය්, කොමෙන්ට් දාන්නය්, ඊටත් මෑතකදී බ්ලොගක් ලියන්නය් පටං අරං පුස්තකාලෙන් ගෙනා පොතුත්, renew කර, කර, ඉන්නව කියවන්න වෙලා නැතුව.

    ReplyDelete
  22. @ඔබ්සර්වර්
    අනේ ඔබා මහත්තය මටත් දැන් නං ඔය ප්‍රශ්නෙමයි. බ්‍රිතාන්‍ය කවුන්සිලේ පුස්තකාලෙන් පොත් හතරක් සහ සඟරා දෙකක් වරකට ගන්න පුළුවන්. ඒත් මම ගන්නෙ පොත් දෙකයි. ඒ දෙකෙනුත් හරියට කියවන්නෙ එකයි. ඒකත් දෙපාරක් විතර කාලෙ දික් කරගෙන. වෙලාවකට හිතෙනවා බ්ලොග් කෙරුවාව අතෑරල දාල කම්පියුටරේ කාට හරි දීල දාන්න. ඒත් ඒක හිතුවිල්ලක් විතරයි.

    ReplyDelete
  23. @TG
    සුනේත්‍රා ගෙ අලුත්ම පොත "කවි කඳුර" මමත් ගත්ත. මොන මගුලක්ද මන්දා සුනේත්‍රාගේ පොත් ටික ඔක්කොම නැත්තන් පොත් රාක්කෙ ලොකු අඩුවක් වගේ. තව දෙක තුනක් තියෙනවා හොයාගන්න, නවකතා නොවන.

    @ බූරු බබා
    බූරු බබා කියල අමතනවට අකමැති නෑ නේද? අනෙක් නම ලියන්ඩ හරි අමාරුයිනේ.

    කව්රු මොනවා කිව්වත් මං නං කියන්නේ පොත් සල්පිලට හැමෝම ආපුදෙන් කියලයි. මම නං දැක්කෙ ආපු බොහෝ දෙනෙක් පොත් ගන්න අය බවයි.

    ඔයා කියන විදිහේ පොත් සාප්පුවක් ලංකාවෙත් දාන්න මටත් ආසාවක් තියෙනවා. බලමුකෝ කවද හරි.

    @ලකී
    ඒකනෙ ලකී මමත් කියන්නෙ. වෙනදට මමත් අම්මලවත් එක්කගෙන යනවා. මේ වතාවේ බැරි උනා. හේතුව මූල්‍යමය එකක්.

    @රෝස කුමාරි
    පොත් මේලාව දෙස ධනාත්මකව බලද්දිත් යන්න බැරි වෙච්ච එක ගැන දුකක් නැද්ද?
    කමෙන්ටුවට ස්තුතියි.

    ReplyDelete