Friday, April 13, 2012

සෝමලතා සහ දරුවෝ

සෝමලතා හැමදාම හිටියේ දරුවන්ගේ ලෝකේ. දරුවෝ හරිම පිවිතුරුයි. ඒ වගේම නිර්දය යි. කියන්න තියෙන දේ මූණටම කියන අය. ආයෙ ලජ්ජා බය ගැන හිතන්නේ නැහැ. මමත් කාලයක් සොමලතාගේ දරුවෙක් ව හිටිය. එක අතකට එහෙම කිව්වොත් ඒකත් වැරදියි. ගතින් දරුවෙක් නොවුනට මා නම් තවමත් සොමලතාගේ දරුවෙක්. මම සොමලතාගේ දරුවෙක් උනේ දෙකේ හෝ තුනේ පන්තියෙදි "කතන්දර දෙකක්" බලපු දවසේ ඉඳලයි.

පුංචි අපට දැන් තේරෙයි වේදිකා නාට්‍යයේ ජවනිකාවක්
කැලණියේ, ධර්මාලෝක කනිෂ්ට විද්‍යාලේ උගෙනුම ලබන අවධියේ දෙවන  හෝ තුන්වන ශ්‍රේණියේදී අපව විද්‍යාලයෙන් වේදිකා නාට්‍යයක් බලන්න එක්කගෙන ගියා. ඒ කිරිබත්ගොඩ YMBA රඟහලට. නාට්‍යය තමා සෝමලතා සුබසිංහ ගේ 'කතන්දර දෙකක්'. ඒ කතන්දර දෙක තමයි, 'පුංචි අපට දැන් තේරෙයි' සහ 'තොප්පි වෙළෙන්දා'. මා නැරඹු පළමු වැනි ළමා වේදිකා නාට්‍යය. (එයට පෙර මනමේ නාට්‍යය නරඹල තිබුන.) ළමා කාලයේ නැරඹු එකම වේදිකා නාට්‍යයත් එයමද, කොහෙද! මොකද වෙනත් ළමා නාට්‍ය නිෂ්පාදකයෙක් දන්න තරමින් හිටියේ නැහැ නේ. (හැබැයි සරත්චන්ද්‍රයන් ළමා නාට්‍ය නමින් නොවුනත් ළමා නාට්‍ය ලෙස සැලකිය හැකි වේදිකා නාට්‍ය කිහිපයක් කර තිබුණා. -රත්තරන්, එලොව ගිහින් මෙලොව ආවා වැනි-. නමුත් මනමේ, සිංහබාහු හැරුණු කොට පාසල් මට්ටමින් ඒවා පෙන්නපු බවක් මතක නැහැ.)

පුංචි අපට දැන් තේරෙයි නාට්‍යයේ හිටියේ  කුකුළෙකුයි, මීයෝ දෙන්නෙකුයි. තව මල් රැසක් නාට්‍යයේ චරිත වල හිටිය. කුකුළා මහන්සි වෙලා තිරිඟු වවල, පිටි කොටලා මොකක් හරි කෑමක් හැදුව. මීයන්ගෙන් උදව් ඉල්ලුවට උන් උදව් කලේ නැහැ. නමුත් කෑම කන වෙලාවේ නං උඩ පැන ගෙන ආවා. අන්තිමට මොකද්ද උනේ කියල හරියටම මතක නැහැ. අනෙක් කතාව අපි හැමෝම දන්න තොප්පි වෙළෙන්දා කතාව. වඳුරෝ රැලක් වේදිකාව දෙවනත් කළා හොඳට මතකයි. වැල් වල එල්ලිලා කෑගහගෙන වෙළෙන්දාගේ තොප්පි ගන්න ආවා. සමහර එවුන් වේදිකාවෙන් බිමටත් පැන්න. හැබැයි පරණ කතාව වගේ නෙමෙයි මේ කතාවේ අන්තිමට වඳුරෝ හැමෝටම වෙළෙන්දා තොප්පිය බැගින් බෙදල දුන්න කියල තමයි මගේ මතකේ තියෙන්නේ.  ඉතින් අපි උඩ පැන පැන හිනා වෙවී මේ කතන්දර දෙක බලපු බව නම් තාම හොඳින් මතකයි.

 ඔය ඉන්නෙ තොප්පි දාගත්තු වඳුරෝ
මම මේ මතකය අලුත්  කළේ සෝමලතා මහත්මියට කරන ගෞරවයක් හැටියට. ඇය තවත් ළමා වේදිකා නාට්‍ය කිහිපයක් කළා. 'හිම කුමරිය', 'ගමරාළ දිව්‍යලෝකෙට' සහ 'රත්මලී' අනෙක් නාට්‍ය. ඇය කියන්නේ ළමයින් සඳහා නිර්මාණ කිරීම ඉතාමත් අසීරු බවයි. මන්ද ළමුන් නිර්දය විවේචකයන්. නාට්‍යය හිතට අල්ලන්නේ නැත්නම් එවලේම ඒ ගැන කියන එක ළමයින්ගේ සිරිත. අම්මල තාත්තල එක්ක නං ඇවිත් ඉන්නෙ, කියයි "ගෙදර යං" කියල. ළමයි කාණ්ඩයක් එකට ඉන්නවා නං නාට්‍යය බැලිල්ල අමතක කරලා ඒ අයගේ ලෝකේ වෙන වෙන වැඩ වලට බහී. ටිකක් ලොකු  අය නං හූ කියයි. ඒ නිසා ළමා නාට්‍යයකදී ළමයාගේ අවධානය නිරන්තරයෙන් රැක ගන්න නිෂ්පාදකයා උත්සුක විය යුතුයි.

මේ ඇගේම වචනයෙන් ළමා නාට්‍ය ගැන,
"නාට්‍යය යනු කරන දෙයක් බලා සිට, කියන දෙයක් අසා රස විඳීමේ මාධ්‍යයකි. මෙම රස විඳීම ආරම්භ වනුයේ වයස අවරුදු එකහමාරත් දෙකත් අතර කාලයේදීය. ළමා මනසේ රසවින්දනය පිළිඹඳ මුල් අවදිය මෙයයි. වයස අවරුදු 4 ත් 5 ත් අතර කාලයේ දී ඔවුහු දෙවැනි අවදියට පිය මනිති. මෙම දෙවැනි අවදියට පිවිසීමට පෙරාතුව රස වින්දනය තුළින් බුද්ධි ප්‍රබෝදය කරා ළමා මනස යොමු කරවීම ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරන ක්‍රමයයි. ඒ සඳහා බොහෝ විට භාවිතා කරනුයේ බෝනික්කන් යොදා නිපදවෙන නාට්‍ය විශේෂයකි. මෙහිදී දෙබස්, සංගීතය, වර්ණ, හැඩ තල ආදිය ඉතා මෘදු විය යුතුය. ඒවා සංස්කෘතික අනන්‍යතාවය සුරක්ෂිත වන අන්දමින් සැකසීම කෙරෙහි අවධානය යොමු වීම ද අත්‍යවශ්‍ය ය. එසේම සිත් ගන්නා සුළු කඩිනමින් වෙනස් වන ආකාරයෙන් නිර්මාණය විය යුතුය. මෙහිදී ඉතා ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු වේ.  මන්ද නිර්මාණය ළමා මනස නොබිදෙන, නොතැලෙන, බියට හෝ කම්පනයට පත් නොවන අන්දමින් ඉදිරිපත් විය යුතු හෙයිනි. එනිසාම ලෝකයේ ඉතාම අමාරුම, භාරදූර කාර්යයක් ලෙස ළමා නාට්‍ය නිර්මාණය හැඳින්වීම සැබැවි." (හිම කුමරිය - පිටපතේ පෙර වදනින් උපුටා ගැනිණි.)

සෝමලතා මහත්මියගේ ළමා නාට්‍ය වල මා දුටු අනෙක් සුවිශේෂීම ලක්ෂණය තමා 'දුෂ්ටයෙක්' (villain) නොමැති වීම. කතාන්තරය තුළදී වැරදි කරන චරිත හමු වන නමුත් අවසානයේ ඒ චරිත සිය වරද වටහා ගෙන නිවැරදි චරිත බවට පත් වෙනවා. සමාජය තුළ කළු සුදු වශයෙන් චරිත බෙදීමක් නොමැති බවත් සෑම චරිතයක් ම අඩු වැඩි වශයෙන් වැරදි කරන බවත් අවශ්‍ය වන්නේ සිය වැරැද්ද වටහාගෙන එය නිවැරදි කරගැනීම බවත් සිය නිර්මාණ තුලින් සෝමලතා දරුවන්ට කියා දෙනවා. හැබැයි ඒ දේශනාත්මක ස්වරූපයකින් නම් නොවෙයි. කතාව නැරඹීමේදී අවිඥානකව දරුවා ඒ බව අවබෝධ කරගන්නවා. ඒ වගේම සමාජයේ කිසිවකුට වෛර කිරීමට පෙළඹෙන්නෙත් නැහැ. 

මා වර්තමානයේ හොලිවුඩයෙන්  බිහිවන Animation ගණයේ ළමා සිනමා පට වල හොඳ රසිකයෙක්. Kung -Fu Panda, Ice Age, A Bugs Life ආදී ඇනිමේෂන් සිනමා පට මගේ ප්‍රියතම ඒවා අතර වනවා. Animation යුගයට පෙර බිහිවූ කාටුන් සිනමා පට වලටත් මම බොහොම කැමතියි.  ඒත් මේ හැම හොලිවුඩ් ළමා සිනමා පටයකම දුෂ්ටයෙක් අනිවාර්යයි.

Name of the Film                                    Villain
Kung-Fu Panda I                                      Tai-Lung (the Snow leopard)
Kung-Fu Panda II                                     Lord Shen (the Peacock)
Ice Age I                                                   The gang leader of Saber Toothed Cats
A Bugs Life                                              The gang leader of the Grasshoppers 
The Incredibles                                         Syndrome
The Jungle Book                                      Shere Khan (the Tiger)
How to Train Your Dragon                      Red Death (the Gigantic Dragon)

Tai-Lung in Kung-Fu Panda I
ඔය ආදී වශයෙන් ඉහත නාමාවලිය තව දිගු කළ හැකියි. මේ කතාන්තර වල තේමාව වන්නේ දුෂ්ටයාට (හෝ දුෂ්ටයන්ට) එරෙහිව නැගී සිටීමයි. සුදු චරිත සියල්ලේම වෛරය දුෂ්ට චරිතය වෙත නාභි ගත වෙනවා. අවසානයේ දුෂ්ටයා පරාජය කෙරෙනවා. (බොහෝ විට මරා දැමෙනවා.) ඉතින් ළමා මනසට එක්තරා අයුරකින් වෛරය හඳුන්වා දීමක් කෙරෙන අතර සිය වෛරය යොමු විය යුත්තේ කොයි දෙසටද යන ඉඟිය ළමයින්ට ලැබෙනවා. ළමයින් මිනිසුන් වන කල සිය නායකයන් විසින් හඳුන්වාදෙන දුෂ්ටයන් වෙත ඒ වෛරය නිතැතින් යොමු වෙනවා. (උදා. සදාම් හුසේන්, කර්නල් ගඩාෆි, මොහමෙඩ් අහමඩිනජාඩ් ආදී..)

හොලිවුඩ් ළමා සිනමා පට අතර මා දුටු එකම දුෂ්ටයෙක් නොමැති ළමා සිනමා පටය Brother Bear පමණයි. මුලදී මිනිසුන්, වලසුන් දුෂ්ටයන් ලෙස දකින අතර වලසුන්, මිනිසුන් දුෂ්ටයන් ලෙස දකිනවා. එහෙත් මේ දෙගොල්ලන්ම අවසානයේ එකිනෙකා අවබෝධ කරගන්නවා. 

A scene from Brother Bear
රූපවාහිනියෙන් නැරඹු, "පුංචි ඉත්තෑවා" බොහෝ අයට මතක ඇති. මතක් කරලා බලන්න එහි දුෂ්ටයෙක් හිටියද කියා. නමුත් කතාව කොයි තරම් අපූරුවට ළමා මනස ග්‍රහණය කරගන්නවද? නිර්මාණ ශක්තිය ඇති, ළමා මනස නිවැරදිව අවබෝධ කරගත් සෝමලතා සුබසිංහ වැනි කළා කරුවන්ට නිර්මාණයක සාර්ථකත්වය දුෂ්ටයකුට එරෙහිව අවුලන වෛරයක් මත පදනම් කරගන්ට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් මේ සත්‍යය අද දවසේ ළමයින් වෙනුවෙන් ලියන කියන, නිර්මාණ කරන කීයෙන් කීදෙනාද අවබෝධ කොටගෙන තිබෙන්නේ?

සෝමලතා මහත්මියට ආයු බෝ වේවා!
Mrs. Somalatha Subasinghe

ඔබ සැමට සුභ නව වසරක් උදා වේවා!          

                         

Wednesday, February 22, 2012

The Story of the Four



This is a story about four people named Everybody, Somebody, Anybody and Nobody. 


There was an important job to be done and Everybody was sure that Somebody would do it. 
Anybody could have done it, but Nobody did it. 
Somebody got angry about that, because it was Everybody's job.
Everybody thought Anybody could do it, but Nobody realized that Everybody wouldn't do it. 
It ended up that Everybody blamed Somebody when Nobody did what Anybody could have done.
(This was a text once published in the Reader's Digest magazine. Not aware of the writer.)

Friday, February 10, 2012

POETRY by Pablo Neruda


“something started in my soul,
fever or forgotten wings,
and I made my own way,
deciphering
that fire
and wrote the first faint line,
faint without substance, pure
nonsense,
pure wisdom,
of someone who knows nothing,
and suddenly I saw
the heavens
unfastened
and open.”

From "Poetry", Memorial de isla negra (1964).
Trans. Alastair Reid

කවිය

මා ජීවය තුල යමක්  දැල්වෙන්නට විය,
එක්කෝ උණක්, නැත්නම් අමතක වැ ගිය පියාපත් යුවලක්.
ඉඳින් මම මගේම මගක් සකසා ගතිමි,
වටහා ගනිමින් 
ඒ ගින්න.
ලිවීමි, යාන්තමට ප්‍රථම පද පෙළ
අරුතක් නැතිව දුබලව
අමු විලම්බීත
මෙලෝ හසරක් නොදන්නකු ගේ 
පිවිතුරු බුද්ධියෙන්.
එවිට එක්වරම දිටිමි, මම 
දෙව්ලොව,
දොරගුළු ලිහී
විවරව.


චිලී ජාතික ගායක වික්ටර් හාරා විසින් නෙරුඩා ගේ කවියක් ගීයට නැගූ අවස්ථාවක්. 

Friday, October 14, 2011

The Greatest Speech Ever by a Teenager

When I was browsing the internet to find out the best speeches ever made, I found this wonderful, touching and stunning speech by a Teenager at a UN Conference on Environment. 


Please listen! 


She is Severn Cullis-Suzuki and the speech was made in 1992 at the United Nations Summit on Environment and Development. 

This is her now;

Here is a link giving details about her,

Tuesday, October 4, 2011

ඔබේ දෑස - දිලී .... නිවී.... දිලී .... නිසොල්මනේ බලා හිඳී



අපාර වූ ආකාසේ
වලා සිඳුණු බොල් එළියේ

ඔබේ දෑස 
දිලී
නිවී
දිලී
නිසොල්මනේ බලා හිඳී

ඇසට කඳුළු දිය ලැබුනේ 
හදට තෙතක් ලබා දෙන්න
ඇසෙහි කඳුළු ඉවර දිනේ 
හදට නොමැත ඒ තෙතමන

අගාධ වූ සාගරයේ
පිරී පැතිරි නිල් දියඹේ
ඔබේ දෑස 
දිලී
නිවී 
දිලී
නිසොල්මනේ බලා හිඳී 

ඇසේ කඳුළු සිඳී ගොසින්
ගල් වූ හද තෙත් කරන්න
ඔබේ ඇසේ දයා දියෙන් 
කඳුළු පොදක් මට හෙලන්න

ඉර හඳ නැති රෑ යාමේ
හද කැටි වුනු කාන්සියේ
ඔබේ දෑස
දිලී 
නිවී
දිලී
නිසොල්මනේ බලා හිඳී

ලිව්වේ ; මහගම සේකරයන්
තනු යොදා ගැයුවේ ; අමරදේවයන් 
මෙතනින් බා ගන්න

Tuesday, September 27, 2011

පොත් මේලාව ජයවේ!


මාතලන් ගොයියාගේ බ්ලොග් එකේ පොත් මේලාවේ අසිරිය දෙස වෙනත් කෝණයකින් බලා අපූරු කවි පන්තියක් පළකර තිබුණු. නොදුටු ඇත්තන්ට එය මෙතනින් කොටා බලා ගත හැකිය. 
පොත් මේලා - Book Carnival

මා ඊට ලියූ පිළිතුර මෙහි පල කිරීම ගැන මාතලන් ගොයියා අමනාප නොවනු ඇති සිතමි.

පොත් මේලාව දෙස
ඔයතරම් නෙගටිව් ලෙස
බලනට නොහැක මට නම් 
දකිමි පොසිටිව් ලෙස මම්

සමාජයේ උඩ ඉඳලා පහලට
ඕන තරාතිරමක අය එනවා
තෝර තෝර පොත් එහෙ මෙහෙ යනවා
හිතට වැදුණු පොත අරගෙන යනවා

විස්ස විජ්ජාලෙ කොල්ලන්
ගාමන්ට් එකේ කෙල්ලන්
ගුරුනුත් සමග සිසුවන්
පිට රැටියන් ද සඟ සව්වන්

පවුල් පිටින්ම එන්නන්
මා වැනිවූ තනිකඩයන්
මාසික වැටුප් කරුවන්
පොත් සොයා එන මෙහැම "මිනිසුන්"

මිනිසුන් ගෙ ඇද කුද
නොදකින් මලේ මේ ලෙස
නිතර එක් වන එක
මිනිස් ගතියකි පැවති පෙර සිට

එක පොතක් හෝ ගෙන
කියවා බලන රිසියෙන
පැමිණෙති බොහෝ දන
කියවීම සපුරයි මිනිස් කම

බොහෝ හොඳ පොත් විකිණේ
කියවන දන ද බිහිවේ
රටට හොඳ එය වේ

පතමි පොත් මේලාව ජයවේ! 

Thursday, September 22, 2011

හෙනහුරාත් මහ බලවත් - පැරදුනානෙ නරි නයිදෙට


එකමත් එක ගම් පොඩියක - හේනක් කුඹුරක් වවාන
බත බුලතින් සරුසාරෙට - උන්නා ගම රාල කෙනෙක්

කේන්දරේ බලල තමා - ගම රාලගෙ වැඩ සේරොම
පැල හිටුවන්නෙත් නැකතට - අස්වනු ගන්නෙත් නැකතට 


දවසක් දා කේන්දරේ - අතට අරන් බැලූ කලට
හෙනහුරු අපලය එන බව - ගමරාලට පෙනී ගියා

බලපුලුවන්කාර කමින් - හෙනහුරු මහ ඉහළ කෙනෙක්
අපල කරන්නට ගත්තම - නෑ කිසි වගතුවක් ඉතින්

"අනේ ඉතින් හේන් කුඹුරු - කරල මොටද මේ කාලෙට"
ගමරාලත් හිතේ දුකින් - ඔහෙ ඉන්නව පසු තැවෙමින්

අනේ අනිච්චං කියාන - අතක් කම්මුලේ තියාන
පිල් කණ්ඩියෙ වාඩි වෙලා - ගමරාලගෙ දවස ගෙවේ

දිනක් මෙහෙම ඉන්න කලට - කැලේ හිටිය නරි නයිදේ
ගමරාලගෙ පැල පැත්තේ - කුකුල් දඩයමේ ආවේ


"වෙනද වගේ නෙමෙයි ගමය - හරිම හිතේ දුකින් වගේ
මොකදෑ මේ ඉන්න විදිහ - ගම හාමිනෙ මැරිල වත්ද?" 

මෙහෙම හිතපු නරි නයිදේ - හෙමින් ඇවිත් රාල ලඟට
අකම්පාල වෙලා ඉන්ඩ - හේතු කාරනා ඇහුවා



"නරි රාලේ මේ කාලේ - මට මහ අපලයි වාගේ
කේන්දරේ බලපුවාම - හෙනහුරු නොවැ උඩ ඉන්නේ

හෙනහුරු අපලය ආවම - කිසිම වැඩක් හරි යන්නෑ
ගොවිතැන් බත් හේන් කුඹුරු - කලාට කිසි වගකුත් නෑ"

මේක අහපු නරි නයිදෙට - කට කොනකින් හිනා ගියා
"අනේ මෙහෙම මෝඩ ගමයො - ඉන්නව නොවැ මේ කාලෙත්"

"රාලේ දුක් වෙන්න එපා - ඉන්නා විට  නරි නයිදේ
ඔය අපලෙන් බේරෙන්නට - දන්නව මං කලයුතු දේ"

"ඒ මොනවැයි නරි රාලේ - මන්තරයක් වත්ද බොලේ 
අනේ මටත් කියා දියන් - අපලෙන් ගැලවෙන කරමේ" 

"රාලේ උඹ මේ අහපන් - මං කියනා ලෙස කරපන්
බකන්නිලන් ඉන්නෙ නැතුව - කුඹුරු කොටන්නට පලයන්"

ගමරාලත්, කිව්ව ලෙසට - උදැල්ලකුත් අරන් කරට
කුඹුරට බැහැලා ආයෙත් - කුඹුරු කොටන්නට ගත්තේ 

ආකාසේ ඈත ඉඳන් - බලන් උන්නු හෙනහුරාට 
ගමරාලත් උදලු අරන් - කුඹුරු කොටන හැටි පෙනුනේ

"මෙන්න බොලේ මේ ගමයා - හෙනහුරු අපලය නොතකා
කුඹුරු කොටන්නට අරගෙන - හිටුකො උඹට කරවන්නට"

හෙනහුරාට පෙනුණු විගස - වහාම නියඟය එව්වා
නරි නයිදෙත් දුවගෙන විත් - ගමයට මේ ලෙස කිව්වා

"රාලේ දැන් ඉතින් ගිහින් - හේනක් කොටලා හිටහන්" 
ගමයත් කැත්තක් අරගෙන - හේන් කොටන්නට ගත්තේ

කැලෑ කොටා එළි කරලා - ගිනි ගහන්න හදනකොටම
හෙනහුරාට මෙය පෙනිලා - මහ වැස්සක් ඇති කෙරුවේ

වැස්සෙම නරියත් ඇවිදින් - රාළට මේ ලෙස කීවේ
"ආයෙත් කුඹුරට බැහැපන් - හේන දැනට අතහැරපන්"

නරි නයිදෙගෙ අණ අහලා - රාලත් කුඹුරට බැස්සා 
මී ගොන් නගුලේ බැඳගෙන - කුඹුර හාන්නට ගත්තා 

හාගෙන හාගෙන යනකොට - හෙනහුරාත් මෙය දැක්කා 
හෙනහුරු අපලය විලසට - ආයෙත් නියඟය එව්වා  

නරියත් දුවගෙන ආවා - රාළට උපදෙස් දුන්නා 
සුද්දකරපු හේන ගිහින් - කොටන්න ගන්නට කිව්වා

හේන කොටා වැට බැඳලා - කුරහන් ටික අතට අරන්
පැල කරන්න හදනකොටම - හෙනහුරු අපලය එව්වා 

ආපහු වැහි වහින කලට - රාලත් කුඹුරට බැස්සා 
පෝරු ගාල වී ඉහලා - කුඹුරේ වැඩ කර ගත්තා

ඔය විදිහට විඩින් විඩේ - හෙනහුරු අපලය එවනව
ගමරාලත් සුදුසු ලෙසට - ඒ අයුරින් වැඩ කරනව

කුඹුරත් සරු සාර උනා - හේනේ බෝගත් පැහුනා
හෙනහුරු අපලයෙ පිහිටෙන් - රාලගෙ කරලත් පැහුනා

එදා පටන් ගමේ රටේ - රට්ටු කියන්නට ගත්තලු 
හෙනහුරාත් මහ බලවත් - නරි නයිදෙට පැරදුනාලු

කේන්දරේ විසි කරලා - සිය බුද්ධිය යොදවාලා 
එයින් පස්සෙ ගමරාලත් - ජීවිත සරු කරගත්තා 

ප.ලි. : සුනිල් ජයවීර ලේකඛයාණන් විසින් විජය පුවත් පතට මේ කතාව අපූරු චිත්‍රත් සමග කවියෙන් ලියූ බව මතකයි. නමුත් ඒ කවි මගේ මතකයේ නැහැ. මුල් කතාව ඇසුරු කරමින් කවියෙන් ලිවීමි.