Saturday, September 8, 2012

පොත් ගුල්ලන්ට සහ ගුල්ලියන්ට TIPS;

නුගේගොඩ සරසවි පොත් හලෙන් පොත් ගත්තු හැටි ගැන TG බ්ලොග් පෝස්ටුවක් පල කරලා. අඩු මිලට පොත් ගත හැකි තැන් ගැන පොත් ගුල්ලාගේ අත්දැකීම් එහි කමෙන්ටුවක් ලෙස පල කළා. මේ එයම නැවතත් මෙහි පල කරන්නේ ඔබගේත් ප්‍රයෝජනය පිණිසයි. මෙහි දක්වා ඇති පොත් හල් බොහොමයක් සාහිත්‍ය මාසයේදී 30% ක් හෝ ඊට ආසන්න වට්ටම් දෙන බවද දැනුම් දෙනු කැමැත්තෙමි. 

*මෙය හුදෙක් අහිංසක පොත් ලෝලීන්ගේ යහපත පිණිස මිස කිසියම් සමාගමකට පහර ගැසීමට හෝ වෙනත් සමාගමකට ප්‍රචාරයක් ලබා දීමට හෝ ලියන ලද්දක් නොවන බව කරුණාවෙන් සලකනු මැනවි.* 

සරසවි පොත් හලට මම නම් යැවෙන්නේ කලාතුරකින්. සරසවි පොත් හල බොහොම ආකර්ශනීයයි තමයි, ඒත් ඒ ගොල්ලෝ සරසවි ප්‍රකාශනයකට වත් වට්ටමක් දෙන්නේ නැහැනේ. අනෙකුත් ප්‍රකාශන වලට කොහොමටත් නැහැ. මං වගේ දුප්පත් පොත් ගුල්ලෝ යන්න ඕනේ නුගේගොඩට නෙමෙයි, මරදාන පැත්තට.  
මෙන්න පොත් ගුල්ලගෙන් අනෙකුත් පොත් ගුල්ලන් සහ ගුල්ලියන්ට TIPS; 

යන්න මරදානට.

ආනන්ද විද්‍යාලය අසල තියෙනවා "ගොඩගේ පොත් මැදුර". ගොඩගේ මහත්තය ගොඩගේ ප්‍රකාශන වලට අවම වශයෙන් 20% වත් වට්ටමක් දෙනව. ගොඩගේ පාඨක  සමාජයට බැඳුනොත් (රු.200/ ක් ගෙවා) ඉන් ඉදිරියට ගොඩගේ ප්‍රකාශන වලට 25% ක වට්ටමක් ලබාගතහැකියි. අනෙකුත් ප්‍රකාශන වලට 10% වට්ටමක් ලැබෙනවා. ඒ කියන්නේ සරසවි ප්‍රකාශනයක් සරසවි පොත් හලකට වඩා අඩු මිලට ගන්න පුළුවන්.

ඊළඟට පාර මාරුවෙන්න.
එස්. මහින්ද මාවතට හැරෙන්න. (එස්. මහින්ද හිමියන්ගේ සහ සෝම හිමියන්ගේ පිළිරූ තියෙන නිසා සොයා ගන්න ලේසියි.) ඔන්න එක පැත්තක සූරිය ප්‍රකාශකයෝ. අනෙක් පැත්තේ දයාවංශ ජයකොඩි සහ සමාගම. ඒ දෙගොල්ලොම ගොඩගේ වගේම ස්වීය ප්‍රකාශන වලට අවම වශයෙන් 20% වට්ටමක් වත් දෙයි. අර වගේම අනෙකුත් ප්‍රකාශන වලට 10% හෝ 15% ක වට්ටමක්.

තවත් පොත් සාප්පුවකට යන්න කැමති නම් ආයෙත් පාර මාරු වෙන්න. (ගොඩගේ පැත්තටම). දැන් ආනන්ද බාලිකාවට යන පාරට හැරී (පාරේ නම අමතකය) තරමක් දුර ඉදිරියට යන්න. වම් පසින් ඔබට "සමයවර්ධන" ප්‍රකාශකයන් දිස් වනු ඇති. අර තරම්ම ආකර්ශනීය නැතත් ඒ අයත් වට්ටමක් දෙයි.

පොත් සාප්පු චාරිකාව තව ඉදිරියට ගෙන යාමට අවැසි නම් දැන් බස් එකක නැගී පුංචි බොරැල්ලට යන්න. පාස් පෝට් කාර්යාලය අසලින් බැස නැවත පාර මාරු වෙන්න. ඔන්න තියෙනවා, "විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රය". ගොඩගේ හා සමානවම මේ අයත් වට්ටම් දෙනවා. 

ඒ ඒ පොත් හලෙන් ඒ ඒ පොත්

ගොඩගේ සාප්පුවේ;
පරිවර්තන ලෝලීන්ට තෝතැන්නක්. 
සිරිල් සී. පෙරේරා මහතා පරිවර්තනය කළ සියලුම පොත්:- යුද්ධය හා සාමය, කරමසෝ සහෝදරයෝ, පෙරලූ නැවුම් පස, වෘකයන් අතර නග්නව, මහල්ලා සහ මුහුද, ඩි කැමරොන් හෙවත් දස දවස, දිබ්බ චක්කු, ගැඹුරු මුහුද, නීලෝදකය, ෂේන්,ආදී........

මහාචාර්ය ආරිය රාජකරුණා විසින් පරිවර්තිත සියලුම ජපන් සාහිත්‍ය කෘති:- රෂොමොන්, විවාහය, ශ්‍රේෂ්ට ජපන් චිත්‍රපට කතා, අපායේ දොරටුව, හොල්මන් කථා වස්තුවක්, කවබත යසුනරි ගේ කෙටි කථා, ෂිග විහාරයේ මහ තෙරුන් වහන්සේ ගේ ප්‍රේමය සහ තවත් කතා, ගැහැණියකගේ චරිතාපදානය, ආදී....
සුගතපාල ද සිල්වා ශූරීන් විසින් ලියු සහ පරිවර්තිත කෘති:- ඇට මැස්සා, හතරවෙනි තට්ටුව, හිට්ලර් එල්ලා මරයි, පවර නිරිඳෙක් වීය බඹදත්, බිත්ති හතර, බල්ලෝ බත් කති, එසේ වී නම් මිනිසුනේ අසව්, ආදී............ 
වෙනත් පරිවර්තකයන්ගේ පරිවර්තන රැසක්.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ - විලාසිනියකගේ ප්‍රේමය, මලවුන්ගේ අවුරුදු දා, මල ගිය ඇත්තෝ සහ මනමේ ඇතුළු නාට්‍ය පිටපත් ආදී....
සයිමන් නවගත්තේගම, කේ. ජයතිලක, ඒ වී සුරවීර, ටෙනිසන් පෙරේරා, ඩබ්. ඒ. සිල්වා, ජී.බී සේනානායක යනාදී ලේඛකයන්ගේ කෘති.
මහගම සේකරයන්ගේ සහ මොනිකා රුවන් පතිරණ කිවිඳිය ගේ සියලුම පද්‍ය කෘති.
සුචරිත ගම්ලත් ගේ සියලුම විචාර කෘති.
සුනිල් ආරියරත්නයන් ගේ සියලුම පර්යේෂණ කෘති.
මෙකී නොකී බොහෝ කෘති ගොඩගේ ප්‍රකාශන ලෙසින් 20%ක වත් වට්ටමක් සහිතව ලබා ගත හැකිය.

සූරිය ප්‍රකාශකයින් වෙතින්;
පැරණි ලක්දිව ගැන ඉංග්‍රීසි ජාතිකයන් අතින් ලියවුනු පොත්.
ආර්. එල්. ස්පිට්ල් ගේ සුදු ගෝණා, සුදු වැද්දා වැනි කෘති.  ඔහුගේ දියණිය ක්‍රිස්ටීන් විල්සන් ලියූ ඉංග්‍රීසි කෘති සහ ඒවායේ පරිවර්තන, 
ඒ පී ගුණරත්නයන් විසින් පරිවර්තිත "වානරයා" වැනි කෘති.
ආදී............................

දයාවංශ ජයකොඩි සහ සමාගම;
ජයසේන ජයකොඩි ලියූ පිච්ච මල ආදී කොට ඇති සියලුම කෘති.
සෝම හිමියන් ගේ දේශනා ඇතුලත් කෘති.
කේ. ජී. කරුණාතිලකයන් විසින් පරිවර්තිත සියලුම කෘති; ඔතෙලෝ, වානරයන් ගේ ටාසන්, බිම්ගෙයි සිරකරුවා, ඈ හෙවත් අයේෂා, කෝනාන්, බැස්කර්විල් දඩ බල්ලා, රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා ආදී..........
දයාවංශ ජයකොඩි මහතා විසින්ම රචිත 'සිංහලයේ ජාතික සටන්' වැනි කෘති.
ආදී.............................

සමයවර්ධන;
Charley and the Chocolate Factory ලියු රෝල් ඩාල් ගේ කෘති බොහොමයක ඉංග්‍රීසි පිටපත් මෙන්ම සිංහල පරිවර්තන.
නා නා විධ ඉංග්‍රීසි පොත පත; ඉංග්‍රීසි බස ඉගෙනීමට අදාළ වටිනා කෘති ඇතුළුව. 
(මෙහිදී එතරම් ආකර්ශනීය වට්ටමක් නොලැබෙන බව කරුණාවෙන් සලකන්න.)

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේදී;
සරත් විජේසූරිය මහතා ගේ සියලුම කෘති. - නිරානන්දය ආදී....
ගාමිණී වියන්ගොඩ මහතා විසින් පරිවර්තිත පැරණි සහ නව ලෝක සාහිත්‍යයේ අග්‍රගන්‍ය කෘති:-  කොලරා කාලේ ආලේ, අනුන්ගේ ලේ, හිරු බැස ගිය පසු, රෑ මාතා, ප්ලේටෝ පත්‍රිකා, වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි ආදී.......
චින්තා ලක්ෂ්මී සිංහආරච්චි විසින් පරිවර්තිත සියලුම වංග කෘති:- ගෝරා, මාවතේ ගීතය ඇතුළු ඕපු ත්‍රිත්වය, ශ්‍රී කාන්ත, ශ්‍රී කාන්ත හා රාජ ලක්ෂ්මී, බිංදුගේ දරුවා, අරණකට පෙම් බැඳ, වංග ජන කතා, ආදී.................
ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද විසින් පරිවර්තිත කෘති සියල්ලම පාහේ.
ලීලානන්ද ගමාච්චි ගේ මනෝ විද්‍යා හා සමාජ විද්‍යා පොත්.  
තවත් නොයෙක් කෘති.......................

තවත් පොත් ඕනේ නං මරදානේ සිට ඩී. ආර්. විජේවර්ධන මාවත පැත්තට යන්න. ඩී. ආර්. විජේවර්ධන මාවතට හැරෙනවාත් සමගම දකුණු පැත්තෙන් පැරණි පොත් විකුණන කඩ පෙළක් ඔබට දැකිය හැකියි. ඒවායේ, භාවිත කළ (Second hand) පොත් (සිංහල, ඉංග්‍රීසි, දෙමළ) අඩු මිලට ඔබට මිලදී ගන්න පුළුවන්. 

ඔය කොහොම උනත් ලෝකේ හොඳම පොත් සාප්පුව තමා මේ;

39 comments:

  1. ඔය පොත් සාප්පු සෙට් එකේම කරක් ගැහුවා ඉස්කෝලෙ යන කාලේ...
    දැංනං මරදානට යැවෙනවා අඩුයි..
    නියම පෝස්ට් එක..

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ යන කාලේ පොත් සාප්පු වලට යන්න තරං හැකියාවක් මට නං තිබ්බේ නැහැ. ඒ කාලේ ගියේ පුස්තකාල වලට. රුසියන් සංස්කෘතික මධ්‍යස්ථානයේ පුස්තකාලය, බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලය සහ කැලණියේ ප්‍රාදේශීය සභා පුස්තකාලය තමා මට පිහිටට හිටියේ. රැකියාවක් කරන්න ගත්තට පස්සේ තමා මම නං ඔය පොත් සාප්පු ගානේ යන්න ගත්තේ. අබේ ට ස්තුතියි පළමු කමෙන්ටුවට.

      Delete
    2. රංගිගෙ කතාවට මමත් සියයට සීයක් එකඟයි වගේම පොත් ගුල්ලට නිදුක් නිරෝගී දිගාසිරි ප්‍රාර්ථනා කරනව

      Delete
  2. බොහොම ස්තූතියි මහත්තයෝ
    මේක බුක් මාක් කරගන්නව
    එල්ලයක් ඇතිව ඇවිත් පොතක් සොයාගන්න කියාපු පෝස්ට් එක
    ලියනවනං කොච්චර දේ ඇතිද මේ වාගේ?
    ආයෙමත් තුති හා ජය!

    ReplyDelete
    Replies
    1. තිස්ස මහත්තයව සාදරයෙන් පිලිගන්නවා. මයේ හිතේ මකරන්දේ කමෙන්ටුවක් දාපු පළමු වතාව.
      මේ ලිපිය ඔබ තුමාට ප්‍රයෝජනවත් වීම ගැන මට හරි සතුටුයි.

      Delete
    2. මටත් ඔබට වාගේමයි
      ඉස්කෝලේ යනකාලේ පොත් සාප්පු කියන එව්ව දැනගන්න හේතුවක් තිබ්බේ නෑ - ඒ හැකියාව අපටත් තිබ්බේ නෑ
      එනිසා එව්ව එහෙම්මම මග හැරුණා

      Delete
  3. නියමයි. මේ වගේ පැහැදිලි කිරීම තමා මේ කාලෙට වටින්නේ :)

    ReplyDelete
  4. වටිනා කියන පෝස්ට් එකක්.
    ලංකාවේ පොත් කඩ නම් කිසිම පිළිවෙලකට නෑ. ආයේ මොකටද බොරු කියන්නේ. මම නම් පොත් මිලට ගන්න යන්න දැන් හරිම අකැමැතියි. පොතක් ගැන ඇහුවම ආ එහෙම එකක් නෑ ඉවරයි කියනවා. ඉතින් අර කිසිම පිළිවෙලක් නැතිව තියෙන පොත් අස්සෙ අපිම මහන්සියෙන් පොතක් හොයා ගත්තා කියමුකෝ. බිල් එක දාගන්න ගියත් පැයක් විතර ඉන්න ඕනේ. මූනේ හිනාවක්වත් නෑ. අඩු ගානේ පොත අතේ තියාගෙන පොත ගැන රයිටර් ගැන එක වචනයක්වත් කියන්න එකම වෙළඳ සේවකයෙක්වත් යමක් දන්නේ නෑ.
    පසුගිය දවසක මම නම් මූනටම කියලා බැනලා ආවා තරහා ගිය පාර. පොත් ගත්තෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් බනින්න යන්න එපා. ලංකාවේ සාමාන්‍යයෙන් පොත් විකුණන්නේ පොත් ලෝලීන් නෙමෙයි. දහසකුත් ප්‍රශ්න ඔලුවේ තියාගෙන කීයක් හරි හොයාගන්න රස්සාවක් කරන මිනිස්සුනේ. කොහොම උනත් රංගි කියන දේ ඇත්ත තමා. පොත් විකුණන අය පොත ගැන වත්, කර්තෘ ගැන වත් දන්නේ නැහැ. ඒත් ගොඩගේ සාප්පුවේ ඉන්නවා ටිකක් නහයෙන්(හඳුනා ගැනීමට මිස අපහාසයකට නොකියූ බව සලකන්න) කතා කරන හොඳ සේවිකාවක්. බොහෝ අයට පොත් සොයා දෙන්න ඇය උදව් වෙනවා මං දැක තියෙනවා. ඒ වගේම දයාවංශ පොත් සාප්පුවේ ඉන්න සේවකයනුත් තරමක් හිතවත් වගේම පොත් ගැනත් යමක් දන්නා උදවිය. සූරිය පොත් හලේ බොහෝ විට අයිතිකාර මහත්තය ඉන්නවා. තමන්ගේ ආයතනයේ විකුණන පොත් ගැන එතුමාට නම් හොඳ වැටහීමක් තියෙනවා. තව විජේසුරිය එකේ නං සමහර වෙලාවට සරත් විජේසුරිය මහත්තය ඉන්නවා දැකල තියෙනවා. මම කතා කරලා නං නැහැ. ඒත් පොතක් ගැන ඇහුවොත් නොකිය ඉන්න එකක් නැහැ.

      කොහොමත් රංගි ගේ චෝදනාව ලංකාවේ පොත් සාප්පු වලට විතරක් නෙමෙයි, බොහෝ ආයතන වලට අදාලයි. අපේ අය තමන්ගේ ගණුදෙනු කරුවාගේ වටිනාකම හඳුනනවා බොහොම අඩුයි. ඒකට ඉතින් ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍යයි.

      Delete
  5. අර කිව්වත් වගේ සරසවි එකේ නම් කිසිම වට්ටමක් දෙන්නේ නෑ..
    උදේ හවා නුගේගොඩ සරසවිය ඉස්සරහින් යන නිසා දවසක් දෙකක් ගොඩ උනා පොත් ගන්ඩ... අම්බෝ පිස්සු හැදෙනවා.. ලස්සනට පොත් ගොඩ ගහලා ඒ වගේම හෙන ආකර්ශනීය වායුසමීකරණය කරපු තට්ටු හතරක විතර ගොඩනැගිල්ලක්... ඒ අතින් බලාගෙන ගියහම වට්ටම් දෙන්නේ කොහොමද !!!! හික්ස් :)

    ඒ නිසා සරසවි නැතුව අනිත් ඒවා වලට යන්ඩ හිතා ගත්තා... :)

    ReplyDelete
    Replies
    1. හැබෑට! බාහිර අලංකරණයට කරන වියදම ගණුදෙනු කරුවගෙන් පිරිමහගන්න එපැයි. ඉතින් කොහොමද වට්ටම් දෙන්නේ.

      Delete
    2. සරසවියේ සරසවි ප්‍රකාශනවලට 10% දෙනවා සැප්තැම්බර් 20% ක් දෙනවා. එච්චර තමා :-)

      Delete

  6. තෑන්ක්ස් පොත් ගුල්ලා මේ සටහන ආයෙත් මකරන්දෙටත් පෝස්ට් කලාට .

    ලංකාවේ පොත් සංකෘතියක් නෑ කියලයි මට හිතෙන්නේ . පොත් පුදුම විදියට ගිනි ගනන් .එක්කො පොත් සාප්පු තියෙන්නේ මහා කලබල පරිසර වල හැරෙන්නවත් ඉඩක් නැතුව පොත් අට්ටි ගහලා .

    රිලැක්ස් වෙලා පොතක් පතක් රස විඳලා , කියවලා තෝරාගන්න තැන් හරි අඩුයි .සරසවියේ වුනත් එහෙම අසිමිත පහසුකමක් නෑ නමුත් නවීකරණය වෙලා තියේ තරමක් හොඳට. ඒත් මම කැමති නැත්තේ අතෝරක් නැතුව වාදනය වෙන ඉන්ග්‍රිසි රේඩියෝ එකටයි කිසිම සුහදත්වයක් නැති කාර්ය මණ්ඩලයටයි . මටත් නෝට් වෙලා තියේ එතැන වැඩ කරන අය සිල්ලර බඩුවක් ගැන තරම් වත් පොත් ගැන දන්නේ නෑ සමහර වෙලාවට .එත් මම යන එන පාරේ නිසාත් පොත් වලට ඇති ආසාව නිසත් ගොඩවදිනවා .මරදාන පුංචිබොරැල්ල පැත්තේ යැවෙනවා හරි අඩුයි මම .

    ReplyDelete
    Replies
    1. පොත් සඳහා සාමාන්‍යයෙන් රජයක් බදු අයකරන්නේ නැහැ කියල තමා මම අහල තියෙන්නේ. රටකින් රටකට ගෙනගියත් පොත් සඳහා කිසිම රටක් බදු අය කරන්නේ නැහැ, දන්නා තරමින්. ඉතින් ලංකාවේ පොත් වල මිල වැඩී කියල TG කරන චෝදනාව සාධාරණයි කියල මටත් හිතෙනවා. ඒත් ලේඛකයා ධනවත් වෙලත් නැති නිසා අවසානයේ ජයග්‍රහණය කරලා තියෙන්නේ පොත් මුදලාලිලා තමයි.
      ඒ වගේම අර සෙකන්ඩ් හෑන්ඩ් පොත් කඩ ඔක්කොම ඔයා කිව්වා වගේ හැරෙන්න වත් ඉඩ නැති, එක උඩ එක පොත් ඇට්ටි ගහපු කඩවල්. හැබැයි ඒ සේවකයෝ කිව්වහම පොතක් සොයා දෙනවා. මෙතැනදී නං හෙට්ටු කරන්න මතක තියාගන්න ඕනේ.

      Delete
  7. මාර පබ්ලිසිටියක් නේ දීලා තියෙන්නේ. ලංකාවේ පරණම පිටකොටුවේ ගුණසේන මහත්තයා අමතක කරළා වගේ...

    ReplyDelete
    Replies
    1. අනේ මාතලන් ගොයියෝ, මං අර උඩ කියල තියෙනවා වගේ මේක පබ්ලිසිටියක් නං නෙමෙයි. පොත් කියවන්නත්, තමන් කැමති වන පොතක් තමන්ටම අයත් කරගන්නත් කැමති අහිංසක පාඨකයින්ට මග පෙන්වීමක් විතරයි. ගුණසේන සාප්පුව බොහොම ලොකුවට තියෙන පැරණිතම පොත් සාප්පුවක් බව ඇත්ත. ඒත් ඒ අයත් සරසවි වගේ තමයි. මං හිතන්නේ මේ ලඟදි ඉඳල 10%ක ද කොහෙද වට්ටමක් ගුණසේන ප්‍රකාශන වලට විතරක් දෙනවා. ඉතින් ඒක එච්චර ආකර්ශනීය වට්ටමක් නොවන නිසාත් පිටකොටුවේ තියෙන ගුණසේන සාප්පුව නොදන්නා කෙනෙක් නැති බැවින් අලුත් හඳුන්වාදීමක් අනවශ්‍ය නිසාත් තමා ලිපියට ඇතුලත් නොකළේ.

      Delete
  8. මගේ ලයිස්තුවේ නැති තව පොත් සාප්පුවක් තියෙනවා. මරදානේ නොවන නිසා මම පොස්ට් එකේ දැම්මේ නැත්තේ. ඒත් ඒ ගැනත් කිව්වොත් හොඳයි කියල හිතුන රංගිත් TGත් පල කල කමෙන්ටු දැක්කහම. ඒ තමා ජනක ඉණිමංකඩ ගේ විදර්ශන පොත් මැදුර. ඉස්සර නං නුගේගොඩ රේල් පාර අසල තැනකයි තිබුනේ. දැන් මයේ හිතේ තියෙන්නේ කළුබෝවිල. ජනක ඉණිමංකඩ දක්ෂ ලේඛකයෙක්. ඒත් ලියන්නේ නැහැ. ගාබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ගේ කෙටි කතා දෙකක් 'කර්නල් සහ එරෙන්දිරා' නමින් පරිවර්තනය කරලා තියෙනවා. ඔන්න රංගිටයි, TGටයි කියාපු පොත් හල. ජනක නිතරම පොත් සාප්පුවේ ඉන්නවා. මූණේ පිරුණු හිනාවකින් එන ඕන කෙනෙක් පිලිගන්නවා. පොත් ගැන අහන්න, හොඳ දැනුමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, විදර්ශන ප්‍රකාශන වලට 20%ක් හෝ ඊට වැඩි වට්ටමක් දෙනවා. වෙනත් ආයතන වල ප්‍රකාශන වලටත් අවම වශයෙන් 10%ක වත් වට්ටමක් දෙනවා. මතක විදිහට නං වාඩි වෙලා පොතක් කියවන්න පහසුකමුත් තිබුණ. හැබැයි මම සෑහෙන කාලෙකින් ඔතෙන්ට ගිහින් නැහැ. මම කිව්වේ ඒ දවස්වල වාතාවරණය. දැන් වෙනස් වෙලා නැතුව ඇති කියල හිතනවා.

    මෙන්න මා හිත්ගත් විදර්ශන ප්‍රකාශන කිහිපයක්;

    යුස්ටයින් ගොඩාඩ් ලියු සොෆී ගේ ලෝකය, ජෙරල්ඩ් ඩරල් ගේ මගේ පවුලයි අනෙක් සත්තුයි - රාණි සේනාරත්න රාජපක්ෂ විසින් පරිවර්තිතයි.
    යුංග් චැන්ග් ගේ වන හංසියෝ - පරිවර්තනය ඩී. එම්. එස්. ආරියරත්න
    ගාර්ෂියා මකෙස් ගේ සියක් වසක් හුදෙකලාව - පරිවර්තනය අබේ දිසානායක/ පසන් කොඩිකාර
    ජේ. එම්. කොඑට්සි ගේ යකඩ යුගය - පරිවර්තනය ගාමිණි වියන්ගොඩ
    ජැක් ලන්ඩන් ගේ වන පෙත අඬගසයි - පරිවර්තනය ආරියවංශ රණවීර
    මිනි පැමිණි - ජපන් හයිකු කවි - ආරියවංශ රණවීර
    සුමන මතක - සුමන ආලෝක බණ්ඩාර
    ගොළු මුහුදේ වික්‍රමය - ටෙනිසන් පෙරේරා
    තව චූලානන්ද සමරසේකර කියල කෙනෙක් හෝ ගාල සම්භාව්‍ය සාහිත්‍ය කෘති පරිවර්තනය කරනවා, විදර්ශන ප්‍රකාශන හැටියට මුද්‍රණය වෙනවා. මට නං ඔහුගේ පරිවර්තන කියවන්න හරිම වෙහෙසකරයි. බාගෙට කියවල නවත්තපු පොත් දෙක තුනක්ම තියෙනවා. ඒ පරිවර්තකයට කැමති කෙනෙක් ඉන්නවා ඉන්නවා නං ඔන්න තැන.

    ReplyDelete
    Replies
    1. යස් පොත්ගුල්ලා දාන්න පහක් .ඇත්තෙන්ම කිව්වොත් එතැනට කිව්වේ "විදර්ශන පොත් ගෙදර " කියලා . අපි කැම්පස් ඉන්න කාලේ තමයි නුගේගොඩ ස්පෝට් එකක් ඒක තිබ්බේ .ඒ දවස් වල ඔතෙනට ගොඩවැදුනම ජනක විතරක් නෙවේ තව ලේඛකයො බලන්න පුලුවනි ,

      අපේ රටේ පොත් සාපුත් , ගිණි ගනන් පොතුත් අග හිඟ ලේඛකයො හා පාඨකයොත් ඉන්නේ පොත් සංස්කෘතියක් නැති නිසා .ලෝකේ ගොඩක් රටවල් -ඉන්දියාවේ පවා පොත් සොයාගෙන වීදි දිගේ ඇවිදින එකත් බොහොම සුන්දරයි .ඉන්දියාවේ රේල්වේ ස්ටෙශන් , ඩොමෙස්ටික් එයාර්පෝර්ට් වල පවා හොඳ පොත් ලාබෙට ගන්න පොත් කඩ තියේ . සමහර විෂ්යන් ගැන ලියවුන පොත් වල් ලෝ ප්‍රයිස් එඩිශන් ගන්න නියම තැනක්

      Delete
    2. මාත් මනෝ කියන එක පිළිගන්නවා. ලංකාවේ පොත් කියවීමේ හෝ විකිනීමේ කල්චර් එකක් නෑ කියලායි මාත් හිතන්නේ.
      මේ තට්වය වෙනස් වෙන්න ඕන. ඒත් එක සමාජයේ හැමකෙනෙක්ම මැදිහත් වෙලා මිසක් තනි තනියෙන් වෙනස් වෙන්නේ නෑ. රජයත් මේවට වගකිවයුතුයි.
      හෙට අනිද්දාට බන්ඩාරනායක එකේ පොත් ප්‍රදර්ශනේ ට යන්නෙ පොත් ගන්නම කියලා හිතනවා නම් ඒකත් විහිළුවක්. බලන්න හෙට අනිද්දාට කී දෙනෙක් පොත් ගත්තා ගන්න ගියා කියලා පෝස්ට් දානවද කියලා. ඒත් කෝ ඒ අයගේ ආකල්ප වල වෙනසක්.


      Delete
    3. http://suonline.blogspot.it/2012/05/s.html

      මේ බලන්න මේ තමයි පොත් විකුනන මිනිස්සු.

      Delete
    4. ලංකාවෙ කොහෙද හලෝ පොත් සංස්කෘතියක් තියා කියැවීමේ සංස්කෘතියක්වත්.. ඔයාලා මේ වාඩිවෙලා නිවිහැනහිල්ලෙ පොත් කියවන්න පුළුවන්, පොත් ගැන දන්න සේවකයො ඉන්න, කලබලකාරී නැති පොත් සාප්පු හොයන්නෙ ලංකාවෙද නැත්තං වෙන කොහෙවත්ද.?? නිකං සුරංගනා කතා කියන්න එපා ළමයිනේ.. අපේ රට ගැන දුකයි තමා, ඒත් අපි මේ ගැන කොච්චරක් නම් කතා කරලා තියෙනවද.. :(

      Delete
    5. බුරෝ, ඉතින් අපි එහෙම සංස්කෘතියක් ඇති කරගන්න උත්සාහ ගමු. ජනක ඉනිමන්කඩ තනියම හරි කරන්නෙ ඒකයි.
      I believe that, the future is not so dark after-all.

      Delete
    6. ඉස්සර ඕක තිබුනේ කළුබෝවිල රෝහල කිට්ටුව . පස්සේ වෙනස් වුනාද කොහෙද . පිටරටවලට පොත් ගෙන්න ගන්න ක්‍රමයකුත් තිබුන

      Delete
    7. ඒත් මං බල බල හිටියේ බින්දි මොකෝ මේ පැත්තේ නාවේ කියල.
      අර පාවුලෝ කොයියෝ ගේ පොත් ඕනේ සිංහල ඒවද? ඉංග්‍රීසි ඒවද?

      Delete
    8. මේ ටිකේ වැඩිය සය්බරයේ කරක් ගැහුවේ නැහැ . සිංහල සිංහල ..ඉංග්‍රීසි පොත් දැකලම එපා වෙලා තියෙන්නේ . තව පුළුවන් නම් මට 1, 2,3,4,5 වගේ දහම් පාසල් පොත් ටිකත් අරන් දෙනවද .

      Delete
  9. සුපිරි පෝස්ට් එකක්. බොහොම ස්තුතියි මේ තොරතුරු ටිකට.
    මම මරදාන පැත්තෙ නම් යැවෙනව අඩුයි. ඕනෙ වෙලා ගියොත් මිසක් ඇරෙන්න. සරසවි පොත් හලට ගිහිල්ල පොත් බලන වෙලාවල් තිබෙනව. ගන්නම හිතුනොත් ඉතින් එකක් දෙකක් හරි අරගෙන එනව.

    ReplyDelete
    Replies
    1. මකරන්දයට මාධව සාදරයෙන් පිලිගන්නවා.
      පෝස්ටුවෙන් වැඩක් උනා නම් සතුටුයි.
      කමෙන්ටුවට ස්තුතියි.

      Delete
  10. නොදැන හිටිය දෙයක්.මේ ගැන පළ කලාට ගොඩක් පිං :) ඉතින් මේ ප්‍රකාශකයෝ කොළඹ තියෙන පොත් ප්‍රදර්ශනයේදි ඔය වට්ටම් දෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. පොත් ප්‍රදර්ශනයේදී සාමාන්‍යයෙන් 30%කට ආසන්න වට්ටමක් ඒ බොහෝ අය දෙනවා. මම ඔය ඉහත ලිපියේ දක්වල තියෙන්නේ සාමාන්‍ය දවස් ගැන. ස්තුතියි කමෙන්ටුවට.

      Delete
  11. පොත් මාසයේ ප්‍රයෝජනවත් ලිපියක් ඇත්තටම . පොත් සස්කෘතියක් නැතැයි කියල අපි නිතරම චෝදනා කරනවා . පොතුත් ටිකක් ගණන් තමයි. විජේසුරිය මහත්තයාගේ පොත් හෙම පිටු වල ගුණාත්මක බව වැඩිද මන්ද . මන් අහල තියෙනව සමහර රටවල පොතක් හොඳ කොළවල උසස් නිමාවෙන් කරන ගමන්ම බාල කොළවල ලාබ මුද්‍රණයකුත් කරන බව . එහෙම කරලා ලාබෙට දෙන්න පුළුවන්නේ . මැලේසියාවේදී මන් දැක්ක දෙයක් තමයි වට්ටම් කාඩ් පත් . පොත් සාප්පුවලත් සාමාජිකයින්ට විශේෂ වට්ටම් දෙනවා . නිතර පොත් ගන්න අයට ඒ වගේ ක්‍රමයක් තියෙනව නම් හොඳයි. අනික් පැත්තෙන් පුස්තකාල පරිහරණය වැඩි වීමත් විසඳුමක් . මන් නම් ගිය තැන පුස්තකාලයක් තිබුන . කොටින්ම ලැබ් එකේ පවා . අපේ ළමයි සතියට පොත් තුනහතරක් කියවන්නේ පුස්තකාලෙට පින් සිදුවෙන්න .

    ReplyDelete
  12. පොත් ගැන මගේ තියෙන්නේ නොනිම් ආශාවක් එත් මම එන්නේ කොලඹට ගොඩක් දුරින් එත් මේ ලිපිය සැහෙන්න වටිනවා මකරන්දයට ගොඩක් පින්

    ReplyDelete
  13. අසාමාන්‍ය මනෝ විද්‍යාව ගැන පොත් තියෙන් තැනක් දන්නවා නම් කියන්න පුලුවන්ද ?/// ලොකු උදව්වක්

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙන්න, මනෝ විද්‍යාව ගැන මගේ එතරම් උනන්දුවක් නැති නිසා මම ඒ විෂයට අදාළ පොත් තියෙන්නේ කොහෙද කියා දන්නේ නැහැ. නමුත් විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ යම් මනෝ විද්‍යා පොත් තිබූ බව මතකයි.
      ඔබ ඉංග්‍රීසි බසින් කියවනවා නම් ඔබඳු විෂයක් ගැන පොත් සොයාගත හැකි මා දන්නා හොඳම තැන තමා, බ්‍රිතාන්‍ය කවුන්සිල පුස්තකාලය.

      Delete
  14. මරදානෙ දැන් සුරස (ෆාස්ට් පබ්ලිෂර්ස්) පොත් සාප්පුවත් තියෙනවා... 20% ක වට්ටමක් ලැබෙනවා... ගොඩගේ පහුකරලා මරදාන පැත්තට එද්දි....

    පෞද්ගලිකවත්, පොදු වැඩවලදිත් නිතරම පොත් ගන්න නිසා සූරිය සහ සුරස 30% ක වට්ටමක් ලබා ගැනීමේ භාග්‍යය මට හිමිවෙලා තියෙනවා....

    ReplyDelete
  15. යහපත් ක්‍රියාවක් බොහොම ස්තුතියි ගුල්ලට දීර්ඝායු පතනව

    ReplyDelete
  16. මට අලුත්තෙන් පොත් නිකුත් වෙන ඒවා ගැන දැනගන්න පුළුවන්ද? අපි අලුත් පොත් එළිදැක්වීම් ගැන ටී.වී. වැඩසටහනක් කරනවා. ☺

    ReplyDelete
  17. මේ වැඩේ ගොඩක් හොදයි මම මහල්ලා සහ මුහුද පොත තාම කියවලා නෑ ඒ පොත දැන් මුද්රණය වෙනවද?

    ReplyDelete
  18. මේ වගේ ලිපි දිගටම ලියන්න පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා පොත් ගුල්ලෝ

    ReplyDelete