Thursday, December 27, 2012

'බ්ලොග්' ආවර්ජනා


දුර ඈත මහ මේඝ                 ගර්ජනා

පැල් බැඳ වැසි වසින            තර්ජනා

සිත විපිලිසර වී                     වර්ජනා

එසඳ විය 'බ්ලොග්'           ආවර්ජනා


අථත්‍ය ලොවට ගොඩ                 වැද

ලීවෙමි බ්ලොග් මනෝ               නද

ථත්‍ය ලොව නිදි                          වැද

සිටින සඳ පල කළෙම් විලි          වැද



මම මුලින්ම කියවූ බ්ලොගය ඉංග්‍රීසි බසින් පළවුණු එකක්. ඒ තමා 'පාවුලෝ කොයියෝ' ගේ බ්ලොගය. කියෙව්වේ මූණු පොතෙන්. ඔය අතර මගේ ළමා කල යෙහෙළියක් වූ බින්දි මූණු පොතෙන් වසර ගණනාවකට පසු හමුවුනා. මොකද්දෝ නෙළුම් විලක දිගුවක් (link) ඇය මට මේල් කර තිබුණා. මේ මොකද්දැයි මට මුලදි වැටහුනේ නැහැ. මගේ යෙහෙළියගේ සැබෑ නම මිසක අන්වර්ථ නාමයක් මා දැන සිටියේ නැහැ නොවැ. ඒ නිසා බින්දි යනු කවරෙක්දැයි අවබෝධයක් තිබුනේ නැහැ. ඒ නිසා එය කියෙව්වෙත් නැහැ. පසුව යලිත් වරක් ඇය මට එම දිගුවම එව්වා සටහනකුත් සමග. එනම් ඒ ඇය විසින් ලියන බ්ලොගයක් බවත්, මට කියවා බලන ලෙසත්.  සාමාන්‍ය පෙළ හදාරන අවධියේ ඇය කුදු ගොත් රචනා පොතක් ලියූ බව මට මතකයි. ඒ දිනවල මා ඈ ලියූ දෑ අගය කළා. සමහර විට විවේචනය කළා. ඒ මතකයනුත් අලුත් කරගනිමින් මම නෙලුම් විලට බැස්සා. එහි පිපුණු මනරම් නෙලුම් මා ප්‍රහර්ෂයට පත් කළා. "එහෙමනං බින්දිත් කියවල තියෙන්නේ මං කියපු පොත් මයි. ඒ විතරක්ද ඒ පොත්ම කියවූ තව සහෘද රැලක්ම ඉන්නේ," මට හිතුන. එතෙක් මා සිතා සිටියේ මා කියවන ගනයේ පොත පතට ඇළුම් කරන අය බෙහෙතකටවත් සොයා ගත නොහැකියි කියා. ඇගේ බ්ලොගය පිළිඹඳ මගේ වර්ණනාව මා මූණු පොතේ මේලයකින්ම දැන්වුවා. ඒ සමගම සිංහල අකුරු කොටන්නට ඇති මගේ නොහැකියාව නිසා කමෙන්ටුවක් පල කල නොහැකි වීම ගැන කනගාටුව පල කළා.   මෙන්න ඒ සැරේ ඇ මට තවත් දිගුවක් එවනවා. "මේක පාවිච්චි කරලා බලන්න, මමත් පාවිච්චි කරන්නේ මෙයයි," කියා. ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් දිගුවයි ඒ. ඔන්න ඉතින් මමත් සිංහලෙන් අකුරු කොටා නෙළුම් විලේ කමෙන්ටු දමන්න පටන් ගත්තා. ඒ සඳහා පොත් ගුල්ලා යන අන්වර්ථ නාමය යොදා ගත්තා. 

නෙළුම් විලට බැස්ස           සඳේ

පිපී නෙළුම් හතර               අතේ

මල් වටකර බමර               රඟේ

සිත පුරවා ගතිමි                මගේ


වියට්නාමෙ                   විස්තරයි

තව රුසියන් පොත්           වැලයි

සඳ බනිසක් කන්නට නම්

මගේ හිතත් කෙල             හලයි



බනියා සම්ග ලොක්කී ගැන රස                  කවි ය

පැත්තකින් ඉඳන් සැමියා දෙයි                     සවිය

පෙම්වන්තයින් රැසකුත් සිටි බව                  සරි ය

එනමුත් සිය හිමිට බැඳි සිත එක                   සරිය 


නෙළුම් විලේ කමෙන්ටු දැමූ අනෙක් බ්ලොග් කරුවන් මොනවද ලියන්නේ යන්න ඉන් පසුව මා විපරම් කරන්න ගත්තා.

නෙලුම් විලේ මල් බලමින් යන                     කලට

නලිනි චන්දිමා හමුවිය මගෙ                       නෙතට

බුරතීනෝ, පොකූ, ටී.ජී. යන                          අයට

දුනයි මසිත කොකාවෙල සහ තව                අයට


ඒ අතරින් බලවත් සේ සිත් පැහැරගත් තවත් බ්ලොගයක් වුනේ නලිනි චන්දිමා වෛද්‍ය තුමිය ලියූ, 'සිත් ආර' යි. මට නම් මුලදි හිතුනෙම මේ කවුරු නමුත් ප්‍රවීණ ලේකඛයෙක් යම් හේතුවක් නිසා අන්වර්ථ නමකින් පෙනී සිට කෙටි කතා ලියන බවයි. 

සිත් ආර මන                        නද

කෙටි කතා ගෙන එන            සඳ

ප්‍රකම්පන වී                          හද

හැඬී, පවසනු කවර වරද           ද



හෙණ වැදුණු නගරයක මිනිසුන්ගෙ                    ආකල්ප

ලොවේ කෙලවරට ගොස් ඇලවු කඩදහි                  පල්ප

ගුලි පුතා, ඩොගී සහ රාළහමි                            බණ්ඩා ද

සිල් ගන්ඩ පන්සලට යන්නටම                           ඕනෑ ද?


අග මුලක් නැති                       කතා 

බාල කාලේ                             කතා

රෝහලේ දුක්                          කතා

තව නොයෙක් රස                   කතා


එක පතට හිඳවලා

මේස හැන්දෙන් එකක්

දවසකට තුන් වරක්

පෙවී, වෙද හාමිනේ


ඊළඟට මගේ හිත ගියේ පොඩි කුමාරිහාමි (පො.කු.) ගේ බ්ලොග් රාජයා ට.ඒක නං බ්ලොග් රාජයෙක් ම තමයි. දිග ලිපි, දිග කමෙන්ටු වැල්, කමෙන්ටු අස්සෙත් තව ලිපි. මුලදි නං අන්දුන් කුන්දුන්. පස්සේ තමා ටික ටික වැටහුනේ. 

අත්තම්මගෙ           මිනිපිරී

නීතාටයි                සැළකිලී

වටකරගෙන පිරිමි ගොඩක්

හිටියට නැහැ කිසි         වලී


පුරාණ ආදර                             කතා

අරගෙන එන                        බවලතා

ඔබ නැති නම් හෙළ බ්ලොග් ලොව

මහ ලොකු අඩුවක්                  වෙතා


පො.කු. ගේ හොඳ ගෝල බාලයෙක් වූ දොරකඩ ගහේ මූකලන් බස්සා (DGM බස්සා) ලියන බකුමූණු කතා ත් මගේ සිත් ගත්ත තව බ්ලොගයක්. වැඩි දෙනෙක් ගොඩ නොවැදුනාට බස්සගේ උපහාසාත්මක, ඒ වගේම තරමක් නරුම ස්වරූපයකින් යුතු භාෂා ශෛලියට මා නම් ප්‍රිය කරනවා.


චෙරිස් බෙරිස් කොටා බබා                             හිඳින්නේ

දොරකොඩ ගහේ අතු අස්සෙන්                    එබෙන්නේ

අමුතු අමුතු දේ අප වෙත                          ගෙනෙන්නේ

මේ බස්සා නොමැත හ්ම් හ්ම්                          කියන්නේ


හාමිනේ සමග වලි

වැටෙන කල අපට ජොලි


බොම්බයි මොටයි ගැන ලිපියක්      ලියලා

හින්දි සිංදුවක තියෙනව                 කියලා

බුරා ඇවිත් ඇති තතු හෙලි              කරලා

සිංදුවෙ නැහැ කෑමක් ගැන             කියලා


හැමෝගෙම බ්ලොග් වලට ගොඩවැදිලා දිරිමත් කරන කමෙන්ටුවක් දමා ගිය ඔබ්සර්වර් මහතා මුලදි තමන්ගේ කියල බ්ලොග් එකක් ලිව්වේ නැහැ. ඒත් පසු කලක බ්ලොගයක් ලියන්නට පටන්ගත් සැනින් එතුමා වටා සැවොම වට උනා. අනේ ඒත් කොයි කාලෙකටද? 


අනේ අපට සිටි යස ගජ                       මිතුරාන

කැන්ගරු දේශයෙන් පෑයූ                   සඳ පාන

හඳුනා බ්ලොග් ලියන හැමගේ            සිත් මාන

හැරදා ගියේ ඔබ්සර්වර්                        මහතාන



සී.ටී.බී. කතා රස කර                               කියාලා

සතුටු සිනහ අප හැමටම                         බෙදාලා

සත්තයි කුණුහරුප නොම බැව්                කියාලා

අප හැර ගියේ උපදෙසකුත්                      ලියාලා


'ගල් මල්' ලියන ඩීන් අයියා හොඳ අසූ පිරූ තැන් ඇති මහත්මා ගති ගුණ ඇති හිතවතෙක් බව හඳුනාගත්තා. නවක බ්ලොග් රචකයන් දිරිමත් කරන, නිසි උපදෙස් ලබාදෙන ගුරුවරයෙක්. ඒ වගේම යම් අඩු පාඩුවක් පෙන්නා දුන්නොත් ඉතා නිහතමානීව එය පිළිගන්න පුද්ගලයෙක්. බ්ලොග් ලොවේ දුලබ චරිතයක්.


හිතවත් කම් සපිරි 

ඩීන් සොයුරු සඳ 

මැදපෙරදිග කතර හිඳ 

ගෙන එන රසෝඝ 

රට ඉඳි ද සමගින් 

අනා රස කර කමි, 

හයිකු කවියක් 

දියකර බොන අතර තුර 



ඉතාලියේ ඉඳන් ඉතාලි නමකින් බ්ලොග් ලියන රංගිගේ (බූරු බබා) ලිපිවලටත් මා සංවේදී වුනා.   

සිංහල බැරි බැරිව මුලදී පටන්                         ගෙන 

දැන් නං ලියයන්නී, පරිනත කෙනෙකු             මෙන

දුරු රට ගියත් මව් රට හිත තබා                         යන 

රංගී මිතුරු විය, බ්ලොග් ලොවදි හමු                 වුන


අසාධාරණේ පෙන්නන්නට                            බැරිය 

දුක දකිනා කලට හිත වාවනු                           බැරිය  

ගමනක් යන කලට දුටු විට                            සීනරිය 

මග නැවතී බලා ඉන්නට වෙයි                         පිරිය 


හරී පිණි පලස ලියූ හර්ෂනී නංගී ඒ දවස්වල නම් මකරන්දයට නිතර ආව ගියා. දැන් බ්ලොග් ලියවිල්ල අත්හැරලම දාල වගේ.

ගුරුවරියක් ලෙසින් සේවය කල                         කාලේ 

කතා ලියූ හැටි මතකයි ඒ                                   කාලේ 

මොන හේතුවක් නිසා හෝ ඈ මේ                     කාලේ 

අතහැර ගොස් වගේ බ්ලොග් ලොව අද              කාලේ 


හිත මිතුරියක් ලෙස දුක සැප                            ඇසුවාය 

ලිපියක් දැමූ සඳ ඇවිදින්                                 බැලුවාය 

පුංචිත්තා ලියන්නට එක්                                      වූවාය 

නැගණිය හට අප අමතක                                   වූ දෑ ය  


තමන්ගේය කියල බ්ලොගයක් නොකලට කමෙන්ටු තුලින්ම කියවන්නාට රසයක් වගේම දැනුමත් දෙන හොඳම මිතුරෙක් තමයි, බුරතීනෝ.


ලී බෝනික්කෙකි බුරතීනෝ

තොල්ස්තෝයි ගේ පිනෝකියෝ

හමුවී නැති මුත් කිසි දවස 

අපේ ගමේමලු පදිංචිය


බ්ලොග් කියවමින්නේ - නිබඳ කමෙන්ටු ලන්නේ

මැච් ඇත බලන්නේ - මුලු ලොවම අමතකව යන්නේ


හින්දි බස; බස, බස - කියා හසුරනු දැක ඇත

ඉතිහාස පත පොත - ගැන හසල දැණුමක් ඇත


අති සීඝ්‍රතාවයකින් බ්ලොග් ලියන කෙනා තමයි, මාරයා. දවසට පෝස්ටු දෙක තුනක් සමහර වෙලාවට. ඔය පහත තියෙන්නේ මම මාරයාගේ හෝරාවේ පල කල කවි කිහිපයක්.

බ්ලොග් ලෝකේ තරුවක් ලෙස           බබළන්නේ

දවසට ලිපි දෙක තුනකුත්                       ලියන්නේ

ලියන පමාවට ඇවිදින්                           බලන්නේ 

කෙලෙසක? අපට කාලය නම්            නොවන්නේ


ඉඳ හිටලා මේ පැත්තට                      ඇදෙන්නෙමී

කමෙන්ට් නොදැම්මත් කියවා             බලන්නෙමී

නව නළු රස නා නා ලෙස                    විඳින්නෙමී

මාරයා සමග මිතුරුව                           හිඳින්නෙමී


එකම පාසලක අකුරුත්                          කෙරුවාට

එකම නගරයක අපි වැඩ                        කෙරුවාට

එකම කෝරලේ වාසය                          කෙරුවාට

හමු වන්නට නොහැකි විය අප                දෙන්නාට


මාර කතා වැඩි වැඩියෙන්                       ලියන්නයි

කියවන දනෝ දින දින තව                     ලබන්නයි

සිංහල බ්ලොග් කලාවේ නම                   තියන්නයි

මරු* පරදා යම් දිනයක                           දිනන්නයි

(*මෙහි මරු යනු බ්ලොග් ලියන මාරයා නොවන බව සලකන්න.)

සපතේරු උන්නැහෙත් හොඳ බ්ලොගයක් කළා. මගේ මතකේ හැටියට, 'මට මතක හැටියට'. උන්නැහැත්  දැන් නවත්තලම දාල වගේ.

නෙලුම් විලේ දී අප කළ කවි                 වාද 

සපතේරුවනි ඔබ හට අමතක                 වීද? 

ළඟදී මුකුත් ලිව්වේ වත් නැහැ            නේද?

සිත රිදෙනා වරදක් අපගෙන්                 වීද?


රිලවුන්ගෙන් පවා - අනගි පාඩම් බණවා 

පාදඩයන් ලවා - කියා දුනි හොඳ සිරිත් මැනවා 


මම යන, එන, විඳින තව බ්ලොග් රැසක් තියෙනවා. ඒ ඔක්කොටම කවි ලියන්න ගියොත් මේක මහා පතරංගේ වගේ දික් වෙලා අන්තිමට කව්රුත් බලන්නේ නැති වෙයි. ඒ නිසා හැම බ්ලොගයක් ගැනම නොකිව්වට කව්රුත් අමනාප වෙන්න එපා.

කටකැඩි කතා කියනා හොඳ                       දුමියා ද

හීනලන්තයේ සිට ආ                                  හරියා ද

කෙහෙල් කොටුවෙ පොඩි මහතැන්       ගොයියා ද

රජ දහනක ඉන්නා තඩි                              මකරා ද


හිස් අහසේ සරණ සඳරු ද,                       විසිතුරු ද

ගී ගෙන එන දොඩංගොඩ නම්                   මහතා ද

මධුරංග ද, රෝස කැලේ                              නංගී ද

චතුරංග ද, වැලි කතරෙන්                          දුකා ව ද


මේ හැම දෙනා ගේ බ්ලොග් වෙත        ඇදෙන්නෙමී

වෙලා ඇතොත් කමෙන්ටුවක්                 දමන්නෙමී

ඉහතින් නොකිව්වත් තව බ්ලොග්          බලන්නෙමී

නොකිව්වාට සමාව මම                          යදින්නෙමී


සිංහල බ්ලොග් කලාවට සුභ සෙත                  වේවා!

නව නලු රස සපිරි ලිපි තව ලිය                       වේවා!

කියවන දනද වැඩි වැඩියෙන් බිහි                    වේවා!

හෙළ බ්ලොග් නම් දනන් තුඩ තුඩ රැව්            දේවා!

Wednesday, December 19, 2012

සීතා ගැයී, නිල්.

දඩයම් යුගය පසුකර ශිෂ්ඨාචාර ගතවීමේ මුල් අවදියේ මිනිස් ජනාවාස පුරා විද්‍යාඥයන් විසින් කැනීම් කළා. ග්‍රීසිය අසල දූපතක් වූ ක්‍රීටය, වයඹ දිග ඉන්දියාවේ මොහන්ජොදාරෝ-හරප්පා ශිෂ්ඨාචාර, යුරෝපයේ ගල්-ස්මාරක සංස්කෘතීන් (stone-henge cultures) යනාදී ශිෂ්ඨාචාරයන් හි හමුවූ ප්‍රජා සොහොන් බිම් කැණීමේදී ඔවුන්ට හමුවූ මිනී ඇට වල විශේෂ ලක්ෂණයක් ඔවුන් හඳුනා ගත්තා. ඒ තමා ඒ කිසිවක, පහරදීම් හෝ සටන් වලින් ලත් තුවාල නොමැති වීම. එනම් ඔවුන් සාමකාමී ලෙස මියගොස් තිබූ අතර යුධ පැවති බවට කිසිදු සාක්ෂ්‍ය නොතිබීම. ඒ ශිෂ්ඨාචාර පිරික්සීමේදී හමුවූ අනෙකුත් කෞතුක භාණ්ඩ පරීක්ෂාවේ දී පෙනී ගියේ ඔවුන් ඇදහූයේ දෙවියෙකු නොව දෙවඟනක බවයි. ඒ මාතෘ දෙවඟනයි. තවදුරටත් පුරාවිද්‍යාඥයන් සිදු කළ පර්යේෂණ වලදී පැහැදිලි වුයේ ඒවා මාතෘ මූලික ශිෂ්ඨාචාර බවයි.   

 A mother goddess statuette from Canhasan, Turkey

එහෙත් කාලයාගේ ඇවෑමෙන් මාතෘ බලය පරදා පුරුෂ ආධිපත්‍යය ඉස්මතු වුනා. ඒ සමග මුල් තැන ලත් මව් දෙවඟන පසු පෙලට ගොස් විවිධාකාරයේ පුරුෂ දෙවිවරු වන්දනාවට පාත්‍ර වෙන්න පටන් ගත්තා. මව් දෙවඟන වගේ නෙමෙයි මේ පුරුෂ දෙවිවරු කෘරයි, ඒ වගේම යුධ කාමී යි. ශිෂ්ඨාචාරයේ මේ වෙනස සිදුවීමත් සමග ගෝත්‍ර එකිනෙකා අතර ගැටුම් ඇතිකරගන්න පටන් ගත්තා. යුද්ධය බිහි වුනා. මව් රැකවරණය යටතේ සාමකාමී ව තිබූ ලෝකය, පුරුෂාධිපත්‍යයත් සමග යුධ බිමක් බවට පත් වුනා. ඉන්පසු ඉතිහාසය සමන්විත වන්නේ යුද්ධ වලින්. එක් රජෙක් යුධයෙන් පරදා තව රජෙක් බලයට පත්වීමේ කතාන්තර තමා ලෝක ඉතිහාසය කියන්නේ.



රාමායණය ලියවෙන යුගය වනවිට මේ මාතෘ මූලික සමාජ, පුරුෂාධිපති සමාජ බවට හැරුණු අලුත. ඒ නිසා අපට රාමායණ කතාවෙන් මේ සංසිද්ධිය පිළිඹඳ යම් සාධක සොයා ගත හැකියි. විෂ්ණු දෙවි, රාම ලෙස මිනිස් සමාජයේ බිහි වන විට ඔහුගේ භාර්යාව ලක්ෂ්මිය, සීතා ලෙස උපත ලබනවා. 




සීතා, මිථිලා නුවර රජ කළ ජනක රජුගේ දියණිය ලෙස හැඳින්වූවද, ඇය සීසාන විට පොළොව පලාගෙන මතුවූ බව කියවෙනවා. එනම්, ඇය පොළෝමහී කාන්තාව ගේ දියනියයි. ජනක ගේ දියණිය යන අර්ථයෙන් ඇය 'ජානකී' ලෙසද නම් වන අතර සමහර ඉන්දියානු ජනශෘති වල ඇයට 'වේදහී' යන නාමය ද භාවිත වෙනවා. රාම ට ඇය හමුවන්නේ විශ්වමිත්‍ර නම් තවුසා සමග මිථිලා නුවරට ගිය ගමනකදී. කිසිවකුටත් නැමිය නොහැකිව තිබූ දුන්නක් නමා බිඳ දැමීම නිසා ජනක රජු සීතා කුමරිය ඔහුට සරණපාවා දෙනවා. පසුව ඔවුන්ට අයෝධ්‍යා පුරය හැර වනගත වන්නට සිදුවීමත්, රාවණා පැමිණ සීතා පැහැරගෙන යාමත්, හනුමා ගේ උදව්වෙන් රාවණා මරා සීතා බේරා ගැනීමත් පිළිඹඳ කතාව අපි පසුගිය ලිපියේ (ඔබ හට වයිරව රවුලා කුඩ කොඩි ඈ ගුවන ලමින් -  මහිමෙට තද තෙද පවුලේ පෙන්නා ඉඳිතෙයි කී දැන්) කතා කළා. 




රාම, රාවණා ගෙන් සීතා ගලවාගත් නමුත් ඇය සිය බිරිය ලෙස පිළිගැනීමට මැලි වෙනවා. ඇයගේ පතිවෘතාව පිළිඹඳ සැක පහළ කරන රාම, සීතා බේරා ගැනීමට තමන් ක්‍රියා කළේ සිය ආත්ම ගෞරවය රැකගැනීමටත්, තමාගේ යුතුකමක් ඉටු කිරීමටත් පමණක් බව පවසනවා. මෙහෙම වෙනවා නම් උන්නාට වඩා මලා නම් හොඳයි කියා සිතන සීතා ගිනිගොඩක් ගසා එයට පනිනවා. ඒත් සීතාවගේ පතිවෘතා බල මහිමය නිසා ඇයට කිසි අනතුරක් වන්නේ නැහැ. මෙයින් පැහැදෙන රාම යලිත් සීතා සිය බිරිය ලෙස පිලිගන්නවා. (මෙහි ගෞරවය ඇත්තටම ලැබිය යුත්තේ රාවණාට යි.)



එහෙත් සීතාවගේ කරදර එතැනින් නිම වන්නේ නැහැ. රාම නිසා සීතා ගැබ්බර වීමත් සමග තත්වය නරක අතට හැරෙනවා. සමහර විට ඒ තමා නිසාම දැයි රාමට සැකයක් ඇතිවන නිසා විය හැකියි. ඒ අතර රජ මැදුරේ රජකයා (laundryman) (මේ වන විට රාම වනගතව සිටිය යුතු කාලය අවසන්ව යලිත් අයෝධ්‍යාවට ගොස්) වෙන පුරුෂයකු සමග ගොස් අසුවූ සිය බිරිය පළවා හරිනවා. "මම රාම වගේ පිට ගෙදරකට ගිය ගෑණි ආයේ පිළිගන්නේ නැහැ," ඔහු රාමට ඇහෙන්නම කියනවා. මේ කතාවෙන් අවුලකට වැටෙන රාම ලක්ෂමන කැඳවා සීතා ව වනයට ගෙන ගොස් දමන ලෙස අණ කරනවා. 


ටිකක් වෙනස් කතාවක් 'මධුර ජවනිකා' කෘතියේ දයානන්ද ගුණවර්ධනයන් සඳහන් කොට තිබෙනවා;

"ලාංකික කතාවක් අනුව රාම නැති විටෙක රාවණා ගේ විස්තර ඇසීමට පැමිණි පාර්වතියට සීතා අළුකෙහෙල් කොළයක රාවණා ගේ රුව ඇඳ දැක්වූවාය. එවිට රාම පැමිණුනෙන් වහා කෙසෙල් කොළය ඇඳ යටට දමන ලදී. එහි රාම සැතපුණු විට රාවණා ගේ බලයෙන් ඇඳ සෙලවිණි. කෙහෙල් කොළයේ වූ රූපය බලා සීතාවන් සැක කළ රාම ඈව වනයට ගොස් මරා දැමීමට ලක්ෂ්මනට භාර කළේය. ලක්ෂමන සතකු මරා කඩුවෙහි ලේ තවරා රාමට පෙන්වා සීතාව නොමරා පිටත් කළේ ය."   


වනාන්තරයේ අනාථව සිටින ඇයට පිහිටට එන්නේ තව්සෙක්. ඒ තමා වාල්මිකී. සීතා, වාල්මිකී ට කියන කතාන්තරය තමා ඔහු රාමායණය ලෙසින් ලේඛණගත කරන්නේ. පසුව සීතාව ට නිවුන් දරුවන් දෙදෙනෙකු ලැබෙනවා. ඔවුන් කුස සහ ලව ලෙස නම් කෙරෙනවා. වන අසපුවේ වැඩෙන ඔවුනට වාල්මිකී,  රාම අභිවාදන ස්තෝත්‍ර කියාදෙනවා.  දිනක් වනයට දඩයමේ එන රාමට තමා ගැන අභිවාදන ස්තෝත්‍ර ගයන මේ ළමුන් දෙදෙනා හමුවෙනවා. ඔවුන් හඳුනාගන්නා ඔහු තමා සමග ඔවුන් මාලිගයට රැගෙන යාමට සූදානම් වෙනවා. එහෙත් සීතාවන් භාර ගැනීමට මැලිවන ඔහු යලිත් වරක් පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා.


සීතා යලිත් මාලිගයට ගියා ද? වන අසපුවේම නතර වුනා ද? වෙනත් යමක් සිදුවුනා ද? ඒ ටික අපි බලාගනිමු නීනා පාලේ විසින් නිර්මාණය කළ මේ animation වර්ගයේ කාටූන් සිනමා පටයෙන්.


Nina Paley & Sita Sings the Blues

නීනා පාලේ ඇමෙරිකානු ජාතික කාටූන් ශිල්පිනියකි. ඇය ස්ත්‍රී වාදී ස්වරූපයකින් ලෝකය දකින අතර රාමායණය අළලා අපූරු කාටූන් සිනමා පටයක් Sita Sings the Blues නමින් නිර්මාණය කළාය. තම සිනමා පටය අන්තර්ජාලය ඔස්සේ ඕනෑම කෙනෙකුට නැරඹීමට ඇය ඉඩ හසර සලසා ඇත. නිර්මාණයක අයිතිය පිළිඹඳ ඈ වෙනම අදහසක් දරයි. පිටපතක් ලබාගැනීම, සොරකමක් නොවන බව ඇගේ මතයයි. ස්වාධීන නිර්මාණයක් කියා දෙයක් ඇත්තටම නොමැති බව පවසන ඇය සෑම නිර්මාණයක්ම පූර්ව නිර්මාණයන් ගේ ආභාසය ලබන බව කියයි. ඒ පූර්ව නිර්මාණ වසර දහස් ගණනක් පැරණි විය හැකි මෙන්ම අවුරුදු කිහිපයක් හෝ මාස කිහිපයක් වුව පැරණි විය හැකිය.  නීනා ගේ අදහස් වැඩිදුරටත් දැනගැනීමට මේ දිගුව ඔස්සේ යා හැකිය;

Nina Paley on: Sita Sings the Blues: The Ramayana and "Free Culture".

Nina Paley

කාටූන් සිනමා පටය රාමායණය අළලා නිමවුවද ඒ අතරතුර අප ඉදිරියේ නිනා ගේ ප්‍රේම කතාවද දිග හැරෙයි. මේ නිර්මාණයට නීනා කාටූන් ශෛලීන් කිහිපයක්භාවිත කර ඇති අතර අප බොහෝ විට දකින හොලිවුඩ් ගනයේ animation වලට වඩා ඉතා වෙනස් ආකාරයක අත්දැකීමක් ඔබට මෙහිදී ලැබෙනු ඇති. 



සම්පූර්ණ සිනමා පටය යූ ටියුබය ඔස්සේ නැරඹීමට; සීතා ගැයී, නිල්.


Tuesday, December 11, 2012

ඔබ හට වයිරව රවුලා කුඩ කොඩි ඈ ගුවන ලමින් - මහිමෙට තද තෙද පවුලේ පෙන්නා ඉඳිතෙයි කී දැන්


"රවුලා මැරී, රම් රජ." - සිදත  



කවුද මේ රවුලා? 


වෙන කව්රුවත් නෙවෙයි, මේ දවස්වල අතිශයින් කතා බහට ලක් වන 'රාවණා' තමා රවුලා කියා සිදත් සඟරා කතු හැඳින්වූවේ. යම් හීනමානයකින් පීඩා විඳින්නන් රාවණා ගැන නොයෙක් පූර්ණිකාවන් හිතෙන හිතෙන අයුරින් කියන බව පෙනේ. එබැවින් රාවණා පිළිඹඳ ජන සාහිත්‍යයේ සහ රාමායණයේ සඳහන් කරුණු ඇත්තටම මොනවාදැයි යන්න සොයා බැලීම වටනේ යයි අපට සිතුනි.

සියල්ලටම කලින් අප වටහා ගත යුතු වූ සත්‍යයන් කිහිපයක් වෙයි.

01. රාවණා නමින් රජෙක් හෝ ඔහු සතු රාජ්‍යයක් පිළිඹඳ කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ලංකාවෙන් මෙතෙක් හමුවී නොමැත.

02. රාවණා යනු වාල්මිකී නම් බමුණු ලේඛකයකු (බොහෝ අය බමුණු පඬිවරයකු ලෙස හඳුන්වන නමුත් ඔහුගේ ඇති විශේෂ පාණ්ඩිත්‍යයක් මට නොපෙනේ)  ලියූ කථාවක එන චරිතයකි.

03. රාමායණය හා සමාන කථාවක් ජාතක පොතෙහි වේ. එහෙත් ඒ ජාතකයෙහි රාවණා කෙනෙකු නොමැත. (බුදු සරණ පුවත් පතින් මම කියවා ඇත්තෙමි. ජාතකයෙහි නම අමතකය.)

04. තොටගමුවේ සිරි රහල් හිමියන් රාමායණය කියවීම හෝ කියා දීම මිත්‍යා දෘෂ්ටියක් සහ සම්පප්‍රලාපයක් ලෙස හඳුන්වා ඇත.


"නොයෙක්‌ මිස දිටු           ගත්

අයෙක්‌ කව් නළු රස          දත්

පෙර තමතමනු                 ගත්

රාම - සීතා කතා       තෙපලත්" - ගිරා සංදේශය, 108 පද්‍යය


"රාමායණ                      බරත

ඇතුළුව දෙඩුම්             මුවයුත

කීමුත් බස්‌                      නිරත

යුතුව දෙ අඟින් දනුව   නියවත" - කාව්‍යශේකරය


05. රාමායණයෙහි එන රාවණා චරිතය සහ ඔහුගේ නිර්මාණ පමණක් සත්‍ය ලෙස පිළිගෙන අනෙක් සියල්ල අසත්‍ය ලෙස බැහැර කිරීමේ (තමාට උවමනා පරිදි හරවා ගැනීමේ) පදනමක් නැත. [බොහෝ හෙළයන් ගේ මතය මෙය බව පෙනේ.]


රාවණා හෙවත් රවුලා 


වාල්මිකී ගේ රාමායණයේ එන පරිදි රවුලා කව්දැයි මුලින්ම බලමු;

පුලස්ති නම් ඉසිවරයාට දාව නිකශා නම් අසුර මවකගෙන් උපන්නේය. පුලස්ති මහා බ්‍රහ්මයාගේ කල්පිත පුත්‍රයකු බැවින් රාවණා, සුර අසුර දෙපසටම නෑ කම් දක්වයි.


"රාවණා සිය සොහොයුරන් දෙදෙනා සමග උග්‍ර තපසක් පවත්වමින් මහා බ්‍රහ්මයාගේ අවධානය යොමු කරගත්තේය. සියල්ලන් අබිබවා බලය ලබා ගැනීම ඔහුගේ චේතනාව විය. දස හිස් ඇති රාවණා අවුරුදු දහසින් දහසට සිය හිසක් බැගින් කපා හෙළා දස වැනි හිසට ඇත තබත්ම මහා බ්‍රහ්මයා ඔහු වෙත පැමිණියේය. කුමක් නිසා ඔහු පැමිණියේ දැයි විමසූ රාවණාට මහ බඹු මෙසේ කීවේය. 'තොප රෝගයක් බඳුය. රෝගයක් නො සලකා නො හැරිය යුතුය. එබැවින් අවශ්‍ය වරය කුමක් දැයි දන්වනු.' මහබඹු කී වදනට පිළිතුරු දුන් රාවණා, සුරයන් හා අසුරයන් විසින් තමාව පැරදවිය නො හැකි වන ලෙස බලයක් ඉල්ලුවේය. රාවණාගේ ඛේදවාචකය මෙතනින් ආරම්භ වුනු බව පළ වෙයි. එනම් එතරම් දුරට කල්පනා නොකිරීමේ හේතුවෙන් ඔහු මනුෂ්‍යයන් ද බලවත් පිරිසක් බව නොසිතුවේය. දුර දක්නා මහබඹු හනික වරය දුන්නේය. අනතුරුව විෂ්ණුට මනුෂ්‍ය වේශය ගන්වා ඔහු ලවා රාවණා පරාජය කරවන ලදී."

                   - උපුටනය 'මධුර ජවනිකා' - දයානන්ද ගුණවර්ධන


වර ලැබීමෙන් පසු රාවණා, කුවේර හෙවත් වෙසමුණි පලවා හැර ලංකාව අත්කරගත් බවද කියවේ. ඒ අනුව රාවණා සැබෑවටම ලක් වැසියෙක්ද යනු පවා සැකයෙකි.


ඉන් පසුව හේ යක්ෂයන් ගේ බලය මුදුන් පෙත්තටම නැංවූයේය. සුරයන්ට නොයෙක් කරදර පැමිණවීය. ඒ දරා ගත නොහී විෂ්ණු, රාම ලෙස දශරථ රජුගේ බිරියක වන කෞශල්‍යාවගේ  කුස පිළිසිඳ ගත්තේය.


අයෝධ්‍යාවෙහි ඔටුන්න හිමි කුමරු ලෙස වැඩුණු රාමට දශරථ රජුගේ තවත් බිසවක වූ කෛකේයි ගේ දුෂ්ට ක්‍රියාවක් නිසා ඔටුන්න හැරපියා වනගත වන්නට සිදුවිය. ඔහු ගේ බිරිය සීතා ද අඩ සොයුරු ලක්ෂ්මණ ද ඔහු සමග ගියහ.


මොවුහු දණ්ඩක ආරණ්‍යයේ විසූහ. එහිදී ලක්ෂ්මන කුමරු දුටු රාවණ ගේ සොයුරිය සුපර්ණකා ට ඔහු පාවා ගන්නට සිත් විය. විවාහ යෝජනා ක තැන කිපුණු ලක්ෂ්මන යෝජනාව පිලිගන්නවා වෙනුවට ඇයගේ කන්, නාසා කපා දැමීය. මේ අවනඩුව රාවණා ට කී කල්හි ඔහු පැමිණ රාමගේ බිරි සීතා පැහැර ගත්තේය.




මේ ලිපියට මාතෘකා වූ කවි දෙපදය ද මා සොයා ගත්තේ 'මධුර ජවනිකා' පිටපතෙනි. ඒ රාවණා කථාව නමින් හඳුන්වා ඇති වී. ඩී. ද ලැනරෝල් මහතාගේ පද්‍ය පන්තියකි. (පද්‍ය 15කින් සමන්විතය.) 


සඟවන්නේ නැතුව එවග මලනු ව මහ රාම                කුමරු 

මම යන්නේ මල් බෑයෙනි සිරිලක බලනට               විසිතුරු 

සමගින් ඒ විභීෂණ ද හනුමන්තා සමග                     සොඳුරු 

ඇවිදින් ලංකාව තුළට සිත විලසින් ඉතා                    රුසිරු

යනවර රාවණ රකුසා විස්මව එළියට                        බැසලා

වානර කොල්ලන් යන රඟ බලා නුවන් යුග               හැරලා

චාමර කොඩි කුඩ සේසත් විජිනිපත් ද ගෙන               අල්ලා

කේසර සිහ රජෙක් විලස උන්නයි පායට                  නැගිලා

                                   - රාවණා කථාව - වී. ඩී. ද ලැනරෝල්


ඉහත පද්‍ය යන් ගෙන් කියැවෙන්නේ රාවණ සමග සටනට රාම ලක්දිවට පැමිණි අයුරුත් රාවණ දැක්වූ ප්‍රතිචාරයත් වේ. ඉදින් රාම, රාවණ සමග යුධ කොට ඔහු මරා අශෝක වනයේ සඟවා සිටි සීතා කුමරිය බේරා ගත්තේය. 


රාවණා සිටියේ ද? නොසිටියේ ද?

මෙයට නිශ්චිත පිළිතුරක් දිය නොහැකි නමුත් මෙහිදී පක්ෂග්‍රාහී නොවී වඩා විවෘත මනසකින් බැලිය යුතු බව පෙනේ. පුරා විද්‍යාත්මක ශාක්ෂි නොතිබීමෙන්ම යමක් සිදු නොවූ බව අපට පැහැදිලිවම කිව නොහැක.

*රාම රාවණා යුද්ධය බුද්ධ වර්ෂයට පෙර 1844 දී සිදුවූ බව රාජාවලිය පවසයි. 

*රාවණා වෘතාන්තය සම්බන්ධවන ස්ථාන නාම මෙන්ම රාවණා නමින් නම් කල නොයෙකුත් ස්ථාන ද ලංකාව පුරා දැකිය හැක.

- නුවරඑළි දිස්ත්‍රික්කයේ රාවණාගොඩ, සීතා කෝවිල, සීතා එලිය / බදුලු දිස්ත්‍රික්කයේ රාවණා ඇල්ල, රාවණ ගුහාව / රත්නපුර දිස්ත්‍රික්කයේ රාවණා කන්ද, සීතා ඇල්ල, සීතාගල, සීතාවක / ගිනිකොනදිග වෙරළේ මහා රාවණා සහ කුඩා රාවණා කොටු / මහනුවර දිස්ත්‍රික්කයේ උඩුරාවණ, යටිරාවණ, රාවණාතොට යනාදී ස්ථාන  

*රාවණ රජු ගේ බස තෙලගු බවත්, කුමාරතන්ත්‍ර, අර්ක ප්‍රකාශ, නාඩි ප්‍රකාශ, උඩිස්තන්ත්‍ර, ශිවතාණ්ඩව ස්තෝත්‍ර යන ග්‍රන්ථ ඔහු විසින් රචිත බවත් සුළු රාජාවලිය දක්වයි.

*රාවණ ඇල් නමින් වී වර්ගයක් ද ලංකාවේ පැරණි වී වර්ග අතර වේ.

*රාවණ සොයුරු විභීෂණ කැලණියේ වන්දනාවට පාත්‍ර වීම.

*රාම රාවණ කථාව බොහෝ ආසියාතික රටවල ප්‍රචලිත වීම සහ ඒ රටවල (ලංකාවේ හැර) ජන රංගයක් ලෙස මේ කතාව බොහෝ විට ඉදිරිපත් වීම.

(ඉහත තොරතුරු නැවතත් මධුර ජවනිකා පිටපතෙනි.
රාවණ ගේ කේන්ද්‍රය ද එහි දැක්වෙයි. වැලිපටන්විල ශ්‍රී දීපංකර හිමි සංස්කරණය කල මයුර සංදේශයෙන් උපුටා ගෙන ඇත.)
රවණා ගේ කේන්ද්‍රය

කොහොමින් කොහොම හෝ රාවණා වෘතාන්තය රසවත් කතාන්තරයක් බව අප සැම අවිවාදයෙන් පිළිගත යුතුය. ජෝන් ද සිල්වා ශූරීන් කළ 'රාමායණය' නුර්තිය මනරම් ගී රැසකින් යුක්තය.

*සවන්දී පෙර රාම චරිතේ අසව් 

*බන්දා මා දේ දෝ පියානෝ 

*ශ්‍රියා මන මත් වී 

*පත්මේකි පේන මූණා 

*පායන මේ බැද්දෙ තාරපති 

*සීතා මා සිරියා 

රාවණා පිස්සුවක් හදාගෙන කල්පිත ලොවක ජීවත් වෙමින් වාද විවාද වල පැටලී ලේ රත් කර ගන්නවා ද, රාවණා වෘතාන්තය ඇසුරින් නිමවුණු කව් නළු රස ඇසුරේ තුටු වනවා ද යන්න ඒ ඒ අයට  අයත් කාර්යයෙකි. 


කාව්‍ය ශාශ්ත්‍ර විනෝදේන - කාලෝ ගච්ඡති ධීමතාං 

ව්‍යසනේනච මුර්ඛානං - නිද්‍රයා කලහේනවඃ  

රාම විසින් බේරාගත් සීතාට කුමක් වීදැයි මීළඟ ලිපියෙන් විමසමු.