Saturday, September 22, 2012

ලස්සන සවසක මේ වාගේ - පොත් ගැන වැගිරෙන රස ඕගේ


කොළඹ ළමා පොත් සංගමයේ තේමා ගීයේ මුල් පද දෙකයි, ඔය ඉහළින් තියෙන්නේ. මට මේ ගීය සිහිවුනේ ඊයෙ සවස (21/09/2012) මා පොත් සමග ගත කළ සුන්දර සැඳෑව නිසයි. ඒ වෙන කොහේ වත් නොවෙයි, මේ දිනවල කොළඹ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී.

මෙවර යම් විශේෂත්වයන් ප්‍රදර්ශනය තුළ මම අත් දුටුවා. එකක් තමා රාත්‍රී නවය වන තුරු ප්‍රදර්ශනය පැවැත්වීම. තව විශේෂත්වයක් තමයි වට්ටම් ලබා දීමේ  ආකාරය. වෙන වතාවල එක් එක් ප්‍රකාශකයන් තමන්ට රිසි පරිදි වට්ටම් ලබා දුන්නත් මෙවර සෑම ප්‍රකාශකයෙකුම ලබා දෙන්නේ 20%ක වට්ටමක් පමණයි. ඒ වගේම ඒ වට්ටම ස්වීය ප්‍රකාශන වලට පමණක් අදාළ වන්නේ නැහැ. ඕනෑම පොතකට ලැබෙනවා. එක් අතකින් එය හොඳයි. නැත්නම් වඩා හොඳ වට්ටමක් ලබා ගැනීමට අදාළ ප්‍රකාශකයාගේ වෙළඳ කුටියම සොයා යන්නට පාඨකයාට සිදුවෙනවා. මෙවර අතට අහුවෙන තැනකදී පොත ගන්න පුළුවන්. එක අතකට කාලය ඉතිරිකෙරෙන අතර යම් පමණකට තද බදයද අඩුවෙනවා.

වඩාත්ම වැදගත් විශේෂත්වය තමා, "ගුරු ගෙදර". 
සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාව අසල කටුමැටි බිත්තියෙන් යුතු පොල්, අතු වහල ඇති අපේ ගමේ පරණ ගුරු ගෙදර. 
මම යනකොට ලියන මහත්තුරු (ලේඛක) ගුරු ගෙදර ලනු ඇඳ උඩ වාඩිවෙලා බර කතාවක්. කතාව පරිවර්තන සාහිත්‍යය ගැන. ගාමිණී සුමනසේකර මහත්තැන් තමා සභාව මෙහෙයෙව්වේ. සභාවේ හිටි ලියන මහත්තැන් ගෙන්; ටෙනිසන් පෙරේරා මහත්තයවයි, ගාමිණී වියන්ගොඩ මහත්තයවයි, චන්දන මෙන්ඩිස් මහත්තයවයි මා හඳුන ගත්ත. අනෙක් අය නං හැඳින්නෙ නැහැ. ඒ වෙලාවේ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබුණේ, පරිවර්තකයකු පරිවර්තනයක් කිරීමේදී අපේ සංස්කෘතියට ගැලපෙන අයුරින් මුල් කෘතිය වෙනස් කළ යුතුද යන වග. 

ටෙනිසන් පෙරේරා මහත්මා පෙන්වා දුන්නා, මේ දිනවල හතු පිපෙන්නාක් මෙන් බිහි වන පරිවර්තන මුල් කෘතියට සාධාරණයක් ඉටු නොකරන වග. වෙනත් පරිවර්තකයකු විසින් පරිවර්තනය කරන ලද කෘතියක් බලාගෙන වචන කිහිපයක් වෙනස් කර තමන්ගේ නමින් පළ කරන පරිවර්තකයන්ද සිටින බව එතුමන් පැවසුවා. එසේම මුල් කෘතියේ අදහස් වෙනස් කර, එහි ඇති ප්‍රස්තා පිරුළු, රූඩි ආදිය අත් හරිමින්, විටෙක පරිවර්තනය කිරීමට අපහසු යයි සිතන පදාස පවා අතහරිමින් සමහරුන් පරිවර්තන කාර්යයේ යෙදෙන බවද, මෙය මුල් කෘතියට පමණක් නොව පාඨකයාට ද කරන අසාධාරණයක් බව ද එතුමන් ප්‍රකාශ කළා. 

ඉන් පසුව කතා කලේ ගාමිණී වියන්ගොඩ මහත්මායි. එතුමන්ගේ අදහස වුනේ පරිවර්තකයකුට මුල් කෘතිය වෙනස් කිරීමට කිසිඳු අයිතියක් නොමැති බවයි. අපේ සමාජයට නුහුරු යම් වචනයක් මුල් කෘතියේ ඇත් නම් එය මග හරිනවා වෙනුවට පරිවර්තකයා කළ යුත්තේ ඒ වචනය හඳුන්වා දීම බව වියන්ගොඩ මහතා පැවසුවා. එහිදී අලුත් වචනයේ අර්ථය කෘතිය ගලා යාම තුළම පාඨකයාට වැටහෙන්නේ නම් එය වෙසෙසින් පැහැදිලි කළ යුතු නැති බවද  එසේ නොවේ නම් පමණක් පාද සටහනක් මගින් එය පැහැදිලි කරීම සිය ක්‍රමය බවද කී වියන්ගොඩ මහතා පරිවර්තනයට කෘතියක් තෝරා ගැනීමේදී බොහෝ දෙනා නොවැදගත් කාරනා වලට මුල් තැන දෙන බවද ප්‍රකාශ කළා. එනම් අදාළ කෘතිය ජනප්‍රිය වේද යන වග, එය පරිවර්තනයෙන් වැඩි මුදලක් සෙවීමට ඇති හැකියාව, කෘතිය විශාල නම් එය පරිවර්තනය නොකර සිටීම වැනි කරුණු මත යම් කෘතියක් පරිවර්තනය කිරීමෙහි හෝ නොකිරීමෙහි යෙදීම ඔහු පිළිකෙව් කළා. යම් කෘතියක් කියවූ විට එය සිය හදට වැදෙයි නම් පරිවර්තනයට එයම හේතු විය යුතු බව ඔහුගේ අදහසයි. පරිවර්තකයාට මුල් කෘතියෙන් යම් වෙනසක් සහිතව පරිවර්තනය කිරීමට සිදුවන අවස්ථා ද ඇති බව සදහන් කල එතුමන් ඒ සඳහා හොඳ උදා හරණයක් දුන්නා. එක්තරා කෘතියක මෙවැනි වාක්‍යයක් තිබෙනවා. "දැන් ඔබ මේ පොතේ 33 වන පිටුව කියවා අවසානයි." පරිවර්තනයේදී එම වැකිය යෙදෙන්නේ 45 වන පිටුවේදී නම් කිසි පැකිලීමක් නැතිව පරිවර්තකයා එය වෙනස් කළ යුතු බව කී වියන්ගොඩ මහතා එයින් මුල් කෘතියට කිසිදු හානියක් නොවන බව ද, එසේ නොකළ හොත් එම වැකිය අර්ථ විරහිත වන බවද පැවසුවා.   


සාකච්ඡාව නම් දිගින් දිගටම පැවැත්වුනා. ඒත් කාල වේලාව පිළිඹඳ ප්‍රශ්නයක් නිසා මට එතනින් පිට වීමට සිදුවුනා. ප්‍රදර්ශන කුටි රැසක් තිබුනත් තෝරාගත් කුටි වලට පමණක් ගියේ කාලය මද කම නිසයි. ඔය අතර සුනෙර ප්‍රකාශකයන් ගේ ප්‍රදර්ශන කුටියේදී කවි මුතු මල් බ්ලොගයේ නිර්මාතෘ අසංක ආසිරි මල්ලිව හමුවුනා. ඒ සහෘද හමුව නිසා පොත් සැන්දෑව තවත් රසවත් වුනා. ඒ කුටියේ සිටි ළමා පරිවර්තන බෙහෙවින් කරන සමරසිංහ ගුණසේකර මහත්මා වත් ඔහු මට හඳුන්වා දුන්නා.  
ඉතින් රාත්‍රිය උදා වෙද්දී අකමැත්තෙන් වුවත් පොත් සැරිය නවතා, නැවත එන බලාපොරොත්තුවෙන් යුතුව නිවෙස බලා යාමට මට සිදුවුනා.

සටහන
ඉහත සඳහන් කළ කතුවරුන් යමෙක් නොහඳුනත් නම්;

ටෙනිසන් පෙරේරා මහතා ලියු කෘති කිහිපයක්
දැති රෝදෙන් උපන් බුදුන් - කෙටි කතා
අසිරිමත් වැඩබිම - කෙටි කතා
නිදහසේ දරුවාගේ උමතු කතාව - කෙටි කතා
දුට්ඨ ගාමිණී නොමල වගයි
සක්වල දඩයම 
මම චක්‍රවර්ති 
ගින්නෙන් නැගෙන දුම්
මජික්කාරයාගේ කතාව
සත්‍යවාදීන්ගේ මරණ මංචකය
කැළණි නදිය ගලා බසී  
භාවාන්තරය (2011 ස්වර්ණ පුස්තක නිර්දේශ)
අබිරහස් ජීවිත තරණය (2012 ස්වර්ණ පුස්තක නිර්දේශ)

ගාමිණී වියන්ගොඩ මහතා විසින් පරිවර්තිත කෘති
කරුමක්කාර කතාවක් - ගාර්සියා මාකේස්
ඊවා ලූනා - ඉසබෙල් අයින්දේ
හිරු බැස ගිය පසු - චිනුවා අචිබේ
කොලරා කාලේ ආලේ - ගාර්සියා මාකේස්
අනුන්ගේ ලේ - සීමොන් ද බෝවා
වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි - පාවුලෝ කොයියෝ
තැවුල් සිත - ඉසාක් බෂෙවිශ් සිංගර්
යකඩ යුගය - ජේ එම් කොඑට්සි 
කල්කි - ගෝර් විදාල්
රෑ මාතා - කර්ට් වොනෙගට්
ව්‍යවච්ඡේදකයා - ෆෙදෙරිකෝ අන්දහාසි   
විසේකාරී - මාරියෝ වර්ගාස් යෝසා 



සමරසිංහ ගුණසේකර මහතා විසින් පරිවර්තිත කෘති
හියු ලොෆ්ටින් විසින් රචිත 'හිත හොඳ දොස්තර' කතා මාලාවේ සියලුම කෘතීන් 
රෝල් ඩාල් ලියු 'මායාකාරියෝ'
අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන්ගේ දේශනා
ඔහු විසින්ම ලියු කෘති
සිවුර හැර යාම - පර්යේෂණ
මෙන්න අපේ අමුතුසේන 
එහෙම නොවෙයි, මෙහෙම හිතන්න
මේ පොතට නමක් දෙන්න

23 comments:

  1. ඕහ් පොත්ගුල්ලා පොත් ප්‍රදර්ශනේ ගැන ලියලා

    මීට කලින් වතාවකත් සැප්තැම්බර් මගේ පොත් සැරිය ගැන ලිව්වේ ගුල්ලාගේ බ්ලොග් එකේම නිසා මේ සැරෙත් මම ඔන්න මේකෙම ලියනවා .

    මට පොත් ප්‍රදර්ශනේ පිට පිට සෑහෙන්න කාලයක් මග ඇරුණ නිසා ඔන්න මේ සැරේ කොහොමහරි ගියා . මාත් දැක්කා හැම තැනම 20 % රේට් එකනෙ ගියේ .ඒත් මට නියම ඉල්ලමක් පෑදුනා ර්0ජිත් ධර්මකීර්ති මහත්තයගේ පොත් තිබුණ කුටියෙදී එයාගේ පොත් කීපෙකටම 50% ක වට්ටමක් ලැබුණා ඒවා පරණ පිටකවර ඒවුනාට කතා රහ අඩු නෑ නේ මම ඉතින් ඔක්කොම ඩැහැගත්තෙමිය :) සූරිය ප්‍රකාශකයො දැක්ක හැටියේ ගියේ පරණ රහ පොත් සොයන්න ඇම් ඩී මැන්දිස් කියලා මහත්තයෙක් ලිව්ව ජිනපාලගේ දවසක් කියලා රස පොතක් තියේ ඒත් ඒක මුද්‍රණයෙන් ඉවරයි කිව්වා .දයාව0ස ජයකොඩි සාප්පුවේ ඔශින් පරිවර්තන කොටස් තුන තිබ්බත් වෙලාවේ හැටියට ගනන් වැඩි නිසා ගන්න වුනේ නෑ .මම ගියේ පොත් ප්‍රකාශකයොන්ගේ නම් අනුව .ඉස්සර හිටි ප්‍රකාශකොයො ගාවට ගියා . ඒ අතරින් ප්‍රගති , දයාවන්ස ජයකොඩි , ගොඩගේ , ස0න්කෘති ,කුරුලු ,සමයවර්ධන විශේෂයි.මහ බැ0න්කුවේ කුටියෙදී ආර්ථික විවරණිකා කීපයක් ගන්න හොඳටම හිතිලා සල්ලි ගැන හිතලා මග ඇරියා ඒවා ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුලුවන් නිසා .විජේසූරිය ග්‍රන්ථකේන්ද්‍රයේ ගොඩක් සෙනග ඒ නිසා එතැනට ගියේ නැත . ඉන්ග්‍රිසි පොත් ගනන් වැඩි වගේ නිසා ඒවා දිහා වැඩිය බැලුවේ නෑ . මාර්ටින් වික්‍රමසි0හ පොත් එකතුව තිබුණ තැන දි නම් ලොකු සා0කාවක් හිතට දැනුනා අර තිසර ප්‍රකාශකයන්ගේ පැරණි පිට කවර සහිත පොත් නැතිවීම ගැන .ප්‍රගති එකේදී වීර කූඹියා , ලපයා , ලස්සන වසීලිස්සා ,යූශ්කා , පි0තූරකතා පොත් කියවලා තියලා ආවා :)

    මට අලුත් නවකතා ගැන වැඩි අදහසක් නැති නිසා ස්වර්ණ පුස්තක පොත් ගත්තේ නෑ .ඔක්කොම පරණ පොත් ගත්තේ මේ සැරේ කහඳගමගේ මහත්තයගේ පොත් කීපයක් ගන්න පුලුවන් වුනා .සයිමන් නවගත්තේගමගේ බල්ලෝ බත්කති හෙව්වත් ඒ පොත තිබුනේ නැත .ගුරු ගෙදර දැක්කත් එතැන නැවතුනේ නෑ වෙලා නැති නිසා

    ReplyDelete
    Replies
    1. TG is always welcome to write any thing you like in Makaranda.

      මේක හරියට අබිං වගේ. මම ඉතිං ඔන්න අදත් ගියා.
      මමත් දැක්කා ඉඳ හිට තැනක 20%ට වැඩි වට්ටමක් දෙනවා. ඒත් වඩා ජනප්‍රිය පොත් ප්‍රකාශකයෝ ටික සේරම කතාවෙලා 20%ක් තීරණය කරගෙන බවයි පේන්නෙ. ඉංග්‍රීසි පොත් නං පට්ට ගණන් තමා. ඒත් අද පාවුලෝ කොයියෝ ගේ පොතක අරගත්තා. මං හිතන්නේ ප්‍රදර්ශනේට කලින් මිල වැඩි කරලා තමයි පස්සේ ඩිස්කවුන්ට් එක දෙන්නේ.
      'බල්ලෝ බත් කති', නවගත්තේගම ගේ නෙවෙයි, සුගතපාල ද සිල්වා ගේ.

      Delete
  2. අහ් අර පරිවර්තන ගැන කියනකොට මතක්වුනේ .මම පොත් ප්‍රදර්ශනේදි දැක්කා උභයජීව පොතේ අලුත් පරිවර්තනයක් .ඒකේ ඉක්තියැන්දර්ගේ නම තිබුණේ ඉක්චියැන්දර් කියලා . ඉතින් අර පරණ උභයජීව මතක නිසා අලුත් උභයජීව ගන්න හිතුනේ නැත .

    ReplyDelete
    Replies
    1. උභයජීව ඉංග්‍රීසි පොත මා ළඟ තියෙනව. ඒකෙත් තියෙන්නේ 'ඉක්තියැන්දර්' තමා.

      Delete
    2. අනේ මට උභයජීව පොතක් හොයාගන්න ඕන ආයෙත් කියවන්න. තියෙනවා නම් ෆොටෝ කොපියක් හර් ගහගන්න දෙනවද. පොතව්
      පොත හොයාගන්න නෑනේ.

      Delete
  3. Man nam ksleama photo gaththa ekama thamayi...samahara welaawakata inndhagena tikak ahan hitiyaa..

    ReplyDelete
    Replies
    1. අනේ වෙනී, කියල තියෙන දේ තේරෙන්නේ නං නැහැ.

      Delete
  4. හැමෝම 20% දෙන වැඩේ නම් හොඳයි වගේ. නැත්නම් පණ දාගෙන හොයන්න එපැයි පොතේ ප්‍රකාශකයන්ගේම වෙළෙඳ කුටිය. ඉරිදා දිහාට යන්න හිතාගෙන ඉන්නේ ගුරු ගෙදරටත් ගොඩ වැදෙන්නම්කෝ :)

    ReplyDelete
    Replies
    1. හසිත මල්ලි ඉංග්‍රීසි බස හදාරනවා නම්, යන්න Expo Graphic කුටියට. එහි තිබෙනවා ඝනකම් කවරයෙන් යුතුව Collins Cobuild English Dictionary; රුපියල් 490/-. පරණ edition එකක් උනත් ඒ ගානට ගොඩක් වටිනවා.

      Delete
    2. ස්තුතියි ඔත්තුවට, මම බලන්නම් :)

      Delete
  5. අළුත් ලේඛකයන් කීපදෙනෙක්ව හඳුනගන්න කාලෙ. මමත් සම්මානවලට නිර්දේශ වුණු කෘති දිහා වැඩිපුර බැලුවට හිතට හරියන විදිහෙ ශෛලියක් අහු වෙන්නෙ ඉඳහිට වීම තමා ප්‍රශ්නෙ. ආයෙත් යන්න ඕන. ගිය දවසෙ අන්තිම කුටි දිහාවට එනකොට මට හොඳටම මහන්සියි, කලින් දවසෙ රාත්‍රී මුරයක් කරලා, නින්දක් නැතුවමනෙ ප්‍රදර්ශනේ බලන්න ගියෙ. :(
    ගත්තු පොත් ලැයිස්තුවක් දාලා නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔබ දැකුමෙන් අප පින් කල බව දැනිණි.
      මයෙ අප්පේ! කොහෙද, මෙච්චර දවස් හිටියේ?

      ඔන්න මං ගත්තු පොත් ලැයිස්තුව;
      ව්‍යවච්ඡේදකයා -ෆෙදෙරිකෝ අන්දහාසි (පරි. ගාමිණී වියන්ගොඩ)
      විසේකාරි -මාරියෝ වර්ගාස් යෝසා (පරි. ගාමිණී වියන්ගොඩ)
      අබිරහස් ජීවිත තරණය - ටෙනිසන් පෙරේරා
      විචිත්‍ර වීර්යය - සුනේත්‍රා රාජකරුණානායක
      කර්ම අත් පොත - සුනේත්‍රා රාජකරුණානායක
      අපරාධය සහ දඬුවම - දොස්තොව්ස්කි (පරි. රාණි සේනාරත්න රාජපක්ෂ)
      නිරුවත් වානරයා - ඩෙස්මන්ඩ් මොරිස් (පරි. එස්. එම්. බන්දුසීල)
      මනුසත් උයන - ඩෙස්මන්ඩ් මොරිස් (පරි. එස්. එම්. බන්දුසීල)
      රූඩින් - ඉවාන් තුර්ග්නියෙෆ් (පරි. ආනන්ද අමරසිරි)
      මැක්සිම් ගෝර්කි -තෝරාගත් කෙටි කතා (පරි. දැදිගම වී. රුද්‍රිගු)
      ගණිත විනෝදය - වයි. පෙරෙල්මාන්
      සමන්මලී - සුනිල් ජයවීර
      සමරසිංහ ගුණසේකර ලියූ - මෙන්න අපේ අමුතුසේන/ මේ පොතට නමක් දෙන්න/ එහෙම නොවෙයි මෙහෙම හිතන්න/ සිවුර හැර යාම/ සිනාසෙන හාමුදුරුවෝ ළමයින්ට කිවූ කතන්දර
      පලිඟු - සිබිල් වෙත්තසිංහ
      ගොළු දැරිය - චන්ද්‍රරත්න මානවසිංහ (ඉංග්‍රීසි පරිවර්තනය - ගත්තේ බින්දිට)

      English Books
      Paulo Coelho's 'The Devil and Miss Prym
      Collins Cobuild English Dictionary
      Cambridge Advanced Learner's Dictionary
      Advanced English Grammar - Martin Hewings (Cambridge Publication)

      Delete
  6. ව්‍යවච්ඡේදකයා -ෆෙදෙරිකෝ අන්දහාසි (පරි. ගාමිණී වියන්ගොඩ)
    විචිත්‍ර වීර්යය - සුනේත්‍රා රාජකරුණානායක මේ පොත් දෙක කොහෙන්ද ගත්තේ කියන්නකෝ?

    ReplyDelete
    Replies
    1. 'ව්‍යවච්ඡේදකයා' ගත්තේ විදර්ශන කුටියෙන්
      'විචිත්‍ර වීර්යය' නං සරසවි කුටියෙන්

      Delete
    2. ස්තූතියි!!යන්නම ඕන මේ දෙක ගන්න.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මම කොතන හරි දැක්කා, කතලින් ජයවර්ධන ගේ පොත් තිබෙන කුටියක්. නමුත් ඇතුලට ගියේ නැහැ.

      Delete
  8. මාත් අද ලලිත සමය කියෙව්වා.
    ( අපිට කොහෙද පොත් සල්පිල් !!!!!!)

    සිංහල පරිවර්තන කියෙව්වම මට හිතුන දෙයක් තමයි ඔරිජිනල් ලැන්වේජ් එක හෝ අපේ භාශාවෙන් කියවන තරමට සිංහල පරිවර්තන රස නෑ කියන එක.

    සමහර පොත් කියෙව්වට ඒකේ කතාව තේරුම් ගන්න ලංකාවේ ජීවන රටාවට අනුගත වෙන්න වෙනවා. නැත්නම් කිසිම දෙයක් අවබෝධ වෙන්නේ නෑ.
    මම බොහොම කැමති සුනේත්‍ර නෝනගේ පොත් ටික ඔක්කොම වගෙ මේ වෙද්දි කියවලා ඉවරයි. එතුමියගේ පොත් නම් පටන් ගත්තාම ඉවර වෙනකම් නින්ද යන්නෙත් නැති තරම්.
    පොත් ගැන ලියලා අපිව අවුස්සලා හිතට දුක් දෙන්න දුක නැද්ද මන්දා මේ අයට?

    ReplyDelete
  9. මන් ඉතින් මොනවා කියන්නද . බලමුකෝ කීපයක්වත් ගන්න .

    රන්ගි ....තමන්ට වැඩියම හුරු බසින් පොත් ලියවී ඇතිකොට සිංහල පරිවර්තන කියවන්න මහන්සි වන්න එපා . සිංහලෙන්ම ඉගෙන ගත්තු මට නම් වැඩියම රස විඳින්න පුළුවන් සිංහල පොත් . ඉංගිරිසිය හදවතට දැනෙන්නේ නැහැ . හැබැයි අපේ ළමයි ඉංග්‍රීසි පොත් තමයි වැඩිය රස විඳින්නේ . කරන්න දෙයක් නැහැ .

    ReplyDelete
    Replies
    1. ඔව් බින්දි මටත් ඒක තේරෙනවා.
      මම ආගන්තුක රෝගියා කියෙව්වා පසුගිය කාලේ සිංහල පරිවර්තනේ. පොතට කිසිම සම්බන්දයක් දැනුනේ නෑ. ඒත් අපේ භාශාවෙන් පොත කියවද්දි මම ඒ පරණ සොහොන් යුදබිම් අස්සේ ඉන්නවා වගේ දැනුනේ. ෆිල්ම් එක බලද්දිත් ඒ වගේ. සිංහල පොත මම ඔහේ කියෙව්වා බලෙන් වගේ එච්චරයි. මේ කියන්නේ හොඳ නෑ කියන එක නම් නෙමෙයි. ඒත් කවදාවත් නොකියවල තිබ්බ මෝසම් මුහුදේ පිහිනීම කියෙව්වමත් මට ආවේ හිතට සමීප නැති භවක්. ඒත් ඒක ඔරිජිනල් ලැන්වේජ් එක එක්ක කියවද්දි බොහෝම සමීප වුනා.

      ඒත් සමහර පොත් කියවද්දි ඒ පොත් මොන තරම් රසවත් වුනත් අපිට වැටහෙන්නේ නෑ. කොටින්ම ලලිත සමය මට ඒ වගේ. ඒ වුනාට මම දන්නවා ඒ පොත බොහොම වටිනා කතාවක් කියනවා කියලාත්.
      අනික ඉතින් සීමිත සිංහල පොත් ගාණක් කියවල තියෙන මම මේ වගේ කතා කිව්වා කියලා මම හරිම වෙන එකකුත් නෑ. මම කිව්වේ මට දැනෙන දේ.
      ඒ වුනාට අර සුනේත්‍රා නෝනා එක්ක රවුම් ගහන්න නම් මට පොඩ්ඩක්වත් කම්මැලි හිතුනේ නෑ නේ.

      Delete
    2. සුනේත්‍රාගේ රස්තියාදු ගමන් යන්න මාත් ආසයි . පොදු පුරුෂයා නම් එතරම් ඇල්ලුවේ නැහැ . අනෙක් සේරම ලස්සනයි . ආගන්තුක රෝගියා චිත්‍රපටය බැලුවට පස්සේ පොත ලැබුනේ , කියවන්න කම්මැලි හිතුන . චිත්ත රුප මවන්න බැහැ නේ එතකොට . හැබැයි මන් බලපු ලස්සනම චිත්‍රපටයක් .

      Delete
  10. කෝ මේක දැන් ලියන්නෙ නැද්ද?

    ReplyDelete
  11. අනේ කවුරු හරි නට උභයජීව පොතක් ලබා දෙන්න . ෆොටෝ කොපියක් ගහගන්න.

    ReplyDelete