Friday, April 13, 2012

සෝමලතා සහ දරුවෝ

සෝමලතා හැමදාම හිටියේ දරුවන්ගේ ලෝකේ. දරුවෝ හරිම පිවිතුරුයි. ඒ වගේම නිර්දය යි. කියන්න තියෙන දේ මූණටම කියන අය. ආයෙ ලජ්ජා බය ගැන හිතන්නේ නැහැ. මමත් කාලයක් සොමලතාගේ දරුවෙක් ව හිටිය. එක අතකට එහෙම කිව්වොත් ඒකත් වැරදියි. ගතින් දරුවෙක් නොවුනට මා නම් තවමත් සොමලතාගේ දරුවෙක්. මම සොමලතාගේ දරුවෙක් උනේ දෙකේ හෝ තුනේ පන්තියෙදි "කතන්දර දෙකක්" බලපු දවසේ ඉඳලයි.

පුංචි අපට දැන් තේරෙයි වේදිකා නාට්‍යයේ ජවනිකාවක්
කැලණියේ, ධර්මාලෝක කනිෂ්ට විද්‍යාලේ උගෙනුම ලබන අවධියේ දෙවන  හෝ තුන්වන ශ්‍රේණියේදී අපව විද්‍යාලයෙන් වේදිකා නාට්‍යයක් බලන්න එක්කගෙන ගියා. ඒ කිරිබත්ගොඩ YMBA රඟහලට. නාට්‍යය තමා සෝමලතා සුබසිංහ ගේ 'කතන්දර දෙකක්'. ඒ කතන්දර දෙක තමයි, 'පුංචි අපට දැන් තේරෙයි' සහ 'තොප්පි වෙළෙන්දා'. මා නැරඹු පළමු වැනි ළමා වේදිකා නාට්‍යය. (එයට පෙර මනමේ නාට්‍යය නරඹල තිබුන.) ළමා කාලයේ නැරඹු එකම වේදිකා නාට්‍යයත් එයමද, කොහෙද! මොකද වෙනත් ළමා නාට්‍ය නිෂ්පාදකයෙක් දන්න තරමින් හිටියේ නැහැ නේ. (හැබැයි සරත්චන්ද්‍රයන් ළමා නාට්‍ය නමින් නොවුනත් ළමා නාට්‍ය ලෙස සැලකිය හැකි වේදිකා නාට්‍ය කිහිපයක් කර තිබුණා. -රත්තරන්, එලොව ගිහින් මෙලොව ආවා වැනි-. නමුත් මනමේ, සිංහබාහු හැරුණු කොට පාසල් මට්ටමින් ඒවා පෙන්නපු බවක් මතක නැහැ.)

පුංචි අපට දැන් තේරෙයි නාට්‍යයේ හිටියේ  කුකුළෙකුයි, මීයෝ දෙන්නෙකුයි. තව මල් රැසක් නාට්‍යයේ චරිත වල හිටිය. කුකුළා මහන්සි වෙලා තිරිඟු වවල, පිටි කොටලා මොකක් හරි කෑමක් හැදුව. මීයන්ගෙන් උදව් ඉල්ලුවට උන් උදව් කලේ නැහැ. නමුත් කෑම කන වෙලාවේ නං උඩ පැන ගෙන ආවා. අන්තිමට මොකද්ද උනේ කියල හරියටම මතක නැහැ. අනෙක් කතාව අපි හැමෝම දන්න තොප්පි වෙළෙන්දා කතාව. වඳුරෝ රැලක් වේදිකාව දෙවනත් කළා හොඳට මතකයි. වැල් වල එල්ලිලා කෑගහගෙන වෙළෙන්දාගේ තොප්පි ගන්න ආවා. සමහර එවුන් වේදිකාවෙන් බිමටත් පැන්න. හැබැයි පරණ කතාව වගේ නෙමෙයි මේ කතාවේ අන්තිමට වඳුරෝ හැමෝටම වෙළෙන්දා තොප්පිය බැගින් බෙදල දුන්න කියල තමයි මගේ මතකේ තියෙන්නේ.  ඉතින් අපි උඩ පැන පැන හිනා වෙවී මේ කතන්දර දෙක බලපු බව නම් තාම හොඳින් මතකයි.

 ඔය ඉන්නෙ තොප්පි දාගත්තු වඳුරෝ
මම මේ මතකය අලුත්  කළේ සෝමලතා මහත්මියට කරන ගෞරවයක් හැටියට. ඇය තවත් ළමා වේදිකා නාට්‍ය කිහිපයක් කළා. 'හිම කුමරිය', 'ගමරාළ දිව්‍යලෝකෙට' සහ 'රත්මලී' අනෙක් නාට්‍ය. ඇය කියන්නේ ළමයින් සඳහා නිර්මාණ කිරීම ඉතාමත් අසීරු බවයි. මන්ද ළමුන් නිර්දය විවේචකයන්. නාට්‍යය හිතට අල්ලන්නේ නැත්නම් එවලේම ඒ ගැන කියන එක ළමයින්ගේ සිරිත. අම්මල තාත්තල එක්ක නං ඇවිත් ඉන්නෙ, කියයි "ගෙදර යං" කියල. ළමයි කාණ්ඩයක් එකට ඉන්නවා නං නාට්‍යය බැලිල්ල අමතක කරලා ඒ අයගේ ලෝකේ වෙන වෙන වැඩ වලට බහී. ටිකක් ලොකු  අය නං හූ කියයි. ඒ නිසා ළමා නාට්‍යයකදී ළමයාගේ අවධානය නිරන්තරයෙන් රැක ගන්න නිෂ්පාදකයා උත්සුක විය යුතුයි.

මේ ඇගේම වචනයෙන් ළමා නාට්‍ය ගැන,
"නාට්‍යය යනු කරන දෙයක් බලා සිට, කියන දෙයක් අසා රස විඳීමේ මාධ්‍යයකි. මෙම රස විඳීම ආරම්භ වනුයේ වයස අවරුදු එකහමාරත් දෙකත් අතර කාලයේදීය. ළමා මනසේ රසවින්දනය පිළිඹඳ මුල් අවදිය මෙයයි. වයස අවරුදු 4 ත් 5 ත් අතර කාලයේ දී ඔවුහු දෙවැනි අවදියට පිය මනිති. මෙම දෙවැනි අවදියට පිවිසීමට පෙරාතුව රස වින්දනය තුළින් බුද්ධි ප්‍රබෝදය කරා ළමා මනස යොමු කරවීම ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරන ක්‍රමයයි. ඒ සඳහා බොහෝ විට භාවිතා කරනුයේ බෝනික්කන් යොදා නිපදවෙන නාට්‍ය විශේෂයකි. මෙහිදී දෙබස්, සංගීතය, වර්ණ, හැඩ තල ආදිය ඉතා මෘදු විය යුතුය. ඒවා සංස්කෘතික අනන්‍යතාවය සුරක්ෂිත වන අන්දමින් සැකසීම කෙරෙහි අවධානය යොමු වීම ද අත්‍යවශ්‍ය ය. එසේම සිත් ගන්නා සුළු කඩිනමින් වෙනස් වන ආකාරයෙන් නිර්මාණය විය යුතුය. මෙහිදී ඉතා ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු වේ.  මන්ද නිර්මාණය ළමා මනස නොබිදෙන, නොතැලෙන, බියට හෝ කම්පනයට පත් නොවන අන්දමින් ඉදිරිපත් විය යුතු හෙයිනි. එනිසාම ලෝකයේ ඉතාම අමාරුම, භාරදූර කාර්යයක් ලෙස ළමා නාට්‍ය නිර්මාණය හැඳින්වීම සැබැවි." (හිම කුමරිය - පිටපතේ පෙර වදනින් උපුටා ගැනිණි.)

සෝමලතා මහත්මියගේ ළමා නාට්‍ය වල මා දුටු අනෙක් සුවිශේෂීම ලක්ෂණය තමා 'දුෂ්ටයෙක්' (villain) නොමැති වීම. කතාන්තරය තුළදී වැරදි කරන චරිත හමු වන නමුත් අවසානයේ ඒ චරිත සිය වරද වටහා ගෙන නිවැරදි චරිත බවට පත් වෙනවා. සමාජය තුළ කළු සුදු වශයෙන් චරිත බෙදීමක් නොමැති බවත් සෑම චරිතයක් ම අඩු වැඩි වශයෙන් වැරදි කරන බවත් අවශ්‍ය වන්නේ සිය වැරැද්ද වටහාගෙන එය නිවැරදි කරගැනීම බවත් සිය නිර්මාණ තුලින් සෝමලතා දරුවන්ට කියා දෙනවා. හැබැයි ඒ දේශනාත්මක ස්වරූපයකින් නම් නොවෙයි. කතාව නැරඹීමේදී අවිඥානකව දරුවා ඒ බව අවබෝධ කරගන්නවා. ඒ වගේම සමාජයේ කිසිවකුට වෛර කිරීමට පෙළඹෙන්නෙත් නැහැ. 

මා වර්තමානයේ හොලිවුඩයෙන්  බිහිවන Animation ගණයේ ළමා සිනමා පට වල හොඳ රසිකයෙක්. Kung -Fu Panda, Ice Age, A Bugs Life ආදී ඇනිමේෂන් සිනමා පට මගේ ප්‍රියතම ඒවා අතර වනවා. Animation යුගයට පෙර බිහිවූ කාටුන් සිනමා පට වලටත් මම බොහොම කැමතියි.  ඒත් මේ හැම හොලිවුඩ් ළමා සිනමා පටයකම දුෂ්ටයෙක් අනිවාර්යයි.

Name of the Film                                    Villain
Kung-Fu Panda I                                      Tai-Lung (the Snow leopard)
Kung-Fu Panda II                                     Lord Shen (the Peacock)
Ice Age I                                                   The gang leader of Saber Toothed Cats
A Bugs Life                                              The gang leader of the Grasshoppers 
The Incredibles                                         Syndrome
The Jungle Book                                      Shere Khan (the Tiger)
How to Train Your Dragon                      Red Death (the Gigantic Dragon)

Tai-Lung in Kung-Fu Panda I
ඔය ආදී වශයෙන් ඉහත නාමාවලිය තව දිගු කළ හැකියි. මේ කතාන්තර වල තේමාව වන්නේ දුෂ්ටයාට (හෝ දුෂ්ටයන්ට) එරෙහිව නැගී සිටීමයි. සුදු චරිත සියල්ලේම වෛරය දුෂ්ට චරිතය වෙත නාභි ගත වෙනවා. අවසානයේ දුෂ්ටයා පරාජය කෙරෙනවා. (බොහෝ විට මරා දැමෙනවා.) ඉතින් ළමා මනසට එක්තරා අයුරකින් වෛරය හඳුන්වා දීමක් කෙරෙන අතර සිය වෛරය යොමු විය යුත්තේ කොයි දෙසටද යන ඉඟිය ළමයින්ට ලැබෙනවා. ළමයින් මිනිසුන් වන කල සිය නායකයන් විසින් හඳුන්වාදෙන දුෂ්ටයන් වෙත ඒ වෛරය නිතැතින් යොමු වෙනවා. (උදා. සදාම් හුසේන්, කර්නල් ගඩාෆි, මොහමෙඩ් අහමඩිනජාඩ් ආදී..)

හොලිවුඩ් ළමා සිනමා පට අතර මා දුටු එකම දුෂ්ටයෙක් නොමැති ළමා සිනමා පටය Brother Bear පමණයි. මුලදී මිනිසුන්, වලසුන් දුෂ්ටයන් ලෙස දකින අතර වලසුන්, මිනිසුන් දුෂ්ටයන් ලෙස දකිනවා. එහෙත් මේ දෙගොල්ලන්ම අවසානයේ එකිනෙකා අවබෝධ කරගන්නවා. 

A scene from Brother Bear
රූපවාහිනියෙන් නැරඹු, "පුංචි ඉත්තෑවා" බොහෝ අයට මතක ඇති. මතක් කරලා බලන්න එහි දුෂ්ටයෙක් හිටියද කියා. නමුත් කතාව කොයි තරම් අපූරුවට ළමා මනස ග්‍රහණය කරගන්නවද? නිර්මාණ ශක්තිය ඇති, ළමා මනස නිවැරදිව අවබෝධ කරගත් සෝමලතා සුබසිංහ වැනි කළා කරුවන්ට නිර්මාණයක සාර්ථකත්වය දුෂ්ටයකුට එරෙහිව අවුලන වෛරයක් මත පදනම් කරගන්ට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් මේ සත්‍යය අද දවසේ ළමයින් වෙනුවෙන් ලියන කියන, නිර්මාණ කරන කීයෙන් කීදෙනාද අවබෝධ කොටගෙන තිබෙන්නේ?

සෝමලතා මහත්මියට ආයු බෝ වේවා!
Mrs. Somalatha Subasinghe

ඔබ සැමට සුභ නව වසරක් උදා වේවා!          

                         

27 comments:

  1. ලමයින් ඉලක්ක කරගෙන නිපදවෙන බොහෝම නිර්මාණ වලින් ලමා මනස තව තවත් තරඟයට තල්ලු කරනවා කියන එකයි මගේ අදහස. තවද ලමා මනස ඒ නිර්මාණ වලින් මතුකරන වෙලෙඳ පොළට තල්ලු කරනවා.

    එවන් මාධ්‍යයක සිංහල බසින් සීමාන්තික ප්‍රේක්ෂක ප්‍රජාවකට නිර්මාණ කලත් ලමා පරපුරට මෙහෙයක් කර සෝමලතා සුබසිංහයන් ඒ අතින් ඉහළයි. එතුමියට ආයුබෝ වේවා පතන්න මා ද එක්වෙමි.

    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔව්, ඇත්තෙන්ම ඩීන් අයිය කියන දේත් හරිම වැදගත්. දැන් ළමයින් හට විකීණීම තමයි අරමුණු වෙලා තියෙන්නේ. ළමයින්ගේ බුද්ධිය වර්ධනය කරන, සදාචාර ගුණ ධර්ම කියාදෙන කෘති අල්පයි.

      උණු උණුවෙම අදහස් දැක්වීම ගැන ඩීන් අයියට ස්තුතියි. ඔබ ඇතුළු පව්ලේ සැමටත් සුභ නව වසරක් වේවා!

      Delete
  2. මාත් ළමා නාට්‍ය බලලා නෑ වෙන්න ඕනේ පොඩි කාලේ. ඒත් මන් ලොකු කාලේ නිතර ළමා නාට්‍ය බලනවා මගේ පොඩි එවුන්ට පින් සිදු වෙන්න. ( කොහෙද නාට්‍යක් ෆිල්ම් එකක් ආව ගමන් ඒ අය මාව ආක්‍රමණය කරනවා ඒක බලනකම්.) ඉතින් ඔය බොහෝ දේවල් ඇත්තටම ළමා කාලෙටත් වඩා දැන් තමයි මටත් තේරෙන්නේ.
    අර නිර්ධය විවේචනය නම් ඇත්තම ඇත්ත. අපි නම් කොයි තරම් අකැමැති වුනත් ගෙවපු සල්ලි වලට හරියන්න හරි ෆිල්ම් එක ඉවර වෙනකම් ඉන්නවනේ. දැන් පොඩි එවුන් එහෙම නෑ. අපෝ මේක බලන්න මට බෑ වෙන හෝල් එකකට මාරු වෙමු කියනවා. කරුමෙට එහෙම වුනාම ඊලඟ ෆිල්ම් එකෙ ටිකට් එකත් අරන් බලන්න වෙනවා. මෙහේ ෆිල්ම් හෝල් වල අඩුම තරමේ සාලා දහයක්වත් තියෙනවා. මම නම් වෙවුලනවා මේ පොඩි එවුන් අකැමැති වෙයි කියලා හිතනකොටත්. (ගෙවන ක්‍රෙඩිට් කාඩ් එක මගේනේ.)
    සෝමලතා මහත්මියගේ නාට්‍යයක් බලන්න ආසාවෙන් හිටියා ලංකාවට ආ වෙලාවක. ඒත් තවම නම් චාන්ස් එක ලැබුනේ නෑ. ඔය සතුරා ගන මට නම් එහෙම හිතෙන්නේ නෑ. මේ ළඟදි ෆිල්ම් එකක් බලනකොට මට ඇඬුනා. මගේ අවුරුදු හතරේ පොඩි මෑන් කියනවා ආනේ රංගි ආන්ටි අඬන්න දෙයක් නෑ. මේක ෆිල්ම් එකක්නේ. ඒ දේවල් ඇත්තට නෙමෙයිනේ වුනේ කියලා. හික්ස්
    ඔන්න අද කාලේ පොඩි එවුන්

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටියේ සතුරෝ හිටියට මොකද මටත් ඇස වලට කඳුළු එන අවසානයන් තිබුණා. අයිස් ඒජ් චිත්‍රපටියේ ඉන්න සත්තු තුන් දෙනා අන්තිමට පොඩි එකාව මිනිස්සුන්ට බාර දෙනකොට මගේ ඇස්දෙකට කඳුළු ආව.

      සමහර පොඩි එවුන් ඒක කතන්දරයක් විතරක් හැටියට දකින බව ඇත්ත. නමුත් මම කියන්නේ දරුවා නොදැනම යටි හිතට වෛරය පිවිසෙන බවයි. ඕක විග්‍රහ කරන්න තරම් මනෝ විද්‍යාත්මක දැනුමක් නම් මට නැහැ.

      කමෙන්ටුවට රන්ගිට බොහොම ස්තුතියි.

      Delete
  3. // එනිසාම ලෝකයේ ඉතාම අමාරුම, භාරදූර කාර්යයක් ලෙස ළමා නාට්‍ය නිර්මාණය හැඳින්වීම සැබැවි //

    ලෝකෙ අනිත් රටවලනං ඒක ඇත්ත වෙන්නැති.. හැබැයි අපේ රටේ නං ළමයින්ට නිර්මාන කරන එක තමා ලේසිම වැඩේ.. මොකක් හරි ජරාවක් ලියලා, නිශ්පාදනය කරලා එළියට දාන එක විතරයි තියෙන්නෙ.. සෝමලතා නැත්තං සිබිල් වගේ අයට ලැබෙන්න ඕන නිසි ගෞරවය අපේ රටෙන් කවදා ලැබෙයිද.!?

    පලි: A Bugs Life එකේ gang leader ගෙ නම Hopper.. :)

    ReplyDelete
    Replies
    1. හරි හරි, 'හොපර්' තමයි. මට අමතක වෙලයි තිබුනේ.

      ඔය බුරා කියපු ගණයේ ළමා යයි කියා ගන්නා චිත්‍ර පටයක් මේ දිනවලත් ලංකාවෙ තිරගතවෙනවා. කුරුමිට්ටෙක් ද කොහෙද ඉන්නේ.

      Delete
    2. බුරෝ කොහොමද මම හිතන දේම ලියන්නේ....

      ආයෙත් අහලා ලංකාවේ හොඳ ආදායමක් උපයගන්න ඕනේ නම් ඔය වගේ මොකක් හරි හදලා ආන්ඩුව හරහා ස්කෝල වලටත් බලන්න කියලා කිවුවා නම් පරම්පරාව පිටින්ම ගොඩ... ප්ය ජැකාලා සෝමෙලා වගේ අය වගේ

      Delete
  4. සෝමලතා සුබසිංහ මහත්මියගෙ නාට්‍ය බලන්න ලැබිල නෑ මට. ඒවගෙ ආකෘතිය ගැනත් කිසි හැඟීමක් නෑ. නමුත් ළමුන් වෙනුවෙන් වැඩිහිටියන් කරන නිර්මාණ ‍ගොඩක් ළමා නිර්මාණ නොවෙන එක නම් සහතික ඇත්තක්.

    අතුරු කතාවක් - මගේ ඥාති වැඩිහිටියෙක් හම්බවෙන්න මම ගියා මාස කීපයකට කලින්. එයා තමන්ගෙ 2 පන්තියේ ඉන්න දුවව උකුලෙ තියාගෙන 'නින්ජා ඇසසින්ස්' බලනවා. ඒව පොඩි අය නෙවෙයි ලොකු අය වුණත් බැලිය යුතු චිත්‍ර්‍රපටි කියල මම හිතන්නෙ නෑ. නොදැනිම මනස විකෘති වෙනව ඕව බලල. මම ඒක එයාට තේරුම් කරල දුන්න. ඉගෙනගත්තද මන්දා... ඔන්න ඕකයි පුල්මුඩේ තත්ත්වේ...

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ඇවිත් කමෙන්ටුවක් දැම්මට Hare ටත් ගොඩක් ස්තුතියි.
      ඔබ කියන දේ හරියටම හරි. දරුවන්ට සුදුසු දේ තෝරා බේරා දෙන්න දෙමව්පියන් බුද්ධිමත් විය යුතුයි.

      Delete
    2. හරි ...සීමාව ඉක්මවන බව දැක්කම ''දැන් ඔය ඇති ''කියන්න පුලුවන්කමත් දරුවෝ ඒ ගැන තේරුම් ගන්නත් අන්යෝන්ය අවබෝධයයි වැදගත් .

      Delete
  5. මේ කියන ළමා නාට්‍ය නම් බලලා නෑ.

    //කතාන්තරය තුළදී වැරදි කරන චරිත හමු වන නමුත් අවසානයේ ඒ චරිත සිය වරද වටහා ගෙන නිවැරදි චරිත බවට පත් වෙනවා. සමාජය තුළ කළු සුදු වශයෙන් චරිත බෙදීමක් නොමැති බවත් සෑම චරිතයක් ම අඩු වැඩි වශයෙන් වැරදි කරන බවත් අවශ්‍ය වන්නේ සිය වැරැද්ද වටහාගෙන එය නිවැරදි කරගැනීම බවත් සිය නිර්මාණ තුලින් සෝමලතා දරුවන්ට කියා දෙනවා.//

    මෙය නම් හොඳ දෙයක් බව ඇත්ත. එහෙම හැදෙන ළමා මනසක් තිබුනත් අද සමාජය තුලට පිවිසුනාම මූන දෙන්ට වෙන සමහර චරිත දිහා බැලුවාම නම් හිතෙන්නේ, ඒ ළමා මනසේ ඇඳුනු සිත්තම් කොච්චර වෙනස්ද යන බව.

    ReplyDelete
    Replies
    1. කුමාරිහාමි ඇතුළු වලව්වේ සැමටම සුභ අලුත් අව්රුද්දක් වේවා!

      එතකොට ඔබතුමී කියන්නේ සෝමලතා මහත්මියගේ දෘෂ්ටි කෝණයට අනුව ළමයි හැදුවොත් ඒ අයට ප්‍රායෝගිකව සමාජයට මුහුණ දෙන්න බැහැ කියලද?

      Delete
  6. Megamind
    http://en.wikipedia.org/wiki/Megamind

    මෙගාමයින්ඩ් ‍ෆිල්ම් එක ඔය සාම්ප්‍රදායික දුෂ්ට සංකල්පය වෙනස් කරපු චිත්‍රපටයක්. අවසානයේ කිසිම දුශ්ටයෙක් ඉතුරු වෙන්නෙ නෑ. බලන්නකෝ මොකද වෙන්නෙ කියලා!

    සෝමලතා මහත්මියගෙ නාට්‍ය බලන්න මටත් අවස්ථාවක් ලැබිලා නෑ තවම.

    ReplyDelete
    Replies
    1. මෙගා මයින්ඩ් මමත් බලල තියෙනවා. ඒත් විසිතුරු මල්ලි මතක් කල නිසා නැවතත් නැරඹුවා. ඔය චිත්‍රපටය සාම්ප්‍රදායික දුෂ්ට චරිතය තරමක් වෙනස් කරලා තියෙන බව ඇත්තයි. ඒත් පොඩ්ඩක් විචාර පූර්වකව බලන්නකෝ. ඒකෙ කියන්නේ සුදු චරිතයක් වැරදීමකින් දුෂ්ටයෙක් වූ කතාන්තරයක්. කතාවේ අතරමග නියම දුෂ්ටය එනවනේ, අර කැමරා මෑන් (Hal/ Titan).

      අවස්ථාවක් ලැබුනොත් සෝමලතා මහත්මියගේ නාට්‍යයක් බලන්න. ළමා නාට්‍යයක් උනත් කමක් නැහැ.

      Delete
  7. අපිත් ගියානේ කිරිබත්ගොඩ ඔය නාට්‍ය බලන්න . මමත් වේදිකා නාට්‍ය අතේ ඇඟිලි ගණනට වඩා අඩුවෙන් බලා ඇත්තේ . පහු කලෙක අපේ ලොකු දු එක්ක ටවර් එකේ සෝමලතා මහත්මියගේ නාට්‍ය කීපයක් බැලුවා . ඔය දුෂ්ටයා ගැන නම් රන්ගි කිව්වා වගේ ළමයි දන්නවා ඒවා ෆිල්ම් එකේ විතරයි කියල . අලුතින්ම ආව LORAX හරිම ලස්සන කතාවක් . මමත් හරිම ආසයි ඔය කාටුන් බලන්න . විශේෂයෙන් ත්‍රිමාන ඒවා . ලංකාවේ මන් දන්නා තරමින් හඳයා තමයි එකම සහ හොඳම ළමා චිත්‍රපටය . එක්කෝ මගේ වරදක් නැත්නම් චිත්‍රපටවල වරදක් . සෝමලතා සුබසිංහ , සිබිල් වෙත්තසිංහ කියන්නේ අපේ සම්පත්

    ReplyDelete
    Replies
    1. හැබෑටම කොයි කාලේදීද ඔයගොල්ලෝ ඒ නාට්‍යය බලන්න ගියේ?
      කිරිබත්ගොඩ YMBA ශාලාවේ දැන් නං නාට්‍ය පෙන්වන්නේ නැහැ. ඒක දැන් ලී බඩු ලාබෙට විකුණන තැනක් වෙලා. පොදු ජනතාව අගය කල යුතු කළා මාධ්‍යයන්ගෙන් ඈත් වෙනකොට නාට්‍ය කරුවන්ට තමන්ගේ නිර්මාණ පෙන්නන්න ශාලාවක් වත් හොයා ගන්න බැරි තත්වයක් ඇති වෙලා. 78 දී හඳුන්වාදුන් විවෘත ආර්ථිකයේ දිගුකාලීන ප්‍රතිඵලයක් ලෙසටයි මා නම් දකින්නේ.

      දුෂ්ටයා ඉන්නේ චිත්‍රපටයේ පමණක් බව ළමයි දන්න එක ඇත්ත. ඒත් මම කියන්නේ, කතාවට ග්‍රහණය වෙද්දී දුෂ්ටයා කෙරෙහි වැඩිහිටි අප තුල පවා ඇති වන වෛරය නුසුදුසු බවයි. ඔය රාමුවේ චිත්‍රපට දිගින් දිගටම බලනකොට වෛරී හැගීම නොදැනුවත්වම අපේ සිත අභ්‍යන්තරයේ පැල පදියම් වෙනවා. පසුව ප්‍රායෝගික ජීවිතයේදීත් අර රාමුව ඇතුලත පිළිතුරු සොයන්න බොහෝ විට නැඹුරු විය හැකියි.

      සමහර විට මා වැරදි ඇති. නමුත් මට හිතෙන්නේ එලෙසයි.
      සාකච්ඡාවට විවෘතයි.

      Delete
    2. may be same days as you. I was at Helena [ those days Kumari Balika]

      Delete
  8. විචිත්‍ර විවරණයක්. මම සෝමලතා සුබසිංහ කලාකාරියගෙ නාට්‍ය බලලා නැහැ. නමුත් ඒ ගැන ඇය පළ කරන අදහස් දැක්කම මොන තරම් ප්‍රවේශමෙන් ඒ නිර්මාණ කරනවද කියන එක පැහැදිලියි.
    එහෙම විවෘත විචාරයක් ලැබෙන්නෙ නාට්‍යයකදි විතරයි.

    ළමා චිත්‍රපටවලනම් එහෙම වගකීමක් තියෙනවද යන්න සැක සහිතයි. හඳයා බැලුවෙ පොඩි කාලෙදි. ළමයෙක් විදිහට මම ඒකට හුඟක් ආස වුණා. ඒ කිට්ටුවම ආව සුද්දා (මට මතක ඒ නම) එහෙම රසයක් ඉතිරි කළේ නැහැ. ඊට පස්සෙ පෝළිමේ නිෂ්පාදනය වුණු ජාතික සමගිය තේමාව කරගත් නාට්‍ය සහ චිත්‍රපටි නිසා මට යුද්ධෙට යන්නට තරම් හිතුණා.

    ළමා කතා වුණත් එහෙමයි. වගකීමෙන් යුත් ළමා හෝ යොවුන් නවකතා රචකයන් ඉන්නෙ අතළොස්සයි.

    කාටුන් චිත්‍රපට බලන්නට මමත් බොහොම කැමතියි. කතාබහ කරන සතුන් වැනි කල්පිත චරිත වටා නිර්මාණය වීම නිසාම "ළමා" ගනයට දැමුණද, මේ චිත්‍රපට බහුතරය වැඩිහිටියන් සඳහා නිමැවුණු ඒවා වගයි මටනම් හැඟෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පෝස්ටුව අගය කිරීම ගැන නලිනිට ස්තුතියි. හිතට දැනෙන අදහස් පළ කරමින් මමත් ලිපියක් ලිව්වේ හුඟ කාලෙකින්. මෙයට කලින් පළ කළ අවසාන පෝස්ටු තුන හතරම වෙනත් අයගේ දේවල් හඳුන්වාදීමක් පමණයි.

      ඔබ කියන දේ හරි. Animation හෝ Cartoon වූ පලියට ළමා යයි හැඳින්වූවත් ඒ බොහෝ නිර්මාණ තරුණ සහ වැඩිහිටි පරපුර ආකර්ෂණය කර ළමයිනුත් ගෙන්වාගෙන මුදල් ඉපයීම සඳහා නිපදවූ සිනමා පට.

      Delete
    2. මටත් එහෙම හිතෙනවා . සමහර දේවල් වැඩිහිටි මාතෘකා . හැබැයි අද සමාජේ යන විදිහට අපි දන්නේ නැහැ මොකක්ද ලමාකමේ සීමාව . සිප ගැනීම් දර්ශනයක් නැති ළමා කාටුනයක් නැති තරම් . ඒ විදිහට ගත්තොත් ළමයින්ට බලන්න දෙයක් නැති වෙනවා . දුෂ්ටයා ගැන කියනව නම් මමත් කැමතියි දුෂ්ටයාට සමාව දෙන අවසානයක් වත් තියෙනවා නම් . ගැහැණු ළමයි නිසා මට නම් ලොකුවට ඕක බලපාල නැහැ . ඔය දේවල් ළමයාගෙන් ළමයටත් වෙනස් වෙනවා . මගේ දෙන්න නම් තරමක් දුරට ලෝකය ගැන අවබෝදයෙන් ඉන්න බව පේනවා . අපේ ලොකු දුව මේ ලඟදි ''සාර් පවුලේ අවසානය '' ගැන බැලුවා . ඒ වයසේ වෙන ළමයෙක්ට නම් ටිකක් වැඩියි වගේ . ඒත් මෙයා වෙනස් . ළමයා ගැන අපි තරම් දන්නේ කවුද . අම්මලට පුළුවන් වෙන්න ඕන තමන්ගේ ලමයව තේරුම් ගන්න . සම්මත රේඛාවක් අඳින්න අමාරුයි . ඒ ඒ අයට වෙනස් ක්‍රම අනුගමනය කරන්න වෙනවා

      Delete
    3. පුළුල් මනසකින් කටයුතු කරන මවක්!
      දරුවාගේ මානසික මට්ටම හඳුනා ගෙන සුදුසු දේ තෝරා බේරා දෙන්න දෙමාපියන්ට පුළුවන්. ඒ තමා හොඳම විදිහ.
      ඒත් බොහෝ දෙමාපියන් එසේ කරනවාද යන්න තමයි ප්‍රශ්නය. බලන්නකෝ අර Hare දීල තියෙන උදාහරණය.

      Delete
    4. ඇත්ත කතාව බින්දි.. මතකනෙ මං ඔයාගෙ පෝස්ට් එකක ලිවුවා අපේ අම්මයි තාත්තයි අපි පුංචි කාලෙ අපට නිදහස දීලා තිබුන හැටි ගැන, එහෙම වුනයි කියලා අපි වල්වැදුනෙ නෑ නෙවැ.. ළමයෙකුව යම්දෙයකින් ආවරණය කරනවට වඩා අගෙයි පාලනයක් ඇතිව අවබෝධයක් ඇතිව නිරාවරණය කරන එක, එතකොට ළමයා ලොකුවෙද්දි තනියම තේරුම් ගන්නවා, තෝරාබේරා ගන්නවා.. මොකද එතකොට එයා හැදෙන්නෙ විවෘත හා තර්කානුකූල මනසක් එක්ක..

      Delete
  9. අපේ අම්මා, තාත්තා එක්ක ගිහින් බලලා තියෙන චිත්‍රපටි, වේදිකා නාට්‍ය ගණන හරි සීමිතයි. පුංචිම කාලෙ හඳයා බැලුවා මතකයි. මනමේ, කුවේණි , සිංහබාහු වගේ සරත්චන්ද්‍ර මහත්මයාගෙ නාට්‍යත් මතකයි. ඒ වගේම " ටියුශන්, ටියුශන් .. කියන ගීතය තිබුණ විකෘති නාට්‍යය හොඳින් මතකයි. හැබැයි පසු කාලෙක සෝමලතා මහත්මිය ගෙ නාට්‍ය බලන්න ලැබුණෙ නැහැ. බින්දි කියන්නා වගේ මොවුන් අපේ සම්පත්, එතුමියට දිගාසිරි පතමු !!

    ReplyDelete
    Replies
    1. හරී නංගිටත් සුභ නව වසරක් වේවා!
      මමත් අම්ම තාත්ත එක්ක නම් වේදිකා නාට්‍ය බලල නැති ගානයි. මම හුඟක් කුඩා අවදියේ අම්ම එවකට ඉගැන්වූ කැලණියේ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයෙන් මනමේ නාට්‍යය බලන්න ගියා මතකයි. පසු අවධියක, වයස 14/ 15 වගේ කාලේ අම්මට වද කරලා 'විකෘති' බලන්න ගියා. මගේම ආදායමක් උපයන්න ගත්තට පස්සේ මම තමා අම්මව වේදිකා නාට්‍ය බලන්න ගෙනිච්චේ. ගිය අව්රුද්දෙත් අම්මවයි, ලොකු අම්මවයි එක්කගෙන ගියා 'අද වගේ දවසක ඇන්ටිගනී' බලන්න. අපේ තාත්ත නං වේදිකා නාට්‍ය පැත්තට එච්චර උනන්දුවක් දැක්වුවේ නැහැ. එයත් එක්ක නිතරම ගියේ සිනමා උත්සව වලටයි.
      'කුවේණි' නං සරත්චන්ද්‍ර මහත්තයගෙ නෙමෙයි, හෙන්රි ජයසේන මහත්තයගෙ.

      Delete
  10. අනේ මට අමතක උනා. ජයසේන මහත්මයාගෙ හුණු වටයත් බැලුවා පුංචිම කාලෙත්

    ReplyDelete
  11. අයියත් අපේ ගම් පළාතේ නොවැ.... මම සෝමලතා මහත්මියගේ "හිම කුමාරි" නාට්‍යය බලා තියෙනවා. ඒ වගේම මම බලපු ඊලඟ වේදිකා නාට්‍යය වුනේ සයිමන් නවගත්තේගමයන්ගේ සුභ සහ යස

    ReplyDelete
    Replies
    1. හැබෑටම.
      සතුටුයි.
      මං විතරක් නෙමේ අපේ බින්දි එතකොට බුරතීනෝ ඒගොල්ලොත් අපේ ගමේම අය.

      බලල තියෙන වේදිකා නාට්‍ය දෙකම හොඳ ඒවා.

      Delete