Wednesday, August 31, 2011

"පුරවැසි කේන්" සහ තවත් කතා

1895 දෙසැම්බර් මස 28 දින ප්‍රංශයේ පැරිස් නුවර ග්‍රාන්ද් කැෆේ නම් ආපන ශාලාවේ බිම්මහලේ කුටියකදී ලුමියෙර් සහෝදර වරුන් නිපදවූ කෙටි චිත්‍රපට තීරු දොළහක් මහජනයා ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමත් සමග චිත්‍රපට කලාවේ ආරම්භය සනිටුහන් වෙනවා. එදා මෙදා තුර කාලයේ නිපදවුණු සිනමා පට අතරින් ශ්‍රේෂ්ටතම චිත්‍රපට දහය තෝරා ගැනීම ඉමහත් අසීරු කාර්යයක්. මේ කාර්යයට අතගැසූ එක් ආයතනයක් තමා the British Film Institute (BFI ). ඔවුන් මාසිකව පල කරන Sight  & Sound සඟරාව තමා ඊට මුල් වන්නෙ. 1952 වසරේ ආරම්භ කල මෙම කර්තව්‍යය ඔවුන් වසර දහයෙන් දහයට නොකඩවා කරගෙන එනවා. 1952, 1962, 1972, 1982 සහ 1992 යන වසර වලදී ලොව උසස්ම චිත්‍රපට වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් Sight & Sound සඟරාව තේරූ එතෙක් නිෂ්පාදිත හොඳම චිත්‍රපට දහයේ නාමාවලි අප මින් පෙර පළ කල ලිපියෙන් සාකච්ඡා කලා. (තිඹිරි ගෙදර සිට සොහොන් බිම වෙතයි - අපේ ගමන් මග විහිදෙන්නේ ..... ඒ කෙටි මාවත සැරි සරනා අප - මොන සිනමා පට නරඹන්නේ). 


මේ ලිපියෙන් 2002 වසරේ Sight & Sound නිකුත්කළ අදට වලංගු Top Ten ලැයිස්තුව ගැන අපි සොයා බලමු.


2002 වසරේ Sight & Sound සඟරාව එලිදැක්වූ ලොව මෙතෙක් බිහිවූ හොඳම සිනමා පට දහයේ නාමාවලිය


01. Citizen Kane (46 mentions)
02. Vertigo (41 mentions)
03. La Règle du jeu (The Rules of the Game) (30 mentions)
04. The Godfather and The Godfather Part II (23 mentions)
05. Tokyo Story (22 mentions)
06. 2001: A Space Odyssey (21 mentions)
07. The Battleship Potemkin (19 mentions)
07. Sunrise: A Song of Two Humans (19 mentions)
09.  (18 mentions)
10. Singin' in the Rain (17 mentions)
Closest runners-up The Seven Samurai and The Searchers (15 mentions apiece)

Citizen Cane (1941)


Orson Welles (1815-1985) නමැති ඇමරිකානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ වරයා විසින් 1941 දී නිර්මාණය කල මෙම සිනමා පටය ජගත් සිනමා ඉතිහාසහ තුල මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිනමා පටය ලෙස ලොව අග්‍රගන්‍ය විචාරකයන් විසින් සලකනු ලබනව. බොහෝ සිනමා පට අධ්‍යක්ෂ වරුන් සිනමා අධ්‍යයනයට යොදා ගන්නා මෙම චිත්‍රපටය A Film for Filmmakers ලෙස සැලකෙනව.

චාර්ල්ස් ෆොස්ටර් කේන් නමැති ඇමරිකානු ධන කුවෙරයකුගේ ජීවිත කතාව මෙම චිත්‍රපටය තුල දිගහැරෙනවා. කේන් සිය ජීවිත කාලය තුල වරින් වර එක් එක් දේ සොයා යනව. තරුණ ජීවිතයේදී මුලින්ම ජනප්‍රියත්වයත් දෙවනුව ආදරයත් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් දැඩි වෙහෙසක් ගන්නව. ඊළඟට බලය සොයා යනව. එයත් අසාර්ථක වූ තැන ධනයෙන් ජීවිතයට සතුට ලබාගැනීමට වෑයම් කරනව. නමුත් තම ජීවිතයේ යම් තැනකදී යම් කිසිවක් වැරදුනු බවත් එය නිවැරදි කර ගැනීමට දැන් ප්‍රමාද වැඩි බවත් කේන් වටහා ගන්නෙ සිය මරණ මංචකයේදී. බෞද්ධයන් වන අපට නම් මේ කතාව බුදු හාමුදුරුවෝ කියපු ත්‍රිලක්ෂණය සිහි ගන්වනවා. 
"අනිත්‍ය -දුක්ඛ - අනාත්ම" 

මෙහි ප්‍රධාන චරිතය වූ චාර්ල්ස් ෆොස්ටර් කේන් ගේ චරිතය නිරූපණය කරන්නේ Orson Welles විසින්මයි. ඒ වගේම එය ඔහුගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටයයි. ඇකඩමි සම්මාන නවයකට නිර්දේශ උනත් ජයග්‍රහණය කරන්නේ හොඳම පිටපත සඳහා වන සම්මානය පමණයි. ඒ වගේම මෙම සිනමා පටයට තාඩන පීඩන රැසකට මුහුණ දෙන්න සිදුවුනා. එයට හේතුව වුනේ එවකට ඇමරිකාවේ ජීවත් වූ William Randolf Hearst නමැති ධන කුවේරයාගේ ජීවිත කතාවට මෙම සිනමා පටය සමානත්වයක් දැක්වීමයි. ඔහුගේ බලපෑම මත වරක් MGM චිත්‍රපට සමාගමේ ප්‍රධානියා Citizen Cane ප්‍රදර්ශනය භාර RKO Pictures ආයතනයට මෙම සිනමා පටයේ සියලු පිටපත් විනාශ කර දැමීමට ඇ.ඩො.805,000/- ප්‍රධානය කිරීමට සූදානම් වෙනවා. ලෝක සිනමා ලෝලීන්ගේ වාසනාවට RKO Pictures එය පිළිගන්නේ නැහැ.
ඔය හේතු නිසා මේ චිත්‍රපටය මුල් කාලීනව මූල්‍යමය වශයෙන් මෙන්ම ඇගයීම් පක්ෂයෙනුත් අසාර්ථක වෙනව. හැටේ දශකයේදී තමයි කාගෙ කාගෙත් ඇස් යළිත් මේ කෘතිය දෙසට යොමුවෙන්නෙ.


සිංහල විශ්වකෝෂයේ "චිත්‍රපටය" යන මාතෘකාව යටතේ මේ සිනමා පටය ගැන මෙසේ සඳහන් වෙනව.
"ඇමරිකානුවන්ගේ නිස්සාර ජීවන රටාවත් පුහු වටිනාකමුත් නිර්දය විචාරයට ලක් කරන සිටිසන් කේන් ඇමරිකානු මතවාදයට ප්‍රබල අභියෝගයක්ද එල්ල කරයි. මේ චිත්‍රපටයෙන් විවරණය වන්නේ භෞතික ජයග්‍රහණත් අධ්‍යාත්මික සුවයත් අතර පවතින නිරන්තර ගැටුමයි."

කැමරාකරණය, සංස්කරණය ආදී තාක්ෂණික පාර්ශවයෙනුත් මේ චිත්‍රපටය සුවිශේෂී. ඒත් ඒ හැම දෙයක්ම මෙහි සාකච්ඡා කරන්න ගියොත් මා වැනි පිච්චර් පිස්සන් නොවන මගේ මිතුරන්ට මේ ලිපිය එපා වේවි. ඒ නිසා දැන් අපි ඊළඟ සිනමා කෘතිය වෙතට හැරෙමු.

VERTIGO - බමනය (1958) 

ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය සිනමාවේ පතාක යෝධයකු වූ ඇල්ෆ්‍රඩ් හිච්කොක් විසින් නිර්මාණය කල මෙම සිනමා පටයට පාදක වන්නේ The Living and The Dead නමැති ප්‍රංශ නවකතාවක්. මෙය බොහෝ විට සඳහන්වන්නේ Hitchcock 's Masterpiece ලෙසයි. මනෝවිද්‍යාත්මක පදනමක් ඇති මේ කතාවේ ප්‍රධාන චරිතය වන්නේ acrophobia නමැති මානසික රෝගයෙන් පෙලෙන විශ්‍රාමික පොලිස් රහස් පරීක්ෂක වරයෙක්. 

ලොව පුරා සැකසුනු හොඳම චිත්‍රපට නාමාවලි බොහොමයක මුල් සිනමාපට අතර Vertigo රැඳෙනවා. මේ කෘතියටත් මුලදී නිසි ඇගයීමක් නොකෙරුණු අතර එහි වටිනාකම වටහා ගන්නේ ප්‍රන්ශුවා ට්රූෆෝ ඇතුළු ප්‍රංශ නව රැල්ලේ සිනමා කරුවන් විසිනුයි. තමන් විසින් නිපදවූ හොඳම සිනමා පටය ලෙස හිච්කොක් මෙය සලකනවා.

THE RULES OF THE GAME - ක්‍රීඩාවේ නීති (1939)
ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ්‍ය ජීන් රෙනුවා (Jean Renoir ) විසින් අධ්‍යක්ෂණය කල මෙම සිනමා පටය ට්රූෆෝ විසින් හැඳින්වූයේ චිත්‍රපට වල චිත්‍රපටය (The Film Of Films ) ලෙසයි. The Rules Of The Game,1952 සිට මේ දක්වා Sight & Sound , Top Ten නාමාවලි සියල්ලෙහිම රැදී සිටිනවා.

දෙවැනි ලෝක යුධ සමය ආරම්භය ආසන්නයේ නිපදවුණු මෙම සිනමා පටය ප්‍රංශ ඉහළ පැලැන්තිය සදය උපහාසයට ලක් කිරීම හේතුවෙන් එකල පරිභවයට පාත්‍ර වුනා. ප්‍රංශ රජය විසින් මෙම කෘතිය තහනම් කිරීමට තරම් මේ ප්‍රතිචාර දරුණු වූ බවයි පැවසෙන්නේ. යුධ සමයෙන් පසුව තමා යළිත් සිනමා විචාරකයන්ගේ ඇස් මේ දෙසට යොමු වන්නේ. එයින් පසු ලොව මෙතෙක් බිහිවූ හොඳම සිනමා කෘති අතරට මෙයද එක් වෙනවා.


THE GOD FATHER I (1972)
THE GOD FATHER II (1974)
මාරියෝ පුසෝ විසින් 1969 දී රචිත the God Father නම් නව කතාව ඇසුරින් ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටද්වය ඇමරිකා-ඉතාලි පාතාල පවුලක් පිලිබඳ කතාන්තරයක්. පළමු චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව Marlon Brando විසින් රඟපානවා.

මීට පෙර බිහිවූ පාතාල සිනමා පට එම පාතාල චරිත දෙස පිටස්තරව බලන ඇසකින් කල නිර්මාණ වූ අතර ඊට ප්‍රති පක්ෂව the God Father පාතාල සාමාජික පවුලක ඇසින් ලෝකය දෙස බලන ආකාරයට නිර්මාණය වූවක්. සුප්‍රකට සිනමා අධ්‍යක්ෂ්‍ය Stanley Kubrick පවසන ආකාරයට ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිනමා කෘතිය මෙයයි. ඇමරිකන් චිත්‍රපට ආයතනය විසින් මෙතෙක් බිහිවූ හොඳම ඇමෙරිකානු චිත්‍රපට අතර මෙය Citizen Caneට පමණක් දෙවැනි වන නිර්මාණයක් ලෙසයි සලකන්නේ. 2002 Top Ten නාමාවලියට අයත් සිනමා පට අතර අප මිතුරන් බොහෝ දෙනෙක් මේ සිනමා පට ද්වය නම් නරඹා ඇති.

තෝකියෝ වෘතාන්තය (1953)
ඔසු යශුජිරෝ විසින් නිර්මාණය කරන ලද "තෝකියෝ මොනොගතරි" නම් වූ මෙම සිනමා පටය තම දූ දරුවන් බැලීමට තෝකියෝ නගරයට පැමිණෙන වියපත් යුවලකගේ අනුවේදනීය කතාවක්. කාර්ය බහුල බව නිසා සිය දූ දරුවන්ගෙන් බලාපොරොත්තු වූ සෙනෙහස සහ රැකවරණය නොලැබ මහලු යුවල නොදන්නා නගරයක තනිවන අයුරු එහි මනාව නිරූපණය කර තිබෙනවා. මේ කෘතිය ඔසු යශුජිරෝගේ හොඳම චිත්‍රපටය ලෙස සැලකෙන අතර Sight & Sound, Top Ten නාමාවලිය දෙවතාවක් නියෝජනය කරනවා.
ජපන් ජන ජීවිතය සහ ජපන් සිනමාව පිලිබඳ විශේෂඥයකු වූ ඩොනල්ඩ් රිචී තෝකියෝ වෘතාන්තය පිලිබඳ මෙසේ පවසනවා.
"The dissolution of the family, the transience of this world, the disappointment of life - this is the theme of Tokyo Story"  


2001: A SPACE ODYSSEY (1968)
ඔබ අප කව්රුත් හොඳින් හඳුනන 2001: අභ්‍යවකාශ වීරකාව්‍යය මෙයයි. Stanley Kubrick විසින් මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කල අතර කතා රචනය Arthur C. Clarke සමග Stanley Kubrick. මෙය ආතර් සී. ක්ලාර්ක් විසින් ලියූ 2001 විද්‍යා ප්‍රබන්ධ නවකතාව ඇසුරින් කල සිනමා කෘතියක් ලෙස බොහෝ දෙනා සිතා සිටියත් ඇත්තටම සිදුවූයේ චිත්‍රපට කතාවත් නවකතාවත් එකවර ලියා චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹන විට නව කතාවද එළි දැක්වීමයි. මානව පරිනාමය, තාක්ෂණික දියුණුව, නිර්මාපිත බුද්ධිය (Artificial Intelligence) සහ පාරභෞම ජීවය (Extraterrestrial Life) යන තේමාවන් මේ සිනමා පටයේ සාකච්ඡාවට භාජනය කෙරෙනවා.


මෙම සිනමා පටය එහි විද්‍යාත්මක නිරවද්‍ය භාවය පිළිබඳව කීර්තියක් දරා සිටින අතර නූතන යුගයේ විශේෂිත රංග උපක්‍රම (Special Effects) භාවිතයේ ආරම්භක සිනමා කෘතිය ලෙසත් සැලකෙනවා. එමෙන්ම එහි භාවිත සංගීතයද විශේෂයෙන් ඇගයෙනවා. The Moving Arts Film Journal නමැති on-line සඟරාව 2001: A Space Odyssey චිත්‍රපටය මෙතෙක් ලොව බිහිවූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස නම් කර තිබෙනවා. එසේම මෙම සිනමා පටය ඔබ විසින් නැරඹිය යුතුම සිනමා පටයක් (a must watch movie ) ලෙස නම් කරන්නට මා කැමතියි.


THE BATTLESHIP POTEMKIN (1925)
1905 වසරේදී පොටෙම්කින් නමැති යුධ නෞකාව එවකට පැවති සාර් පාලනයට එරෙහිව කැරලි ගැසීමේ සිද්ධිය මුල් කරගෙන ශ්‍රේෂ්ට රුසියානු සිනමා කරු සර්ජි අයිසන්ස්ටයින් විසින් නිර්මාණය කල ලොව වඩාත්ම කතා බහට ලක්වූ නිහඬ සිනමා පටයයි මේ. Sight & Sound සඟරාව විසින් වසර දහයෙන් දහයට පලකල හොඳම සිනමා පට දහය අතර සැමදා රැඳී සිටි මේ චිත්‍රපටය සෝවියට් සමූහාණ්ඩුවේ ප්‍රචාරාත්මක (propaganda) සිනමා පටයක් ලෙසත් හැඳින්වෙනවා.

සිංහල විශ්වකෝෂය මේ සිනමා කෘතිය පිළිබඳව දක්වන අදහස්;
"නිලධාරිවාදයට එරෙහිව පොටෙම්කින් නෞකාවේ නාවුකයන්ගේ කැරලි ගැසීමත් කැරලි නායකයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඒකරාශී වූ ඔඩෙස්සා නගර වැසියන් කෘර ලෙස ඝාතනයත්, සෙසු යුද්ධ නෞකාද පොටෙම්කින් නෞකාව සමග එක්වීමත් පිලිබඳ පුවත විෂය කරගත් මේ චිත්‍රපටය ග්‍රීක දු:ඛාන්තයක මෙන් අංක පහකින් යුක්ත විය. (1. මිනිසුන් සහ පනුවන් 2. නැව් තට්ටුවේ සිද්ධිය 3. මළවුන්ගෙන් ආයාචනයක් 4. ඔඩෙස්සා පඩිපෙළ 5. බලඇණිය හමුවීම )"

බෝල්ෂෙවික් විප්ලවයේ දස වන සංවත්සරය සැමරීම සඳහා මෙම සිනමා පටය නිර්මාණය කරන ලදී.

SUNRISE: A SONG OF TWO HUMANS (1927)
මෙය ජර්මානු ජාතික සිනමා අධ්‍යක්ෂ්‍ය වරයකු වූ F. W. Murnau විසින් නිර්මාපිත ඇමරිකානු නිහඬ සිනමා පටයක්. 1929 දී පැවති ප්‍රථම ඇකඩමි සම්මාන උළෙලේදී මේ චිත්‍රපටය අනන්‍ය, කලාත්මක නිෂ්පාදනය (Unique and Artistic Production ) වෙනුවෙන් සම්මානයක් දිනාගන්නවා. 

අනියම් පෙමක් හේතුවෙන් පෙම්වතියගේ උපදෙස් මත සිය බිරිඳ මරා දමන්නට සැරසෙන තරුණයකු එය කල නොහැකිව යලිත් ඇය හා පෙමින් වේලෙන කතාන්තරයක් මෙහි දිග හැරෙනවා. සිනමා පටය මුළු රාත්‍රිය පුරා දිවයන අතර හිරු උදාවත් සමග අවසාන වෙනවා. 

1989 දී මෙම සිනමාපටයේ සංස්කෘතිකමය, ඉතිහාසාත්මක සහ සෞන්දර්යාත්මක සුවිශේෂී බව සලකා එක්සත් ජනපදයේ Library of Congress විසින්  ජාතික චිත්‍රපට ලේඛනාගාරයේ අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කල යුතු සිනමා පටයක් ලෙස නිර්දේශ කරනවා.

2002 Top Ten ලැයිස්තුව තුල මෙම සිනමා පටය පොටෙම්කින් යුධ නෞකාව සමගින් සම ඡන්ද සංක්‍යාවක් ලබා හත් වෙනි තැන රැඳෙනවා.


8½ (1963)

 

ඉතාලි ජාතික විශිෂ්ට සිනමා අධ්‍යක්ෂ Federico Fellini විසින් නිර්මාපිත මේ fantasy ගනයේ චිත්‍රපටය ඔහුගේ අටහමාර වන චිත්‍රපටය බැවින් එය "8½" ලෙස නම් කර තිබෙනවා. මීට ප්‍රථම ඔහු කල නිර්මාණ අතර වෘතාන්ත චිත්‍රපට හයක් වන අතර කෙටි සිනමා කොටස් දෙකකුත් වෙනත් අධ්‍යක්ෂවරයෙකුත් සමග කල සිනමා නිර්මානයකුත් වනවා. අවසනට සඳහන් කල තුනම භාග ලෙස ඔහු සලකන බැවින් ඊළඟ සිනමාපටය අටහමාර වන සිනමා පටයයි. 

මෙය චිත්‍රපටයක් හැදීම පිලිබඳ චිත්‍රපටයක්. එක් සුප්‍රසිද්ධ ඉතාලි සිනමා අධ්‍යක්ෂ වරයකු සිනමා පටයක් නිර්මාණය කරන අතර සිය නිර්මාණය පිලිබඳ විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් (director 's block ) තව දුරටත් ඉදිරියට යා නොහැකි තත්වයකට පත්වනවා. ඒ අතරතුර කල්පිතය හා යතාර්ථය අතර දෝලනය වන ඔහු මේ දෙක අතර වල්මත් වී තමා වටා සිටින අනෙකුත් චරිතද ඒ තුල අතරමං කරනව.

කළු සුදු සිනමා පටයක් වන මෙය ඒ වසරේ හොඳම විදේශීය චිත්‍රපටය සහ හොඳම ඇඳුම් නිර්මාණය වෙනුවෙන් පිදෙන ඇකඩමි සම්මාන දිනාගන්නවා. එමෙන්ම 1963 වසරේ මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී Grand Prize සම්මානයද හිමිවෙනවා. ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේදීද විශ්ව සම්භාවනාවට පාත්‍ර වනවා. 1972 , 1982 , 2002 යන වසරවල Sight & Sound , Top Ten ලැයිස්තු තුනටම මෙම සිනමා පටය ඇතුලත් වනවා.

SINGIN' IN THE RAIN (1952)
හොලිවුඩ් පුරය නිහඬ සිනමා පට වෙතින් කතා නාද සිනමා පට වෙත යොමුවූ සංක්‍රාන්ති සමය අලලා නිර්මාපිත මෙම සිනමා පටය සංගීතමය ප්‍රහසනයක්. Gene Kelly සහ Stanley Donen විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමා පටය ලොව මෙතෙක් බිහිවූ හොඳම සංගීතාත්මක සිනමා පටය ලෙස සැලකෙනවා. 

මෙයට පෙර 1982 දීත් මෙම සිනමා පටය Sight & Sound , Top Ten ලැයිස්තුවට ඇතුලත් වුනා. සිනමා ප්‍රතිචාර සහ තොරතුරු පිලිබඳ අන්තර්ජාල පිටුවක් වූ Rotten Tomatoes හි මෙම සිනමා පටයට 100% ක් ම හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා.

21 වන සියවස තුළත් සිනමාව පෙරටුගාමී කලාවක් ලෙස වැජඹෙනවා.  එහෙත් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිනමාපට තේරීමේදී බොහොමයක් නාමාවලි වල දක්නට ලැබෙන්නේ අවම වශයෙන් මීට වසර තිහකටවත් පෙර නිර්මාණය වූ සිනමා කෘති. මීළඟ Sight & Sound , Top Ten නාමාවලිය 2012 වසරේදී ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ ප්‍රවණතාවයේ යම් වෙනසක් වේවිද කියා එවිට අපි බලමු.

39 comments:

  1. වෙහෙස මහන්සි වෙලා දිගු ලිපියක් විස්තරාත්මකව සැපයීම ගැන ඔබට තුති. කතාව ගැන හරි දැනගෙන හිටියෙ 2001 ගැන විතරයි, must watch ! කියලා ඔබ කියනවා නම් කෙසේ හෝ බලන්න ඕනෙ කියලා මටත් හිතුනා. ඔබ එවූ ලින්ක් එකෙන් the Sound of Music බැළුවා. අනේ ඒකට නම් ගොඩාක් පින්, මම වගේම අපේ දූත් ඒකට ආසයි වගේ. ස්තූතියි නැවතත්.

    ReplyDelete
  2. හුඟක් මහන්සි වෙලා තොරතුරු හොයාගෙන කළ පෝස්ට් එකක්. බොහොම ස්තුතියි.
    ගෝඩ් ෆාදර් බලන්න ගත්තට මට ආස හිතුණෙ නෑ. සමහරවිට මම පොත කියවලා තිබුණු නිසා වෙන්ඩැති. පොත ඊට වඩා හොඳයි හිතුණා. වර්ටයිගො බලන්ඩත් ආස හිතුණෙ නැහැ. (මගෙ රසයෙ බරපතල අවුලක් වගෙ)
    ආයෙ ඉතින් ස්පේස් ඔඩිසි තමා. අනික් ඒවා බලා නැත.
    ඇත්තටම මේ හැම එකක්ම පරණ චිත්‍රපටිමනෙ. :(

    ReplyDelete
  3. දෙය්යන්ගේ පිහිටයි මන් නම් පොත කියවල නැති නිසා ඔය ගෝඩ් ෆාදර් බැලුව . අනික් එව්වා බලා නැත . ඉදිරියේදී බලමු . මේ ලිපි නිකන් ලියන්න බැහැනේ . සෑහෙන්න කරුණු සොයන්න මහන්සි වෙන්න ඇති . අඩු ගානේ අපි මහලොකු චිත්‍රපට නරඹන්නෝ කියල හිතන් හිටි බැලුම් බෝලේ වත් පිපිරුවනේ . හරියට පාවුලෝ කොයියෝ ගේ පොත් කියෙව්වද අහල මගේ පොත් ෆැන්ටසිය බිඳ දැම්ම වගේම . මාතෘකාවෙන් පිට ..ඒත් මතක් වුන වෙලාවේ කියන්නේ . ඉංග්‍රීසියෙන් එයාගේ පොත් තිබුන KL වල . ගත්තේ නැහැ . එකක් ඒ වෙනකොට කෙල්ලෝ බදාගෙන තිබ්බ පොත් ටික දැක්කම ආයේ මට ඉඩක් තිබ්බේ නැහැ . අනික ඉංගිරිසියෙන් ඔය බරපතල එව්වා කියවල බලන්න තරම් ඉවසීමක් නැහැනේ . ඔන්න ඒ පොත් ගැන ලියන්න පෝස්ට් එකක් .

    දැන් චිත්‍රපටි ...ඊ ළඟ ලිස්ට් එක එන්නේ එන අවුරුද්දේද . දැන් නම් හොලිවුඩ් චිත්‍රපටි සෑහෙන්න බැලෙනවා . ඒ ලිස්ට් එක දිහා බලලවත් සැනසෙන්න හැකි වෙයිද . ආතර් සි ක්ලාර්ක් මහත්තයගේ ෆිල්ම් එකවත් බැලුවේ නැති හැටි

    ReplyDelete
  4. @හරී පිණිපළස
    ගුරුතුමී මුලින්ම ඇවිල්ල අදහස් පල කිරීම ගැන බොහොම ස්තුතියි.
    ඇත්තටම මේ ලිපියට සෑහෙන්න මහන්සි උනා. නිකන් උඩින් පල්ලෙන් කරල දාන්ඩ හිතුනෙ නෑ.
    Sound of Music බලන්න හරි රසවත් සිනමා පටයක් තමා. ඔය කිව්වම මතක් උනේ. අපේ සහෘදයෝ ඇහුවනෙ ඇයි ඒක වයස 14 දී බලන්න ඕනේ චිත්‍රපටි පනහට ඇතුලත් නොවුනේ කියල. මේ ලිපිය කරගෙන යද්දී මට හමු වුනා ඇමරිකානු සිනමා ආයතනය විසින් පිළියෙළ කල මෙතෙක් නිර්මාපිත හොඳම ඇමෙරිකානු චිත්‍රපට සියයේ ලැයිස්තුව.http://en.wikipedia.org/wiki/AFI%27s_100_Years..._100_Movies_(10th_Anniversary_Edition) එහි 1998 දී 55 වෙනි තැනත් 2007 දී 40 වෙනි තැනත් තමයි එයට හිමිවෙන්නෙ.

    2001: අභ්‍යවකාශ වීර චාරිකාව මෙතනින් බා ගන්න පුලුවන්ද බලන්න.
    http://thepiratebay.org/torrent/4625075

    ReplyDelete
  5. @නලිනි චන්දිමා
    වෛද්‍ය තුමී කාර්ය බහුලත්වය මැද්දේ මේ පැත්තේ ඇවිත් මේ දිග ලිපිය කියවා අප දිරිමත් කිරීමට අදහස් පල කිරීම ගැන පළමුකොටම ස්තුතියි.
    මේ ලිපිය අගෝස්තු මස ඇතුලත පල කරගන්න දරපු උත්සාහය නිසා ඔබතුමීගේ බ්ලොග් එක පැත්තෙ ගිහින් අලුත් ලිපිය කියෙව්වත් අදහස් පල කරන්ඩ බැරි උනා.
    ඔය ලැයිස්තුවෙන් මමත් බලල තියෙන්නෙ කිහිපයයි.
    Citizen Cane / God Father I & II / 2001: A Space Odyssey / Battleship Potemkin / Sunrise : A Song of Two Humans
    අනෙක් ඒවා හෙමිහිට බාගෙන බලන්ඩ ඕනෙ.

    ReplyDelete
  6. @බින්දි
    හුඟක් ස්තුතියි කමෙන්ටුවට.
    අනේ ඉතින් ඔයා විතරක් නෙමේ මමත් ඔතනින් බලල තියෙන්නෙ කිහිපයයි. ඔයාගේ ෆැන්ටසි මම දිගට හරහට බිඳලා දාන එක මහ කැත වැඩක්නෙ. අනේ ඒ නොදැන කල වරදට සමාවෙන්ඩ. පාවුලෝ කොයියෝගේ පොත් වලින් මමත් කියවල තියෙන්නෙ තාම එකයි. උන්නැහැගේ පොත් ගැන බ්ලොග් පෝස්ට් එකක් ලියන්ඩ නං අඩුගානේ පොත් දෙක තුනක් වත් කියවල ඉන්ඩ ඕනෙ. ඉස්සරහට බලමු. වරක් එතුමාගේ බ්ලොග් එකේ පල කළා ප්‍රේමයෙන් පරාජිතවූවන්ගේ ප්‍රඥප්තිය. ඒක මට කොච්චර රස වැටුනද කිව්වොත් මම එය එවලේම පරිවර්තනය කරන්ඩ පටන් ගත්ත. නමුත් කම්මැලි හිතිලා බාගෙට නැවැත්තුව. ඒක සම්පූර්ණ කරල ළඟදිම මෙහි පල කරන්නන්කෝ. එයාගේ කෘති වල ඉංග්‍රීසි පරිවර්තන ටිකක් සරලයි. කියවන්ඩ ලේසියි. මේ දවස්වල මම තව පොතක් කියවගෙන යනව. The Witch of Portobello.

    2001 නං බලන්ඩ වටින චිත්‍රපටයක්. සපතේරු උන්නැහැ, බුරා, බස්ස එහෙම බලල ඇති. අපි බලමුකෝ ඒගොල්ල මොකද කියන්නෙ කියල.

    ReplyDelete
  7. ඇත්තම ඇත්ත කියනවානං මට 2001 ෆිල්ම් එක වැඩිය ඇල්ලුවේ නෑ, ඇයිද මන්දා.. බොහෝවිට මට තියෙන ලෙඩේ වන චිත්‍රපටයට පෙර පොත කියවා තිබීම වෙන්න ඇති..

    මම මහා ලොකු චිත්‍රපට පිස්සෙක් නං නෙවේ.. මෙතනින් මං හරියට බලලා තියෙන්නෙ 2001 හා Battleship Potemkin විතරමයි.. Battleship Potemkin බැලුවෙත් TV එකේ යනකොට අහම්බෙන් අහුවෙලා.. Citizen Cane හා God Father දෙකම බලන්න අරගෙන කම්මැලිකම නිසා අතඇරලා දැම්මා.. Singing in the Rain හොද ෆිල්ම් එකක් කියලා බොහෝ කාලෙකට කලින් ඉදන්ම කියවලා තිබුනා, ඒක download කරලා බලන්න ඕන කම තිබ්බත් මොන හේතුවක් නිසාදෝ මන්දා තවමත් වුනේ නෑ..

    ෆිල්ම් ගැන සබ්ජෙක්ට් එකේදි මම බොහෝම පිටුපසින් ඉන්නෙ.. :(

    ReplyDelete
  8. @බුරා
    මේ චිත්‍රපට දහය අතර ඔබ ප්‍රිය කරන චිත්‍රපට නොමැති වීම ඔබේ රසවින්දනයේ අඩු පාඩුවක් කියල මං නං හිතන්නේ නෑ. මොකද ඔය චිත්‍රපට විශාරදයෝ බලන කෝණයෙන් සාමාන්‍ය අපි චිත්‍රපටයක් දකින්නේ නෑනෙ. ඒත් 2001 ට බුරා වගේ කෙනෙක් අකමැති මොකද කියල හිතාගන්ඩ බෑ. මට නං 2001 සිනමා පටය නවමු අද්දැකීමක් උනා. විශේෂයෙන් ඒ තුල විද්‍යාත්මක සංකල්ප ඉදිරිපත් කරපු ආකාරය. අවුරුදු මිලියන ගණනක මානව පරිණාමය සුළු මොහොතකට කැටි කර දැක්වූ ආකාරය, ඒ වගේම අයින්ස්ටයින්ට් ගේ කාලයේ වේගය ඉක්මවීමේ සංකල්පය පිළිබිඹු කල අයුරු සහ අවසානයේ ඉදිරිපත් වන අනිත්‍ය සංකල්පය මාව නම් වසඟ කරගත්ත.

    කොහොම උනත් බුරා හොඳ රසිකයෙක් බව මං විශ්වාස කරනව. ඒ නිසා මෙතෙක් ඔබ නැරඹු චිත්‍රපට අතරින් හොඳම දහය අපිට කියන්ඩ. මගේ තේරීම පහත පල කරනව.

    ReplyDelete
  9. මකරන්දය විඳින්ට එන සියලුම මිතුරන්ටයි,
    සිනමා පටයක් නැරඹීමට සුදුසුම තැන තමා සිනමා ශාලාව. අපි ගෙදර ඉඳන් DVD යන්ත්‍රයකින් හෝ පරිඝනකයෙන් සිනමා පටයක් නැරඹුවට නියම සිනමාත්මක අත්දැකීම ලබන්ඩ බැහැ. උදාහරණයක් හැටියට ජුරාසික් පාක් චිත්‍රපටය surround sounds දාගෙන උනත් ගෙදරදි බැලුවට සිනමා ශාලාවේ අත්දැකපු ත්‍රාසය දැනෙන්නෙ නෑ. මම ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් චිත්‍රපටය මුලින්ම බැලුවේ චිත්‍රපට උළෙලකදී. මා තුල දැඩි කම්පනයක් ඇති කරන්නට සමත් උනා. පසුව දිනක මෙය රූපවාහිනියෙන් විකාශය කල අවස්ථාවේ නැවත බැලුව. නිකන් විකාරයක් වගේ. ඉතින් ඔය චිත්‍රපටය මම මුලින්ම පුංචි තිරයෙන් බැලුවනං ඒ සිනමා පටය ගැන මම අද දරන අදහස සහමුලින්ම වෙනස්වෙනව.

    සිනමා ශාලාවක ඉඳන් චිත්‍රපටයක් නරඹද්දී අපි සුලබ වින්දනයක් ලබනවා. ඒත් සමහර චිත්‍රපට තියෙනවා ඔන්න නරඹන්න පටන් අරන් ටිකක් වෙලා යද්දී අප තුළ මොකද්දෝ වෙනසක් ඇතිවෙන්න ගන්නව. හරියට අපිත් ඒ කතාවට ඇතුළු උනා වගේ. අපිව සිනමා පටය විසින් ග්‍රහණය කරගන්නව. සිනමා පටය අවසන් වෙද්දි අපිට හිතෙනවා මේක තමා ඇත්ත, අපි මෙච්චර කල් කොහෙද හිටියෙ වගේ හැගීමක්. අපි සිනමා ශාලාවෙන් පිටවෙන්නෙ අලුත් මිනිහෙක් විදිහට. ආකල්පමය අතින් මෙතෙන්ට එනකොට හිටියට වඩා අපි ඉදිරියට ගිහින් කියන හැගීම අපිට පිටවෙනකොට දැනෙනව. ඔන්න ඔහොම වෙනසක් අප තුළ ඇතිකරවන්න පුළුවන් උසස් සිනමා කෘතියකට විතරයි. ඒක අපි සපතේරු උන්නැහැ කියපු විදිහට කම්පනය (stunning feeling) ලෙස හඳුන්වමු.

    ඒත් ඉතා උසස් සිනමා පටයක් උනත් මෙන්න මේ හේතු නිසා ඔය කියන කම්පනය නොදැනී යන්න පුළුවන්.
    *චිත්‍රපටයට පාදක වූ පොත කියවා තිබීම (වැඩි විස්තර බුරාගෙන් අහන්න)
    *චිත්‍රපටය පිළිඹඳ වූ විචාර කියවා තිබීම (පාතර් පන්චලී බලන කොට මම ඒ ගැන ලියවුනු විචාර රැසකට සවන්දීල සහ කියවල තිබුන)
    *සිනමා ශාලාවේ දුර්වලතා (අසුන්වල මකුණන් සිටීම, වායු සමීකරණය අඩපන වීම, චිත්‍රපටය වරින් වර ඇණහිටීම වැනි)
    *නරඹන්නා ගේ මානසික සහ කායික සෞඛ්‍යය (හිස රුදාවකින් පෙළෙමින් චිත්‍රපටය බැලීම, පෙම්වතා සමග නොහොඳ වී සිටීම වගේ)
    *ගෙදරදී නැරඹීම (චිත්‍රපටය වෙත ග්‍රහණය වෙලා ඉන්න අතරේ භාර්යා තොමෝ දවල්ට කන්ඩ අඬ ගැසීම, පුළුල් තිරයේ හොඳින් පෙනෙන රුප මෙහිදී කුඩාවට පෙනීම සහ එසේ වීමෙන් අවධානය යොමු විය යුතු අවස්ථාවලට නිසි අවධානය නොලැබී යාම වැනි)

    ඉතින් ඔය කොහොම උනත් මකරන්ද සුවඳ විදින්ට එන මගේ මිතුරු බඹර කැල හොඳ රසිකයන් නිසා මං ඔබ සියළුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ඔබ මෙතෙක් නැරඹු චිත්‍රපට අතුරින් හොඳම දහය අපට කියන ලෙස. මගේ තේරීම පහතින් පළකරනව.

    ReplyDelete
  10. නැරඹීමේදී මා වඩාත්ම කම්පනයට භාජනය කල චිත්‍රපට දහය

    * ANKHUR ( Bengali movie, directed by Shyaam Benagal / main role played by Shabana Azmi)

    * බඹරු ඇවිත් ( අධ්‍යක්ෂණය - ධර්මසේන පතිරාජ / රඟපෑම් - විජය, මාලනී, ජෝ, සිරිල් / සංගීතය - කේමදාස මාස්ටර්)

    * SEVEN SAMURAI ( Japanese movie, directed by Akhiro Kurasawa / one of the main roles played by Tashiro Mifune)

    * නිධානය ( අධ්‍යක්ෂණය - ලෙස්ටර් ජේම්ස් පීරිස් / රඟපෑම් - ගාමිණි, මාලනී )

    * ෆාදර් දාන්ස් ( සිනමා උළෙලකදී නැරඹු නෙදර්ලන්ත සිනමා පටයකි. වැඩි විස්තර සොයා ගත නොහැක)

    * Paar ( Hindi movie, directed by Goutam Ghose / main roles by Shabana Azmi, Naseeruddin Shah,Om Puri)

    * 2001: A Space Odyssey ( Directed by Stanley Kubrick / Script by Stanley Kubrick and Arthur C. Clarke)

    * Spirited Away ( Japanese animation, directed by Hayao Miyasaki)

    * සොල්දාදු උන්නැහේ ( අධ්‍යක්ෂණය - ධර්මසේන පතිරාජ / රඟපෑම් - ජෝ, මාලනී, හෙන්රි, නීල් / සංගීතය - කේමදාස මාස්ටර්)

    * Hidden Fortress ( Japanese movie, directed by Akhiro Kurasawa / one of the main roles played by Tashiro Mifune)

    ReplyDelete
  11. අපොයි කමක් නැහැ .ෆැන්ටසි බිඳ වැටෙන එක හොඳයි . වයසින් වැඩෙත්ම බොහෝ ෆැන්ටසි බිඳ වැටුනා . ඒත් මගේ කොන්ද කැඩුනේ නැහැ . Singing in the Rain බලන්න ගත්ත . මට නම් එච්චර ආස වුනේ නැහැ . ආයේ බලන්න ඕන . අපේ පොඩ්ඩෝ දෙන්න ආසාවෙන් බැලුව .උන් දෙන්නගේ රස භාවයන් මට වඩා දියුණුද මන්දා .
    කම්පනයට පත් කල චිත්‍රපට නම් සැහෙන්න තියෙනවා . ලිස්ට් එකක් හදන්න බැහැ එකක් හරි අමතක වුනොත් අසාධාරණ නිසා .

    ReplyDelete
  12. ගෝඩ් ෆාදර් චිත්‍රපට තුනක් බැලුව වගේ මට මතකය්

    ReplyDelete
  13. @ පොත් ගුල්ලා, අනේ දැං පොතක් පතක්, සිංදුවක් ගැන ලියන්නකො අයියෙ. මේ තරම් ච්ත්‍රපටි කවද බලල ඉවර කරන්නද අප්පා,

    ReplyDelete
  14. @බින්දි
    මොනව උනත් ෆැන්ටසි බිඳ නොවැටී තියෙනවනන් හොඳයි කියල හිතෙනව.
    මං ඔය වඩාත්ම කම්පනයට පත් කල සිනමා පට දහය කියන්න කිව්වේ අපි හැමෝටම රසවත් සිනමා කෘති බෙදා හදාගන්න අදහසින්.
    ඒත් මේ ලිපිය වේලෙන විදිහට පේනව යාලුවන්ට තවත් චිත්‍රපටි ගැන කතාව එපා වෙලා බව.

    @ඔබ්සර්වර්
    ඔබ්සර්වර් මහත්තය හරි. ගෝඩ් ෆාදර් චිත්‍රපටි තුනක් තියෙනවා තමා. ඒත් මේ ලය්ස්තුවට තේරිලා තියෙන්නේ එකයි, දෙකයි විතරයි.

    @හරී - පිණි පළස
    ගුරු තුමී හරි. ඉතාම පැහැදිලියි කට්ටිය සිනමාවෙන් හෙම්බත්වෙලා බව. මං වගේ පිච්චර් පිස්සෙක් නොවන මගේ යාලුවන්ට මං චිත්‍රපටි එපා කරවලද මංදන්නෑ.
    ඊළඟ පොස්ට් එක නං අනිවාර්යයෙන්ම සිනමාව ගැන නම් නෙමේ.
    පටන් ගත්තු වැඩේ ඉවරයක් කරලා ඉන්ඩ ඕන නිසයි පොස්ට් හතරක්ම චිත්‍රපටි ගැනම වැටුනෙ.

    ReplyDelete
  15. අනේ පෝස්ට් එක එපා වෙලා නෙවෙයි ගුල්ලො.. ඒත් මං කිවුවනෙ මේ සබ්ජෙක්ට් එක ගැන මං බොහොම පිටුපස්සෙන් ඉන්නෙ කියලා.. ඉතිං කතාකරන්න දෙයක් නැති නිසයි කට වහගෙන උන්නෙ.. ඒ වුනාට චිත්තරපටි ගැන කරුනු කාරනා රාසියක්ම දැනගත්ත නෙවැ මේක නිසා.. :)

    අර අහපු චිත්තරපට ලැයිස්තුව හදන එකනං ටිකක් අමාරු වැඩක් නෙවැ.. ගොඩාක් ඒවා තියෙනව නේ ආසාවෙන් බලාපු..

    ReplyDelete
  16. අද තමයි මම මුලින්ම මේ බ්ලොග් එකට ගොඩවැදුණේ. සිනමාව ගැන හුඟක් කතා කරල තියෙනවා වගෙයි. මම Vertigo ඇරෙන්න අනිත්වා නම් බලල නැහැ. ඒත් ඒ නිර්මාණ ගැන නම් හුඟක් දේවල අහල කියවල තියෙනවා. මේ වැඩේ හුඟක් වටිනවා. දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  17. balalathiyenne God father witharamayi. anith tikath balanna one.dan balala thiyana film list ekata wada balanna thiyana list eka digai /:)

    ReplyDelete
  18. @ ගුල්ලා..

    පෝස්ට් එක එපා වෙලා නොවේ ... දීපු අභියෝගය ඉතාම අමාරු එකක් ... ඒත් ලිස්ට් එක මග එනවා...

    ReplyDelete
  19. V for Vendetta
    Phantom of the opera
    My sassy girl (Korean version)
    A walk in the clouds
    When Harry met Sally
    The ring of the Nibelungs
    The pursuit of happyness
    Forest Gump
    Road to perdition
    The full Monty
    Inception
    Shrek
    Finding Nimo
    Tangeled
    How to train your dragon
    The jungle book(Disney)
    The sword in the stone(Disney)
    Beauty and the beast(Disney)
    Blast from the past
    Cast away
    The illusionist
    Notting hill
    Leon the professional

    ReplyDelete
  20. ඔන්න මෙතෙක් බිහිවූ හොඳම චිත්‍රපටවලට මම එකතු කරන ඒවා. අනෙක් අයගේ ලිස්ට් වල ඒවටත් කැමතී. ඒවාවල නැහැයි කියලා හිතුනු ෆිල්ම්ස් තමයි මම එකතු කලේ.

    Schindler's List (1993)
    The Matrix (1999)
    The Silence of the Lambs (1991)
    The Pianist (2002)
    Die Hard (1988)
    Jaws (1975)
    The Sixth Sense (1999)
    Slumdog Millionaire (2008)
    Ben-Hur (1959)
    Gandhi (1982)
    Avatar (2009)
    Who's Afraid of Virginia Woolf? (1966)
    The Exorcist (1973)
    Magnolia (1999)
    A Beautiful Mind (2001)

    බූරා කීව වගේ පොතක් බැලුවාම ඒකෙන් හදපු ෆිල්ම් එක ලස්සනට නොපෙනෙනෙන ගතියක් මටත් තියනවා. මම ගොඩක් කැමතී බය හිතෙන ෆිල්ම්ස් බලන්ට ඒත් ඊට පස්සේ නිදා ගන්න එක තමා ප්‍රශ්නේ. කොච්චර ඇස් තද කරලා පියා ගත්තත් ෆිල්ම් එකමයි පේන්නේ. එහෙම හොඳටම බලලා බය උනු ෆිල්ම් එකක් තමා The Exorcist . හිත ගොඩාක් කළඹපු එකක් තමා Schindler's List . හිතාගන්ට බැරි විදියට ෆිල්ම් එකේ අන්තිමේදී කටත් ඇරන් බලාගන හිටපු එක තමයි The Sixth Sense. Ben-Hur හරිම පරන ෆිල්ම් එකක් උනත් ඒකේ ලස්සන කවදාක්වත්ම අඩු වෙන්නේ නෑ. මගේ අත්තම්මා ආසම ෆිල්ම් එකක්.

    බලපු ෆිල්ම්ස් කොච්චර තියනවාද කීවොත් සමහර ඒවාවල නමුත් මතක නෑ. හැබෑට දැන් වෙන මාතෘකාවක් ගැන කතා කරන්ටකෝ. ෆිල්ම්ස් ගැන කියෙව්වම ඒවා බලන්ටම හිතෙන හන්දා....:D

    ReplyDelete
  21. A link for friends who love SOUND OF MUSIC.

    http://www.youtube.com/watch_popup?v=7EYAUazLI9k&annotation_id=annotation_612418&feature=iv

    ReplyDelete
  22. Road to El Dorado
    Life is beautiful
    මචං
    Indian
    Motor cycle diaries
    Finding Nemo
    Into the wild
    Schindler's list
    The pianist
    A beautiful mind
    The last samurai



    එක පාරටම මතක් වෙන්නෙ ඔය ටික. මතක කාලෙක චිත්‍රපටි බැලුවෙ නැත. :( ඉස්සර බැලුව ඒවා දැන් අමතකව ඇත.

    ReplyDelete
  23. @බුරතීනෝ
    කොච්චර හොඳ දෙයක් ගැන උනත් ඕනවට වඩා අහන කොට එපා වෙනවනේ. මොනව උනත් බුරා වගේ ඇසූ පිරූ තැන් ඇති කෙනෙකුත් මේ ලිපියෙන් මොනව හරි අලුත් දෙයක් දැනගත්තනන් මගේ ලිපියෙන් යම් කිසි ප්‍රයෝජනයක් උනා කියල මට සතුටුවෙන්න පුළුවන්.

    @උදාර
    කොච්චර දෙයක්ද මගේ ලිපිය කියවල කමෙන්ට් එකකුත් දාපු එක. මේ මගේ හිතමිතුරු උදාර කියල හිතනව.
    Why don't you start a blog. I think you can create a useful and interesting blog.

    @රෝස කුමාරි
    කමෙන්ටුවට ස්තුතියි. අපි කාටත් මග ඇරුනු හොඳ චිත්‍රපට තියෙනවා. මේ ලිපිය ලියද්දි මමත් තෙරුන් ගත්ත තව බැලිය යුතු චිත්‍රපටි ගොඩක් තියෙන බව.

    @සපතේරු උන්නැහැ
    සපතේරු තුමන්ට මේ දවස්වල වැඩ වැඩීනේ.
    එත් ඔබේ ලැයිස්තුවත් පල කරනකන් බලාගෙන ඉන්නව. ඔයත් හොඳ සිනමා රසිකයෙක්නේ. පිරවි වගේ චිත්‍රපටි බැලූ අය අඩුයි.

    ReplyDelete
  24. @බස්සා
    මගේ ඉල්ලීමට මේ පැත්තේ ඇවිත් Top Ten වෙනුවට Top 23 ලිස්ට් එකක්ම දාල තියෙන්නෙ. ගොඩක් ස්තුතියි.
    ඔය ලැයිස්තුවෙන් මම බලල තියෙන්නෙ මෙන්න මේව;
    Shrek, Finding Nemo, How to train your dragon, The Jungle Book, Cast Away, Notting Hill එච්චරයි.
    Forrest Gump TV එකේ බාගෙට බලල තියෙනව. අනෙක්ව හෙමිහිට බාගෙන බලන්ඩ ඕනෙ. බස්සත් හොඳ animation ලෝලියෙක් වගේ. මමත් එහෙමයි. Brother Bear, Mulan, Ice Age I, A Bug's Life කියන animations වලටත් මම ගොඩක් ආසයි.

    @පොඩි කුමාරිහාමි
    වලව්වෙත් සෑහෙන්න චිත්තරපටි බලනව එහෙනං. ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට.
    ඔයාගේ ලැයිස්තුවෙන් මං බලපුවා මෙන්න;
    Schindler's List, The Pianist, Ben-Hur, Avatar
    අනෙක්වා සමහරක් ගැන අහල තියෙනව.
    දැන් නං මටත් බලන්ඩ තියෙන ෆිල්ම් ලිස්ට් එක දික්වේගෙන යනව.

    අනිවාර්යයෙන් ඊළඟ පෝස්ට් එක ෆිල්ම්ස් ගැන නං නෙමේ.

    ReplyDelete
  25. @නලිනි චන්දිමා
    කාර්ය බහුලත්වය මැද්දෙ වෛද්‍ය තුමී මේ පැත්තේ ඇවිල්ල Top Ten ලිස්ට් එක ලියල යන්ඩ වෙලාව හොයාගත්ත එක ගැන ගොඩක් ස්තුතියි. සිංහල චිත්‍රපටියක් ටොප් ටෙන් ලිස්ට් එකට දාල තියෙන්නෙ මමයි ඔබ තුමීයි විතරයි වගේ. ඔන්න ඔය ලැයිස්තුවෙන් මම බලාපුව;
    මචං, Schindler's List, The Pianist, Finding Nemo, The Last Samurai
    මචං බැලුවේ හැබැයි TV එකෙන්. සිනමා ශාලාවක බලන්ඩ ලබුනනන් හොඳයි.
    ඇයි, එතකොට කරුමක්කාරයෝ? මගේ ලැයිස්තුව තව ටිකක් දික්කලොත් කරුමක්කාරයෝ අනිවාර්යයෙන් ඇතුලත් වෙනව.

    ReplyDelete
  26. දැන් තියෙන්නෙ සපතේරු උන්නැහැ ගේ ලැයිස්තුව එනකන් බලන් ඉන්ඩ.
    බින්දි බැහැයි කිව්වනෙ. බුරත් දාන පාටක් නෑ වගේ. පිණි - පළස ගුරු තුමීට නං මගේ පෝස්ට් කියෝලම ෆිල්ම්ස් එපා වෙලා. තව ඔය රවීල, සුජීවල, ලකීල එහෙමත් හොඳ සිනමා රසිකයෝ කියල මම හිතනව. එත් ඒ ගොල්ල මේ පැත්තේ එන්නේ නැහැනේ. අපේ ගල් මල් අයියටත් චිත්‍රපටි එපාවෙලාද?

    ReplyDelete
  27. බොහොම ස්තූතියි අර ඔත්තුවට, මම අන්තිමට ලියාපු ලිපියට මට කමෙන්ට්ස් දාන්න බැහැ. ඔබටත් අනෙක් අයටත් ස්තූති කරනවා මෙහෙමවත්. හැබැයි ඉතින් ඔන්න මම දැං ගුරුතුමියෙක් නෙවි කියලා කලිනුත් කිව්වනේ. නංගී කියන්න අනිත් අයට වගේ.

    මම ඉතින් ලොකු සිනමා රසිකයෙක් නෙවේ. මම ලිස්ට් හැදුවොත් ඒක සිනමා රසිකයින්ට කරන අසාධාරණයක්. ගොඩක් වෙලාවට කැමති පොත් කියවන්නයි, ගීත අහන්නයි තමා. හොඳ වේදිකා නාට්‍ය බලන්නත් කැමති. ලැයිස්තුවක් හදන්න නම් බැහැ මටත්. The pianist, The last samurayi බලලා තියෙනවා. A Beautiful Mind චිත්‍රපටි‍යට තමයි මම හුඟාක් කැමති. සිංහල චිත්‍රපට වලින් නිධානය හොඳයි.

    ReplyDelete
  28. මමත් වැඩිපුර කැමති කාටුන් චිත්‍රපටවලට තමයි. අයිස් ඒජ් 1 සහ 2ත්, කුංෆු පැන්ඩා, ජංගල් බුක් වගේ ඒවා මමත් හුඟක් ආසාවෙන් බැලුවා.
    චිත්‍රපට ගැන මම හුඟක් විස්තර දන්නෙ නෑ.
    කරුමක්කාරයෝ චිත්‍රපටයනම් මම බලලා තියෙනවා- නමුත් මම එච්චරම ආස වුණු චිතරපටයක් නොවෙයි. තුන්මං හන්දිය හුඟක් ලස්සන වුණත්, පොත විතර සිත් ඇදගත්තෙ නෑ. (මේ හැම එකකම පොත කලින් කියවා තිබීම සිනමා මාධ්‍යය තුළ කතාව රස විඳීමට බාධාවක්ද මන්දා.) පොත කියවා තිබුණත්, ගම් පෙරළිය, මඩොල් දූව, වගේ චිත්‍රපටවලට ආසයි. ගොළු හදවත පොත කියෙව්වෙ චිත්‍රපටය බලලා සෑහෙන කාලෙකට පස්සෙ. මේ පැරණි චිත්‍රපටවල හිටි පුණ්‍යා හීන්දෙණිය වැනි නිළියන් අද ඉන්න අයට වඩා දක්ෂ මෙන්ම ස්වභාවිකද බවයි මට හිතෙන්නෙ.
    සුජීව වගෙ අය චිත්‍රපට ගැන හොඳට දන්නවා ඇති. චිත්‍රපටිවල කතා එකිනෙක පැටලෙන තරමට මගෙ දැණුම අඩුයි ඒ ගැන. තාක්ෂණික අංශය ගැනත් දැණුමක් නැහැ. :(

    ReplyDelete
  29. පොත්ගුල්ලගෙ ලිස්ට් එකෙන් නම් මම එකක් වත් බලලනැ හැ...හපොයි මම චිත්‍රපටි ලෝලියෙක් නෙවෙයි වත්ද ? :D
    මට තියන දුර්වල කම තමයි බැලු ඒවා මතක නොහිටින එක,,ඒ නිසා කොමෙන්ට් කරල තියන අයගෙ චිත්‍රපටි දිහා බලලා මගේ හාඩ් ඩිස්ක් එකේ ඉතුරු වෙලා තියන ඒවත් බලලා මමත් කැමති ලිස්ට් එකක් දාන්නම්. හාඩ් ඩිස්ක් එකේ ඉඩ ඉතුරු කර ගැනීම සඳහා මගේ චිත්‍රපට එකතුවේ කොටසක් DVD වලට අරගත්ත නිසා මේ වෙලාවෙ සමහර ඒවා මතකයට එන්නෙ නැහැ..

    The pursuit of happyness
    Forest Gump
    The Pianist
    Motor cycle diaries
    Into the wild

    ඊට අමතරව මම කැමැත්තෙන් බලපු චිත්‍රපටි කීපයක් තමයි. ( මතක විදියට )

    Enemy at the Gate
    Memoirs of a Geisha
    The Kings Speech
    Pearl Harbor
    Behind the enemy line
    John Q
    Hachiko a Dogs Story
    මේ අතරින් සුනඛයෙක් සහ තමන්ගෙ ස්වාමියා අතර තියන සම්භන්ධතාවය ගැන කියන හචිකෝ ගෙ කතාව බලල නම් මම ඇඬුවා.ඒත් ඒක ඒ තරම් හිතට වැදුන කතාවක්.

    සිංහල චිත්‍රපටි ගැන කියනවනම් 70 දශකයේ චිත්‍රපටි වලට මගේ විශේෂ කැමැත්තක් තියනවා. බඹරු ඇවිත්, අහස් ගව්ව, දියමන්ති, සිකුරු ලියා වගේ ඒවා නම් ආයේ ආයෙත් බලන්න ආසයි.

    ReplyDelete
  30. මෙන්න මගෙ ලිස්ට් එක



    1. Some Birds Can't Fly
    2. Ankur
    3. Apur Sansaar
    4. Khuda Khe Liye - In the name of God
    5. Antonias Line
    6. Bridges of Maddison County
    7. Ben Hur
    8. Pretty Woman
    9. A beautiful mind
    10 The Sound of Music
    11. Art Meuseum By the Zoo - Korean

    ReplyDelete
  31. // මොනව උනත් බුරා වගේ ඇසූ පිරූ තැන් ඇති කෙනෙකුත් //

    හපෝයි ඔහොම කියන්ට එපෝ, මට ලැජ්ජා හිතෙනවා.. මං දන්නෙ මොනවද, යාන්තං පොතක් පත්තරයක් නැත්තං ඉන්ටනෙට් එකෙන් කියවලා දැනුම පොඩ්ඩක් අතගාලා තියෙනවා.. ඒ ටික මක්කරන්ටද.. නොදන්නා දේ අනන්තයි.. :)

    ලිස්ට් එකක් දාන්ට බැරිකම නෙවේ ගුල්ලො.. මට හරියට ඔක්කොම මතකෙට එන්නෙ නෑ.. අනික බලපු ගොඩක් ඒවට කැමැතියි.. ඉතිං ලියන්ට ගත්තොත් ලිස්ට් එක දික්වෙනවා මාගල වගේ..

    ඉංග්‍රීසි චිත්‍රපට ගත්තොත් අංක එකට හැමදාමත් එන්නෙ The Sound of Music තමා ඉතින්.. ඒ ඇරෙන්න ඔය උඩින් කට්ටිය කියලා තියෙන ඒවා ගොඩක් මගෙ ලිස්ට් එකෙත් තියෙනවා.. එතන නැති මම කැමැති ඒවා කීපයක් තමා All Quiet on the Western Front, Malina, Chariots of Fire, One Flew Over the Cuckoo's Nest, Stardust, A Walk to Remember, P.S. I Love You, I am Sam, Shall We Dance, Maid in Manhattan.... අපොයි මේක දික්වෙනවා.. මේ ළගදි බැලුවා ලස්සන Japanese animation film එකක් Whisper of the Heart, මහ ලොකු දෙයක් නෑ, නමුත් සරලයි සුන්දරයි..

    සිංහල ෆිල්ම්ස් නං ඉතිං 60-70 දශක දෙක තමා ගොඩක්ම.. නිධානය, අපේක්ෂා, දුහුළු මලක්, පරසතුමල්, විරාගය... හ්ම්ම් මතකෙට එන්නැතෝ.. :(

    දෙමළ ෆිල්ම්ස් වලින් කේලඩි කන්මනි එතකොට සින්දු භෛරවී, සිල්ලුනු ඔරු කාදල් වගේ ඒවා.. තව ෆිල්ම් එකක් තියෙනවා ඒකෙ නම අමතකයි, කතාව තියෙන්නෙ දකුණු ඉන්දියාවේ මහා කවියා භාරතී ගෙ ජීවිත කතාව..

    හින්දි ෆිල්ම්ස් නං වැඩියම කැමැති පරණ කළු-සුදු ඒවට.. බයිජු බවුරා, ආවාරා.. ඒ වගේම මෑතකදි ආපු Rock On, Anjaam වගේ ඒවත්..

    හපොයි දැන් ඇති නේද.. :))

    ReplyDelete
  32. @හරී - පිණිපළස
    ගුරු ජීවිතේ සුන්දර අත්දැකීම් ගැන ඔයාගේ බ්ලොග් එකේ ලියල තිබුන නිසයි ගුරුතුමී කියල ආමන්ත්‍රණය කලේ. එහෙමනං ඉතින් නංගි කියල කතාකරන්නන්කො.
    හොඳ රසිකයෙක් නෙමේ කියන්නේ කොහොමද ඔය බලල තියෙන්නේ හොඳ චිත්‍රපටි ටිකක්. තාම මට A Beautiful Mind බලන්ඩ උනේ නැහැනේ.

    @නලිනි චන්දිමා
    ඔන්න තුන්මං හන්දිය මට අමතක උනානේ. මමත් චිත්‍රපටිය බලන්ඩ කලින් පොත කියවල තිබුන. ඒ උනත් චිත්‍රපටිය කලා ලෝකයක්. බලල ඉවර වෙනකොට ඇහැට කඳුලක් නැගෙන එක මට නං වලක්වගන්ඩ බැහැ. නැවත බැලුවත් මට නං එහෙමමයි. අනිවාර්යයෙන් මගේ Top Ten ලැයිස්තුවට එන්ඩ ඕනෙ චිත්‍රපටයක්. ඕකනේ බින්දි ලැයිස්තුවක් හදන්ඩ අකමැති උනේ.

    ReplyDelete
  33. @Luckey
    ලකී මකරන්දයේ දාපු මුල්ම කමෙන්ටුවට, පළමුවෙන්ම මගේ හද පිරි ස්තුතිය.

    ලකීගේ ලැයිස්තුවෙන් මම බලල තියෙන්නේ The Pianist සහ Hachiko a Dog Story විතරයි. ඔයා හචිකෝ කතාවට හුඟක් කැමති එකේ ජපානේ ඉඳන් බ්ලොග් එකක් ලියන චේජනා ඒ ගැන ලියපු ලිපියත් කියවල බලන්ඩකෝ.
    http://chejanas.blogspot.com/2011/07/blog-post.html

    ලකී මගේ ලිස්ට් එකේ චිත්‍රපටි එකක් වත් බලල නැහැ කියන්නේ, මගේ පුද්ගලික ටොප් ටෙන් ලිස්ට් (under comments) එක ගැනද, නැත්තන් Sight & Sound List (main article) එක ගැනද? මං හිතන්නේ ඔයා කියන්නේ Sight & Sound ලැයිස්තුව ගැන වෙන්ඩ ඕනෙ. ඒකෙ ඔය God Father සහ Battleship Potemkin ඇරෙන්ඩ මං බලල තියෙන අනෙක් චිත්‍රපටි හොයාගෙන බැලුවේ ඔය ලැයිස්තුව ගැන දැනගත්තට පස්සෙයි. ඒ නිසා ඔය චිත්‍රපටි ටික නොබැලුව කියල ඔයා හොඳ සිනමා ලෝලියෙක් නොවෙන්නෙ නං නෑ. 70 දශකයේ සිනමා පට වලට මමත් ආසයි.

    ReplyDelete
  34. @TG
    මකරන්දයේ දාපු පළමු කමෙන්ටුවට TGටත් මුලින්ම මගේ ස්තුතිය, හද පත්ලෙන්ම.
    ඔන්න Ankhur බලපු තව කෙනෙක් හම්බ උනා. ඔයා Ankhur බැලුවේ කොහෙදිද? ඕක සිංහල උප සිරැසි සහිතව වරක් හෝ දෙවරක් රූපවාහිනියෙත් පෙන්නුවා. අපේ මිතුරෝ හුඟ දෙනෙක් බලල නැහැ වගේ. බලන්ඩ ලබුනනන් අනිවාර්යයෙන් කැමති වෙන චිත්‍රපටියක්. මරදානේ කැපිටල් සිනමා ශාලාවේ 80 ගණන් වල මුලදී වගේ ප්‍රදර්ශනය කලා. අපේ තාත්ත තමා මාවයි, අම්මවයි, තව අක්ක කෙනෙක්වයි එක්කන් ගිහින් පෙන්නුවේ. ඒ ළමා වයසෙදිත් මේ චිත්‍රපටිය මගේ හද සසල කලා. විශේෂයෙන් මේ චිත්‍රපටියේ සබානා අශ්මි කරන රඟ පෑම තරං දක්ෂ රංගනයක් මම තාම දැකල නැහැ. මේ චිත්‍රපටිය ටොරන්ට්ස් වල නං මට හොයාගන්ඩ බැරි උනා. ඒත් යූ ටියුබ් එකේ කොටස් වශයෙන් තියෙනව. ඔන්න ලින්ක් එක.
    http://www.youtube.com/watch?v=IcTH8k2RMjc
    ඒත් sub title නැති එක තමා ප්‍රශ්නෙ.
    TGගෙ ලිස්ට් එකේ අනෙක් චිත්‍රපටි වලින් මම බලල තියෙන්නෙ ඔපුර් සන්සාර්, බෙන්හර් සහ Sound of Music විතරයි.

    ReplyDelete
  35. ඔව් මං ගුරුවරියක් තමා . දැං මං ඒ රැකියාවෙන් අයින්වෙලා නේ. ඒ නිසා මේ සුහද ඇමතුම හොඳයි. ගුරුතුමී කිව්වම හිතට බරයි වගේ. දැං මට ටීච කියලා කතා කරන්නෙ මූණු පොතේ ඉන්න ගෝල දරුවො දෙතුන් දෙනෙක් විතරයි,

    ReplyDelete
  36. http://thepiratebay.org/torrent/6149649 - Ankur මූවි එකේ ටොරන්ට් ලින්ක් එක තමයි ඔය තියෙන්නේ. ගිහිල්ල බලන්න ප්‍රයෝජනයක් වෙයි ද කියල.

    ReplyDelete
  37. @උදාර
    බොහොම ස්තුතියි, උදාරට. අනේ මන් කොච්චර හෙව්වද? මට හොයාගන්ඩම බැරි උනා නේ. අද රෑම බා ගන්ඩ ඕනෙ.

    ReplyDelete
  38. පුරවැසි කේන් කිව්වම මට වයර් උනා. මේ සිටිසන් කේන් ෆිල්ම් එකනේ.
    අපට සිනමා කියලා සබ්ජෙක්ට් එකට ලියන්න තිබ්බා. මම් ඕකට විචාරයක් ලිව්වත් එක්කලා.

    ReplyDelete
  39. @මධුරංග
    පුරවැසි කේන් ගැන විචාරෙකුත් ලියපු එකේ ඒ අදහස් ටිකක් මෙහෙත් ලියන්ඩකො. කාටත් ප්‍රයෝජනවත් වෙයි. පරණ ලිපිත් කියවල අදහස් පල කිරීම ගැන මල්ලිට බොහොම ස්තුතියි.

    ReplyDelete