Tuesday, August 9, 2011

සිනමා ලෝලීන්ටයි.... බයිසිකල් හොරු - අතුරු කතාවක්

බයිසිකල් හොරු පිළිබඳව ලියු ලිපියේ මම සඳහන් කළා චිත්‍රපට ලැයිස්තු දෙකක්, ඒවාට අදාළ අන්තර්ජාල ලිපිනයන්ද සහිතව. නමුත් ලිපිය පිළිබඳව පලකල අදහස් අතර මේ ලැයිස්තු වලට තැනක් ලැබුණු බවක් පෙනුනේ නැහැ. සමහර විට අපේ සහෘදයන්ගේ ඇහැ ගැහෙන්ට නැතුව ඇති. ඒත් ඒවායේ වැදගත් කම වැඩි නිසා මම වෙනම ලිපියකින් (අතුරු කතාවකින්) පෙන්නලා දෙන්ට හිතුව. මේ ලියන ලිපියට සහෘදයන් වෙතින් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නත් පුළුවන්. කොහොම උනත් උසස් සිනමා කෘති කිහිපයක් හඳුන්වා දෙන එකේ වරදක් නැහැ කියල හිතනව.


14 වැනි වියට එළඹෙන විට ඔබ නැරඹිය යුතු සිනමා පට පනහ.

මේ ලැයිස්තුව 2005 වසරේදී බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (the British Film Institute) විසින් ප්‍රකාශයට පත් කරනු ලබනව. ඔවුන්ගේ අරමුණ වන්නේ පොත් හා සමානව සිනමාවද සැලකිය යුතු බව දෙමාපියන්ටත්, අධ්‍යාපන ආයතන වලටත් පෙන්වා දීමයි. පොත පත කියවීම තුලින් මෙන්ම උසස් සිනමා කෘතියක් රසවිඳීමට හුරුකිරීමෙන් දරුවකුගේ මනස ශක්තිමත් කර සදාචාරවත්, යහපත් පුරවැසියකු බිහි කල හැකි බව ඔවුන් දරන අදහසයි. චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්, ගුරුවරුන්, ලේකඛයන්, විචාරකයන් ආදී විවිධ විශේෂඥයන් 70 වකට අධික පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් විසින් තමයි මේ සිනමා පට තෝරාගෙන තිබෙන්නෙ. ඔවුන් සැම කෙනෙක්ම දරුවකු විසින් නැරඹිය යුතු හොඳම චිත්‍රපට දහය පිලිබඳ තමාගේ ලැයිස්තුව සැකසූ අතර එක් එක් චිත්‍රපටයට ලැබුණු වඩාත්ම වැඩි ප්‍රතිචාර අනුව බ්‍රිතාන්‍ය සිනමා ආයතනය චිත්‍රපට පනහක ලැයිස්තුවක් සකස් කළා. 


මෙහිදී වඩාත්ම ප්‍රතිචාර ලබා ඉහලටම ආ සිනමා පටය වූයේ "හයාඕ මියසකි" විසින් රචනා කොට අධ්‍යක්ෂණය කල Spirited Away නම් ජපන් සජීවකරන (animation) චිත්‍රපටයයි.
මේ තරම් වටින සජීවකරන සිනමා පටය මොකද්ද කියල බලන්න මමත් Spirited Away බා ගත කරගෙන නැරඹුවා. ළමයින් සඳහා නිර්මාණය කල මේ චිත්‍රපටය කෙතරම් බරපතල විදිහට මා සිත පැහැරගත්තද  කියනවනම් වරක් නරඹා අවසන් වූ සැනින් නැවතත් මුල සිටම යලිත් චිත්‍රපටය නැරඹුවා. මේක පොදු ඇමරිකානු රටාවේ චිත්‍රපටයක් නොවෙයි. ආසියාතික කතාවක්. මායා ලොවක අතරමන් වන දස වස් වියැති චිහිරෝ දැරිය. එහි අධිපතිනිය යුබාබා. ලස්සන වසිලිස්සා කතාවේ බබයිගා යකින්නගෙ වගේ විශාල නහයක් ඇති මායාකාරියක්. සම්ප්‍රදායික ජපාන පොදු ස්නානාගාරයක්. පිරිමි ළමයකුගේ වේශයෙන් පෙනී සිටින මකරෙක්. එක පැත්තකට විතරක් දුවන දුම්රියක්. ඌරන් බවට පෙරලුනු දෙමව්පියන් ගලවා ගන්ට ඕනෑම දුකකට මුහුණ දෙන්න සුදානම් දැරියක්. BFI කල තේරීම හරියටම හරි බවයි මට නම් හැඟුනෙ.


මේ පනහේ ලයිස්තුවේ මුල් දහයට අයත් ඉතිරි සිනමා පට නවය මෙසේයි. (අහඹු පෙළ ගැස්මකි.)
  • Bicycle Thieves (1948)
  • E.T. the Extra-Terrestrial (1982)
  • Kes (1969)
  • The Night of the Hunter (1955)
  • The 400 Blows (1959)
  • Show Me Love (1998)
  • Toy Story (1995)
  • Where is the Friend's Home? (1987)
  • The Wizard of Oz (1939) 


The Wizard of Oz (1939) 

Kes (1969)

E.T. the Extra-Terrestrial (1982)






Bicycle Thieves (1948)
ඉහත සිනමා පට අතර ආසියාතික සංස්කෘතියට නොගලපෙතැයි සැලකිය හැකි එකම සිනමා පටය වන්නේ ස්වීඩන් සිනමා පටයක් වූ Show Me Love පමණයි. ආසියාතික රටවල් දෙකක් වන ජපානය (Spirited Away) සහ ඉරානය (Where Is The Friends Home?) එම ලැයිස්තුව නියෝජනය කරනවා. ප්‍රංශ ජාතික සිනමා කරුවකු වූ ප්‍රන්ශුවා ට්රුෆෝගේ නිර්මාණයක් වූ the 400 blows සිනමා පටය ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් ලෙස සැලකෙනවා.


ඉතිරි සිනමා පට 40 මෙසේයි. (ඉංග්‍රීසි හෝඩියේ අනු පිළිවෙලට).
  • A Day at the Races (1937)
  • The Adventures of Robin Hood (1938)
  • Au revoir les enfants (1987)
  • Back to the Future (1985)
  • Beauty and the Beast (1946)
  • Beauty and the Beast (1991)
  • Billy Elliot (2000)
  • Edward Scissorhands (1990)
  • Finding Nemo (2003)
  • It's a Wonderful Life (1946)
  • Jason and the Argonauts (1963)
  • The Kid (1921)
  • King Kong (1933)
  • Kirikou and the Sorceress (1998)
  • Monsieur Hulot's Holiday (1953)
  • My Life as a Dog (1985)
  • My Neighbor Totoro (1988)
  • Oliver Twist (1948)
  • The Outsiders (1983)
  • Pather Panchali (1955)
  • Play Time (1967)
  • The Princess Bride (1987)
  • Rabbit-Proof Fence (2002)
  • Raiders of the Lost Ark (1981)
  • The Railway Children (1970)
  • The Red Balloon (1956)
  • Romeo + Juliet (1996)
  • The Secret Garden (1993)
  • Singin' in the Rain (1952)
  • Snow White and the Seven Dwarfs (1937)
  • Some Like It Hot (1959)
  • The Spirit of the Beehive (1973)
  • Star Wars Episode IV: A New Hope (1977)
  • To Be and to Have (2002)
  • To Kill a Mockingbird (1962)
  • A Trip to the Moon (1902)
  • Walkabout (1971)
  • Whale Rider (2002)
  • Whistle Down the Wind (1961)
  • The White Balloon (1995)                                       
Apu in Pather Panchali

මේ ලිපිය කියවීමෙන් පසු, අපගේ මිතුරු සහෘදයන් අතර තුරුණු වියට පා තබන දරු පැටවුන් සිටින දෙමාපියන් මේ සිනමා පට සිය දරුවන්ට පෙන්වන්නට උත්සුක වුවහොත් මගේ වෑයම සාර්ථක වනු ඇති.


 ප.ලි. : වසර දහයෙන් දහයට එන Sight & Sound සිනමා පට ලැයිස්තු ගැන වෙනම ලිපියකින් කතාකරමු.

41 comments:

  1. ස්තුතියි පොත් ගුල්ල මෙච්චර චිත්‍රපටි ගුල්ලෙක් කියල අපි දැනන් හිටියේ නැහැ . මමත් ඔය ලිස්ට් එකෙන් කීපයක් බලල තියෙනවා . අපේ ළමයිනුත් බලල තියෙනවා . ඉතුරු ඒවා හොයන්න ඕන . ලඟදි ඉඳන් ෆිල්ම් ඩවුන් ලෝඩ් කරන එක අපේ බනිලගේ තාත්ත ගේ විනෝදාංශයක් . ඔන්න මේ ලිස්ට් එක දුන්නට පින්. ස්නොව් වයිට් ..ටෝය් ස්ටෝරි හෙම නම් ආයේ බාන්න දෙයක් නැහැ . කාටුන් නම් අනිවාර්ය නිසා ඔව්ව නිකන් පිරිත් පොත් ගානයි අපේ දිහා

    ReplyDelete
  2. හපොයි මෙතනින් බාගයක්වත් බලලා නෑ නෙවැ.. It's a Wonderful Life ෆිල්ම් එක baiscopelk.com සයිට් එකේ තිබුනා, බාගන්ට, ලස්සනයි.. වෙලාව ලැබෙන විදියට අනිත් ටිකත් හොයලා බලමු.. :)

    හැබැයි, තාමත් මම වැඩියම කැමැති කියවන්න.. ගොඩක් ෆිල්ම්ස් වලට වඩා ඒකට පාදක වුනු පොත රසවත්.. බොහෝවිට ෆිල්ම් එකෙන් පොතට සාධාරනයක් වෙනවා අඩුයි..

    ReplyDelete
  3. උණු උණුවෙම ඇවිල්ල අදහස් දැක්වීම ගැන බින්දිට ස්තුතියි.
    අපොයි ඔව්. මමත් හොඳ පිච්චර් පිස්සෙක් තමා. හැබැයි මටත් හොඳ චිත්‍රපටයක් හඳුනා ගන්ට පුරුදු කලේ අපේ තාත්ත තමා.
    කොළඹ ප්‍රදර්ශනය කරන විදේශීය සිනමා උළෙලක් ගැන ඉව වැටුනොත් ඉතින් මම බොහෝ විට එතන.
    Spirited Away දූලට පෙන්නන්න. මෙන්න බා ගන්න ලින්ක් එක.

    http://thepiratebay.org/torrent/3257842

    ReplyDelete
  4. @බුරතීනෝ
    බුරා මේ සැරේ නං වේලාසනින්ම ඇවිල්ල තියෙන්නෙ. අදහස් දැක්වීම ගැන ගොඩක් ස්තුතියි.
    අනේ මමත් ඔය හුඟක් චිත්‍රපට බලල නැහැ. හෙමින් හෙමින් බා ගන්ඩ ඕනෙ.
    බුරා කියන කතාවේ අත්තක් තියෙනව තමා. නවකතාවක් සිනමාවට නැගුවහම බොහෝ විට ඊට සාධාරණත්වයක් ඉටු නොවන බව ඇත්ත. නමුත් කතා පොත අභිබවා ගිය සිනමා කෘති තියෙනව. හොඳම උදාහරණයක් ඔපූ ත්‍රිත්වය - පාතර් පංචාලි, අපරාජිතෝ සහ ඔපුර් සන්සාර්.
    තව අකීරෝ කුරෝසාව ගත්තහම චිත්‍රපටයකට කතා කිහිපයක් පාදක කරගන්න අවස්ථා තියෙනව. උදාහරණයක් ලෙසට 'රෂොමොන්' ගත්තොත් අකුතගව ගේ 'රෂොමොන්' සහ 'වන ලැහැබකදී' යන කතා දෙකම ඇසුරු කරගෙන තමා චිත්‍රපටය නිර්මාණය කලේ. ඒ තුළින් ලෝක සිනමාව ගැන කතා කරද්දී කොහෙත්ම අමතක කල නොහැකි විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් නිර්මාණය කලා. එතකොට ලෙස්ටර් ජේම්ස් පීරිස්, 'නිධානය' නම් සිංහල සිනමාවේ අදටත් විශිෂ්ටතම නිර්මාණය ලෙස සැලකෙන සිනමා පටය නිර්මාණය කරන්නෙ ජී. බී. සේනානායකයන්ගේ එනමින් ලියූ කෙටි කතාවක් ඇසුරෙන්.
    මං හිතන්නේ හොඳම දේ තමා සිනමාව සහ ලේඛන කලාව (විශේෂයෙන් නව කතාව හා කෙටි කතාව) එකිනෙකින් අනන්‍ය වූ වෙනම කලා මාධ්‍යයන් ලෙස හඳුනා ගැනීම.

    ReplyDelete
  5. @ බුරා ..
    එකඟයි . චිත්‍රපටි තව හොඳයි . කොහොමද ලෝක ප්‍රකට කතා සිංහල ටෙලි නාට්‍ය හැදුවම
    @ පොත් ගුල්ලා
    ඔබත් හරි . සමහර ඒවා . අපු ත්‍රිත්වය ට නම් එකඟ වෙන්න අමාරුයි. මගේ චිත්ත රුප වල අහලකින් වත් යන්නේ නැහැ .
    ''ගඟ අද්දර '' නීරස පොතකින් මැවුන අගනා සිතුවමක්

    ReplyDelete
  6. @බින්දි,

    අනිවා.. අපූ ත්‍රිත්වය කියවද්දි මැවුන චිත්ත රූප ෆිල්ම් එක බලද්දි කැලේ.. මගෙ අදහස අනුව නං පොතට සාධාරනය ඉටුකරපු ෆිල්ම්ස් තියෙන්නෙ බොහොම අතලොස්සයි.. මම කියවපු-බලපු ඒවයින් මට අහුවුනේ Load of the Ring විතරයි..

    ඇත්ත, ගුල්ලා කියන කතාව ඇත්ත.. සිනමාව සහ ලේඛන කලාව එකිනෙකින් අනන්‍ය වූ කලා මාධ්‍යයන් තමා.. ඒත් බොහෝවිට මට වෙන්නෙ පොත කලින්ම කියවන්න ලැබෙනවා, පස්සෙයි ෆිල්ම් එක බැලෙන්නෙ.. ඉතිං අනිවා සංසන්දනයක් වෙනවා නේ.. ඉතිං අර හිතේ ඇදුන රූප ෆිල්ම් එකේ ආවෙ නැතුවම තද වෙනවා.. :)

    ReplyDelete
  7. @බින්දි / බුරා
    සරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය ලියු ඔපු ත්‍රිත්වය නව කතා බොහොම දිග කතා. සිනමාවට නැගීමේදී ඒ කලා මාධ්‍යයට උචිත පරිදි යම් වෙනසකට භාජනය කරන්ට වෙනව. සමහරවිට කතා පොතේ මතු කරන තේමාවට වඩා වෙනස් තේමාවක් චිත්‍රපටයෙන් ප්‍රකාශ වෙන්නත් පුළුවන්. විශේෂයෙන් අපරාජිතෝ චිත්‍රපටය ගත්තොත් මවගේ සහ පුතාගේ චරිත ඝට්ටනය වඩා තීව්‍රව ඉදිරිපත් කරන්නෙ පොතට වඩා සිනමා පටයයි. මට නං දැනෙන විදිහට පොතේ තේමාව දුප්පත්කමයි. සිනමා පටයේ තේමාව මවත් පුතත් අතර සම්බන්ධතාවයි. මේ මාධ්‍ය දෙක වෙන් වෙන්ව රසවිඳිය යුතු බව මම කියන්නේ ඒ නිසයි.

    ReplyDelete
  8. පොත් ගුල්ලා..

    දා හතරෙ ඒව දෙකහමාරකුත් ඩීංගක් පහුවුණා... පළවෙනි දහයෙන් බලල තියෙන්නෙ දෙකයි..
    E.T. the Extra-Terrestrial (1982)
    Toy Story (1995)

    අනිත් හතලිහෙනුත් බලල තියෙන්නෙ කීපයයි.. පුළුවන් හැටියකට හොයාගෙන බලන්න ඕන ... කියන චිත්‍රපටිය මේ පණහ ඇතුලට නාවෙ ඇයි කියන එක මට හරි ගැටලුවක්...

    ..............................

    @ bura..

    මම බලල තියෙන චිත්‍රපටි වලින් පොතට හොඳින් සාධාරණය ඉටු වෙච්ච චිත්‍රපටියක් තමා "විරාගය"

    ...........

    පස්සෙ තව කතා කරමු... දැන් බඩගිනියි..( මාරය කරපු වැඩක්..)

    ReplyDelete
  9. sorry there is a missing name in the post.. I wanted to mention " Sound Of Music "

    please edit the comment if you can..

    ReplyDelete
  10. මදැයි. මම බලල තියෙන්නෙ Spirited Away, Finding Nemo, ET තුන විතරයිනෙ. පතෙර් පංචාලි බලන්න ඕනෙකම තිබුණට හොයා ගන්න බැරි වුණා.
    ස්තුතියි ලැයිස්තුවට.
    මැරෙන්න කලින් බලන්න ඕනෙ චිත්‍රපටි ලැයිස්තු ඒ ගොල්ල හදන්නෙ නැතිද?

    ReplyDelete
  11. //මැරෙන්න කලින් බලන්න ඕනෙ චිත්‍රපටි ලැයිස්තු ඒ ගොල්ල හදන්නෙ නැතිද?//

    දෙයියංප දොස්තර නෝන... මාත් හිතුවෙ ඒක තමා...

    ReplyDelete
  12. @සපතේරු උන්නැහේ
    සන්තෝසයි මේ පැත්තේ ඇවිදින් අදහස් දැක්වුවට.
    මමත් ඉතින් ඔය පලවෙනි දහයෙන් බලල තියෙන්නෙ දෙකයි.
    Bicycle Thieves සහ Spirited Away. ඒකත් මේ ඊයේ පෙරේදා. හැබෑට මටත් සපතේරු උන්නැහැ කිව්වමයි මතක් උනේ. මොකද Sound of Music නැත්තේ? මමත් බොහොම ආස කරන චිත්‍රපටයක්. කොහොම හරි ඉතින් අනෙක් චිත්‍රපටි ඕක අභිබවා යන්ඩ ඇති.

    විරාගය සම්බන්ධයෙන් ඔබ කියන කතාවත් ඉතින් හරි. හැබැයි මට හිතෙනවා තිස්ස අබේසේකරගේ සිනමා පටය මාටින් වික්‍රමසිංහයන්ගේ නව කතාවට වඩා එහා තැනකට අපව ගෙනියනවා කියල.

    එතකොට සපතේරු උන්නැහැගේ වයස 35 යි ටිකයිද? මං හිතන් උන්නෙ අර බ්ලොග් එකේ පින්තූරේ ඉන්න කෙනා තරමට වයස ඇති කියලනෙ. වයස කීය උනත් හොඳ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් බව නම් පැහැදිලියි.

    අනේ අර කමෙන්ට් එක වෙනස් කරන විදිහ මං නං දන්නේ නෑ. ඔබේ කමෙන්ට් දෙකම එක ළඟ තියෙන නිසා පාඨකයාට ගැටළුවක් වෙන එකක් නැහැ.

    ReplyDelete
  13. මටත් ඒක හිතුනා.. Sound of Music ඒ ලැයිස්තුවෙ තියෙන්නම ඕන එකක්.. සමහරවිට මැරෙන්න කලින් බලන්න ඕන ලැයිස්තුවට දාන්න ඉන්නවා වෙන්ටැති.. :D

    ReplyDelete
  14. @නලිනි
    වෙනද වගේම ඇවිදින් අදහස් දැක්වීම ගැන ස්තුතියි. පාතර් පංචාලි ටොරන්ට්ස් වලින් බා ගන්න පුළුවන්. ඒත් ඉංග්‍රීසි උප සිරැසි එන්නෙ නෑ. සත්‍යජිත් රායි සිනමා උළෙලක් රූපවාහිනියේ වරක් පැවැත්වුවා. ඔපු ත්‍රිත්වයම පෙන්නුව. පාතර් පංචාලි ඉන් පසුවත් අවස්ථා කිහිපයකදීම පෙන්නුව මතකයි. ඔන්න යූ ටියුබ් එකේ තියෙනව වගේ. http://www.youtube.com/watch?v=jy86RSjdxmE&feature=watch-now-button&wide=1

    මැරෙන්න කලින් බලන්න ඕනෙ චිත්‍රපට ලැයිස්තුවක් BFI එකෙන් නං තාම හදල නැහැ. පොඩ්ඩක් ඉන්ඩකෝ. අපි ඉක්මනින්ම Sight & Sound, Top Ten List ගැන කතා කරමු.

    ReplyDelete
  15. @සියලු දෙනාටම
    මගේ අතින් පුංචි වැරදීමක් උනා. ඒ ගැන සමාවෙන්න.
    ඔපු ත්‍රිත්වය ලිව්වේ සරච්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය නෙමෙයි. විභූතිභූෂණ බන්දෝපාධ්‍යාය.

    ReplyDelete
  16. ඔන්න බලන්න ටෙලිපති . මම ත් ඊයේ කල්පනා කළා ''සවුන්ඩ් ඔෆ් මියුසික්'' ගැන . මොකද පෙරේද අපේ දිහා ඕක ඩවුන් ලෝඩ් වෙච්ච හින්ද . අපේ බනිලගේ තාත්ත දන්නවා වෙනම උප සිරැසි බාගන්න සහ ෆිල්ම් එක බලද්දී සම්බන්ධ කරන්න . ඒ ගැන අහල කියන්නම් .

    විසර්ඩ් ඔෆ් ඔක්ස් සහ ටොයි ස්ටෝරි බලල තියෙනවා පලවෙනි ලිස්ට් එකෙන් .

    අපු ත්‍රිත්වය ...ස්නෝ වයිට් ...බලල තියෙනවා . බියුටි ඇන්ඩ් ද බිස්ට් කියල තියෙන්නේ කාටුන් එකද . ඒක නම් බලල තියෙනවා . finding nemo නම් පට්ට ගහල තියෙන්නේ . කාටුන් බලනවා කියල ළමයින්ට මුකුත් කියන්න හොඳ නැහැනේ බලන් යනකොට .

    මැරෙන්න කලින් බලන්න ඕන ලිස්ට් ඒක හදද්දී කියන්නකෝ මටත් තියෙනවා ගොඩක් කියන්න .

    ReplyDelete
  17. කිව්වත් වගේ පොත් ගුල්ලෙක් නෙමේ, චිත්‍රපටි ගුල්ලෙක්,, බොහොම ස්තූතියි සටහනට, දැනුවත් කිරීමට

    ReplyDelete
  18. පොත් ගුල්ලා, බොහොම ස්තුතියි ලින්ක් එකට. මේ දිනවල බරපතල අසාධ්‍ය තත්ත්වයක ඉන්නෙ. අනාගතයෙ දිනෙක බලන්නට ඕන.

    ReplyDelete
  19. @බින්දි
    Sound of Music චිත්‍රපටය ඔය ලැයිස්තුවට ඇතුලත් උනේ නැත්තේ ඇයි කියල මම FB එකේ BFI පිටුවේ ප්‍රශ්නයක් හැටියට කමෙන්ට් එකක් දැම්ම. අපි බලමුකෝ උත්තරයක් ලැබෙයිද කියල. මටත් උත්තරයක් තියෙනවා. එත් ඊට කලින් බලමු BFI එක මොනවද කියන්නේ කියල.

    Beauty and the Beast චිත්‍රපට දෙකක්ම 50 ලැයිස්තුවට ඇතුලත්. 1991 සිනමා පටය Walt Disney Animation එක තමා. ඒත් 1946 එක ප්‍රංශ චිත්‍රපටයක්. විකියේ විස්තර තියෙනව. මෙතනින් බලන්නකෝ.

    1946 - http://en.wikipedia.org/wiki/Beauty_and_the_Beast_(1946_film)

    1991 - http://en.wikipedia.org/wiki/Beauty_and_the_Beast_(1991_film)

    ReplyDelete
  20. @හරී - පිණිපළස
    වෙනද වගේම ඇවිල්ල, ලිපිය කියවල අදහසකුත් පල කිරීම ගැන ගොඩක් සතුටුයි.
    අප වන් ආධුනිකයන් දිරිමත් කිරීම පිනක්.

    @නලිනි
    දොස්තර නෝනටත් අසාධ්‍ය වෙලාද?
    ඉක්මනින්ම අසාධ්‍ය තත්වය මගහැරේවා කියල පතනව.

    @බින්දි / බුරා
    පොත් සහ චිත්‍රපට ගැන කතා කල නිසා ඔබේ අවධානය මේ කෙරෙහිත් යොමු කරන්න කැමතියි.
    මගේ ලිපියේ පල කල රූප රාමු අතර the 400 blows, Bicycle Thieves සහ Pather Panchali වෙත ඇස යොමන්න. මේ කුඩා ළමුන් තුන්දෙනාගෙ මුහුණින් පල කරන එකිනෙකට වෙනස් හැගීම් වචනයෙන් විස්තර කරන්නෙ කොහොමද? මා නම්, ඒ මුහුණු තුන තුළ වචනයට නගා ගන්න බැරි වෙනමම කතා තුනක් දකිනවා. කතාවකින් කියන්න බැරි දෙයක් රූපයකින් කියන්න පුළුවනි.
    තවත් වෙනසක් තමා චිත්‍රපටයක කතා තේමාව උද්දීපනය කරන සංගීතය. පාතර් පංචාලි සිනමා පටයට පණ්ඩිත රවී ශංකර් තුමන් එක් කල සංගීතය සිනමා ලෝකය තුළ නොමැකෙන සටහනක්. අර සෝ බර බට නලා වාදනය ඇහෙද්දී අදත් මගේ හදවත සලිත වෙනව. ඒ සමග මතුවන රූප රචනය අනුවේදනීය කතාවක් අප ඉදිරියේ දිග හරිනව. කියවූ පොත සහමුලින්ම අමතක කරල සිනමා පටයේ තියෙන්නේ වෙනම කතාවක් කියල හිතාගෙන පාතර් පංචාලි නැවත නරඹන ලෙස මං බින්දිටයි බුරාටයි ආරාධනා කරනව. ඔබ මින් පෙර නොදුටුව සුන්දරත්වයක් දකින බව සහතිකයි.

    ReplyDelete
  21. පොත් ගුල්ලා..

    // කියවූ පොත සහමුලින්ම අමතක කරල සිනමා පටයේ තියෙන්නේ වෙනම කතාවක් කියල හිතාගෙන //

    කරන්න පුළුවන් නම් හොඳයි.. ඒත් අමාරුයි නොවැ..

    ඕක දෙපැත්තටම බලපානව..

    දැන් අපි බුරා කියපු lord of the rings ම ගම්මුකො.. මට වුනේ බුරාට වෙච්ච එකේ අනිත් පැත්ත.. මම පොත් කියෙව්වෙ film series එකම බලල ඉවර වුණාට පස්සෙ... ඉතින් මට පොතක් කියවල අපි චිත්ත රූප මවාගෙන ගන්න ආතල් එක ගන්න බැරිවුණා... මට වුනේ චිත්‍රපටිය ගැන විස්තරයක් කියෙව්ව වගේ දෙයක්.. ඇයි හැම තැනකදිම හිතේ මැවෙන්නෙ චිත්‍රපටියෙ දැකපු දර්ශන...

    ඔබ කියන දේ හරි.. මේ දෙක මාධ‍ය දෙකක්...

    ඒත් චිත්‍රපටියට වඩා පොතට ඇලිච්ච මටත් හිතෙන්නෙ පොතක් චිත්‍රපටියකට නැගුවහම පොත කියවල චිත්‍රපටිය බලන හුඟාක් අය සෑහීමකට පත්වෙන්නෙ නැහැයි කියල තමා...

    ගම්පෙරලිය ගන්නකො.. අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වෙච්ච සිනමා නිර්මානයක්නෙ... ඒත් පොතේ මාර්ටින් වික්‍රමසිංහ ඒ ඒ චරිත වල විස්තර කරන චරිත ලක්ෂණ තියා ගම ගැන කරන භෞතික විස්තරවත් චිත්‍රපටියෙන් එනවද ...

    අනිත් පැත්ත බලමුකො...

    පිරවි බලල ඇති කියල හිතනව...දැන් කවුරු හරි පිරවි පොතකට ලියන්න හැදුවොත් අර චිත්‍රපටයෙන් අති කරපු කම්පනයෙන් සීයෙන් පංගුවක්වත් ඇති කරන්න පුළුවන් වෙයි කියල මම හිතන්නෙ නෑ...

    ........

    පොතයි චිත්‍රපටියයි සසඳන් නැතුව වෙන වෙනම රස විඳින්න පුළුවන් නම් තමා හොඳ...

    ReplyDelete
  22. @සපතේරු උන්නැහැ
    ඕකට ප්‍රධාන හේතුව අපි සිනමා පටයෙන් කතන්දරයක්ම බලාපොරොත්තු වීමයි. ගම් පෙරලිය සිනමා පටය මුලින්ම බලපු අවස්ථාවේ මටත් ඕකම උනා. ඒත් සිනමාවට අනන්‍ය ලක්ෂණ හඳුනාගෙන චිත්‍රපටය කතන්දරයක් හැටියට නොව චිත්‍රපටයක් ලෙසට හඳුනාගෙන රසවින්දින්ට උගෙන නරඹපු පසු අවස්ථාවක මං ගම් පෙරලිය සිනමා පටය හොඳින් රසවින්දා. හොඳ උදාහරණයක් කියන්නන්, අර නාමල් පුජ කරන්ඩ පරගොඩ යනකොට නන්දට ජිනදාස පේන අවස්ථාව ගන්ඩකෝ. දුමක් මැද්දෙන් ජිනදාස වගේ පුද්ගලයෙක් මතුවෙලා නන්දව අන්ද මන්ද කරන ජවනිකාව මං හිතන්නෙ පොතට වඩා තීව්රව ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගන්නවා. මට නං ඒ වගේම රසයක් ගෙනාව අර වලන් කාරය කදත් කරේ තියාන අමරදේවයන්ගේ පසුබිම් සංගීතය ඔස්සේ ගම මැදින් යන දර්ශනය.

    ඔය ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටය මමත් රසවිඳි සිනමා පටයක් තමයි. ඒත් සිනමාත්මකව එතරම් හොඳ උදාහරණයක් ලෙසට මං සලකන්නේ නැහැ. ඇකඩමි සම්මාන ලැබුණ තමයි. ඒත් ඕක ඇමරිකානු වට්ටෝරු සිනමා කෘතියක්. දේවාශිර්වාදය ලත් යහපත් බලවේගයන් විසින් අයහපත් යක්ෂ බලවේගය පරාජය කිරීම ඇමරිකාව පට්ටගහපු තේමාවක්. කළු සුදු චරිත සහිත අභව්‍ය ලෝකයක්. Climax එකෙනුත් පසුව තවත් අඩ පැයක් විතර ඇදගෙන ගොස් ප්‍රේක්ෂකයා හෙම්බත් කරදමන dragging and dragging වර්ගයේ චිත්‍රපටයක්. Spirited Away සමග සසඳා බලන්න. ඒ චිත්‍රපටයටත් පදනම් වෙන්නෙ අභව්‍ය ලෝකයක් තමයි, ඒත් මිනිස් හැගීම් වලට මුල් තැන දෙන ආසියාතික චින්තනයෙන් ඔපවත්වුනු කතාවක්. තමන්ව හිර කරගෙන හිටපු, අමානුෂික විදිහට තමන් තලා පෙලපු, තමන්ගේ මව්පියන් ඌරන් බවට හැරවූ මන්තරකාරියටත් චිහිරෝ දැරිය අන්තිමට කියන්නේ "හැමදේටම ස්තුතියි අත්තම්මේ" කියලයි.

    "පිරවි" ගැන ඔබතුමා මතක් කලහම මටත් මං කරපු මෝඩ වැඩක් මතක් උනා. එල්පින්ස්ටන් සිනමා හලේ ඉන්දියානු චිත්‍රපට උළෙලකදී තමා ඉස්සෙල්ලම ලංකාවේ පිරවි පෙන්නුවේ. ඔය චිත්‍රපටයට ලබා දීපු ප්‍රචාරය නිසා එදා අති විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඇවිල්ල හිටිය. මම කලින්ම ටිකට් වෙන් කරගෙන හිටි නිසා ප්‍රශ්ණයක් උනේ නැහැ. බලන්ට නොලැබුණු ප්‍රේක්ෂකයන්ගේ බලවත් ඉල්ලීම මත පසු දිනක පිරවි චිත්‍රපටය පමණක් නැවත පෙන්නුව. මුල් දවසේ බලල ලබපු රසය (ඔබේ වචනයෙන් කම්පනය) නැවත ලබන්න මම ආයෙත් ටිකට් වෙන් කරගෙන උණු උණුවෙම දෙවෙනි සැරේටත් නැරඹුව. අනේ කරගත්තු මෝඩකමක් කියල හිතුනෙ. අර මුලින් දැනිල, හිතේ රැඳිල තිබුණු කම්පනයත් අන්තිමට නැතිවෙලා ගියා. හැබැයි දැන් නම් ආයෙත් වතාවක් බලන්න ආසයි.

    ReplyDelete
  23. https://www.facebook.com/event.php?eid=261777150500861

    ඔබ සම්බන්ද විය යුතු ස්තානයක්.......ඉතා හොඳ ඝනයේ චිත්‍රපට නැරඹිය හැකි තැනක්...
    Alliance Française de Kotte

    අර මගේ දැන්වීම ඔබ නිසා නොවෙයි පොත් ගුල්ලා තවත් අවකාශයේ සැරිසරන තවත් කවිකාරියක් නිසයි. කොපි කලා කියල නං කියන්ට බැහැ. ඕනැම කෙනෙකුට අයිතිය තියනවනෙ තමන්ට කැමති නමත් පිංතූරයත් තොරගන්ට. ඔබට හැකිනං මට ඔබගේ විද්‍යුත් ලිපිනය එවන්ට හරියටම කෙනා කවුද කියා කියන්නං

    ReplyDelete
  24. @ඊ මේල් කවි කාරි
    කවි කාරි දීපු ඔත්තුවට ගොඩක් ස්තුතියි. ඔය එම්පරර් පෙන්ගුයින් මාර්ච් ෆිල්ම් එක මන් කලින් ස්විස්ටර්ලන්ත සිනමා උලෙලකදී බලල තියෙනව. හොඳ වාර්තා චිත්‍රපටයක්.

    අනේ අනිත් කවි කාරී කව්රු උනත් කමක් නැහැ, ඔය කවි කාරිට පාට මාරු කරන්ඩ උනේ මන් නිසා නෙමෙයි නං එච්චරයි.
    මකරන්දය පැත්තෙ ඇවිත් ඉස්-ඉස්සෙල්ලම දාපු කමෙන්ට් එකටත් ස්තුතියි.

    ReplyDelete
  25. @සපතේරු උන්නැහැ/ බින්දි/ බුරා
    "Sound of Music", 50 ලැයිස්තුවට ඇතුලත් නොවීම පිළිබඳව BFI බලධාරීන් අපට පිළිතුරක් ලබා දී ඇත.

    මා ඇසූ පැණය -

    POTH GULLAposted toBFI
    Can I know why the film "Sound of Music" was not included in the BFI list of the 50 films you should see by the age of 14?

    BFI වෙතින් ලැබුණු පිළිතුර -

    BFI - Hi Pothgulla, this list was compiled by film educators, critics and festival and cinema programmers. The Sound of Music didn't make the cut as it didn't receive enough votes.

    ReplyDelete
  26. ඊයේ මන් ආයි සවුන්ඩ් ඔෆ් මියුසික් බැලුව . සංගීතය අතින් කතාව අතින් ඔය කොයි දේත් අනර්ගයි. මට හිතෙනවා චන්ද අඩු වුනේ සංස්කරණය පැත්තෙන්ද කියල

    ReplyDelete
  27. පොත්ගුල්ලා..." sound of music " ගැන සොයා බැලීම ගැන ස්තුතියි... එක ඉතින් ඒ කට්ටියගෙ එක නොවැ...

    ලෝකය කොයි තරම් පුංචිද... ඔබයි මමයි එකම ශාලාවෙ වාඩිවෙලා "පිරවි" බලල තියෙන්නෙ... හැබැයි මම බැලුවෙ ඔබ අර කියන දෙවෙනි දර්ශනය... සිනමා උලෙලට පසුව තියපු... මට නිශ්චිතව වසර මතක නෑ නොවැ.. '89 හෝ '91 විය යුතුයි...

    ReplyDelete
  28. @බින්දි/ සපතේරු උන්නැහැ/ බුරතීනෝ
    බින්දි යි, සපතේරු උන්නැහැ යි අන්තිමට ලියපු කමෙන්ට්ස් වලට උත්තර දෙන්ඩ පමා උනේ මං Home Work ටිකක් කරන්ඩ කල් ගත්ත නිසයි. Home Work වෙන මොනවත් නෙමෙයි මේ ලිපියටම අදාලවයි. Sound of Music සිනමා පටය මේ ලැයිස්තුවට ඇතුළු නොවුනේ ඇයි කියල සපතේරු උන්නැහැ අහපු වෙලේ ඉඳල ඒ ප්‍රශ්නේ මගේ ඔලුවට ටිකක් වද දුන්න. ඒ නිසා ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන් මම දරන මතය ප්‍රකාශ කරන්ඩ කලින් මං තීරණේ කළා මේ පනහෙ ලැයිස්තුවට අදාල තව චිත්‍රපටි කිහිපයක් හෝ බලන්ඩ. ඉතින් ඔය Home Work එකෙන් පස්සේ BFI ලැයිස්තුවට අයත් පහත දැක්වෙන චිත්‍රපට මම දැනට නරඹල තියෙනවා.

    Spirited Away (2001)
    Bicycle Thieves (1948)
    The 400 Blows (1959)
    Finding Nemo (2003)
    It's a Wonderful Life (1946)
    The Kid (1921)
    Monsieur Hulot's Holiday (1953)
    Pather Panchaali (1955)
    To Kill a Mocking Bird (1962)

    ඔක්කොම නමයයි. පනහකින් නමයක් කියන්නෙ සියයට 18ක් නේ. සැලකිය යුතු ප්‍රමාණයක් නොවුනත් මේ ලැයිස්තුව පිළිඹඳව අදහසක් ගන්න සෑහෙනව. ඔය චිත්‍රපට නවය අතරින් "මොසියේ හියුලට් ගේ නිවාඩුව" නමැති චිත්‍රපටය හැර (එය හාස්‍යෝත්පාදක චිත්‍රපටයකි.) අන් සැම සිනමාපටයක්ම අනුවේදනීය කතාවක් රැගත් (Finding Nemo පවා) සිනමා කෘති. ඔය හියුලට් මහත්තයාගේ කතාව තරං හිනා වෙච්ච කොමඩියක් මම බලල නෑ. කොමඩියක් උනාට සෑම දර්ශනයක්ම තාත්වික බවකින් යුක්තයි. විකාර කරල මිනිස්සුන්ව හිනැස්සිල්ලක් නැහැ. (ප්‍රංශ සිනමා උළෙලකදී නැරඹුවෙමි.) ඒ නිසා ඒ චිත්‍රපටය සුවිශේෂයි. ඉතිං සංසන්දනය සාධාරණ වෙන්ඩ මම Sound of Music චිත්‍රපටයත් ආයෙත් බැලුව (දහ වෙනි හෝ දොලෙස් වෙනි වතාව). අර සිනමා කෘති වල තරං අනුවේදනීය බවක් Sound of Music තුළ නැති බව තමා මට නං වැටහුනේ.

    අනෙක් කාරනය තමා Sound of Music චිත්‍රපටය, සිනමා කෘතියකට වඩා ගීත නාටකයක ස්වරූපයක් ගන්නව. (කොහොමත් මේක ගීත නාටකයකින් තමා චිත්‍රපටයට නගල තියෙන්නෙ.) රඟපෑම් අතින් ගත්තත් Julie Andrews ගේ හැර වෙනත් නළු නිළියන්ගේ එතරම් විශේෂයක් දක්නට නැහැ. ළමා නළු නිලියන් රංගනය අතින් කිසිම විශේෂත්වයක් පෙන්වන්නෙ නැහැ. Bicycle Thieves, The 400 Blows,The Kid, Pather Panchaali සහ To Kill a Mocking Bird යන චිත්‍රපට වල ළමා නළුනිළියන් ඒ අතින් විශිෂ්ට රඟපෑම් වල යෙදෙනව. බින්දි දැකපු විදිහට සංස්කරණ දෝෂයකුත් සමහරවිට තියෙනව ඇති. නමුත් ඒ වගේ දුර්වලතාවයක් දකින්න තරං මගේ සිනමා දැනුම පොහොසත් නැහැ. 1965 දී Sound of Music චිත්‍රපටයට ඇකඩමි සම්මාන පහකුත් ලැබෙනව. ඒත් ඇමරිකාවෙන් පිටත සම්මානයට පාත්‍ර වෙලා නැහැ.

    ඉතිං Sound of Music අප කොයි තරං ප්‍රිය කරන චිත්‍රපටයක් උනත් එය බ්‍රිතාන්‍ය සිනමා ආයතනය ප්‍රකාශයට පත් කල 14 වැනි වියට පා තබන විට නැරඹිය යුතු චිත්‍රපට පනහට ඇතුලත් නොවීම ඒ ලයිස්තුවේ අඩුපාඩුවක් නොවන බවයි මට නම් පැහැදිලි වෙන්නෙ.

    @සපතේරු උන්නැහැ
    එහෙනං ඔබයි, මමයි එකම සිනමා ශාලාවේ ඉඳන් 'පිරවි' නැරඹුව. ලෝකය තනි යායක් කියන්නෙ ඒක නිසා තමා. ඔබතුමා ලංකාවට ආයෙ ආපු වෙලාවක අපි හමුවෙමු. ඉරිදා උදයක කැලණි විහාරෙට ආවොත් මා හමුවෙන්න පුළුවන්. අපේ අනෙක් සහෘදයින් වත් හමුවෙන්න හරි ආසයි. හැමෝම නිවාඩුවකට එක කාලෙකදි ආවොත් අපි කැලණි විහාරෙදි හමුවෙමු. බින්දිට පුළුවන් නං අනෙක් අයව සම්බන්ධ කරගන්න අපි බ්ලොග් රචකයන්ගේ සහ රසිකයන්ගේ හමුවක් කැලණියේ පවත්වමු.

    ReplyDelete
  29. අපිත් කැළණිය පැත්තෙ කැරකෙන ඩයල් තමා හරිය.. වෙදමුල්ල හරියෙන් බැහැලා බුරා කියලා අහන්ටකො, ඔය ඕන කෙනෙක් පාර පෙන්නයි (හැබැයි ලංකාවෙ ඉන්න කාලෙට).. :)

    එහෙනං ඒක වෙන්ටැති Sound of Music ඒ ලැයිස්තුවට දාලා නැත්තෙ.. To Kill a Mocking Bird කියන්නෙ මගේ ප්‍රියතම පොතක්, ඒ පොත කියවලා මං ලබපු රසය බිංදුවක්වත් අඩුනොකර තියාගන්ට ඕන නිසා ෆිල්ම් එක නොබලා ඉන්න මම තීරණය කලා..

    ReplyDelete
  30. හරබර සංවාද අස්සෙ මට ආසා හිතුනා " the sounds of music " හොයාගෙන බලන්න. you tube එකේ ඇති මගෙ හිතේ :)

    ReplyDelete
  31. ස්තුතියි පොත් ගුල්ලා ..වෙලා තියන මහන්සියට . මොනවා වුනත් අපේ ළමයි ඉතා රස විඳිනවා සවුන්ඩ් ඔෆ් මියුසික් .

    මේ බුරත් අපේ පලාතෙනේ . ඔයාටම තමයි ඔය එක්රැස් වෙන වැඩේ සංවිධානය කරන්න වෙන්නේ . මන් ඉතින් ඔය සති දෙක තුනට පස්ස ගිනි ගත්ත වගේ තමයි. හැබැයි පන්සලට නම් ගොඩ වෙනවමයි කොහොම හරි. ලෑස්ති කලොත් මන් එනවාමයි .

    ReplyDelete
  32. @හරී පිණි පළස
    The Sound of Music චිත්‍රපටය මෙතනින් බා ගන්න
    http://thepiratebay.org/torrent/3945761

    @බින්දි / බුරා
    මේ චිත්‍රපටය නරකයි කියලනන් මං කීයටවත් කියන්නේ නෑ. බොහොම හොඳ සිනමා පටයක්. බින්දිගේ දූලා විතරක් නෙමේ මමත් ආසාවෙන් රසවිඳින චිත්‍රපටයක්. ඒත් අර ලැයිස්තුවට ඇතුලත් සිනමා පට මීට වඩා හොඳ වීම තමා ප්‍රශ්නෙ.

    බුරත් එහෙනං අපේ ගමේ. හරි සන්තෝසයි. මමත් වයස අවුරුදු 10 වෙනකන් පදිංචිවෙලා හිටියෙ ධර්මාලෝකේ ඉස්සරහ වෙදමුල්ල මාවතේ. දැන් නං ඉන්නෙ ගෝනවල. ලංකාවට එන වෙලාවට කට්ටිය මට මතක් කරන්ඩකෝ. අපි අනිවා මොනවහරි කරමු.

    ReplyDelete
  33. @බුරා
    To kill a Mocking Bird මගෙත් ප්‍රියතම කෘතියක් තමා. මම නං චිත්‍රපටියත් බැලුව. (මේ පොතෙන් චිත්‍රපට කිහිපයක්ම හදල තියෙනව. ඒත් Gregory Peck රඟපාන එක තමා හොඳම.) ඒකත් උපරිමයෙන් පොතට සාධාරණේ ඉෂ්ට කරලා තියෙනව. ඒත් මෙතෙන්දි නං මං බුරත් එක්ක එකඟ වෙනව. චිත්‍රපටිය කොයිතරන් හොඳ උනත් අර චිත්ත රුප ප්‍රශ්නෙ මේකෙදි මටත් ඇතිඋනා. ඒක නිසා චිත්‍රපටය නොබැලීම ගැන ඔයාට මං වරදක් කියන්නේ නැහැ.

    ReplyDelete
  34. ලයිස්තුව අනර්ගයි. බොහොමයක් මගෙ ප්‍රියතම චිත්‍රපට අතර තියන ඒව.ලයිස්තුවේඅ නැති උනත් sound of music මටනම් කවදාවත් පරණ නොවන චිත්‍රපටයක්.පරම්පරා ගණනක් රසවිදිය හැකි කතාවක්. මමනම් වැඩියෙන්ම කැමති සින්දු ටිකට.Wizard of Oz චිත්‍ර පටයේ 'Someday over the rain bow ගීතයත් බොහොම ලස්සනයි.Back to the future චිත්‍රපට මාලාවම අද්ටත් රසවිදිය හැකියි. 14 වියට එනවිට නොවුනත් මේ සියල්ල නරඹාතිබීම සතුටක්. මම හිතන්නෙ මේ ලයිස්තුවේ සියළු චිත්‍රපට කලයත් සමග වයසට නොයන ඒව. අද බැලුවත් රසය බ්න්දුවක් වත් අඩු වෙන්නේ නැති ච්ත්‍රපට.

    ReplyDelete
  35. ඔව් මං ගුරුවරියක් තමා . දැං මං ඒ රැකියාවෙන් අයින්වෙලා නේ. ඒ නිසා මේ සුහද ඇමතුම හොඳයි. ගුරුතුමී කිව්වම හිතට බරයි වගේ. දැං මට ටීච කියලා කතා කරන්නෙ මූණු පොතේ ඉන්න ගෝල දරුවො දෙතුන් දෙනෙක් විතරයි,

    ReplyDelete
  36. කමෙන්ට් එක ගියේ වැරදි තැනකටද මංද?

    ReplyDelete
  37. මෙතන මම් එක ෆිල්ම් එකයි බලලා තියෙන්නේ.

    ReplyDelete
  38. @රෝස කුමාරි
    අනේ රෝස කුමාරි මෙතන කමෙටුවක් දාල ගිය බව දැක්කෙ අදනේ. සමාවෙන්ඩ උන ප්‍රමාදයට.
    ඔන්න චිත්‍රපටි වැඩි ගණනක් බලපු යාලුවෙක් හම්බවෙච්ච එක ගැන ගොඩක් සතුටුයි. මමත් තාම බලල තියෙන්නේ ටිකයි. වැඩි හරියක් බැලුවේ මේ ලැයිස්තුව දැක්කට පස්සේ.
    කමෙටුවට බොහොම ස්තුතියි.

    @මධුරංග
    මේ චිත්‍රපටිත් ගොඩක් ටොරන්ට්ස් වලින් බා ගන්න පුළුවන්. හෙමිහිට බලන්ඩකෝ. මල්ලි ගොඩක් ඒවට කැමති වෙයි.

    ReplyDelete
  39. කියන්න කණගාටුයි මේ ලැයිස්තුවේ තියෙන එකම චිත්‍රපටියක්වත් මම බලලා නැහැ. කොහොම නමුත් ඒවා ඉස්සරහට බලන්න උත්සහ කරනවා

    ReplyDelete
    Replies
    1. හුඟක් ඒවා ටොරන්ට්ස් හරහා බා ගන්න පුළුවන්. හෙමිහිට එක එක බලන්න.

      Delete