Sunday, July 31, 2011

Ladri di biciclette - බයිසිකල් හොරු


මගේ තාත්ත උපන්නේ 1930 අවුරුද්දේ. 1950 වෙනකොට ගජ ඉලන්දාරිය. තාත්ත මට කියල තියෙනවිදියට ඒ දවස්වල එයා හොඳ පිච්චර් පිස්සෙක්ලු. පදිංචිවෙලා ඉඳල තියෙන්නේ කොළඹ කොම්පන්ඥ්ඥ වීදියේ. කොළඹ සිනමා ශාලා වලට එන ඕනෑම චිත්‍රපටියක් වරද්දන්නෙ නැතිලු. ඉංග්‍රීසි, හින්දි හෝ වෙනත් ඕනෑම භාෂාවක් කමක් නැහැ එන ඕන එකක් බල බල තමා ඉඳල තියෙන්නෙ. හැබැයි 1950න් ආරම්භ වුනු දශකයේ මුල් භාගයේ බලන්ට ලැබුණු චිත්‍රපටියක් නිසා හැම දෙයක්ම වෙනස්වෙලා. ඉන් පස්සේ තමා තාත්තට වැටහිලා තියෙන්නෙ කලාව මිනිසා වඩා යහපත් කිරීමට යොදා ගත හැකි මාධ්‍යයක් බව. නිකන්ම නිකන් විනෝද මාධ්‍යයක් නොවී මනුස්සකම ගැන කතා කරන, මිනිහෙක් තමන් ජීවත් වෙන ආකාරය ගැන යළි හිතන්නට පෙළඹවිය හැකි උසස් නිර්මාණ ශීලී ගුණයක් හොඳ යැයි සලකන කළා කෘතියක තිබිය යුතු බව.  කොටින්ම කියනවා නං චිත්‍රපටයකින් විනෝදය ලබා දෙනවට වඩා කරන්ඩ දෙයක් තියෙන බව. ඒ වෙනස ඇති කරපු චිත්‍රපටය තමා "බයිසිකල් හොරු". 

"බයිසිකල් හොරු" බැලුවට පස්සේ එයා තීරණය කරලා තියෙනව ඉන් ඉදිරියට එන හැම සිනමා පටයක්ම ඔහේ බලන්නේ නැතුව චිත්‍රපට තෝරා බේරා ගෙන බලන්ඩ. ලංකාවේ වාමාංශික ව්‍යාපාරෙට සම්බන්ධ වෙන්න ගත්තු තීරනේටත් මේ සිනමා පටය යම් බලපෑමක් අපේ තාත්තට කරල තියෙනව. අපේ තාත්තගේ ජීවිතේ අලලා මං වෙනම පොස්ට් එකක් ඉස්සරහට ලියන්නන්කො. මොකද අපේ තාත්තත් ඔය "වානේ පන්නරය" ලබාපු චරිතයක්නෙ. අපේ සහෘදයෝ ඒ කතාවත් දැනගන්ඩ කැමති වෙයි කියල මට හිතෙනව. ඒත් අපි අද "බයිසිකල් හොරු" ගැන කතා කරමු.

මේක ඉතාලි චිත්‍රපටයක්. පසුබිම් වෙන්නෙ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ඉතාලියේ රෝම නගරය. චිත්‍රපටයේ අධ්‍යක්ෂක "විටෝරි ඩි සිකා". 1948 නොවැම්බර් මාසයේදී තමා මුල් වරට තිරගත කරලා තියෙන්නෙ. 1950දි ඇකඩමි ගෞරව සම්මානයක් (Academy Honorary Award) මේ චිත්‍රපටයට හිමිවුනා. බ්‍රිතාන්‍යයේ "Sight & Sound"  සඟරාව 1952 දි මුල් වරට ලෝක සිනමා විචාරකයන් සහ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂක වරුන් එක්රැස් කරලා ලොව මෙතෙක් නිපදවූ හොඳම චිත්‍රපට දහය තේරුවා. එහිදී පළමුවෙනි තැන ලැබෙන්නෙ "බයිසිකල් හොරු" සිනමා පටයට. Sight & Sound සඟරාව මේ තේරීම වසර දහයෙන් දහයට අද දක්වාම කරගෙන එනව. 2002 වසරේ සිනමා අධ්‍යක්ෂක වරුන් විසින් කල නවතම තේරීමට අනුව බයිසිකල් හොරු තවමත් මුල් චිත්‍රපට දහය අතර හය වෙනි තැන රැඳිල ඉන්නව. 2005 වසරේදී බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (British Film Institute) , "ඔබ 14 වැනි වියට පා තබන විට නරඹා තිබිය යුතු චිත්‍රපට පණහ" (The 50 films you should see by the age of 14)  නම් කලා. එහි පළමු චිත්‍රපට දහයට බයිසිකල් හොරු ඇතුලත්.

කතාව ;
අන්තෝනියෝ රිස්සි, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉතාලියේ බංකොලොත් ආර්ථිකයෙන් බැට කන විරැකියාවෙන් පෙලෙන දුප්පත් කම්කරුවෙක්. නඩත්තු කරන්න දරුවො දෙන්නෙකුගෙන් යුතු පවුලක්. අත දරුවෙකුයි, වයස අවරුදු හයක, හතක විතර කොලු පැටියෙකුයි. ඔක්කොම කටවල් හතරකට කෑම හොයන්න ඕනෙ. රැකියා දෙපාර්තමේන්තුවෙන් අන්තෝනියෝට එක් රැකියාවක් ලැබෙනව. රෝම නගරයේ වීදි වල පෝස්ටර් ඇලවීම. හැබැයි රැකියාව ලබා ගන්ට සුදුසුකමක් ඕනෙ. ඒ තමා තමන්ට කියල බයිසිකලයක් තිබීම. අන්තෝනියෝට බයිසිකලයක් තියෙනව. හැබැයි ඒක උගස් කඩේ. "No bicycle, no job" දෙපාර්තමේන්තුවෙ නිලධාරිය කියන්නෙ එහෙමයි.

අන්තෝනියෝ රැකියාව ලැබුණු බව ලියූ කොළෙත් අරගෙන බිරිඳ සොයාගෙන යනව. බිරිඳ කල්පනාකරලා තීරණය කරනව නිදා ගන්න ඇඳට ඇඳ රෙදි අත්‍යවශ්‍ය නැහැ කියල. ඒ අනුව ගෙදර තිබුණු තරමක් ඇඳ රෙදි හොඳට හෝදල, මැදල උගස් කඩේට ගෙනියනව. ලැබෙන මුදලින් බයිසිකලේ බේර ගන්නව. 

මටත් රැකියාවක් තියෙනව කියන ආඩම්බරෙන් අන්තෝනියෝ පහුවදා වැඩට යනව, ඉනිමගකුත් කරේ තියාගෙන බයිසිකලෙත් පැදගෙන..... වීදියක් අයිනේ තාප්පයකට බයිසිකලය හේත්තුකරල ඉණිමගේ නැගල පළමුවෙනි පෝස්ටරය අලවද්දිම අන්තෝනියෝගෙ  බයිසිකලය හොරකන් කරනව. 
අන්තෝනියෝ පස්සෙන් එළවනව. ඒත් වැඩක් වෙන්නෙ නෑ. බයිසිකලේක යන එකෙක්ව පයින් දුවල කොහොම අල්ලන්ඩද? නගරෙ බයිසිකල් වලින් යන එන මිනිස්සු සිය ගණනක් අතරෙ අන්තෝනියෝගෙ බයිසිකලේ හොරත් එක්කම අතුරුදහන් වෙනව. පොලිසියට ගියත් සහයක් නෑ. එන්ට්‍රිය ලියාගන්නව. හොයල බලන්නන් කියනව. එච්චරයි. එකම විකල්පය තමයි තමන්ම බයිසිකලේ හොයාගන්න එක. යාළුවො කිහිපදෙනෙකුත් එක්ක තමන්ගෙ පුතාවත්  අඬගහගෙන අන්තෝනියෝ රෝම නගරය පුරාම බයිසිකලේ හොයනව. දහසකුත් එකක් බයිසිකල් අතර තමන්ගේ බයිසිකලේ කෝකද? යාළුවො ටික වැඩේ අතෑරල දානව. ඒත් අන්තෝනියෝට බයිසිකලේ නැතුව බෑ. පුතයි, අන්තොනියෝයි දිගටම හොයනව.  


මගදි පුතා කියපු කතාවකට කේන්ති ගිය අන්තෝනියෝ පුතාට කම්මුල් පාරක් දෙනව. කොල්ල තාත්තත් එක්ක තරහ වෙනව. "මං ගෙදර ගිහින් අම්මට කියනව" කිය කිය අඬනව. අන්තෝනියෝට දුක හිතිල හොඳ අවන් හලකට ගොඩවැදිලා පුතාට හොඳට කන්ඩ අරන්දෙනව. මේ වෙලාවේ අන්තෝනියෝ තමන්ගේ බිඳ වැටුණු සිහින පුතාට විස්තර කරනව.ඒත් පොඩි එකාට ඒ ගැන හරි තේරුමක් නැහැ.

බලාපොරොත්තු සුන් වෙලා ආපහු ගෙදර එන අතර අන්තෝනියෝට මගදි හොරා හමුවෙනවා. එළවල ගිහින් අන්තෝනියෝ මිනිහව අල්ල ගන්නව. ඒත් ඒ වෙලාවෙ බයිසිකලේ හොරා ළඟ නැහැ. මිනිහ බයිසිකලයක් හොරකන් කරපු වග පිළිගන්නෙත් නැහැ. මේ කලබැගෑනියෙ සද්දෙට හොරාගෙ ගෙදර අවට අසල්වාසියො මේ දෙන්නව වට කර ගන්නව. එන පොට හොඳ නැති බව තේරුණ පොඩි එකා ඒ අතරෙ හොරෙන්ම ගිහින් පොලිස් නිලධාරියෙක් එක්කගෙන එනව. පොලිස් නිලධාරිය සධාරණේ ඉෂ්ට කරන්ඩ බලනව. හොරාගෙ ගෙදරත් සෝදිසි කරනව. ඒත් බයිසිකලේ නැහැ. "බඩුත් එක්ක හොරා අල්ලගන්ඩත් ඔහෙට බැරි වුනා. ඇහින් දැකපු සාක්කි කාරයෙක්ගෙ නමක්වත් අඩු ගානේ ඔහේ ළඟ නැහැ. මේ කේස් එක ඉස්සරහට ගෙනියන්ඩ බෑ" පොලිස්කාරය අන්තෝනියෝට කියනව. වෙන කරන්ඩ දෙයක් නැති තැන වටවුණු මිනිස්සුන්ගේ ආඩපාලි අහ අහ අන්තෝනියෝ පුතත් එක්ක එතනින් එනව.

මේ දෙන්න පාපන්දු තරඟයක් තියෙන පිට්ටනියක් අසලට එනව. පාපන්දු ලෝලියො නවත්තපු බයිසිකල් සිය ගානක් එක ගොඩේ. මහන්සි වැඩි කමට දෙන්න පේව්මන්ට් එකේ වාඩි වෙනව.

"සාක්කි කාරයොත් නැත්තන්, හොරා අල්ලගන්ඩත් බැරි උනොත් ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ." අන්තෝනියෝට හිතෙන්ඩ ඇති. රස්සාවට කොහොම හරි බයිසිකලයක් ඕනෙ. කාගෙ හරි එකක් උනත්..... තරඟේ ඉවර වෙලා නරඹන්නෝ තම තමන්ගෙ බයිසිකල් පැදගෙන යන්ඩ යනව. පාලු අතුරු පාරක බයිසිකලයක් නවත්තල. ළඟ පාත කව්රුවත් නැහැ. තීරණයක් ගන්ඩ බැරුව අන්තෝනියෝ පාරෙ එහාටයි මෙහාටයි.... එක පාරටම දුවල ගිහිල්ල බයිසිකලේට නැගල පැදගෙන පලා යනව. අයිතිකාරය කොහේදෝ ඉඳල කෑ ගහගෙන පස්සෙන් එළවනව. මිනිස්සු වට කර ගන්නව. ගහනව, බණිනවා... තව අපහාස.... පුතා ඉස්සරහම.... අනේ මගෙ තාත්ත කියාගෙන පුතා අන්තෝනියෝගෙ අතේ එල්ලෙනව. බයිසිකලේ අයිතිකාරයට අනුකම්පා හිතිල අත්ඇරල දාන්ඩ කියල අනෙක් මිනිස්සුන්ට කියනව. පුතා තාත්තගේ අතින් අල්ලගෙන එක්කන් යනව. තාත්ත අඬනව.   


33 comments:

  1. කතාව ගොඩාක් හිත (හොරා) ගත්තා.

    මගේ ජීවිතයේත් (අවම වශයෙන් තිබුය යුතු කොටස් කිහිපයක් හා ඉස්සරහ බ්‍රේක් විතරක් තිබූ) ස්පොර්ට් බයිසිකලයක් හරි සමීපව තිබුණා. අවුරුදු 10ක් විතර මගේ ID එක හා සමාන වූ එය මං කාන්තාරවාසියෙක් වූ අලුතම අතුරුදහන් වුනා. ඊටත් අවුරුදු 4කට පසුව නිවාඩු ගිහින් ඉන්න වෙලාවක අඳුනන අයෙක් ඇවිත් සමාව ගත්තා - ඔහු ඒ වෙද්දී පුනරුත්තාපනය වූ පුද්ගලයෙක්.

    ReplyDelete
  2. දුක හිතෙන කතාවක් තමා,, කතාව දන්න හින්ද දැං නං බලන්න හිතෙන්නෙ නෑ. ඔහොම ඒව බලනකොට මොකක්දෝ දුකක් එනව හිත ඇතුලෙන්ම,,

    ReplyDelete
  3. @ගල් මල්
    බයිසිකල් හොරු කියවල මුලින්ම අදහස් පල කිරීම ගැන ගල් මල්ට ස්තුතියි.
    සමාන අත්දැකීමක් තියෙන කොට සංවේදී බව වැඩි වෙනවා තමා. අර පුද්ගලයා සමාව ගනිද්දී නිකන් උගුර හිරවෙනවා වගේ ගතියක් දැනෙන්ට ඇති මයෙ හිතේ.

    @හරී - පිණිපළස
    කමෙන්ටුවට තුති. අනේ ඒත් පුලුවන්නම් චිත්‍රපටිය බලන්න. මොකද මං හැමදෙයක්ම කියලත් නැහැ. අනෙක චිත්‍රපටයක කතාවම නෙමෙයි වැදගත්. සිනමාකරණය බොහොම පුළුල් විෂයක්නේ.
    මමත් සෑහෙන කාලයක් ඔය චිත්‍රපටය හෙව්වා. ටොරන්ට්ස් වලින් බා ගත්තට ඉංග්‍රීසි උප සිරැසි එන්නේ නෑ. ලඟදි දවසක කොල්ලුපිටියේ ක්‍රෙස් කැට් එකේ සාප්පුවක තිබිල හම්බවුනා උප සිරැසි සහිත ඩී.වී.ඩී. පටය. එකෙන් තමා බැලුවෙ.

    ReplyDelete
  4. එහෙනං බයිසිකල් හොරු හදලා තියෙන්නෙ මේක අනුසාරයෙන්.හෙහ්..හෙහ්..කොම්පඤ්ඤ වීදිය කිව්වාම මට මතක් වෙන්නෙ, පොලිස් රාලාමි කෙනෙක් "කොම්ප කදකද" වීදිය කියලා ලියපු කතාව.

    ඔය ඉතාලි කාරයො ඇවිල්ලා, පුදුම මිනිස්සු ජාතියක්, ලෝකෙට, හොඳ දේ වගේම නරකත් දායාද කරලා තියෙනවා නෙව. වෙලාවක The Red Violin" සහ Road to Perdition කියන ගිල්ම් දෙකත් බාගෙන බලන්ටෝ, එව්වත් ටිකක් මේ ජාතියෙ කතා.

    ReplyDelete
  5. අපූරු කතාවක්. විස්තරයෙ හැටියටත්, රූප රාමු අනුවත්, ඉතාම හොද චිත්‍රපටියක් බවයි පෙනෙන්නෙ.
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  6. බලන්න වටිනවනේ . මම අහලවත් තිබ්බේ නැහැ ඔය ගැන .ස්තුතියි. තාත්ත එක්ක කතා කරන්න ලැබුන නම් හොඳ දේවල් දන ගන්න තිබුන . කෝ පොත් ගුල්ල අපිට නිකන් වත් අඳුන්නල දුන්නය.

    ReplyDelete
  7. ලස්සන කතාවක්. කොහොමහරි හොයාගන බලන්ට කියලා හිතුනා...ලස්සනට ලියලත් තියනවා. තාත්තගේ විස්තර කියවන්ටත් ආසාවෙන් ඉන්නේ.

    මම හැමදාම ඇවිත් කියවන බ්ලොග් අතුරින් එකක් මේක. සමහර ඒවට කමෙන්ට් නොකරන්නේ මොනවා කියන්ටද කියලා තේරෙන්නේ නැති හන්දා. මට තියන ප්‍රශ්නේ ගොඩාක් සිංහල පොත් , ඒ වගේම පරනා සිංහල පොත් කියවන්ට නොලැබීම. හොයාගන්ට අමාරු හන්දා විතරයි. සිංහල බැරුව නෙමේ.ඒ වගේ දේවල් යටතේ කතා කරන්ට ආවොත් ඉතින් මග අරින්ටම වෙනවා......:D

    ReplyDelete
  8. ඔබ බොහොම අපූරුවට කතාව විස්තර කලා... බලන්න ආසාවක් ඇතිවුනත් කොහෙන් හොයන්නද..

    ලංකාවෙ හදපු බයිසිකල් හොරා චිත්‍රපටිය මේකෙ කතාවට සම්බන්දයක් තියෙනවද?

    ReplyDelete
  9. @D.G.M බසසා
    ඕන් ඉතින් මං ආඩපාලි කියල බස්සව මේ පැත්තෙ ගෙන්නවාගත්ත. මාත් එක්ක අමනාපයක් නෑ මයෙ හිතේ.
    බස්ස කියන්නෙ සිංහලෙන් හදපු බයිසිකල් හොරු චිත්‍රපටියක් තියෙනව කියලද? මං නං දැනන් හිටියෙ නෑ.
    ගුණදාස අමරසේකරයන් ලියපු කෙටි කතාවක් නං තියෙනව, මතක විදිහට නම "බයිසිකලේ". කතාව මීට වෙනස්. ඒකෙ නං ලොරි කාරයෙක් හප්පල බයිසිකලේ ගඟට වැටෙනව. ඔය කතාව ඇසුරින් තිස්ස අබේසේකරයන් ඒකාංගික ටෙලි නාට්‍යයක් හැදුව. රඟපෑවේ අශෝක පීරිස් එක්ක නදීකා ගුණසේකර.

    බස්ස ලියල තියෙන විදිය තමා හරි කොම්පඥ්ඥ වීදිය. මං ලියන ට්‍රාන්ස්ලිටරේටර් එකේ 'ක'යනු 'ඥ'යන්න ලියන්ඩ බැහැනෙ.
    ඔය ඉතාලි කාරයො ලෝකෙට දායාද කරපු හොඳ දේවල් නං හුඟක් අය දන්නව. රෝම ඉතිහාසෙ කියෙව්වම නොදන්න කෙනෙකුටත් දැනගන්ඩ පුළුවන්. අර නරක දේවල් ටිකක් අපිටත් කියලදෙන්ටකො.

    ReplyDelete
  10. @නලිනි චන්දිමා
    හැමදාමත් කරන අගය කිරීමට දොස්තර නෝනට ස්තුතියි. සහෘදයෝ කියවනවා කියල දැනගත්තම තමා තව මොනවා හරි ලියන්ඩ හිතෙන්නෙ.

    @බින්දි
    බින්දි ආපහු ආ එක ගැන සන්තෝසයි. ගිය ගමන් ගැන අපිට විස්තර ටිකක් කියන්ඩ.
    අපෝ කොහේ අඳුන්නල දෙන්ඩද, ඉස්කෝලෙ යන කාලේ අපි තාත්තට හරි බයයිනෙ. මං විතරක් නෙමේ බින්දිගේ යාළුවො දෙන්න, මගෙ නෑනල, ඒගොල්ලොත් බයයි. අනික ඔය ඉලන්දාරි කාලෙ මං මොනව කියල තාත්තට ගෑනු ළමයෙක් අඳුන්නල දෙන්ඩද? හැබැයි පස්සෙ කාලෙක ආවනං අඳුන්නල දෙන්ඩ තිබුණ. එහෙනං ඔය සමාජවාදී පිලේ පරණ කතා ටිකක් අහන්ඩ තිබුණ. දැන් නං තාත්ත නෑ. අවුරුදු තුනකට වගේ කලින් අපි අතරින් වෙන් වුනා.

    ReplyDelete
  11. @පොඩි කුමාරිහාමි
    අනේ මේ පැත්තෙ ආ එක කොච්චර දෙයක්ද! කමෙන්ට් නොකලට කමක් නෑ, කියවනවා කියල දැන ගත්ත එකත් හිතට ලොකු දිරියක්.

    @සපතේරු උන්නැහැ
    අදහස් පල කිරීම ගැන ස්තුතියි. සපතේරු උන්නැහැ හොඳයි කිව්වොත් ඉතින් ඒක මගෙ බ්ලොග් එකට හොඳ complement එකක් හැටියට මං සලකනව.
    අර මං උඩහ දීල තියෙන ට්‍රේලර් එකට ගිහින් බලන්ඩ. යූ ටියුබ් එකේ කෑලි කෑලි හැටියට චිත්‍රපටිය තියෙනව.
    ලංකාවේ බයිසිකල් හොරා චිත්‍රපටිය ගැන මං නං දන්නේ නෑ. අපි බලමු බස්ස දෙන විස්තරේ මොකද්ද කියල.

    ReplyDelete
  12. මම සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ නෑ නෙවැ ගුල්ලො.. පලමුවෙනි පෝස්ට් එකෙන් පස්සෙ මේ අදයි ආවෙ, ඒකත් ඔයා අර බස්සට ආඩපාලි කිවුවමයි මතක්වුනේ.. ඕං බලාන්ට මට ෂෝක් පෝස්ට් දෙකාක්ම මිස් වෙලා නෙවැ.. දැන් ඉතිං ඒවට කමෙන්ට් කොරාන්ට පරමාදයි.. :)

    ඉතාලි සිනමාව කියන්නෙ හැමදාමත් ලෝකයට අලුත් අත්හදාබැලීම් දෙන තැනක්නෙවැ.. බස්සා කියාපු ෆිල්ම්ස් දෙකත් බලාන්ට.. The Red Violin නම් baiscopelk.com/ එකේ තිබ්බා, බාගන්ට පුළුවනි..

    මෙන්න බයිසිකල් හොරා (1969) ගැන ජයවිලාල් ලියූ විචාරය:

    ”සන්ධ්‍යා ජීවරාණිට ගසයි; ජීවරාණි සන්ධ්‍යාට ගසයි. ඔස්වල්ඩ් වොලීට ගසයි. වොලී රොබින්ට ගසයි. බිරියක් කන්තෝරුවට ඇවිත් තම සැමියාට ගසයි. ඩී.ආර්. නානායක්කාර බයිසිකලයට ගසයි. කතා රචකයා අහුවෙන අහුවෙන හැමෝටම ගසයි. ‘බයිසිකල් හොරා’ චිත්‍රපටයේ පැය දෙකකුත් විනාඩි පනහක් තුළ ඇත්තේ ඔය ගැහිලිය. ගැහිලි හොඳය. එහෙත් ඒවා චිත්‍රපටය තුළ එක්කාසුකොට තිබෙන හැටි නරකය. මේ නිසා ‘බයිසිකල් හොරා’ සැරෙන් සැරේ බුරුල් වී ලිස්සා වැටෙන ඇඳුමක් මෙන් නිතර නිතර දෙදරන, පදනමක් නැතිව ඔහේ තිරයේ වැනි වැනි යන චිත්‍රපටයක් බවට පත්වෙයි.” (බයිසිකල් හොරා)

    උපුටනය: http://www.silumina.lk/2010/08/08/_art.asp?fn=av1008087

    ReplyDelete
  13. පාවිච්චි කරන්නේ:

    1. UCSC Real Time Unicode Conversion Utility; නම් GN= ඥ KN=ඤ

    2. Google Transliteration නම්:
    ඥ අකුරු සඳහා: GNa අකුරු ටයිප් කර space-key ප්‍රෙස්-කරන්න එවිට ඒ වචනයට නියමිත සිංහල අකුරු පෙලක් (උදා: ගන ඥ ගණ ඥා ගනා GNa පේලියක්ම suggestion හැටියට) drop-down හැටියට ලැබෙනවා, ඉන් අවශ්‍ය අකුර ලබාගත හැකි වේ.

    ඤ අකුරු සඳහා ඉහත GNa වෙනුවට KNa ටයිප් කරන්න

    ReplyDelete
  14. විට්ටෝරියෝ ඩි සීකා ගේ ෆිල්ම් කිව්වම තවමත් කතා දෙකක් නැතිව ආපහු බලන්න පුළුවන් ෆිල්ම් කියලා තමයි මට කියන්න තියෙන්නේ. කොටින්ම ඉටෑලියන් සිනමාව කියලා යමක් තියෙනවා ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕන අයගෙන් එක්කෙනෙක් තමයි මේ.

    ReplyDelete
  15. @බුරතීනෝ
    ඒකනෙ කියන්නෙ. අපිව අමතක කරලා නේද හිටියෙ. බලෙන්ම මතක් කරලා දෙන්ඩ උනා එහෙනං. අනේ ඉතින් එහෙම උනා කියල කිසි අමනාපයක් නැහැ.
    බුරා මගෙ බ්ලොග් අඩවියේ දාපු පලවෙනි කමෙන්ටුව. හරි සතුටුයි ඒ ගැන. Better late than not කියනවනේ, ඒ නිසා කල් ගත උනාට කමක් නෑ කැමති අදහසක් පරණ ලිපි ගැනත් කියන්ඩ.

    ජයවිලාල් ගේ විචාරය අනුව සිංහල බයිසිකල් හොරා නං එච්චර හරි නෑ වගේ.
    හප්පා, බුරා අඳුන්නල දීපු බයිස්කෝප් වෙබ් එක මාරයිනේ. බොහොම ස්තුතියි.

    @ගල් මල්
    අනේ කියල දීපු දේට පිං. මෙච්චර කල් ඕක හොයාගන්ඩ බැරි උනා. ඔය ගූගල් ට්‍රාන්ස්ලිටරේටර් එකේ මහප්‍රාණ 'ච'යන්න ලියන හැටිත් කියලදෙන්ඩ පුලුවන්නං ලොකු දෙයක්. නැත්තන් සාකච්චා කියල ලිව්වට කිසි බර ගතියක් නෑ. මේ උපදෙස් කියවන අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙයි මයෙ හිතේ.

    ReplyDelete
  16. නරක කියන්න කලින්, මේක නොකිව්වොත් අසාධාරණයි කියල හිතෙනවා. ලෝකෙ තියෙන අනර්ගම සංගිත භාණ්ඩ ඉතාලි කාරයො හදලා තියනවා. 17 වෙනි සියවසේ හදපු Stradivarius violins වගේ එව්වා. මේ තරම් තාක්ෂණය දියුනු අද දවසේ පවා, එව්වා කපල කොටලා විශ්ලේෂණය කරලා අනුකරණය කරන්න හදපු වෑයම සාර්ථක වෙලා නෑ. මතයක් තියනවා, ඒ සඳහා භාවිතා කල ලී ඇල මාර්ග (වැනීසියේ පාරවල් වෙනුවට තියෙන්නෙ ඇලවල් නෙ) දිගේ ගෙන ඒමෙදි පදං වෙලා නිසා කියලා, තව අය කියනවා වයලීන් එකේ ලී තට්‍ටු අතර volcanic ash මිශ්‍ර කරපු මැලියම් නිසාත් ඒ තරම් මිහිරි හඬක් නිපදවෙනවා කියලා. මේං ලින්ක් එකක්, කියවන්ට:

    http://en.wikipedia.org/wiki/Stradivarius

    ReplyDelete
  17. ඉතාලියෙන් ආපු නරක දේවල් දෙකක් මම කියන්නම්..

    එකක් මාෆියා..

    අනෙක පැපරාසි..

    ReplyDelete
  18. හරියට හරි. ඔය මා‍ෆියා ගැන නං කියනවට වඩා ලේසියි, බලන්ට ‍ෆිල්ම් දෙකක් දුන්නා නං:

    God Father සහ Good fellas තමා කෙලින්ම මතක් වෙන්නෙ. ඔය "සහාසික සිනමාව" කියන එකත් ඇතිවුනේ ඔව්වා හරහා නේද? මා‍ෆියා කියන්නෙ නිකම්ම නිකන් පාතාල සංස්කෘතියක් නෙමෙයි. මං හිතන්නෙ, ඔය දැණුම් තේරුම් ඇති කෙනෙක් පොඩි අර්ථකතනයක් දුන්නා නං.

    ReplyDelete
  19. මා තවමත් දිග ලිපි පවා සකසන්නේ UCSC Online Tool පාවිච්චි කරලා. ඒත් මුල් කාලයේ දී ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් ටෙස්ටින් ෆොර්ම් එකකට දායක වුනා. මේ ක්‍රම දෙකේ භාවිතා වෙන ක්‍රමවේද බොහෝ සමාන වුනත් සුළු වෙනස්කම් තියෙනවා.

    ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් භාවිතයේදී යොදාගන්න පුලුවන් උපක්‍රමක් වෙන්නේ සිංහල හෝඩිය අකුරක උච්චාරණය/ස්වරය සිංග්ලිෂ් වලින් ලියන්න උත්සාහ කිරීම.

    උදාහරණයක් හැටියට:
    cha = ච
    chha = ඡ
    gna = ගන
    ghana = ඝන
    dana = දන
    dhana = ධන

    * ඉනිමඟ ලිවීමේ දී ඕමේගා සලකුණ යොදාගෙන ඟ-යන්න කොපි කරගත හැකියි.

    ReplyDelete
  20. මේං මේක බා ගන්ට ලොක්කා. මොර‍ටුවෙ කැම්පස් කොල්ලෙක් ලියපු නියම offline ගැජමැටික් එකක්. Singreesi Unicode 1.8

    http://singreesi.vndv.com/download.htm

    ඒකෙම හෙල්ප් ෆයිල් එකක් තියනවා, ඒ නිසා බැඳි අකුරු ලියන්න හරිම ලේසියි. ඉංග්‍රිසි , සිංහල එකටම කලවමට කොටන්නත් පුළුවනි.

    ReplyDelete
  21. // ඉතාලියෙන් ආපු නරක දේවල් දෙකක් මම කියන්නම්.. එකක් මාෆියා.. අනෙක පැපරාසි.. //

    හෝව් හෝව්.. ටපලගන්ට එපාය.. මාෆියාව ඔරිමජිනලි ආවේ ඉතාලියෙන් නොව සිසිලියෙනි.. ඇත්ත අද වන විට සිසිලය කියන්නේ ඉතාලියට අයත් කොටසකි.. නමුත් මාෆියාවේ ආරම්භක වකවානුවේ (19 සියවස මැද) එය වෙනමම ලෝකයකි.. :)

    ReplyDelete
  22. @Il mondo di una povera pazza
    ඉල් මොන්ඩෝ නෝනා මේ පැත්තේ ඇවිත් අදහස් පල කිරීම ගැන බොහොම ස්තුතියි. මං වගේම තනිකඩ ජීවිතේ ප්‍රිය කරන චරිතයක් බව දැනගන්ට ලැබුණ. (නමේ හැටියට මාත් මුලින් හිතාන හිටියේ මහත්තයෙක් කියලයි. හැබෑට ඔය නමේ තේරුම මොකද්ද?) විටෝරියෝ ඩි සිකා ගැන හොඳට දන්නවා වගේ. ඔබතුමී ඉන්නෙත් ඉතාලියෙද? අපිට තව දන්න දේවල් ටිකක් කිව්වොත් පිං.

    @බස්සා
    වයලින් කතාව බැලුව. අලුත් දෙයක් දැනගත්ත. ඕක කිව්වමයි මතක් උනේ. Luciano Pavarotti ඉතාලි ජාතික අසහාය ඔපෙරා ගායකයා. ඉතාලියෙන් ලෝකෙට දීපු තව හොඳ දෙයක්.
    "ගෝඩ් ෆාදර්" චිත්‍රපට තුනම මං බලල තියෙනවා. ඔය මුල් චිත්‍රපට දෙක God Father I & II අර Sight & Sound සඟරාවෙන් තෝරපු මුල් චිත්‍රපට 10 අතරට 2002 දී awilla තියෙනව.
    බස්ස දීපු සිංහල ටයිපින් ලිපිනයටත් ස්තුතියි.

    @ගල් මල්
    කියල දීපු හැමදේටම පිං. බ්ලොග් ලියන කාටත් ප්‍රයෝජන වෙයි.

    @බුරා
    ගෝඩ් ෆාදර් චිත්‍රපටියේ හැටියටත් සිසිලියෙන් තමා කතාව පටන්ගන්නේ.

    ReplyDelete
  23. @සපතේරු
    මං හිතන් හිටියේ ඔය පැපරාසි කාරයෝ ආවේ ප්‍රන්ශෙන් කියලයි. සපතේරු උන්නැහැ ඒ ගැන දන්න දෙයක් අපිටත් කියලදෙන්ටකෝ.

    ReplyDelete
  24. @Buratheno & D.G.M Bassa
    I just watched "THE RED VIOLIN". It's a classic. Thank you for the directions. I recommend the film to all my blog friends.
    Just "GREAT".

    ReplyDelete
  25. අනේ ඇත්තද ..අපේ තාත්තත් නැති වුනා 2008 දී . ජිවිතේ හැටි ඔහොම තමයි . මේ කමෙන්ට් ටිකෙන් මන් ගොඩක් දේ ඉගෙන ගත්ත . හැමෝටම ස්තුතියි විශේෂයෙන් ගල් මල්ට.

    ReplyDelete
  26. අඩවියේ ඇත්තොන්ට හා බින්දි:
    දන්න දෙයක් බෙදාගැනීමට, පුංචි උපකාරයක් කරන්න ලැබීමත් සතුටක්. ඉන් අපේ සිංහල බ්ලොග් අවකාෂය ලස්සන වෙනවා වගේම ගැලීමක්, හරයක් හා රසයක් ඇතිව කියවන්නත් පහසු වෙනවා. අපි ලියන දේවල් අපේ බාලපරපුරට යමක් බෙදනවා නම් අපේ ඇස් පෑදූ ගුරුදෙමාපියන්ට පින් අත්වේවි.

    ReplyDelete
  27. මාර සංවේදී කතාවක් .මම කොහොමත් පරන ෆිල්ම් බලන්න ආසාවක් නෑ ඒත් මේක නම් බලන්න ආසා හිතෙනවා ..

    ReplyDelete
  28. @සඳරු
    සඳරු මල්ලි මේ පැත්තේ ඇවිත් කමෙන්ට් එකක් ලියපු එක ගැන ගොඩක් ස්තුතියි.
    මම නං ඔයා තරං දක්ෂ ලේකඛයෙක් නෙවෙයි. ඒත් ඉතින් කතාවේ සංවේදී බව දැනෙන්ට මගේ අතින් ලියවිලා තියෙනවනන් ඒ ගැන සන්තෝසයි.
    පුළුවන් නං මේ චිත්‍රපටිය හොයාගෙන බලන්න. ඔයා කැමතිවෙන එක ෂුවර්.

    ReplyDelete
  29. බලන්න ආස හිතෙන චිත්‍රපටයක් ගෙනාවට බොහොම ස්තුතියි.., ඊයෙ මගේ සයිකලේ පාක් එකේ දැම්ම තැන අමතක වෙලා හොයාගන්න බැරිව ගිහිල්ලත් මගේ පපුව පත්තුවුණා. ඉතින් ඒ මනුස්සයට කොහොම හිතෙන්න ඇත්ද?

    ReplyDelete
  30. ච්ත්‍රපටය youtube එකේ තියනව,

    ReplyDelete
  31. @චේජනා
    බොහොම ස්තුතියි සටහනට.
    ඔයා ඉන්න රටේ නං අමතක වෙලා ගියත් ලේසියෙන් දෙයක් නැති වෙන්නෙ නැහැනෙ. එහෙම තියෙද්දිත් පපුව පත්තු උනා නං ඇස් පනාපිට හොරකන් කරනකොට කොහොම පපුව පත්තුවෙන්ද ඇද්ද? අනික තමන්ගේ රස්සාව සම්පූර්ණයෙන්ම රැඳිල තියෙන්නේ බයිසිකලේ මත වූකොට.

    ජපානය ලෝකයට උසස් සිනමා කෘති දායාද කරන රටක්. ඔයා Spirited Away බලල තියෙනවද? සිනමා ලෝලීන්ට ලියපු බයිසිකල් හොරු - අතුරු කතාවත් කියවල බලන්න. ඔයාට කියන්ඩ ගොඩක් දේවල් තියෙයි.

    ReplyDelete
  32. හොඳ චිත්‍රපටියක් වගේ. හොරුන් ගැන හොඳ විග්‍රහයක්

    ReplyDelete
  33. බයිසිකල් හොරු ගැන ගැඹුරින් ලියවුනු ලිපියක් 2011.08.25 පළ වෙලා තියෙනව. මේ ලින්ක් එක දිගේ කැමති කෙනෙකුට ගිහින් බලන්න පුලුවන්.

    http://www.divaina.com/2011/08/25/sarasavi%203.html

    ReplyDelete