මේ ලිපියෙන් 2002 වසරේ Sight & Sound නිකුත්කළ අදට වලංගු Top Ten ලැයිස්තුව ගැන අපි සොයා බලමු.
2002 වසරේ Sight & Sound සඟරාව එලිදැක්වූ ලොව මෙතෙක් බිහිවූ හොඳම සිනමා පට දහයේ නාමාවලිය
Orson Welles (1815-1985) නමැති ඇමරිකානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ වරයා විසින් 1941 දී නිර්මාණය කල මෙම සිනමා පටය ජගත් සිනමා ඉතිහාසහ තුල මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිනමා පටය ලෙස ලොව අග්‍රගන්‍ය විචාරකයන් විසින් සලකනු ලබනව. බොහෝ සිනමා පට අධ්‍යක්ෂ වරුන් සිනමා අධ්‍යයනයට යොදා ගන්නා මෙම චිත්‍රපටය A Film for Filmmakers ලෙස සැලකෙනව.
චාර්ල්ස් ෆොස්ටර් කේන් නමැති ඇමරිකානු ධන කුවෙරයකුගේ ජීවිත කතාව මෙම චිත්‍රපටය තුල දිගහැරෙනවා. කේන් සිය ජීවිත කාලය තුල වරින් වර එක් එක් දේ සොයා යනව. තරුණ ජීවිතයේදී මුලින්ම ජනප්‍රියත්වයත් දෙවනුව ආදරයත් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් දැඩි වෙහෙසක් ගන්නව. ඊළඟට බලය සොයා යනව. එයත් අසාර්ථක වූ තැන ධනයෙන් ජීවිතයට සතුට ලබාගැනීමට වෑයම් කරනව. නමුත් තම ජීවිතයේ යම් තැනකදී යම් කිසිවක් වැරදුනු බවත් එය නිවැරදි කර ගැනීමට දැන් ප්‍රමාද වැඩි බවත් කේන් වටහා ගන්නෙ සිය මරණ මංචකයේදී. බෞද්ධයන් වන අපට නම් මේ කතාව බුදු හාමුදුරුවෝ කියපු ත්‍රිලක්ෂණය සිහි ගන්වනවා.
"අනිත්‍ය -දුක්ඛ - අනාත්ම"
ඔය හේතු නිසා මේ චිත්‍රපටය මුල් කාලීනව මූල්‍යමය වශයෙන් මෙන්ම ඇගයීම් පක්ෂයෙනුත් අසාර්ථක වෙනව. හැටේ දශකයේදී තමයි කාගෙ කාගෙත් ඇස් යළිත් මේ කෘතිය දෙසට යොමුවෙන්නෙ.
සිංහල විශ්වකෝෂයේ "චිත්‍රපටය" යන මාතෘකාව යටතේ මේ සිනමා පටය ගැන මෙසේ සඳහන් වෙනව.
"ඇමරිකානුවන්ගේ නිස්සාර ජීවන රටාවත් පුහු වටිනාකමුත් නිර්දය විචාරයට ලක් කරන සිටිසන් කේන් ඇමරිකානු මතවාදයට ප්‍රබල අභියෝගයක්ද එල්ල කරයි. මේ චිත්‍රපටයෙන් විවරණය වන්නේ භෞතික ජයග්‍රහණත් අධ්‍යාත්මික සුවයත් අතර පවතින නිරන්තර ගැටුමයි."
කැමරාකරණය, සංස්කරණය ආදී තාක්ෂණික පාර්ශවයෙනුත් මේ චිත්‍රපටය සුවිශේෂී. ඒත් ඒ හැම දෙයක්ම මෙහි සාකච්ඡා කරන්න ගියොත් මා වැනි පිච්චර් පිස්සන් නොවන මගේ මිතුරන්ට මේ ලිපිය එපා වේවි. ඒ නිසා දැන් අපි ඊළඟ සිනමා කෘතිය වෙතට හැරෙමු.
ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය සිනමාවේ පතාක යෝධයකු වූ ඇල්ෆ්‍රඩ් හිච්කොක් විසින් නිර්මාණය කල මෙම සිනමා පටයට පාදක වන්නේ The Living and The Dead නමැති ප්‍රංශ නවකතාවක්. මෙය බොහෝ විට සඳහන්වන්නේ Hitchcock 's Masterpiece ලෙසයි. මනෝවිද්‍යාත්මක පදනමක් ඇති මේ කතාවේ ප්‍රධාන චරිතය වන්නේ acrophobia නමැති මානසික රෝගයෙන් පෙලෙන විශ්‍රාමික පොලිස් රහස් පරීක්ෂක වරයෙක්.
ලොව පුරා සැකසුනු හොඳම චිත්‍රපට නාමාවලි බොහොමයක මුල් සිනමාපට අතර Vertigo රැඳෙනවා. මේ කෘතියටත් මුලදී නිසි ඇගයීමක් නොකෙරුණු අතර එහි වටිනාකම වටහා ගන්නේ ප්‍රන්ශුවා ට්රූෆෝ ඇතුළු ප්‍රංශ නව රැල්ලේ සිනමා කරුවන් විසිනුයි. තමන් විසින් නිපදවූ හොඳම සිනමා පටය ලෙස හිච්කොක් මෙය සලකනවා.
THE RULES OF THE GAME - ක්‍රීඩාවේ නීති (1939)
ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ්‍ය ජීන් රෙනුවා (Jean Renoir ) විසින් අධ්‍යක්ෂණය කල මෙම සිනමා පටය ට්රූෆෝ විසින් හැඳින්වූයේ චිත්‍රපට වල චිත්‍රපටය (The Film Of Films ) ලෙසයි. The Rules Of The Game,1952 සිට මේ දක්වා Sight & Sound , Top Ten නාමාවලි සියල්ලෙහිම රැදී සිටිනවා.
දෙවැනි ලෝක යුධ සමය ආරම්භය ආසන්නයේ නිපදවුණු මෙම සිනමා පටය ප්‍රංශ ඉහළ පැලැන්තිය සදය උපහාසයට ලක් කිරීම හේතුවෙන් එකල පරිභවයට පාත්‍ර වුනා. ප්‍රංශ රජය විසින් මෙම කෘතිය තහනම් කිරීමට තරම් මේ ප්‍රතිචාර දරුණු වූ බවයි පැවසෙන්නේ. යුධ සමයෙන් පසුව තමා යළිත් සිනමා විචාරකයන්ගේ ඇස් මේ දෙසට යොමු වන්නේ. එයින් පසු ලොව මෙතෙක් බිහිවූ හොඳම සිනමා කෘති අතරට මෙයද එක් වෙනවා.
THE GOD FATHER I (1972)
THE GOD FATHER II (1974)
මාරියෝ පුසෝ විසින් 1969 දී රචිත the God Father නම් නව කතාව ඇසුරින් ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටද්වය ඇමරිකා-ඉතාලි පාතාල පවුලක් පිලිබඳ කතාන්තරයක්. පළමු චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව Marlon Brando විසින් රඟපානවා.
මීට පෙර බිහිවූ පාතාල සිනමා පට එම පාතාල චරිත දෙස පිටස්තරව බලන ඇසකින් කල නිර්මාණ වූ අතර ඊට ප්‍රති පක්ෂව the God Father පාතාල සාමාජික පවුලක ඇසින් ලෝකය දෙස බලන ආකාරයට නිර්මාණය වූවක්. සුප්‍රකට සිනමා අධ්‍යක්ෂ්‍ය Stanley Kubrick පවසන ආකාරයට ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිනමා කෘතිය මෙයයි. ඇමරිකන් චිත්‍රපට ආයතනය විසින් මෙතෙක් බිහිවූ හොඳම ඇමෙරිකානු චිත්‍රපට අතර මෙය Citizen Caneට පමණක් දෙවැනි වන නිර්මාණයක් ලෙසයි සලකන්නේ. 2002 Top Ten නාමාවලියට අයත් සිනමා පට අතර අප මිතුරන් බොහෝ දෙනෙක් මේ සිනමා පට ද්වය නම් නරඹා ඇති.
තෝකියෝ වෘතාන්තය (1953)
ඔසු යශුජිරෝ විසින් නිර්මාණය කරන ලද "තෝකියෝ මොනොගතරි" නම් වූ මෙම සිනමා පටය තම දූ දරුවන් බැලීමට තෝකියෝ නගරයට පැමිණෙන වියපත් යුවලකගේ අනුවේදනීය කතාවක්. කාර්ය බහුල බව නිසා සිය දූ දරුවන්ගෙන් බලාපොරොත්තු වූ සෙනෙහස සහ රැකවරණය නොලැබ මහලු යුවල නොදන්නා නගරයක තනිවන අයුරු එහි මනාව නිරූපණය කර තිබෙනවා. මේ කෘතිය ඔසු යශුජිරෝගේ හොඳම චිත්‍රපටය ලෙස සැලකෙන අතර Sight & Sound, Top Ten නාමාවලිය දෙවතාවක් නියෝජනය කරනවා.
ජපන් ජන ජීවිතය සහ ජපන් සිනමාව පිලිබඳ විශේෂඥයකු වූ ඩොනල්ඩ් රිචී තෝකියෝ වෘතාන්තය පිලිබඳ මෙසේ පවසනවා.
"The dissolution of the family, the transience of this world, the disappointment of life - this is the theme of Tokyo Story"
2001: A SPACE ODYSSEY (1968)
ඔබ අප කව්රුත් හොඳින් හඳුනන 2001: අභ්‍යවකාශ වීරකාව්‍යය මෙයයි. Stanley Kubrick විසින් මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කල අතර කතා රචනය Arthur C. Clarke සමග Stanley Kubrick. මෙය ආතර් සී. ක්ලාර්ක් විසින් ලියූ 2001 විද්‍යා ප්‍රබන්ධ නවකතාව ඇසුරින් කල සිනමා කෘතියක් ලෙස බොහෝ දෙනා සිතා සිටියත් ඇත්තටම සිදුවූයේ චිත්‍රපට කතාවත් නවකතාවත් එකවර ලියා චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹන විට නව කතාවද එළි දැක්වීමයි. මානව පරිනාමය, තාක්ෂණික දියුණුව, නිර්මාපිත බුද්ධිය (Artificial Intelligence) සහ පාරභෞම ජීවය (Extraterrestrial Life) යන තේමාවන් මේ සිනමා පටයේ සාකච්ඡාවට භාජනය කෙරෙනවා.
මෙම සිනමා පටය එහි විද්‍යාත්මක නිරවද්‍ය භාවය පිළිබඳව කීර්තියක් දරා සිටින අතර නූතන යුගයේ විශේෂිත රංග උපක්‍රම (Special Effects) භාවිතයේ ආරම්භක සිනමා කෘතිය ලෙසත් සැලකෙනවා. එමෙන්ම එහි භාවිත සංගීතයද විශේෂයෙන් ඇගයෙනවා. The Moving Arts Film Journal නමැති on-line සඟරාව 2001: A Space Odyssey චිත්‍රපටය මෙතෙක් ලොව බිහිවූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස නම් කර තිබෙනවා. එසේම මෙම සිනමා පටය ඔබ විසින් නැරඹිය යුතුම සිනමා පටයක් (a must watch movie ) ලෙස නම් කරන්නට මා කැමතියි.
THE BATTLESHIP POTEMKIN (1925)
1905 වසරේදී පොටෙම්කින් නමැති යුධ නෞකාව එවකට පැවති සාර් පාලනයට එරෙහිව කැරලි ගැසීමේ සිද්ධිය මුල් කරගෙන ශ්‍රේෂ්ට රුසියානු සිනමා කරු සර්ජි අයිසන්ස්ටයින් විසින් නිර්මාණය කල ලොව වඩාත්ම කතා බහට ලක්වූ නිහඬ සිනමා පටයයි මේ. Sight & Sound සඟරාව විසින් වසර දහයෙන් දහයට පලකල හොඳම සිනමා පට දහය අතර සැමදා රැඳී සිටි මේ චිත්‍රපටය සෝවියට් සමූහාණ්ඩුවේ ප්‍රචාරාත්මක (propaganda) සිනමා පටයක් ලෙසත් හැඳින්වෙනවා.
සිංහල විශ්වකෝෂය මේ සිනමා කෘතිය පිළිබඳව දක්වන අදහස්;
"නිලධාරිවාදයට එරෙහිව පොටෙම්කින් නෞකාවේ නාවුකයන්ගේ කැරලි ගැසීමත් කැරලි නායකයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඒකරාශී වූ ඔඩෙස්සා නගර වැසියන් කෘර ලෙස ඝාතනයත්, සෙසු යුද්ධ නෞකාද පොටෙම්කින් නෞකාව සමග එක්වීමත් පිලිබඳ පුවත විෂය කරගත් මේ චිත්‍රපටය ග්‍රීක දු:ඛාන්තයක මෙන් අංක පහකින් යුක්ත විය. (1. මිනිසුන් සහ පනුවන් 2. නැව් තට්ටුවේ සිද්ධිය 3. මළවුන්ගෙන් ආයාචනයක් 4. ඔඩෙස්සා පඩිපෙළ 5. බලඇණිය හමුවීම )"
බෝල්ෂෙවික් විප්ලවයේ දස වන සංවත්සරය සැමරීම සඳහා මෙම සිනමා පටය නිර්මාණය කරන ලදී.
SUNRISE: A SONG OF TWO HUMANS (1927)
මෙය ජර්මානු ජාතික සිනමා අධ්‍යක්ෂ්‍ය වරයකු වූ F. W. Murnau විසින් නිර්මාපිත ඇමරිකානු නිහඬ සිනමා පටයක්. 1929 දී පැවති ප්‍රථම ඇකඩමි සම්මාන උළෙලේදී මේ චිත්‍රපටය අනන්‍ය, කලාත්මක නිෂ්පාදනය (Unique and Artistic Production ) වෙනුවෙන් සම්මානයක් දිනාගන්නවා.
අනියම් පෙමක් හේතුවෙන් පෙම්වතියගේ උපදෙස් මත සිය බිරිඳ මරා දමන්නට සැරසෙන තරුණයකු එය කල නොහැකිව යලිත් ඇය හා පෙමින් වේලෙන කතාන්තරයක් මෙහි දිග හැරෙනවා. සිනමා පටය මුළු රාත්‍රිය පුරා දිවයන අතර හිරු උදාවත් සමග අවසාන වෙනවා.
1989 දී මෙම සිනමාපටයේ සංස්කෘතිකමය, ඉතිහාසාත්මක සහ සෞන්දර්යාත්මක සුවිශේෂී බව සලකා එක්සත් ජනපදයේ Library of Congress විසින් ජාතික චිත්‍රපට ලේඛනාගාරයේ අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කල යුතු සිනමා පටයක් ලෙස නිර්දේශ කරනවා.
2002 Top Ten ලැයිස්තුව තුල මෙම සිනමා පටය පොටෙම්කින් යුධ නෞකාව සමගින් සම ඡන්ද සංක්‍යාවක් ලබා හත් වෙනි තැන රැඳෙනවා.
8½ (1963)
ඉතාලි ජාතික විශිෂ්ට සිනමා අධ්‍යක්ෂ Federico Fellini විසින් නිර්මාපිත මේ fantasy ගනයේ චිත්‍රපටය ඔහුගේ අටහමාර වන චිත්‍රපටය බැවින් එය "8½" ලෙස නම් කර තිබෙනවා. මීට ප්‍රථම ඔහු කල නිර්මාණ අතර වෘතාන්ත චිත්‍රපට හයක් වන අතර කෙටි සිනමා කොටස් දෙකකුත් වෙනත් අධ්‍යක්ෂවරයෙකුත් සමග කල සිනමා නිර්මානයකුත් වනවා. අවසනට සඳහන් කල තුනම භාග ලෙස ඔහු සලකන බැවින් ඊළඟ සිනමාපටය අටහමාර වන සිනමා පටයයි.
21 වන සියවස තුළත් සිනමාව පෙරටුගාමී කලාවක් ලෙස වැජඹෙනවා. එහෙත් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිනමාපට තේරීමේදී බොහොමයක් නාමාවලි වල දක්නට ලැබෙන්නේ අවම වශයෙන් මීට වසර තිහකටවත් පෙර නිර්මාණය වූ සිනමා කෘති. මීළඟ Sight & Sound , Top Ten නාමාවලිය 2012 වසරේදී ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ ප්‍රවණතාවයේ යම් වෙනසක් වේවිද කියා එවිට අපි බලමු.
මෙය චිත්‍රපටයක් හැදීම පිලිබඳ චිත්‍රපටයක්. එක් සුප්‍රසිද්ධ ඉතාලි සිනමා අධ්‍යක්ෂ වරයකු සිනමා පටයක් නිර්මාණය කරන අතර සිය නිර්මාණය පිලිබඳ විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් (director 's block ) තව දුරටත් ඉදිරියට යා නොහැකි තත්වයකට පත්වනවා. ඒ අතරතුර කල්පිතය හා යතාර්ථය අතර දෝලනය වන ඔහු මේ දෙක අතර වල්මත් වී තමා වටා සිටින අනෙකුත් චරිතද ඒ තුල අතරමං කරනව.
කළු සුදු සිනමා පටයක් වන මෙය ඒ වසරේ හොඳම විදේශීය චිත්‍රපටය සහ හොඳම ඇඳුම් නිර්මාණය වෙනුවෙන් පිදෙන ඇකඩමි සම්මාන දිනාගන්නවා. එමෙන්ම 1963 වසරේ මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී Grand Prize සම්මානයද හිමිවෙනවා. ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේදීද විශ්ව සම්භාවනාවට පාත්‍ර වනවා. 1972 , 1982 , 2002 යන වසරවල Sight & Sound , Top Ten ලැයිස්තු තුනටම මෙම සිනමා පටය ඇතුලත් වනවා.
SINGIN' IN THE RAIN (1952)
හොලිවුඩ් පුරය නිහඬ සිනමා පට වෙතින් කතා නාද සිනමා පට වෙත යොමුවූ සංක්‍රාන්ති සමය අලලා නිර්මාපිත මෙම සිනමා පටය සංගීතමය ප්‍රහසනයක්. Gene Kelly සහ Stanley Donen විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමා පටය ලොව මෙතෙක් බිහිවූ හොඳම සංගීතාත්මක සිනමා පටය ලෙස සැලකෙනවා. මෙයට පෙර 1982 දීත් මෙම සිනමා පටය Sight & Sound , Top Ten ලැයිස්තුවට ඇතුලත් වුනා. සිනමා ප්‍රතිචාර සහ තොරතුරු පිලිබඳ අන්තර්ජාල පිටුවක් වූ Rotten Tomatoes හි මෙම සිනමා පටයට 100% ක් ම හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා.