මගේ තාත්ත උපන්නේ 1930 අවුරුද්දේ. 1950 වෙනකොට ගජ ඉලන්දාරිය. තාත්ත මට කියල තියෙනවිදියට ඒ දවස්වල එයා හොඳ පිච්චර් පිස්සෙක්ලු. පදිංචිවෙලා ඉඳල තියෙන්නේ කොළඹ කොම්පන්ඥ්ඥ වීදියේ. කොළඹ සිනමා ශාලා වලට එන ඕනෑම චිත්‍රපටියක් වරද්දන්නෙ නැතිලු. ඉංග්‍රීසි, හින්දි හෝ වෙනත් ඕනෑම භාෂාවක් කමක් නැහැ එන ඕන එකක් බල බල තමා ඉඳල තියෙන්නෙ. හැබැයි 1950න් ආරම්භ වුනු දශකයේ මුල් භාගයේ බලන්ට ලැබුණු චිත්‍රපටියක් නිසා හැම දෙයක්ම වෙනස්වෙලා. ඉන් පස්සේ තමා තාත්තට වැටහිලා තියෙන්නෙ කලාව මිනිසා වඩා යහපත් කිරීමට යොදා ගත හැකි මාධ්‍යයක් බව. නිකන්ම නිකන් විනෝද මාධ්‍යයක් නොවී මනුස්සකම ගැන කතා කරන, මිනිහෙක් තමන් ජීවත් වෙන ආකාරය ගැන යළි හිතන්නට පෙළඹවිය හැකි උසස් නිර්මාණ ශීලී ගුණයක් හොඳ යැයි සලකන කළා කෘතියක තිබිය යුතු බව. කොටින්ම කියනවා නං චිත්‍රපටයකින් විනෝදය ලබා දෙනවට වඩා කරන්ඩ දෙයක් තියෙන බව. ඒ වෙනස ඇති කරපු චිත්‍රපටය තමා "බයිසිකල් හොරු".
"බයිසිකල් හොරු" බැලුවට පස්සේ එයා තීරණය කරලා තියෙනව ඉන් ඉදිරියට එන හැම සිනමා පටයක්ම ඔහේ බලන්නේ නැතුව චිත්‍රපට තෝරා බේරා ගෙන බලන්ඩ. ලංකාවේ වාමාංශික ව්‍යාපාරෙට සම්බන්ධ වෙන්න ගත්තු තීරනේටත් මේ සිනමා පටය යම් බලපෑමක් අපේ තාත්තට කරල තියෙනව. අපේ තාත්තගේ ජීවිතේ අලලා මං වෙනම පොස්ට් එකක් ඉස්සරහට ලියන්නන්කො. මොකද අපේ තාත්තත් ඔය "වානේ පන්නරය" ලබාපු චරිතයක්නෙ. අපේ සහෘදයෝ ඒ කතාවත් දැනගන්ඩ කැමති වෙයි කියල මට හිතෙනව. ඒත් අපි අද "බයිසිකල් හොරු" ගැන කතා කරමු.
මේක ඉතාලි චිත්‍රපටයක්. පසුබිම් වෙන්නෙ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ඉතාලියේ රෝම නගරය. චිත්‍රපටයේ අධ්‍යක්ෂක "විටෝරි ඩි සිකා". 1948 නොවැම්බර් මාසයේදී තමා මුල් වරට තිරගත කරලා තියෙන්නෙ. 1950දි ඇකඩමි ගෞරව සම්මානයක් (Academy Honorary Award) මේ චිත්‍රපටයට හිමිවුනා. බ්‍රිතාන්‍යයේ "Sight & Sound" සඟරාව 1952 දි මුල් වරට ලෝක සිනමා විචාරකයන් සහ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂක වරුන් එක්රැස් කරලා ලොව මෙතෙක් නිපදවූ හොඳම චිත්‍රපට දහය තේරුවා. එහිදී පළමුවෙනි තැන ලැබෙන්නෙ "බයිසිකල් හොරු" සිනමා පටයට. Sight & Sound සඟරාව මේ තේරීම වසර දහයෙන් දහයට අද දක්වාම කරගෙන එනව. 2002 වසරේ සිනමා අධ්‍යක්ෂක වරුන් විසින් කල නවතම තේරීමට අනුව බයිසිකල් හොරු තවමත් මුල් චිත්‍රපට දහය අතර හය වෙනි තැන රැඳිල ඉන්නව. 2005 වසරේදී බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (British Film Institute) , "ඔබ 14 වැනි වියට පා තබන විට නරඹා තිබිය යුතු චිත්‍රපට පණහ" (The 50 films you should see by the age of 14) නම් කලා. එහි පළමු චිත්‍රපට දහයට බයිසිකල් හොරු ඇතුලත්.
කතාව ;
අන්තෝනියෝ රිස්සි, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉතාලියේ බංකොලොත් ආර්ථිකයෙන් බැට කන විරැකියාවෙන් පෙලෙන දුප්පත් කම්කරුවෙක්. නඩත්තු කරන්න දරුවො දෙන්නෙකුගෙන් යුතු පවුලක්. අත දරුවෙකුයි, වයස අවරුදු හයක, හතක විතර කොලු පැටියෙකුයි. ඔක්කොම කටවල් හතරකට කෑම හොයන්න ඕනෙ. රැකියා දෙපාර්තමේන්තුවෙන් අන්තෝනියෝට එක් රැකියාවක් ලැබෙනව. රෝම නගරයේ වීදි වල පෝස්ටර් ඇලවීම. හැබැයි රැකියාව ලබා ගන්ට සුදුසුකමක් ඕනෙ. ඒ තමා තමන්ට කියල බයිසිකලයක් තිබීම. අන්තෝනියෝට බයිසිකලයක් තියෙනව. හැබැයි ඒක උගස් කඩේ. "No bicycle, no job" දෙපාර්තමේන්තුවෙ නිලධාරිය කියන්නෙ එහෙමයි.
අන්තෝනියෝ රැකියාව ලැබුණු බව ලියූ කොළෙත් අරගෙන බිරිඳ සොයාගෙන යනව. බිරිඳ කල්පනාකරලා තීරණය කරනව නිදා ගන්න ඇඳට ඇඳ රෙදි අත්‍යවශ්‍ය නැහැ කියල. ඒ අනුව ගෙදර තිබුණු තරමක් ඇඳ රෙදි හොඳට හෝදල, මැදල උගස් කඩේට ගෙනියනව. ලැබෙන මුදලින් බයිසිකලේ බේර ගන්නව.
මටත් රැකියාවක් තියෙනව කියන ආඩම්බරෙන් අන්තෝනියෝ පහුවදා වැඩට යනව, ඉනිමගකුත් කරේ තියාගෙන බයිසිකලෙත් පැදගෙන..... වීදියක් අයිනේ තාප්පයකට බයිසිකලය හේත්තුකරල ඉණිමගේ නැගල පළමුවෙනි පෝස්ටරය අලවද්දිම අන්තෝනියෝගෙ බයිසිකලය හොරකන් කරනව.
අන්තෝනියෝ පස්සෙන් එළවනව. ඒත් වැඩක් වෙන්නෙ නෑ. බයිසිකලේක යන එකෙක්ව පයින් දුවල කොහොම අල්ලන්ඩද? නගරෙ බයිසිකල් වලින් යන එන මිනිස්සු සිය ගණනක් අතරෙ අන්තෝනියෝගෙ බයිසිකලේ හොරත් එක්කම අතුරුදහන් වෙනව. පොලිසියට ගියත් සහයක් නෑ. එන්ට්‍රිය ලියාගන්නව. හොයල බලන්නන් කියනව. එච්චරයි. එකම විකල්පය තමයි තමන්ම බයිසිකලේ හොයාගන්න එක. යාළුවො කිහිපදෙනෙකුත් එක්ක තමන්ගෙ පුතාවත් අඬගහගෙන අන්තෝනියෝ රෝම නගරය පුරාම බයිසිකලේ හොයනව. දහසකුත් එකක් බයිසිකල් අතර තමන්ගේ බයිසිකලේ කෝකද? යාළුවො ටික වැඩේ අතෑරල දානව. ඒත් අන්තෝනියෝට බයිසිකලේ නැතුව බෑ. පුතයි, අන්තොනියෝයි දිගටම හොයනව.
මගදි පුතා කියපු කතාවකට කේන්ති ගිය අන්තෝනියෝ පුතාට කම්මුල් පාරක් දෙනව. කොල්ල තාත්තත් එක්ක තරහ වෙනව. "මං ගෙදර ගිහින් අම්මට කියනව" කිය කිය අඬනව. අන්තෝනියෝට දුක හිතිල හොඳ අවන් හලකට ගොඩවැදිලා පුතාට හොඳට කන්ඩ අරන්දෙනව. මේ වෙලාවේ අන්තෝනියෝ තමන්ගේ බිඳ වැටුණු සිහින පුතාට විස්තර කරනව.ඒත් පොඩි එකාට ඒ ගැන හරි තේරුමක් නැහැ.
බලාපොරොත්තු සුන් වෙලා ආපහු ගෙදර එන අතර අන්තෝනියෝට මගදි හොරා හමුවෙනවා. එළවල ගිහින් අන්තෝනියෝ මිනිහව අල්ල ගන්නව. ඒත් ඒ වෙලාවෙ බයිසිකලේ හොරා ළඟ නැහැ. මිනිහ බයිසිකලයක් හොරකන් කරපු වග පිළිගන්නෙත් නැහැ. මේ කලබැගෑනියෙ සද්දෙට හොරාගෙ ගෙදර අවට අසල්වාසියො මේ දෙන්නව වට කර ගන්නව. එන පොට හොඳ නැති බව තේරුණ පොඩි එකා ඒ අතරෙ හොරෙන්ම ගිහින් පොලිස් නිලධාරියෙක් එක්කගෙන එනව. පොලිස් නිලධාරිය සධාරණේ ඉෂ්ට කරන්ඩ බලනව. හොරාගෙ ගෙදරත් සෝදිසි කරනව. ඒත් බයිසිකලේ නැහැ. "බඩුත් එක්ක හොරා අල්ලගන්ඩත් ඔහෙට බැරි වුනා. ඇහින් දැකපු සාක්කි කාරයෙක්ගෙ නමක්වත් අඩු ගානේ ඔහේ ළඟ නැහැ. මේ කේස් එක ඉස්සරහට ගෙනියන්ඩ බෑ" පොලිස්කාරය අන්තෝනියෝට කියනව. වෙන කරන්ඩ දෙයක් නැති තැන වටවුණු මිනිස්සුන්ගේ ආඩපාලි අහ අහ අන්තෝනියෝ පුතත් එක්ක එතනින් එනව.
"සාක්කි කාරයොත් නැත්තන්, හොරා අල්ලගන්ඩත් බැරි උනොත් ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ." අන්තෝනියෝට හිතෙන්ඩ ඇති. රස්සාවට කොහොම හරි බයිසිකලයක් ඕනෙ. කාගෙ හරි එකක් උනත්..... තරඟේ ඉවර වෙලා නරඹන්නෝ තම තමන්ගෙ බයිසිකල් පැදගෙන යන්ඩ යනව. පාලු අතුරු පාරක බයිසිකලයක් නවත්තල. ළඟ පාත කව්රුවත් නැහැ. තීරණයක් ගන්ඩ බැරුව අන්තෝනියෝ පාරෙ එහාටයි මෙහාටයි.... එක පාරටම දුවල ගිහිල්ල බයිසිකලේට නැගල පැදගෙන පලා යනව. අයිතිකාරය කොහේදෝ ඉඳල කෑ ගහගෙන පස්සෙන් එළවනව. මිනිස්සු වට කර ගන්නව. ගහනව, බණිනවා... තව අපහාස.... පුතා ඉස්සරහම.... අනේ මගෙ තාත්ත කියාගෙන පුතා අන්තෝනියෝගෙ අතේ එල්ලෙනව. බයිසිකලේ අයිතිකාරයට අනුකම්පා හිතිල අත්ඇරල දාන්ඩ කියල අනෙක් මිනිස්සුන්ට කියනව. පුතා තාත්තගේ අතින් අල්ලගෙන එක්කන් යනව. තාත්ත අඬනව.