Sunday, May 6, 2012

බුද්ධ

සමාධි බුද්ධ ප්‍රතිමාව, ගල් විහාරය, පොලොන්නරුව. 
"බුද්ධ" යනු කවරෙක් ද?
ඔබෙන් මේ පැන යමෙක් ඇසුවොත් ඔබ කුමක් කියන්නෙහිද? මිනිසුන් අතර උත්තමයෙක්, දෙවියන්ටත් ඉහල කෙනෙක්, චිත්තාකර්ශනීය රූ සපුවකින් හෙබි පුද්ගලයෙක්, සියලු කෙලෙසුන් නැසූ අයෙක් යනාදී නොයෙක් පිළිතුරු ඔබේ සිතට ගලා එනු ඇති. එහෙත් වරක් බුදු රදුන් වෙතින්ම මේ පැනය විමසන ලදුව උන්වහන්සේ  විසින්ම 'බුද්ධ' යනු කවරෙක්දැයි පැහැදිලිවම ප්‍රකාශ කළ සේක. 

යම් අවස්ථාවක උන් වහන්සේ වෙත පැමිණි බ්‍රාහ්මණයෙක්, "ඔබ දෙවියෙක් ද?", යි විමසා සිටියේය. එසේ නොවෙතැයි උන්වහන්සේ පිළිවදන් දුන්හ. "එසේ නම් ඔබ බ්‍රහ්මයෙක් ද?" යි බමුණා ඇසීය. එයටද නොවන්නෙමැයි පැවසූහ. තෙවනවර "එසේ නම් ඔබ යක්ෂයෙක් ද?" යි ඇසූ කල එයට ද නැතැයි කීහ. "එසේත් නොවේ නම් ඔබ මිනිසෙක් ද?" යි බමුණා  අවසන ඇසී ය. එයටද උන්වහන්සේ ගේ පිළිතුර වූයේ නැත යන්න ය. "එසේ නම් ඔබ කවරෙක් ද?" යි වික්ෂිප්ත වූ බමුණා ඇසී ය. "බමුණ, මම බුද්ධ වෙමි" යි බුදු රදුන් පැවසු සේක. බුද්ධ යනු කවරෙක් දැයි ඇසූ බ්‍රාහ්මණයාට බුදු රදහු මෙසේ පැවසූහ.

"අභිඥ්ඥෙය්යං අභිඥ්ඥාතං - භාවේතබ්බංච භාවිතං
පහාතබ්බං පහීනං තේ - තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ"  

'අවබෝධ කළ යුතු වූ සියල්ල අවබෝධ කළ බැවින් ද,
පුහුණු කළ යුතු වූ සියල්ල පුහුණු කළ බැවින් ද,
ප්‍රහාණය කළ යුතු වූ සියල්ල ප්‍රහාණය කළ බැවින් ද
බ්‍රාහ්මණය, මම බුද්ධ වෙමි.' 

'Understood are the things to be understood,
Cultivated are the things to be cultivated,
Eradicated are the things to be eradicated,
Therefore Brahmin, I am the Buddha.'


මැලේසියාවේ හිටපු ප්‍රධාන සංඝ නායක කිරින්දේ ශ්‍රී ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් ගේ දෙසුමක් ඇසුරෙනි.
- සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා! -