Friday, April 13, 2012

සෝමලතා සහ දරුවෝ

සෝමලතා හැමදාම හිටියේ දරුවන්ගේ ලෝකේ. දරුවෝ හරිම පිවිතුරුයි. ඒ වගේම නිර්දය යි. කියන්න තියෙන දේ මූණටම කියන අය. ආයෙ ලජ්ජා බය ගැන හිතන්නේ නැහැ. මමත් කාලයක් සොමලතාගේ දරුවෙක් ව හිටිය. එක අතකට එහෙම කිව්වොත් ඒකත් වැරදියි. ගතින් දරුවෙක් නොවුනට මා නම් තවමත් සොමලතාගේ දරුවෙක්. මම සොමලතාගේ දරුවෙක් උනේ දෙකේ හෝ තුනේ පන්තියෙදි "කතන්දර දෙකක්" බලපු දවසේ ඉඳලයි.

පුංචි අපට දැන් තේරෙයි වේදිකා නාට්‍යයේ ජවනිකාවක්
කැලණියේ, ධර්මාලෝක කනිෂ්ට විද්‍යාලේ උගෙනුම ලබන අවධියේ දෙවන  හෝ තුන්වන ශ්‍රේණියේදී අපව විද්‍යාලයෙන් වේදිකා නාට්‍යයක් බලන්න එක්කගෙන ගියා. ඒ කිරිබත්ගොඩ YMBA රඟහලට. නාට්‍යය තමා සෝමලතා සුබසිංහ ගේ 'කතන්දර දෙකක්'. ඒ කතන්දර දෙක තමයි, 'පුංචි අපට දැන් තේරෙයි' සහ 'තොප්පි වෙළෙන්දා'. මා නැරඹු පළමු වැනි ළමා වේදිකා නාට්‍යය. (එයට පෙර මනමේ නාට්‍යය නරඹල තිබුන.) ළමා කාලයේ නැරඹු එකම වේදිකා නාට්‍යයත් එයමද, කොහෙද! මොකද වෙනත් ළමා නාට්‍ය නිෂ්පාදකයෙක් දන්න තරමින් හිටියේ නැහැ නේ. (හැබැයි සරත්චන්ද්‍රයන් ළමා නාට්‍ය නමින් නොවුනත් ළමා නාට්‍ය ලෙස සැලකිය හැකි වේදිකා නාට්‍ය කිහිපයක් කර තිබුණා. -රත්තරන්, එලොව ගිහින් මෙලොව ආවා වැනි-. නමුත් මනමේ, සිංහබාහු හැරුණු කොට පාසල් මට්ටමින් ඒවා පෙන්නපු බවක් මතක නැහැ.)

පුංචි අපට දැන් තේරෙයි නාට්‍යයේ හිටියේ  කුකුළෙකුයි, මීයෝ දෙන්නෙකුයි. තව මල් රැසක් නාට්‍යයේ චරිත වල හිටිය. කුකුළා මහන්සි වෙලා තිරිඟු වවල, පිටි කොටලා මොකක් හරි කෑමක් හැදුව. මීයන්ගෙන් උදව් ඉල්ලුවට උන් උදව් කලේ නැහැ. නමුත් කෑම කන වෙලාවේ නං උඩ පැන ගෙන ආවා. අන්තිමට මොකද්ද උනේ කියල හරියටම මතක නැහැ. අනෙක් කතාව අපි හැමෝම දන්න තොප්පි වෙළෙන්දා කතාව. වඳුරෝ රැලක් වේදිකාව දෙවනත් කළා හොඳට මතකයි. වැල් වල එල්ලිලා කෑගහගෙන වෙළෙන්දාගේ තොප්පි ගන්න ආවා. සමහර එවුන් වේදිකාවෙන් බිමටත් පැන්න. හැබැයි පරණ කතාව වගේ නෙමෙයි මේ කතාවේ අන්තිමට වඳුරෝ හැමෝටම වෙළෙන්දා තොප්පිය බැගින් බෙදල දුන්න කියල තමයි මගේ මතකේ තියෙන්නේ.  ඉතින් අපි උඩ පැන පැන හිනා වෙවී මේ කතන්දර දෙක බලපු බව නම් තාම හොඳින් මතකයි.

 ඔය ඉන්නෙ තොප්පි දාගත්තු වඳුරෝ
මම මේ මතකය අලුත්  කළේ සෝමලතා මහත්මියට කරන ගෞරවයක් හැටියට. ඇය තවත් ළමා වේදිකා නාට්‍ය කිහිපයක් කළා. 'හිම කුමරිය', 'ගමරාළ දිව්‍යලෝකෙට' සහ 'රත්මලී' අනෙක් නාට්‍ය. ඇය කියන්නේ ළමයින් සඳහා නිර්මාණ කිරීම ඉතාමත් අසීරු බවයි. මන්ද ළමුන් නිර්දය විවේචකයන්. නාට්‍යය හිතට අල්ලන්නේ නැත්නම් එවලේම ඒ ගැන කියන එක ළමයින්ගේ සිරිත. අම්මල තාත්තල එක්ක නං ඇවිත් ඉන්නෙ, කියයි "ගෙදර යං" කියල. ළමයි කාණ්ඩයක් එකට ඉන්නවා නං නාට්‍යය බැලිල්ල අමතක කරලා ඒ අයගේ ලෝකේ වෙන වෙන වැඩ වලට බහී. ටිකක් ලොකු  අය නං හූ කියයි. ඒ නිසා ළමා නාට්‍යයකදී ළමයාගේ අවධානය නිරන්තරයෙන් රැක ගන්න නිෂ්පාදකයා උත්සුක විය යුතුයි.

මේ ඇගේම වචනයෙන් ළමා නාට්‍ය ගැන,
"නාට්‍යය යනු කරන දෙයක් බලා සිට, කියන දෙයක් අසා රස විඳීමේ මාධ්‍යයකි. මෙම රස විඳීම ආරම්භ වනුයේ වයස අවරුදු එකහමාරත් දෙකත් අතර කාලයේදීය. ළමා මනසේ රසවින්දනය පිළිඹඳ මුල් අවදිය මෙයයි. වයස අවරුදු 4 ත් 5 ත් අතර කාලයේ දී ඔවුහු දෙවැනි අවදියට පිය මනිති. මෙම දෙවැනි අවදියට පිවිසීමට පෙරාතුව රස වින්දනය තුළින් බුද්ධි ප්‍රබෝදය කරා ළමා මනස යොමු කරවීම ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරන ක්‍රමයයි. ඒ සඳහා බොහෝ විට භාවිතා කරනුයේ බෝනික්කන් යොදා නිපදවෙන නාට්‍ය විශේෂයකි. මෙහිදී දෙබස්, සංගීතය, වර්ණ, හැඩ තල ආදිය ඉතා මෘදු විය යුතුය. ඒවා සංස්කෘතික අනන්‍යතාවය සුරක්ෂිත වන අන්දමින් සැකසීම කෙරෙහි අවධානය යොමු වීම ද අත්‍යවශ්‍ය ය. එසේම සිත් ගන්නා සුළු කඩිනමින් වෙනස් වන ආකාරයෙන් නිර්මාණය විය යුතුය. මෙහිදී ඉතා ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු වේ.  මන්ද නිර්මාණය ළමා මනස නොබිදෙන, නොතැලෙන, බියට හෝ කම්පනයට පත් නොවන අන්දමින් ඉදිරිපත් විය යුතු හෙයිනි. එනිසාම ලෝකයේ ඉතාම අමාරුම, භාරදූර කාර්යයක් ලෙස ළමා නාට්‍ය නිර්මාණය හැඳින්වීම සැබැවි." (හිම කුමරිය - පිටපතේ පෙර වදනින් උපුටා ගැනිණි.)

සෝමලතා මහත්මියගේ ළමා නාට්‍ය වල මා දුටු අනෙක් සුවිශේෂීම ලක්ෂණය තමා 'දුෂ්ටයෙක්' (villain) නොමැති වීම. කතාන්තරය තුළදී වැරදි කරන චරිත හමු වන නමුත් අවසානයේ ඒ චරිත සිය වරද වටහා ගෙන නිවැරදි චරිත බවට පත් වෙනවා. සමාජය තුළ කළු සුදු වශයෙන් චරිත බෙදීමක් නොමැති බවත් සෑම චරිතයක් ම අඩු වැඩි වශයෙන් වැරදි කරන බවත් අවශ්‍ය වන්නේ සිය වැරැද්ද වටහාගෙන එය නිවැරදි කරගැනීම බවත් සිය නිර්මාණ තුලින් සෝමලතා දරුවන්ට කියා දෙනවා. හැබැයි ඒ දේශනාත්මක ස්වරූපයකින් නම් නොවෙයි. කතාව නැරඹීමේදී අවිඥානකව දරුවා ඒ බව අවබෝධ කරගන්නවා. ඒ වගේම සමාජයේ කිසිවකුට වෛර කිරීමට පෙළඹෙන්නෙත් නැහැ. 

මා වර්තමානයේ හොලිවුඩයෙන්  බිහිවන Animation ගණයේ ළමා සිනමා පට වල හොඳ රසිකයෙක්. Kung -Fu Panda, Ice Age, A Bugs Life ආදී ඇනිමේෂන් සිනමා පට මගේ ප්‍රියතම ඒවා අතර වනවා. Animation යුගයට පෙර බිහිවූ කාටුන් සිනමා පට වලටත් මම බොහොම කැමතියි.  ඒත් මේ හැම හොලිවුඩ් ළමා සිනමා පටයකම දුෂ්ටයෙක් අනිවාර්යයි.

Name of the Film                                    Villain
Kung-Fu Panda I                                      Tai-Lung (the Snow leopard)
Kung-Fu Panda II                                     Lord Shen (the Peacock)
Ice Age I                                                   The gang leader of Saber Toothed Cats
A Bugs Life                                              The gang leader of the Grasshoppers 
The Incredibles                                         Syndrome
The Jungle Book                                      Shere Khan (the Tiger)
How to Train Your Dragon                      Red Death (the Gigantic Dragon)

Tai-Lung in Kung-Fu Panda I
ඔය ආදී වශයෙන් ඉහත නාමාවලිය තව දිගු කළ හැකියි. මේ කතාන්තර වල තේමාව වන්නේ දුෂ්ටයාට (හෝ දුෂ්ටයන්ට) එරෙහිව නැගී සිටීමයි. සුදු චරිත සියල්ලේම වෛරය දුෂ්ට චරිතය වෙත නාභි ගත වෙනවා. අවසානයේ දුෂ්ටයා පරාජය කෙරෙනවා. (බොහෝ විට මරා දැමෙනවා.) ඉතින් ළමා මනසට එක්තරා අයුරකින් වෛරය හඳුන්වා දීමක් කෙරෙන අතර සිය වෛරය යොමු විය යුත්තේ කොයි දෙසටද යන ඉඟිය ළමයින්ට ලැබෙනවා. ළමයින් මිනිසුන් වන කල සිය නායකයන් විසින් හඳුන්වාදෙන දුෂ්ටයන් වෙත ඒ වෛරය නිතැතින් යොමු වෙනවා. (උදා. සදාම් හුසේන්, කර්නල් ගඩාෆි, මොහමෙඩ් අහමඩිනජාඩ් ආදී..)

හොලිවුඩ් ළමා සිනමා පට අතර මා දුටු එකම දුෂ්ටයෙක් නොමැති ළමා සිනමා පටය Brother Bear පමණයි. මුලදී මිනිසුන්, වලසුන් දුෂ්ටයන් ලෙස දකින අතර වලසුන්, මිනිසුන් දුෂ්ටයන් ලෙස දකිනවා. එහෙත් මේ දෙගොල්ලන්ම අවසානයේ එකිනෙකා අවබෝධ කරගන්නවා. 

A scene from Brother Bear
රූපවාහිනියෙන් නැරඹු, "පුංචි ඉත්තෑවා" බොහෝ අයට මතක ඇති. මතක් කරලා බලන්න එහි දුෂ්ටයෙක් හිටියද කියා. නමුත් කතාව කොයි තරම් අපූරුවට ළමා මනස ග්‍රහණය කරගන්නවද? නිර්මාණ ශක්තිය ඇති, ළමා මනස නිවැරදිව අවබෝධ කරගත් සෝමලතා සුබසිංහ වැනි කළා කරුවන්ට නිර්මාණයක සාර්ථකත්වය දුෂ්ටයකුට එරෙහිව අවුලන වෛරයක් මත පදනම් කරගන්ට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් මේ සත්‍යය අද දවසේ ළමයින් වෙනුවෙන් ලියන කියන, නිර්මාණ කරන කීයෙන් කීදෙනාද අවබෝධ කොටගෙන තිබෙන්නේ?

සෝමලතා මහත්මියට ආයු බෝ වේවා!
Mrs. Somalatha Subasinghe

ඔබ සැමට සුභ නව වසරක් උදා වේවා!