Wednesday, August 31, 2011

"පුරවැසි කේන්" සහ තවත් කතා

1895 දෙසැම්බර් මස 28 දින ප්‍රංශයේ පැරිස් නුවර ග්‍රාන්ද් කැෆේ නම් ආපන ශාලාවේ බිම්මහලේ කුටියකදී ලුමියෙර් සහෝදර වරුන් නිපදවූ කෙටි චිත්‍රපට තීරු දොළහක් මහජනයා ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමත් සමග චිත්‍රපට කලාවේ ආරම්භය සනිටුහන් වෙනවා. එදා මෙදා තුර කාලයේ නිපදවුණු සිනමා පට අතරින් ශ්‍රේෂ්ටතම චිත්‍රපට දහය තෝරා ගැනීම ඉමහත් අසීරු කාර්යයක්. මේ කාර්යයට අතගැසූ එක් ආයතනයක් තමා the British Film Institute (BFI ). ඔවුන් මාසිකව පල කරන Sight  & Sound සඟරාව තමා ඊට මුල් වන්නෙ. 1952 වසරේ ආරම්භ කල මෙම කර්තව්‍යය ඔවුන් වසර දහයෙන් දහයට නොකඩවා කරගෙන එනවා. 1952, 1962, 1972, 1982 සහ 1992 යන වසර වලදී ලොව උසස්ම චිත්‍රපට වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් Sight & Sound සඟරාව තේරූ එතෙක් නිෂ්පාදිත හොඳම චිත්‍රපට දහයේ නාමාවලි අප මින් පෙර පළ කල ලිපියෙන් සාකච්ඡා කලා. (තිඹිරි ගෙදර සිට සොහොන් බිම වෙතයි - අපේ ගමන් මග විහිදෙන්නේ ..... ඒ කෙටි මාවත සැරි සරනා අප - මොන සිනමා පට නරඹන්නේ). 


මේ ලිපියෙන් 2002 වසරේ Sight & Sound නිකුත්කළ අදට වලංගු Top Ten ලැයිස්තුව ගැන අපි සොයා බලමු.


2002 වසරේ Sight & Sound සඟරාව එලිදැක්වූ ලොව මෙතෙක් බිහිවූ හොඳම සිනමා පට දහයේ නාමාවලිය


01. Citizen Kane (46 mentions)
02. Vertigo (41 mentions)
03. La Règle du jeu (The Rules of the Game) (30 mentions)
04. The Godfather and The Godfather Part II (23 mentions)
05. Tokyo Story (22 mentions)
06. 2001: A Space Odyssey (21 mentions)
07. The Battleship Potemkin (19 mentions)
07. Sunrise: A Song of Two Humans (19 mentions)
09.  (18 mentions)
10. Singin' in the Rain (17 mentions)
Closest runners-up The Seven Samurai and The Searchers (15 mentions apiece)

Citizen Cane (1941)


Orson Welles (1815-1985) නමැති ඇමරිකානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ වරයා විසින් 1941 දී නිර්මාණය කල මෙම සිනමා පටය ජගත් සිනමා ඉතිහාසහ තුල මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිනමා පටය ලෙස ලොව අග්‍රගන්‍ය විචාරකයන් විසින් සලකනු ලබනව. බොහෝ සිනමා පට අධ්‍යක්ෂ වරුන් සිනමා අධ්‍යයනයට යොදා ගන්නා මෙම චිත්‍රපටය A Film for Filmmakers ලෙස සැලකෙනව.

චාර්ල්ස් ෆොස්ටර් කේන් නමැති ඇමරිකානු ධන කුවෙරයකුගේ ජීවිත කතාව මෙම චිත්‍රපටය තුල දිගහැරෙනවා. කේන් සිය ජීවිත කාලය තුල වරින් වර එක් එක් දේ සොයා යනව. තරුණ ජීවිතයේදී මුලින්ම ජනප්‍රියත්වයත් දෙවනුව ආදරයත් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් දැඩි වෙහෙසක් ගන්නව. ඊළඟට බලය සොයා යනව. එයත් අසාර්ථක වූ තැන ධනයෙන් ජීවිතයට සතුට ලබාගැනීමට වෑයම් කරනව. නමුත් තම ජීවිතයේ යම් තැනකදී යම් කිසිවක් වැරදුනු බවත් එය නිවැරදි කර ගැනීමට දැන් ප්‍රමාද වැඩි බවත් කේන් වටහා ගන්නෙ සිය මරණ මංචකයේදී. බෞද්ධයන් වන අපට නම් මේ කතාව බුදු හාමුදුරුවෝ කියපු ත්‍රිලක්ෂණය සිහි ගන්වනවා. 
"අනිත්‍ය -දුක්ඛ - අනාත්ම" 

මෙහි ප්‍රධාන චරිතය වූ චාර්ල්ස් ෆොස්ටර් කේන් ගේ චරිතය නිරූපණය කරන්නේ Orson Welles විසින්මයි. ඒ වගේම එය ඔහුගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටයයි. ඇකඩමි සම්මාන නවයකට නිර්දේශ උනත් ජයග්‍රහණය කරන්නේ හොඳම පිටපත සඳහා වන සම්මානය පමණයි. ඒ වගේම මෙම සිනමා පටයට තාඩන පීඩන රැසකට මුහුණ දෙන්න සිදුවුනා. එයට හේතුව වුනේ එවකට ඇමරිකාවේ ජීවත් වූ William Randolf Hearst නමැති ධන කුවේරයාගේ ජීවිත කතාවට මෙම සිනමා පටය සමානත්වයක් දැක්වීමයි. ඔහුගේ බලපෑම මත වරක් MGM චිත්‍රපට සමාගමේ ප්‍රධානියා Citizen Cane ප්‍රදර්ශනය භාර RKO Pictures ආයතනයට මෙම සිනමා පටයේ සියලු පිටපත් විනාශ කර දැමීමට ඇ.ඩො.805,000/- ප්‍රධානය කිරීමට සූදානම් වෙනවා. ලෝක සිනමා ලෝලීන්ගේ වාසනාවට RKO Pictures එය පිළිගන්නේ නැහැ.
ඔය හේතු නිසා මේ චිත්‍රපටය මුල් කාලීනව මූල්‍යමය වශයෙන් මෙන්ම ඇගයීම් පක්ෂයෙනුත් අසාර්ථක වෙනව. හැටේ දශකයේදී තමයි කාගෙ කාගෙත් ඇස් යළිත් මේ කෘතිය දෙසට යොමුවෙන්නෙ.


සිංහල විශ්වකෝෂයේ "චිත්‍රපටය" යන මාතෘකාව යටතේ මේ සිනමා පටය ගැන මෙසේ සඳහන් වෙනව.
"ඇමරිකානුවන්ගේ නිස්සාර ජීවන රටාවත් පුහු වටිනාකමුත් නිර්දය විචාරයට ලක් කරන සිටිසන් කේන් ඇමරිකානු මතවාදයට ප්‍රබල අභියෝගයක්ද එල්ල කරයි. මේ චිත්‍රපටයෙන් විවරණය වන්නේ භෞතික ජයග්‍රහණත් අධ්‍යාත්මික සුවයත් අතර පවතින නිරන්තර ගැටුමයි."

කැමරාකරණය, සංස්කරණය ආදී තාක්ෂණික පාර්ශවයෙනුත් මේ චිත්‍රපටය සුවිශේෂී. ඒත් ඒ හැම දෙයක්ම මෙහි සාකච්ඡා කරන්න ගියොත් මා වැනි පිච්චර් පිස්සන් නොවන මගේ මිතුරන්ට මේ ලිපිය එපා වේවි. ඒ නිසා දැන් අපි ඊළඟ සිනමා කෘතිය වෙතට හැරෙමු.

VERTIGO - බමනය (1958) 

ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය සිනමාවේ පතාක යෝධයකු වූ ඇල්ෆ්‍රඩ් හිච්කොක් විසින් නිර්මාණය කල මෙම සිනමා පටයට පාදක වන්නේ The Living and The Dead නමැති ප්‍රංශ නවකතාවක්. මෙය බොහෝ විට සඳහන්වන්නේ Hitchcock 's Masterpiece ලෙසයි. මනෝවිද්‍යාත්මක පදනමක් ඇති මේ කතාවේ ප්‍රධාන චරිතය වන්නේ acrophobia නමැති මානසික රෝගයෙන් පෙලෙන විශ්‍රාමික පොලිස් රහස් පරීක්ෂක වරයෙක්. 

ලොව පුරා සැකසුනු හොඳම චිත්‍රපට නාමාවලි බොහොමයක මුල් සිනමාපට අතර Vertigo රැඳෙනවා. මේ කෘතියටත් මුලදී නිසි ඇගයීමක් නොකෙරුණු අතර එහි වටිනාකම වටහා ගන්නේ ප්‍රන්ශුවා ට්රූෆෝ ඇතුළු ප්‍රංශ නව රැල්ලේ සිනමා කරුවන් විසිනුයි. තමන් විසින් නිපදවූ හොඳම සිනමා පටය ලෙස හිච්කොක් මෙය සලකනවා.

THE RULES OF THE GAME - ක්‍රීඩාවේ නීති (1939)
ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ්‍ය ජීන් රෙනුවා (Jean Renoir ) විසින් අධ්‍යක්ෂණය කල මෙම සිනමා පටය ට්රූෆෝ විසින් හැඳින්වූයේ චිත්‍රපට වල චිත්‍රපටය (The Film Of Films ) ලෙසයි. The Rules Of The Game,1952 සිට මේ දක්වා Sight & Sound , Top Ten නාමාවලි සියල්ලෙහිම රැදී සිටිනවා.

දෙවැනි ලෝක යුධ සමය ආරම්භය ආසන්නයේ නිපදවුණු මෙම සිනමා පටය ප්‍රංශ ඉහළ පැලැන්තිය සදය උපහාසයට ලක් කිරීම හේතුවෙන් එකල පරිභවයට පාත්‍ර වුනා. ප්‍රංශ රජය විසින් මෙම කෘතිය තහනම් කිරීමට තරම් මේ ප්‍රතිචාර දරුණු වූ බවයි පැවසෙන්නේ. යුධ සමයෙන් පසුව තමා යළිත් සිනමා විචාරකයන්ගේ ඇස් මේ දෙසට යොමු වන්නේ. එයින් පසු ලොව මෙතෙක් බිහිවූ හොඳම සිනමා කෘති අතරට මෙයද එක් වෙනවා.


THE GOD FATHER I (1972)
THE GOD FATHER II (1974)
මාරියෝ පුසෝ විසින් 1969 දී රචිත the God Father නම් නව කතාව ඇසුරින් ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටද්වය ඇමරිකා-ඉතාලි පාතාල පවුලක් පිලිබඳ කතාන්තරයක්. පළමු චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව Marlon Brando විසින් රඟපානවා.

මීට පෙර බිහිවූ පාතාල සිනමා පට එම පාතාල චරිත දෙස පිටස්තරව බලන ඇසකින් කල නිර්මාණ වූ අතර ඊට ප්‍රති පක්ෂව the God Father පාතාල සාමාජික පවුලක ඇසින් ලෝකය දෙස බලන ආකාරයට නිර්මාණය වූවක්. සුප්‍රකට සිනමා අධ්‍යක්ෂ්‍ය Stanley Kubrick පවසන ආකාරයට ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිනමා කෘතිය මෙයයි. ඇමරිකන් චිත්‍රපට ආයතනය විසින් මෙතෙක් බිහිවූ හොඳම ඇමෙරිකානු චිත්‍රපට අතර මෙය Citizen Caneට පමණක් දෙවැනි වන නිර්මාණයක් ලෙසයි සලකන්නේ. 2002 Top Ten නාමාවලියට අයත් සිනමා පට අතර අප මිතුරන් බොහෝ දෙනෙක් මේ සිනමා පට ද්වය නම් නරඹා ඇති.

තෝකියෝ වෘතාන්තය (1953)
ඔසු යශුජිරෝ විසින් නිර්මාණය කරන ලද "තෝකියෝ මොනොගතරි" නම් වූ මෙම සිනමා පටය තම දූ දරුවන් බැලීමට තෝකියෝ නගරයට පැමිණෙන වියපත් යුවලකගේ අනුවේදනීය කතාවක්. කාර්ය බහුල බව නිසා සිය දූ දරුවන්ගෙන් බලාපොරොත්තු වූ සෙනෙහස සහ රැකවරණය නොලැබ මහලු යුවල නොදන්නා නගරයක තනිවන අයුරු එහි මනාව නිරූපණය කර තිබෙනවා. මේ කෘතිය ඔසු යශුජිරෝගේ හොඳම චිත්‍රපටය ලෙස සැලකෙන අතර Sight & Sound, Top Ten නාමාවලිය දෙවතාවක් නියෝජනය කරනවා.
ජපන් ජන ජීවිතය සහ ජපන් සිනමාව පිලිබඳ විශේෂඥයකු වූ ඩොනල්ඩ් රිචී තෝකියෝ වෘතාන්තය පිලිබඳ මෙසේ පවසනවා.
"The dissolution of the family, the transience of this world, the disappointment of life - this is the theme of Tokyo Story"  


2001: A SPACE ODYSSEY (1968)
ඔබ අප කව්රුත් හොඳින් හඳුනන 2001: අභ්‍යවකාශ වීරකාව්‍යය මෙයයි. Stanley Kubrick විසින් මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කල අතර කතා රචනය Arthur C. Clarke සමග Stanley Kubrick. මෙය ආතර් සී. ක්ලාර්ක් විසින් ලියූ 2001 විද්‍යා ප්‍රබන්ධ නවකතාව ඇසුරින් කල සිනමා කෘතියක් ලෙස බොහෝ දෙනා සිතා සිටියත් ඇත්තටම සිදුවූයේ චිත්‍රපට කතාවත් නවකතාවත් එකවර ලියා චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹන විට නව කතාවද එළි දැක්වීමයි. මානව පරිනාමය, තාක්ෂණික දියුණුව, නිර්මාපිත බුද්ධිය (Artificial Intelligence) සහ පාරභෞම ජීවය (Extraterrestrial Life) යන තේමාවන් මේ සිනමා පටයේ සාකච්ඡාවට භාජනය කෙරෙනවා.


මෙම සිනමා පටය එහි විද්‍යාත්මක නිරවද්‍ය භාවය පිළිබඳව කීර්තියක් දරා සිටින අතර නූතන යුගයේ විශේෂිත රංග උපක්‍රම (Special Effects) භාවිතයේ ආරම්භක සිනමා කෘතිය ලෙසත් සැලකෙනවා. එමෙන්ම එහි භාවිත සංගීතයද විශේෂයෙන් ඇගයෙනවා. The Moving Arts Film Journal නමැති on-line සඟරාව 2001: A Space Odyssey චිත්‍රපටය මෙතෙක් ලොව බිහිවූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස නම් කර තිබෙනවා. එසේම මෙම සිනමා පටය ඔබ විසින් නැරඹිය යුතුම සිනමා පටයක් (a must watch movie ) ලෙස නම් කරන්නට මා කැමතියි.


THE BATTLESHIP POTEMKIN (1925)
1905 වසරේදී පොටෙම්කින් නමැති යුධ නෞකාව එවකට පැවති සාර් පාලනයට එරෙහිව කැරලි ගැසීමේ සිද්ධිය මුල් කරගෙන ශ්‍රේෂ්ට රුසියානු සිනමා කරු සර්ජි අයිසන්ස්ටයින් විසින් නිර්මාණය කල ලොව වඩාත්ම කතා බහට ලක්වූ නිහඬ සිනමා පටයයි මේ. Sight & Sound සඟරාව විසින් වසර දහයෙන් දහයට පලකල හොඳම සිනමා පට දහය අතර සැමදා රැඳී සිටි මේ චිත්‍රපටය සෝවියට් සමූහාණ්ඩුවේ ප්‍රචාරාත්මක (propaganda) සිනමා පටයක් ලෙසත් හැඳින්වෙනවා.

සිංහල විශ්වකෝෂය මේ සිනමා කෘතිය පිළිබඳව දක්වන අදහස්;
"නිලධාරිවාදයට එරෙහිව පොටෙම්කින් නෞකාවේ නාවුකයන්ගේ කැරලි ගැසීමත් කැරලි නායකයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඒකරාශී වූ ඔඩෙස්සා නගර වැසියන් කෘර ලෙස ඝාතනයත්, සෙසු යුද්ධ නෞකාද පොටෙම්කින් නෞකාව සමග එක්වීමත් පිලිබඳ පුවත විෂය කරගත් මේ චිත්‍රපටය ග්‍රීක දු:ඛාන්තයක මෙන් අංක පහකින් යුක්ත විය. (1. මිනිසුන් සහ පනුවන් 2. නැව් තට්ටුවේ සිද්ධිය 3. මළවුන්ගෙන් ආයාචනයක් 4. ඔඩෙස්සා පඩිපෙළ 5. බලඇණිය හමුවීම )"

බෝල්ෂෙවික් විප්ලවයේ දස වන සංවත්සරය සැමරීම සඳහා මෙම සිනමා පටය නිර්මාණය කරන ලදී.

SUNRISE: A SONG OF TWO HUMANS (1927)
මෙය ජර්මානු ජාතික සිනමා අධ්‍යක්ෂ්‍ය වරයකු වූ F. W. Murnau විසින් නිර්මාපිත ඇමරිකානු නිහඬ සිනමා පටයක්. 1929 දී පැවති ප්‍රථම ඇකඩමි සම්මාන උළෙලේදී මේ චිත්‍රපටය අනන්‍ය, කලාත්මක නිෂ්පාදනය (Unique and Artistic Production ) වෙනුවෙන් සම්මානයක් දිනාගන්නවා. 

අනියම් පෙමක් හේතුවෙන් පෙම්වතියගේ උපදෙස් මත සිය බිරිඳ මරා දමන්නට සැරසෙන තරුණයකු එය කල නොහැකිව යලිත් ඇය හා පෙමින් වේලෙන කතාන්තරයක් මෙහි දිග හැරෙනවා. සිනමා පටය මුළු රාත්‍රිය පුරා දිවයන අතර හිරු උදාවත් සමග අවසාන වෙනවා. 

1989 දී මෙම සිනමාපටයේ සංස්කෘතිකමය, ඉතිහාසාත්මක සහ සෞන්දර්යාත්මක සුවිශේෂී බව සලකා එක්සත් ජනපදයේ Library of Congress විසින්  ජාතික චිත්‍රපට ලේඛනාගාරයේ අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කල යුතු සිනමා පටයක් ලෙස නිර්දේශ කරනවා.

2002 Top Ten ලැයිස්තුව තුල මෙම සිනමා පටය පොටෙම්කින් යුධ නෞකාව සමගින් සම ඡන්ද සංක්‍යාවක් ලබා හත් වෙනි තැන රැඳෙනවා.


8½ (1963)

 

ඉතාලි ජාතික විශිෂ්ට සිනමා අධ්‍යක්ෂ Federico Fellini විසින් නිර්මාපිත මේ fantasy ගනයේ චිත්‍රපටය ඔහුගේ අටහමාර වන චිත්‍රපටය බැවින් එය "8½" ලෙස නම් කර තිබෙනවා. මීට ප්‍රථම ඔහු කල නිර්මාණ අතර වෘතාන්ත චිත්‍රපට හයක් වන අතර කෙටි සිනමා කොටස් දෙකකුත් වෙනත් අධ්‍යක්ෂවරයෙකුත් සමග කල සිනමා නිර්මානයකුත් වනවා. අවසනට සඳහන් කල තුනම භාග ලෙස ඔහු සලකන බැවින් ඊළඟ සිනමාපටය අටහමාර වන සිනමා පටයයි. 

මෙය චිත්‍රපටයක් හැදීම පිලිබඳ චිත්‍රපටයක්. එක් සුප්‍රසිද්ධ ඉතාලි සිනමා අධ්‍යක්ෂ වරයකු සිනමා පටයක් නිර්මාණය කරන අතර සිය නිර්මාණය පිලිබඳ විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් (director 's block ) තව දුරටත් ඉදිරියට යා නොහැකි තත්වයකට පත්වනවා. ඒ අතරතුර කල්පිතය හා යතාර්ථය අතර දෝලනය වන ඔහු මේ දෙක අතර වල්මත් වී තමා වටා සිටින අනෙකුත් චරිතද ඒ තුල අතරමං කරනව.

කළු සුදු සිනමා පටයක් වන මෙය ඒ වසරේ හොඳම විදේශීය චිත්‍රපටය සහ හොඳම ඇඳුම් නිර්මාණය වෙනුවෙන් පිදෙන ඇකඩමි සම්මාන දිනාගන්නවා. එමෙන්ම 1963 වසරේ මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී Grand Prize සම්මානයද හිමිවෙනවා. ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේදීද විශ්ව සම්භාවනාවට පාත්‍ර වනවා. 1972 , 1982 , 2002 යන වසරවල Sight & Sound , Top Ten ලැයිස්තු තුනටම මෙම සිනමා පටය ඇතුලත් වනවා.

SINGIN' IN THE RAIN (1952)
හොලිවුඩ් පුරය නිහඬ සිනමා පට වෙතින් කතා නාද සිනමා පට වෙත යොමුවූ සංක්‍රාන්ති සමය අලලා නිර්මාපිත මෙම සිනමා පටය සංගීතමය ප්‍රහසනයක්. Gene Kelly සහ Stanley Donen විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමා පටය ලොව මෙතෙක් බිහිවූ හොඳම සංගීතාත්මක සිනමා පටය ලෙස සැලකෙනවා. 

මෙයට පෙර 1982 දීත් මෙම සිනමා පටය Sight & Sound , Top Ten ලැයිස්තුවට ඇතුලත් වුනා. සිනමා ප්‍රතිචාර සහ තොරතුරු පිලිබඳ අන්තර්ජාල පිටුවක් වූ Rotten Tomatoes හි මෙම සිනමා පටයට 100% ක් ම හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා.

21 වන සියවස තුළත් සිනමාව පෙරටුගාමී කලාවක් ලෙස වැජඹෙනවා.  එහෙත් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිනමාපට තේරීමේදී බොහොමයක් නාමාවලි වල දක්නට ලැබෙන්නේ අවම වශයෙන් මීට වසර තිහකටවත් පෙර නිර්මාණය වූ සිනමා කෘති. මීළඟ Sight & Sound , Top Ten නාමාවලිය 2012 වසරේදී ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ ප්‍රවණතාවයේ යම් වෙනසක් වේවිද කියා එවිට අපි බලමු.

Friday, August 19, 2011

තිඹිරි ගෙදර සිට සොහොන් බිම වෙතයි - අපේ ගමන් මග විහිදෙන්නේ ..... ඒ කෙටි මාවත සැරි සරනා අප - මොන සිනමා පට නරඹන්නේ


රූපය සහ ශබ්ධය, පසිඳුරන්ගෙන්  ග්‍රහණය කරන වැදගත්ම විඳීම් දෙකක්. සිනමා පටයක් රසවින්දින්ට නම් අත්‍යවශ්‍යම අංග දෙක. ඒ වැදගත් කම සලකල තමා සිනමාවටම වෙන්වුණු Sight & Sound සඟරාව බිහිවෙන්නෙ, 1932 වර්ෂයේ. 1934 දී මේ සඟරාව පල කිරීම බ්‍රිතාන්‍ය සිනමා ආයතනයට (British Film Institute) පැවරෙනව. එතැන් සිට අද දක්වාම ඔවුන් මේ සඟරාව පවත්වාගෙන යනව. 

ලෝක සිනමාව වෙනුවෙන් Sight & Sound සඟරාව දක්වන දායකත්වය අමිලයි. ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිනමා කෘති රසිකයන්ට හඳුන්වාදීම ඒ අතරින් සුවිශේෂයි. ඒ සඳහා විවිධ නාමාවලි සැකසීම ඔවුන් සිදු කරනවා. මින් පෙර ලිපියේ (සිනමා ලෝලීන්ටයි.... බයිසිකල් හොරු - අතුරු කතාවක්) අපි කතා කලේ ළමයින් සඳහා සැකසූ එවැනි එක් නාමාවලියක් (BFI list of the 50 films you should see by the age of 14) ගැන. ඒ ලිපියට අපේ සහෘදයන් දක්වපු යහපත් ප්‍රතිචාරය මේ ලිපිය ඉක්මනින්ම ඉදිරිපත් කරන්න මා පෙළඹෙව්වා. (විශේෂයෙන් නලිනි වෛද්‍ය තුමිය මැරෙන්න කලින් බලන්න ඕනේ චිත්‍රපට ලැයිස්තුවක් ගැන ඇහුව වෙලේ අනෙක් සහෘදයනුත් ඒ පිළිබඳව දැක්වූ උනන්දුව.)


සෑම දශකයකට වරක්ම Sight & Sound සඟරාව ජාත්‍යන්තර චිත්‍රපට විශාරදයන් සමූහයක් ලවා ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට දහය තේරීම සිදුකරනව. මේ තේරීම මුලින්ම සිදු කලේ 1952 වසරේ. ඒ පළමු නාමාවලිය මෙසේයි.


Critics' Top 10 Poll 

1952

01. Bicycle Thieves (25 mentions)
02. City Lights (19 mentions)
02. The Gold Rush (19 mentions)
04. The Battleship Potemkin (16 mentions)
05. Intolerance (12 mentions)
05. Louisiana Story (12 mentions)
07. Greed (11 mentions)
07. Le Jour se leve (11 mentions)
07. The Passion of Joan of Arc (11 mentions)
10. Brief Encounter (10 mentions)
10. La Règle du jeu (The Rules of the Game) (10 mentions)
10. Le Million (10 mentions)
Closest runners-up: Citizen KaneLa Grande Illusion, and The Grapes of Wrath (9 mentions apiece)
ඒ අවස්ථාවේ පළමු තැන ලැබෙන්නේ ඉතාලි ජාතික විටෝරියෝ ඩි සිකා ගේ "බයිසිකල් හොරු" සිනමා පටයට. (අපි මේ ගැන කතා කලා සහෘදයන්ට මතක ඇති. වැඩි විස්තර සඳහා මෙතනින් බලන්න).

දෙවෙනි තැන චාලි චැප්ලින් විසින් නිර්මාණය කල චිත්‍රපට දෙකකට. 
එකක් 1931 වසරේ නිර්මාණය කල City Lights.

අනෙක 1925 දී නිර්මාණය වූ The Gold Rush
දෙකම නිහඬ සිනමා පට.
මේ ලැයිස්තුවට ඇතුලත් The Battleship Potemkin, Intolerance, Greed සහ The Passion of Joan of Arc යන කෘතිද නිහඬ සිනමා පට. 

1962 දී ඉදිරිපත්කල Top Ten ලැයිස්තුව;


01. Citizen Kane (22 mentions)
02. L'avventura (20 mentions)
03. La Règle du jeu (The Rules of the Game) (19 mentions)
04. Greed (17 mentions)
04. Ugetsu Monogatari (17 mentions)
06. The Battleship Potemkin (16 mentions)
07. Bicycle Thieves (16 mentions)
07. Ivan the Terrible (16 mentions)
09. La terra trema (14 mentions)
10. L'Atalante (13 mentions)
Closest runners-up: Hiroshima Mon AmourPather Panchali and Zero de Conduite (11 mentions apiece)
 
මේ  අවස්ථාවේදී බයිසිකල් හොරු හත් වෙනි තැනට ගිහින් කලින් ලයිස්තුවේ ඇතුලත් නොවූ ඇමරිකානු ජාතික Orson Welles විසින් අධ්‍යක්ෂණය කල Citizen Kane සිනමා පටය ඉදිරියටම එනවා.

ඒ වගේම ප්‍රථම වතාවට ලොව හොඳම සිනමා කෘති දහය අතරට ආසියාතික චිත්‍රපටයක් එක් වෙනවා. ඒ තමා "කෙන්ජි මිසොගුචි" විසින් අධ්‍යක්ෂණය කල "උගෙත්සු මොනොගොතරි" නම් ජපන් සිනමා පටය.


Ugetsu Monogatari - 1953
මෙහි තිර පිටපත "හොල්මන් කතා වස්තුව" නමින් මහාචාර්ය ආරිය රාජකරුණා සිංහලට නගල තියෙනව. 


 ඊළඟ Top Ten නාමාවලිය 1972 දී ඉදිරිපත් වෙනව.



01. Citizen Kane (32 mentions)
02. La Règle du jeu (The Rules of the Game) (28 mentions)
03. The Battleship Potemkin (16 mentions)
04.  (15 mentions)
05. L'avventura (12 mentions)
05. Persona (12 mentions)
07. The Passion of Joan of Arc (11 mentions)
08. The General (10 mentions)
08. The Magnificent Ambersons (10 mentions)
10. Ugetsu Monogatari (9 mentions)
10. Wild Strawberries (9 mentions)
Closest runners-up: The Gold RushHiroshima mon AmourIkiruIvan the TerriblePierrot le Fou, and Vertigo (8 mentions apiece)


සිටිසන් කේන් චිත්‍රපටය නැවත පළමුවැනි තැන ලබන අතර මේ ලැයිස්තුවට ආසියාතික සිනමාපට කිසිවක් ඇතුලත් වෙන්නේ නෑ. බයිසිකල් හොරු හොඳම දහයෙන් ඉවත් වෙලා ලෝක ප්‍රකට ස්වීඩන් ජාතික සිනමා අධ්‍යක්ෂක Ingmar Bergmanගේ සිනමා පට දෙකක් එක්වෙව.
PERSONA - 1966



බර්ග්මාන් චිත්‍රපට Sight & Sound, Top Ten  නාමාවලියට ඇතුලත් වන ප්‍රථම සහ එකම අවස්ථාව මෙයයි.

1982

01. Citizen Kane (45 mentions)
02. La Règle du jeu (The Rules of the Game) (31 mentions)
03. Seven Samurai (15 mentions)
04. Singin' in the Rain (15 mentions)
05.  (14 mentions)
06. The Battleship Potemkin (13 mentions)
07. L'avventura (12 mentions)
07. The Magnificent Ambersons (12 mentions)
07. Vertigo (12 mentions)
10. The General (11 mentions)
10. The Searchers (11 mentions)
Closest runners-up: 2001: A Space Odyssey and Andrei Rublev (10 mentions apiece)


Citizen Kane තව දුරටත් පළමුවෙනි තැන රැඳී සිටින අතර මෙවර යලිත් වරක් ආසියාතික චිත්‍රපටයක් මුල් දහය අතරට එනවා. ඒ තමා අකිර කුරොසාවා ගේ Seven Samurai චිත්‍රපටය.




1992
01. Citizen Kane (43 mentions)
02. La Règle du jeu (The Rules of the Game) (32 mentions)
03. Tokyo Story (22 mentions)
04. Vertigo (18 mentions)
05. The Searchers (17 mentions)
06. L'Atalante (15 mentions)
06. The Passion of Joan of Arc (15 mentions)
06. Pather Panchali (15 mentions)
06. The Battleship Potemkin (15 mentions)
10. 2001: A Space Odyssey (14 mentions)
Closest runners-up: Bicycle Thieves and Singin' in the Rain (10 mentions apiece)


මෙවර ප්‍රථම වතාවට ඉන්දියානු සිනමා පටයක් ලොව හොඳම චිත්‍රපට දහය අතරට නම් කෙරෙනවා. සත්‍යජිත් රායි ගේ පාතර් පංචාලි.
Pather Panchaali - 1955
Sight & Sound නවතම Top Ten නාමාවලිය ඉදිරිපත් වෙන්නේ 2002 දී. මෙතන ඉඩ මදි නිසා ඒ නාමාවලිය ගැන අපි වෙනම පොස්ට් එකකින් කතාකරමු. Citizen Kane තව දුරටත් පළමුවෙනි තැන රැඳී සිටීවිදැයි අපි එහිදී සොයා බලමු. 

Tuesday, August 9, 2011

සිනමා ලෝලීන්ටයි.... බයිසිකල් හොරු - අතුරු කතාවක්

බයිසිකල් හොරු පිළිබඳව ලියු ලිපියේ මම සඳහන් කළා චිත්‍රපට ලැයිස්තු දෙකක්, ඒවාට අදාළ අන්තර්ජාල ලිපිනයන්ද සහිතව. නමුත් ලිපිය පිළිබඳව පලකල අදහස් අතර මේ ලැයිස්තු වලට තැනක් ලැබුණු බවක් පෙනුනේ නැහැ. සමහර විට අපේ සහෘදයන්ගේ ඇහැ ගැහෙන්ට නැතුව ඇති. ඒත් ඒවායේ වැදගත් කම වැඩි නිසා මම වෙනම ලිපියකින් (අතුරු කතාවකින්) පෙන්නලා දෙන්ට හිතුව. මේ ලියන ලිපියට සහෘදයන් වෙතින් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නත් පුළුවන්. කොහොම උනත් උසස් සිනමා කෘති කිහිපයක් හඳුන්වා දෙන එකේ වරදක් නැහැ කියල හිතනව.


14 වැනි වියට එළඹෙන විට ඔබ නැරඹිය යුතු සිනමා පට පනහ.

මේ ලැයිස්තුව 2005 වසරේදී බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (the British Film Institute) විසින් ප්‍රකාශයට පත් කරනු ලබනව. ඔවුන්ගේ අරමුණ වන්නේ පොත් හා සමානව සිනමාවද සැලකිය යුතු බව දෙමාපියන්ටත්, අධ්‍යාපන ආයතන වලටත් පෙන්වා දීමයි. පොත පත කියවීම තුලින් මෙන්ම උසස් සිනමා කෘතියක් රසවිඳීමට හුරුකිරීමෙන් දරුවකුගේ මනස ශක්තිමත් කර සදාචාරවත්, යහපත් පුරවැසියකු බිහි කල හැකි බව ඔවුන් දරන අදහසයි. චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්, ගුරුවරුන්, ලේකඛයන්, විචාරකයන් ආදී විවිධ විශේෂඥයන් 70 වකට අධික පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් විසින් තමයි මේ සිනමා පට තෝරාගෙන තිබෙන්නෙ. ඔවුන් සැම කෙනෙක්ම දරුවකු විසින් නැරඹිය යුතු හොඳම චිත්‍රපට දහය පිලිබඳ තමාගේ ලැයිස්තුව සැකසූ අතර එක් එක් චිත්‍රපටයට ලැබුණු වඩාත්ම වැඩි ප්‍රතිචාර අනුව බ්‍රිතාන්‍ය සිනමා ආයතනය චිත්‍රපට පනහක ලැයිස්තුවක් සකස් කළා. 


මෙහිදී වඩාත්ම ප්‍රතිචාර ලබා ඉහලටම ආ සිනමා පටය වූයේ "හයාඕ මියසකි" විසින් රචනා කොට අධ්‍යක්ෂණය කල Spirited Away නම් ජපන් සජීවකරන (animation) චිත්‍රපටයයි.
මේ තරම් වටින සජීවකරන සිනමා පටය මොකද්ද කියල බලන්න මමත් Spirited Away බා ගත කරගෙන නැරඹුවා. ළමයින් සඳහා නිර්මාණය කල මේ චිත්‍රපටය කෙතරම් බරපතල විදිහට මා සිත පැහැරගත්තද  කියනවනම් වරක් නරඹා අවසන් වූ සැනින් නැවතත් මුල සිටම යලිත් චිත්‍රපටය නැරඹුවා. මේක පොදු ඇමරිකානු රටාවේ චිත්‍රපටයක් නොවෙයි. ආසියාතික කතාවක්. මායා ලොවක අතරමන් වන දස වස් වියැති චිහිරෝ දැරිය. එහි අධිපතිනිය යුබාබා. ලස්සන වසිලිස්සා කතාවේ බබයිගා යකින්නගෙ වගේ විශාල නහයක් ඇති මායාකාරියක්. සම්ප්‍රදායික ජපාන පොදු ස්නානාගාරයක්. පිරිමි ළමයකුගේ වේශයෙන් පෙනී සිටින මකරෙක්. එක පැත්තකට විතරක් දුවන දුම්රියක්. ඌරන් බවට පෙරලුනු දෙමව්පියන් ගලවා ගන්ට ඕනෑම දුකකට මුහුණ දෙන්න සුදානම් දැරියක්. BFI කල තේරීම හරියටම හරි බවයි මට නම් හැඟුනෙ.


මේ පනහේ ලයිස්තුවේ මුල් දහයට අයත් ඉතිරි සිනමා පට නවය මෙසේයි. (අහඹු පෙළ ගැස්මකි.)
  • Bicycle Thieves (1948)
  • E.T. the Extra-Terrestrial (1982)
  • Kes (1969)
  • The Night of the Hunter (1955)
  • The 400 Blows (1959)
  • Show Me Love (1998)
  • Toy Story (1995)
  • Where is the Friend's Home? (1987)
  • The Wizard of Oz (1939) 


The Wizard of Oz (1939) 

Kes (1969)

E.T. the Extra-Terrestrial (1982)






Bicycle Thieves (1948)
ඉහත සිනමා පට අතර ආසියාතික සංස්කෘතියට නොගලපෙතැයි සැලකිය හැකි එකම සිනමා පටය වන්නේ ස්වීඩන් සිනමා පටයක් වූ Show Me Love පමණයි. ආසියාතික රටවල් දෙකක් වන ජපානය (Spirited Away) සහ ඉරානය (Where Is The Friends Home?) එම ලැයිස්තුව නියෝජනය කරනවා. ප්‍රංශ ජාතික සිනමා කරුවකු වූ ප්‍රන්ශුවා ට්රුෆෝගේ නිර්මාණයක් වූ the 400 blows සිනමා පටය ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් ලෙස සැලකෙනවා.


ඉතිරි සිනමා පට 40 මෙසේයි. (ඉංග්‍රීසි හෝඩියේ අනු පිළිවෙලට).
  • A Day at the Races (1937)
  • The Adventures of Robin Hood (1938)
  • Au revoir les enfants (1987)
  • Back to the Future (1985)
  • Beauty and the Beast (1946)
  • Beauty and the Beast (1991)
  • Billy Elliot (2000)
  • Edward Scissorhands (1990)
  • Finding Nemo (2003)
  • It's a Wonderful Life (1946)
  • Jason and the Argonauts (1963)
  • The Kid (1921)
  • King Kong (1933)
  • Kirikou and the Sorceress (1998)
  • Monsieur Hulot's Holiday (1953)
  • My Life as a Dog (1985)
  • My Neighbor Totoro (1988)
  • Oliver Twist (1948)
  • The Outsiders (1983)
  • Pather Panchali (1955)
  • Play Time (1967)
  • The Princess Bride (1987)
  • Rabbit-Proof Fence (2002)
  • Raiders of the Lost Ark (1981)
  • The Railway Children (1970)
  • The Red Balloon (1956)
  • Romeo + Juliet (1996)
  • The Secret Garden (1993)
  • Singin' in the Rain (1952)
  • Snow White and the Seven Dwarfs (1937)
  • Some Like It Hot (1959)
  • The Spirit of the Beehive (1973)
  • Star Wars Episode IV: A New Hope (1977)
  • To Be and to Have (2002)
  • To Kill a Mockingbird (1962)
  • A Trip to the Moon (1902)
  • Walkabout (1971)
  • Whale Rider (2002)
  • Whistle Down the Wind (1961)
  • The White Balloon (1995)                                       
Apu in Pather Panchali

මේ ලිපිය කියවීමෙන් පසු, අපගේ මිතුරු සහෘදයන් අතර තුරුණු වියට පා තබන දරු පැටවුන් සිටින දෙමාපියන් මේ සිනමා පට සිය දරුවන්ට පෙන්වන්නට උත්සුක වුවහොත් මගේ වෑයම සාර්ථක වනු ඇති.


 ප.ලි. : වසර දහයෙන් දහයට එන Sight & Sound සිනමා පට ලැයිස්තු ගැන වෙනම ලිපියකින් කතාකරමු.